වසර පහක් මාස පහක් දින හයක් අවසානයේ සාධාරණ සමාජයක් | සිළුමිණ

වසර පහක් මාස පහක් දින හයක් අවසානයේ සාධාරණ සමාජයක්

  • වසර 61කට පෙර ලොව හෙල්ලූ කියුබානු විප්ලවය

කාලය ගතවී යන්නේ වේගයෙනි. එය බොහෝ දේ මවන්නේය. බොහෝ දේ යටපත් කර දමන්නේය. බොහෝ දේ මතකයෙන් ඈත් කරන්නේය. ඒ කාලයේ හැටියයි. එය වෙනස් කළ නොහැකිය.

එහෙත් කාලය විසින් මකා දමන බොහෝ දේ යළි සිහි කැඳවීමේ හැකියාව අපට ඇත්තේය. එසේ කළ යුතු වන්නේ ඇතැම් දේ මිනිස් වර්ගයා පවතින තෙක් සිහි කැඳවිය යුතු තරම් වැදගත් වන හෙයිනි.

අදින් වසර හැට එකකට පෙර සිදුවූ එවැනිම සිදුවීමක් යළිත් සිහි කැඳවිය යුතුව ඇත්තේය. ඒ අන් කිසිවක් නොව කියුබානු විප්ලවයයි.

මෑතකාලීන මානව ඉතිහාසයේ සන්ධිස්ථානයය් කිහිපයකි. ලෝක යුද්ධ සඳහා ඒ අතරින් නිශ්චිත ඉඩ වෙන්වන අතර සමාජවාදී පාලන තන්ත්‍රයන් බිහි කර ගැනීම සඳහා මිනිසා විසින් දරන ලද උත්සාහයන්හි ප්‍රතිඵල ලෙසින් සිදුවූ විප්ලවයන් ද එවන් වූ සන්ධිස්ථාන අතරට එක්වන්නේ නිරායාසයෙනි. එයට හේතුව එවැනි සමාජවාදී විප්ලවයන් සිදුව ඇත්තේ ඉතාම අතළොස්සක් වන බැවිනි. අමතරව සිදුවූ විප්ලව අතරින් ජයග්‍රාහී ලෙසින් අවසන් වූයේ ද ඉතාම අතළොස්සක් වන බැවිනි. තවද ජයග්‍රාහී විප්ලව අතරින් ඇති කර ගත් සමාජවාදී පාලනය නොනැසී දිගින් දිගටම පවත්වා ගැනීමට හැකියාව ලැබුණේ ද තවත් ඉතාමත් සුළුතරයකට වූ බැවිනි.

කියුබානු විප්ලවන සුවිශේෂී වන්නේ ඉහත කී සියල්ල කියුබානු විප්ලවයට අදාළව සාධාරණ වන බැවිනි. අද වන විටත්, එනම් කියුබානු විප්ලවයෙන් වසර 61ක් ගත වූ පසුවත් කියුබාවේ පවතින්නේ එදා ඔවුන් ස්ථාපිත කර ගත් පාලන තන්ත්‍රයයි.

කියුබාව යනු කැරිබියන් කලාපයේ පිහිටා ඇති සෞම්‍ය කලාපීය දේශගුණයක් සහිත සුන්දර දූපතකි. මේ දූපතට ආසන්නතම අසල්වැසි රාජ්‍යයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය නම් කළ හැකිය. කලාපයේ බලවතා ලෙස ඇමෙරිකාව තම අසල්වැසි රාජ්‍යයන් තම මතයට නතු කර ගෙන සිටින බව අමතරව කිව යුතු නැත. ඒ හේතුවෙන්ම 1950 දශකය වන විටත් කියුබාවේ පාලනය ගෙන ගියේ ධනවාදී පාර්ශ්වයට නතුවූ පාලකයන් පිරිසකි. ඒ අතරින් ප්‍රධානියා වූයේ ෆුල්ජෙන්සියෝ බැටිස්ටාය.

එහෙත් කියුබාව තුළ සමාජවාදී පාලනයක් ස්ථාපිත විය යුතු බවට විශ්වාස කළ තරුණ පිරිසක් රහසේ සංවිධානය වූයේ මෙකී ධනවාදී පාලනය පෙරළා දැමීමටය. මේ පිරිසට නායකත්වය දුන්නේ කියුබාවේ ඉඩම් හිමි ධනපතියකුගේ පුත්‍රයකු වූ ෆිදෙල් කැස්ත්‍රෝය. ඔහු මනා අධ්‍යාපනයක් ලැබූ ධනවත් පවුල් පසුබිමක් සහිත වූ තරුණයකු විය. ඔහු සමාජවාදී විප්ලවයට නායකත්වය දීමේ වැදගත්කම වූයේ ධනවාදයට සහාය දෙමින් සැපවත් ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව ඕනෑ තරම් ඔහු සතුව තිබියදී ඒ හැර විප්ලවය තෝරා ගැනීම නිසාය. වසර පහක් පුරා පැවති සටන බැටිස්ටාට වාසි සහගත ලෙස අවසන් වූයේ නම් ෆිදෙල්ට මරණය නියත වන්නට ඉඩ තිබිණි. එහෙත් ඔහු ඒ අවදානමට නොබියව මුහුණ දුන්නේය. ඒ සඳහා ඔහුට ශක්තියක් වීමට ඔහු මෙන්ම අධිෂ්ඨානශීලී වූ තරුණයන් පිරිසක් ද විය. එම තරුණයන් ෆිදෙල් සමඟ සංවිධානය වූයේ ජූලි 26 සංවිධානය බිහි කරමිනි. ආණ්ඩුවේ මර්දනය අවම කර ගැනීම පිණිස මෙක්සිකෝවට පලා ගිය මේ තරුණ පිරිස වඩා හොඳන් සංවිධානය වූහ.

වඩා වැදගත්ම කරුණ වූයේ කියුබාවේ බහුතර ජනතාව තමන් වෙත ආශක්ත කර ගැනීමට හැකි බව මේ පිරිස විශ්වාස කිරීමයි. දශක කිහිපයත් පුරා කියුබාවේ දේශපාලන දූෂණය ඉහවහා යමින් පැවති අතර රටේ සම්පත් ධනවත් සුළු පිරිසක් අතරට වේගයෙන් ගලා යමින් තිබිණි. වැඩිවෙමින් පැවති ජීවන බර මෙන්ම දුප්පත්කම ද ජනතාව පොලා පැනීමක් වෙත රැගෙන යමින් තිබිණි. ෆිදෙල් ඉතා සාර්ථක ලෙස අල්ලා ගන්නේ මෙකී සංධිස්ථානයයි.

තමන් විප්ලවීය සටනක් මඟින් පාලකයන් පරාජය කළ යුතු බවට වන ඒකමතික තීරණය අනුව ක්‍රියාත්මක වන ෆිදෙල් ඇතුළු පිරිස 1956 නොවැම්බර් 25 වැනිදා මෙක්සිකෝවේ සිට කියුබානු වෙරළට ගොඩ බසින විටත් 1993 සිට දියත් කළ සමාජවාදී කැරැල්ල ක්‍රියාත්මක වෙමින් තිබිණි. එහෙත් මෙවර ෆිදෙල් ඇතුළු පිරිස වඩාත් සංවිධානාත්මක වූහ.

ෆිදෙල් සමඟ ඔහුගේ සොහොයුරු ආවුල් කැස්ත්‍රෝ, ලොව අසමසම විප්ලවකරුවා චේ ගියුවේරා මෙන්ම ආබෙල් සැන්ටමාරියා, කැමිලෝ සෙන්ෆියුගෝස්, හුබර් මතෝස්, ජුවන් අල්මෙයිදා වැනි තරුණ ජවයෙන් ඉපිලීගිය, අධිෂ්්ඨානශීලී පිරිසක් වූහ. සාමාන්‍ය ජනතාවගෙන් ද නොඅඩුව සහාය ලැබූ මේ තරුණ පිරිස පැරදවීමට බැටිස්ටාගේ කුලී හමුදාවට හැකියාවක් ලැබුණේ නැත.

එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1953 වසරේ ජූලි 26දායින් ආරම්භ වී වසර පහකුත් මාස පහක් සහ දින හයක් පුරා පැතිර ගිය කියුබානු විප්ලවය තරුණ විප්ලවකරුවන් ජයග්‍රහණය ලබා දෙමින් අවසන් වීමය.

හරියටම 1959 ජනවාරි පළමුවැනිදා කියුබාව තුළ සමාජවාදී රාජ්‍යයක් පිහිටුවූ බව ප්‍රකාශයට පත් කිරීමට ෆිදෙල් කැස්ත්‍රෝට හැකියාව හිමි විය. ඒ සමඟින් රටේ පාලන තන්ත්‍රය බොහෝ වෙනස්කම්වලට ලක් කෙරුණු අතර අමාත්‍යවරුන් ලෙස විප්ලවයට දායකත්වය දුන් තරුණයන් නම් කරනු ලැබීය.

එහෙත් වඩාත් වැදගත් කරුණ වන්නේ එදා එලෙස කියුබාවේ බලය තහවුරු කිරීමට සමත් වූ තරුණයන් අද වන විට වියපත් මහල්ලන් බවට පත්ව සිටියද එදා ඔවුන් ස්ථාපිත කළ පාලනය නොනැසී පවත්වාගෙන යෑමට තරම් දක්ෂයන් වීමයි.

මේ අතර 1959 පිහිටුවූ සමාජවාදී කියුබාව ඇමරිකාව සහ කියුබාව අතර සබඳතාවලට විශාල පහරක් එල්ල කිරීමට සමත් විය. කියුබාව තුළ සමාජවාදී පාලනයක් ඇතිවීම වැළැක්වීමට දත කෑවද එය අසමත් වූ බැවින් ඇමෙරිකාව බියපත් වූයේ ඒ සමඟින් සමාජවාදී පාලන රැල්ලක් දකුණු ඇමෙරිකානු කලාපයේ ඇතිවේය යනුවෙනි. මීට පෙර ගිනිකොන ආසියාවේ මේ තත්ත්වය මෙලෙසින්ම ඇති වනු අත්විඳි තිබූ ඇමෙරිකාව එය වළැක්වීමට උපරිම උත්සාහ දරමින් සිටියේය.

මේ අතර බැටිස්ටාගේ පාලන කාලය තුළ වර්ධනය වෙමින් පැවති ඇති නැති පරතරය සමනය කිරීමට කැස්ත්‍රෝ පාලනය බොහෝ දේපළ ජනසතු කරමින් සිටියේය. ඒ අතරට කියුබාවේ තිබූ ඇමරිකානු දේපළ ද විය.

එයට එකට එක කිරීමක් ලෙස එවකට සිටි ඇමෙරිකානු ජනාධිපති අයිසන්හවර් කියුබාව සමඟ සියලු සබඳතා අත්හැර දැමීමට කටයුතු කළේය. මේ අතර ප්‍රතිවිප්ලවය ඇති කිරිමට ගත් උත්සාහයන් බොහෝ විය. ෆිදෙල් කැස්ත්‍රෝ මරා දැමීමට සීඅයිඒ සංවිධානය දියත් කළ කුමන්ත්‍රණ සංඛ්‍යාව පමණක් හය සියය ඉක්මවීය. එහෙත් ඒ සියල්ල අතර ශක්තිමත්ව නැඟී සිටීමට කියුබාවට හැකියාව හිමි විය.

කියුබාවේ වැජඹීමට හැකියාව තිබුණද සමාජවාදය වෙනුවෙන් දිවි පුද කළ චේ හැරුණු විට සෙසු බොහෝ විප්ලවකරුවෝ සමාජවාදී කියුබාව යටතේ එරට ජනතාවට සාධාරණ සමාජයක් ලබා දීමට ජීවිතයෙන් කැප වූහ. ෆිදෙල් තම අවසානය දක්වා ඒ වෙනුවෙන් කැපවූ අතර කිසිදා ජනතාවගේ දෝෂදර්ශනයට ලක් වූයේ නැත.

ඔහුගෙන් පසු ඔහුගේ සොහොයුරු රාවුල් කැස්ත්‍රෝ ෆිදෙල් පාලනය ඉදිරියට ගෙන ගියේය. තවදුරටත් කැස්ත්‍රෝවරු කියුබානු පාලනයේ සඳහන් නොවන්නේ තම වියපත් වීමත් මත ඉතා සාර්ථකව බලය තවත් පරම්පරාවක් වෙත විතැන් කිරීමට ඔවුන් කටයුතු කළ බැවිනි. කියුබාව අදටත් සාර්ථක රටත් වන්නේත්, ඔවුන් වසර හැට එකකට පෙර සිදු කළ විප්ලනය අදටත් ජිවමාන වන්නේත් ඔවුන් එලෙස බලය විතැන් කිරීමට කටයුතු කළ නිසාවෙනි.

විප්ලවයෙන් වසර 61ක් සපිරෙන අද දිනටත් කියුබාව එක් දේශපාලන පක්ෂයක් පමණක් පවතින සමාජවාදී රාජ්‍යයකි. අද එහි රාජ්‍ය නායකයා වන්නේ කොමියුනිස්ට් පක්ෂයේ ද නායකයා වන මිගුවෙල් දියෙද් - කැනල් ය. ඔහු එම ධූරයට පත් වූයේ රාවුල් කැස්ත්‍රෝෙග් අනුප්‍රාප්තිකයා වශයෙනි. රාවුල් එම ධූරයට පත් වූයේ ෆිදෙල් කැස්ත්‍රෝගේ අනුප්‍රාප්තිකයා වශයෙනි. මේ සියල්ල පෙන්වා දෙන්නේ ෆිදෙල් ඇතුළු පිරිස කියුබාව තුළ ස්ථාපිත කළ පාලනයේ විධිමත් භාවයයි. දශක හයකටත් වඩා ශක්තිමත්ව පැවතිමට එම පාලනයට හැකියාව ලැබෙන්නේ ද කියුබානු පාලකයන්ගේ දූරදර්ශී වැඩපිළිවෙළ හේතුවෙනි. අද වන විටත් ප්‍රතිවිප්ලවය සඳහා වන බලවේගවලින් කියුබාවට අඩුවක් නැත. එහෙත් ඔවුන් ශක්තිමත්ය. ජනතාව ඉතා මැනවින් සිදුවන සාධාරණ පාලනයක් මෙන්ම ධනය බෙදී යෑමක් ද සමඟ තෘප්තිමත්ව සිටින තාක් කියුබානු සමාජවාදී පාලනය බිඳ දැමීමට කිසිවකුට හැකියාව නොලැබෙනු ඇත.

Comments