වියෝ ගී ගැයෙනා හදේ නීලා කිසිදා නොමියේ! | Page 2 | සිළුමිණ

වියෝ ගී ගැයෙනා හදේ නීලා කිසිදා නොමියේ!

අප මනස කලඹාලන අපූරු ගීත සමුදායක් ගායනා කරමින්, දශක පහකට ආසන්න කාලයක් පුරා ශ්‍රාවක මතකයෙන් ඈත් නොවන අතිශයින්ම මධුර වූත්, අර්ථවත් වූත්, ගී ගයන්නී, නීලා වික්‍රමසිංහයි.

නීලා වික්‍රමසිංහ විසින් ඇයගේ ගායන චාරිකාව ඇරැඹුමේ සිට දශක ගණනාවක් පුරා සුභාවිත සරල ගීතයේ, නිර්ණාත්මක චිත්‍රපට ගීයේ තම අනන්‍ය ලකුණ සටහන් කරන්නී, එදවස ගායන ක්ෂේත්‍රයට බට අන් සියලු ගායිකාවන් අබිබවමින්ය.

 

 

නීලා නික්ම ගොස් ඇත්තී ය. සුවහසක් රසික දනමන රංජනය කළ ඇය තවත් බොහෝ සුබ සාධක සේවාවල නිරත වූ මානව හිතවාදිනියකි. ඇගේ නික්ම යෑම සැම සිත් සතන්හි රිදුමක් ඉතිරි කරන්නේ මේ සියල්ලේ ස්මරණිත වේදනාව ද සමඟිනි. අසරණ පෝලියෝ රෝගීන් වෙනුවෙන් ඇය කලක් තිස්සේ කැපවූයේ කිසිදු දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ. ඇගේ හද පත්ලෙන් නැඟුණු වේදනාවට අස්වැසුමක් වෙනුවෙනි. ඇගේ ගීතාවලියේ සුමධුර බව සේම මනසින් ද ඇය සුමධුර වූවාය.

 

"සදා උකුළුතල මා සුව යහනට

තොලඟින් මැතිරූ නැළැවිල්ලෙන්

හැරලා මා සුව සිහින විමානෙට

නිදි ගන්වමි මා ඔබ තුරුලේ..."

 

කෙටි දුරකථන පණිවුඩ මඟින් හොඳම ගායකයා හෝ ගායිකාව තෝරා ගැනීමේ ක්‍රමවේදයකින් තොරව, හුදෙක් ස්වරඥානය, තාල ඥානය, ගායන මාධූර්යය ආදි කාරණා පමණක් මත ආධුනික ගායක ගායිකාවන්ට, එදවස කිරුළු පැලඳවූයේ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. තරගකාරී කිසිදු ගුවන්විදුලි නාළිකාවක් නොවූ හැට හැත්තෑව දශක තුළ ගුවන් විදුලියේ වෙළෙඳ සේවය ඉරිදා දහවල ගුවන්ගත කළ, විවිධ ආධුනික ගී තරග ඔස්සේ, ගී කිරුළ පැලඳ හොඳම ගායකයා හෝ ගායිකා වීමට වරම් ලැබූ ඇතැම් චරිත අද ද අප මතකයෙන් ඈත් නොවී ජීවත් වන්නේ,

ඔවුනගේ හඬ මාධුර්යයේ ඉමිහිර අපගේ දෙසවන්හි දෝංකාර නඟනු පමණක් නිසා නොව, අප හද සන්තානයෙහි නිදන්ගත වී වරින්වර, අපගේ හුදෙකලා ජීවිතයට අරුතක් ද එක්කරන බැවිනි. ඉහතින් ආරම්භ කළ මවු ගුණ ගීතය ගායනා කරමින් ගී ලොව දීර්ඝ චාරිකාවකට ඇරැඹුම තබන්නී, එදා යෞවනයේ ජීවත් වූ නීලා වික්‍රමසිංහ නම් වූ ගායිකාවයි.

ඈ අද විශාරද නීලා වික්‍රමසිංහයි. අප මනස කලඹාලන අපූරු ගීත සමුදායක් ගායනා කරමින්, දශක පහකට ආසන්න කාලයක් පුරා ශ්‍රාවක මතකයෙන් ඈත් නොවන අතිශයින්ම මධුර වූත්, අර්ථවත් වූත්, ගී ගයන්නී, නීලා වික්‍රමසිංහයි. ජීවිතය වියපත් වුවත් යෞවනත්වය, එසේ ඈත් වී යාද කියා සිතන්නට අපි මැළිවමු. පෙබරවාරි 18 වැනිදා රාත්‍රියේ තම සැත්තෑ පස්වන ජන්ම දිනය සැමරූ යෞවනයේ ගායකයා ලෙස අද ද අබිමන් ලබන වික්ටර් රත්නායක ගාන්ධර්වයා සමඟ වජ්‍රප්‍රභා සංගීතාවලෝකනයේදී "නඟේ නඟේ වැහි එනවා" ගීතය ඔහු හා ගායනා කරමින්, ඇගේ මධුර හඬ අප සිත් වසඟ කළ බව සිහිපත් කරන්නී නීලායි. නීලා වික්‍රමසිංහයි.

සදා උකුළුතල ගීතයේ ගායන මිහිර සිත රැඳෙමින් පවතිද්දී, ගුවන් විදුලියෙන්ම ප්‍රචාරය වූ අපූරු සංගීතමය වැඩසටහනකින් ඇගේ ගායන මාධූර්යය අප සවනට පතිත වේ. 70 දශකයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත අංශය ප්‍රකට කළ අපූරු වූත්, සුන්දර වූත් ගීත හා පර්යේෂණාත්මක ජනගීත සමඟ අපට යළි ඇගේ ගායන මාධූර්යයට ළංවන්නට ඉඩ සැලසේ. 70 දශකයේ, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සංගීතමය වැඩසටහන්, යහපත් ගීතය කෙරෙහි ශ්‍රාවක ආකර්ෂණය දිනා ගනිමින්, රසික වින්දනය, ඉහළ තලයකට ඔසවා තැබීමට පුරෝගාමී වූයේ එවකට අධ්‍යක්ෂ ජෙනරාල් වූ රිජ්වේ තිලකරත්න සුධීමතුන්ගේ නිවැරදි දැක්ම යටතේය. ගුවන් විදුලියේ සංගීත පර්යේෂණ අංශය භාරව සිටි සී. ද එස්. කුලතිලක සංගීතඥයා විසින් රචනා කොට එතුමන් විසින්ම නිර්මාණය කළා වූ සංගීත රටාවන්ට නීලාගේ හඬ මුසු වූයේ ගායන ක්ෂේත්‍රයට පෑයූ තාරකාවක්, අඳුරු අහස් කුස ආලෝකවත් කරන්නා වූ සෞම්‍ය හැඟුම් ජනනය කරමිනි.

 

"දෑතට වළලු මල් මුතු වැල් මාල පොටයි

යායක එළ ලු පුන් කුසුමන් සේ බැබළෙයි

ගී රස කන ලූ වන් සැණෙකින් මන් පිනවයි

ලාලිත රුසිරු සුන්දර සන්සුන් ගමනයි..."

අරුත්බර පදවැල, ඊට උචිත ගී තනුව සමඟ මුසු වූ නීලා හා ටී.එම්. ජයරත්නගේ නැවුම් ගායන මිහිරෙන් මත් නොවූවෝ කවරහුද? නීලා වික්‍රමසිංහ විසින් ඇයගේ ගායන චාරිකාව ඇරැඹුමේ සිට දශක ගණනාවක් පුරා සුභාවිත සරල ගීතයේ, නිර්ණාත්මක චිත්‍රපට ගීයේ තම අනන්‍ය ලකුණ සටහන් කරන්නී, එදවස ගායන ක්ෂේත්‍රයට බට අන් සියලු ගායිකාවන් අබිබවමින්ය. කේමදාස, අමරදේව, නිමල් මෙන්ඩිස්, සරත් දසනායක, වික්ටර් රත්නායක ආදී ප්‍රවීණ හා නිර්මාණශීලී සංගීතඥයන්ගේ සංගීත නිර්මාණයන්ට ඈ ගැයූ ගීත එකකුදු හෝ මතකයෙන් බැහැර කරන්නට අප අපොහොසත් වන්නේ ඇගේ අතුල්‍ය (uinque) හඬ පෞරුෂය නිසාමය. ගැහැනු ළමයිහි වියෝ ගී ගැයෙනා හදේ හෝ කළුදිය දහරෙහි මාස්ටර් සර් හෝ ගඟ අද්දර, රන් ටිකිරි සිනා වැනි ගීතයක් ඇගේ ගායන චාරිකාවෙහි මඟ සලකුණුය. සරල ගීතාවලිය අතර මා සිත පැහැර ගත්, අපූරු ගීතයක මිහිර විඳීමට මා සැරසෙන්නේ ඒ ගීතයටම සමගාමී තවත් ගීතයක් ද මතකයට නංවා ගනිමින් ඒ මිහිරි මතකයට ද පිවිසෙමිනි. නීලාට වසන්ත සැණකෙළි රාත්‍රියකදී, ඔහුගේ රුව නෙත ගැටේ. ඒ දෙනෝදාහක් දෙනා අතරේය.

ඔහුගේ ගී හඬ ද ඇයට ඇසේ. එහෙත්, ඔහු ඈ සිත හඬවා යන්න ගියේ කිමදැයි ප්‍රශ්න කරන්නීය. කලබල නගර මැද දී ද නොසිතූ ලෙස ඔහු ඈ අතරින් ගිය මුත්, ඇය වෙත අවසන ඉතිරි වන්නේ, ඔහුගේ ගී හඬ පමණි. ගී හඬට වශී වූ ඈ සිත ප්‍රශ්න කරන්නේ, ඔහු ඇගේ සිත හඬවා යන්නට ගියේ කිම ද කියායි.

 

"දවසක් දා වසන්ත සැණකෙළියේ

දෙනෝ දහක් මැද ඒ රුවමයි දුටුවේ

සවන් පිරූ සත්සර මැද්දේ

ඔහුගේ ගී හඬ මට ඇසුණේ

මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ

කලබල නගරේ යද්දී මද්දහනේ

නොසිතූ සේ ඔහු මා අසලින් ඇදුණේ

සවන් පිරූ රිය හඬ මැද්දේ

ඔහුගේ ගී හඬ හිත රැඳුණේ

මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..."

 

ගාමිණී විජේතුංග නම් වූ අපූරු ගේය පද නිමැවුම්කරුවා විසින් රචිත ගී සංකල්පනා අතර ඉහත ගේය කාව්‍ය සංකල්පනාව ද නීලාගේ අපේක්ෂා භංග වූ ස්වරයෙන්, හැඬුමත් නොහැඬුමත් අතර දෝලනය වෙමින් අප සිත්හි ද ශෝකයක් දනවන මේ ගීතය සමඟ මා සිතට ළංවන මා සිත් ගත් ගීතාවලියක් අතරේ නිරතුරුව සිහියට නැඟෙන ගීතයක මා විඳි චමත්කාරයෙන්, මිහිරෙන් බිඳක් ඔබ සමඟ බෙදා හදා ගැනීමටයි, මේ ගීතය මවිසින් තෝරාගෙන ඇත්තේ.

මේ අවන්හලේ සැඳෑ වෙලාවේ රැඳෙන්නෙමි ගීයෙහි මුල් රචනය ඉංග්‍රීසි බසිනි. රචකයා නිමල් මෙන්ඩිස් සංගීතඥයායි. ඔහුම සංගීතය නිර්මාණය කළ සිංහල ගීතයෙහි පද කරුණාරත්න අබේසේකර ගීත රචකයාගේය.

 

මේ අවන්හලේ සැඳෑ වෙලාවේ

රැඳන්නෙමි

ගී ගයා වයාලා

සිනා සලාලා රඟන්නෙමි.

මා ඔබ වගේම ලෝකේ

කඳුළු දුක් සිතේ ලා

දිවි ගෙවන්නෙමි

ඒ සුසුම් මගේ ඔබේ සිනාවේ

නොලන්නෙමි

කවන්න පොවන්න රකින්න කිසිවෙකු නෑ

හඬන්න අහන්න සොයන්න කිසිවෙකු නෑ

බලන්න ලබන්න දිනන්න කිසිවෙකු නෑ

විඩා නොවී සිනාසෙමී

 

ඈ මෙලොව තනි වූ අසරණ එකියක් ද? කවන්න පොවන්න රකින්න කිසිවෙකු නැති ජීවිතයේ අහස උසට ගොඩ නඟාගත් විසල් සිහින මන්දිර නොමැති, රැකවරණයකින් තොර, කිසිවෙකුගේ ආදරයක්, දයාවක් නොලබන එහෙත්, අවන්හලට විත් බීමත්ව හෝ පියෙවි සිහියෙන් යුතුව, ඇගේ රැඟුම් නරඹන ගැයුම් වැයුම් ආශ්වාදය කරන පිරිසක් හමුවේ ජීවිකාව සරිකර ගැනීමට සටන් වදින අරගල කරන යුවතියක් ය. ඇගේ මුහුණ අපි දකිමු.

එහෙත් ඇගේ හදවතේ නැඟෙනා විලාපය, සියුම් ආයාචනය, අප සවනට සමීපකොට හදවත කරා රැගෙන ගොස් වරින්වර සිත රිදවන්නේ නීලාගේ භාව පූර්ණ හඬයි. ළයාන්විත, ශෝකී ස්වරයයි. අඳුරු රාත්‍රි සමාජ ශාලාවක, ගී ගයන්නී, වයන්නී, රඟන්නී, සහසක් දුක් සුසුම් හදවත රුවා ගත්තී, ඈ ඇගේ දුක පිරුණු සුසුමක් අප වෙත පා කොට එවන්නීය.

නිමල් මෙන්ඩිස් ගේ ස්වර රටා, ඔහුගේ මුල් ගී සංකල්පනාව හා අබේසේකරයන් එය මනාව ග්‍රහණය කොට ගෙන සිංහලයට නැඟීම යන මූලික අවශ්‍යතා එකිනෙක අමුණන්නේ නීලාගේ හඬයි. ගායනයෙහි ලාලිත්‍යයයි. අවසන ඈ පවසන්නී, ඒ සුසුම මගේය.

ඒවා ඔබේ සිනාවේ නොලන්නෙමි. ඈ ජීවිතය පුරාම දුක තුරුලු කොට ගෙන ජීවත් වන්නියක් ද? පිළිතුරක් සොයාගත නොහී අප අතරමං කරවන්නේ නීලාය.

ඒ මතක තුරුලු කරගෙනම අද ඈ භෞතිකයෙන් නික්ම ගොස් සිටින්නී ය.

නීලාගේ ගායනාවෙහි මධුරතාව අප හදවතින් මෙන් ම සවනින් ද කිසිදින බැහැරට නොයයි. සිත අත් නොහැර පවතී. අර්ථපූර්ණ භාවපූර්ණ ගීතාවලියක් මිහිරි සරින් ගායනා කළ කෙවිලිය අද දිගු නින්දක ය. ඔබට සුබ සිහින පිරි සුබ රාත්‍රියක් නීලා.

Comments