මියන්මාරයේ ගෙෞරව නාම | සිළුමිණ

මියන්මාරයේ ගෙෞරව නාම

අමරපුර, අරමණ දේශ, රාමඤ්ඤ දේස, ස්වර්ණ භූමි ඈ නොයෙක් නමින් හැඳින්වී පසු කලෙක බුරුම නම් වැ දැන් මියැන්මාර නමින් පතළ රටින් පෙර සිට බෞද්ධ ආගමික අභිධාන, ගෞරව නාම පිරිනැමේ. එයින් අග්ගමහා පණ්ඩිත යන්න ඉතා ප්‍රකට ය. මෙ රට භික්ෂූන් හට ද කිහිප වරෙක ඒ ගෞරව නාමය පිරිනැමිණ. එය කොතරම් උසස් විණි ද යත් බුද්ධ දත්ත මහ නාහිමියන් ඉංගිරිසියෙන් නම ලියන කල A.P. Buddhadatta (ඒ. පී. බුද්ධදත්ත) යැ යි ලියූයේ ‘අග්ග මහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත‘ යනු යැ යි කියැවේ.

ත්‍රිකුණාමලේ ආනන්ද මහ නාහිමිපාණනට ද අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමී ඇත. සකල බෞද්ධයනට මතු නොව, භාෂා හිතකාමීනට ද සොම්නස් විය හැකි අවසරයෙකි. රන් වළල්ලේ ම රන්මිණක් බැඳුණාක් මෙන් සුදුස්සකුට ම සුදුස්සක් ලැබුණු හෙයිනි, සිංහලයෙහි හරි වහර ඉතා මැනැවින් දන්නා, කියමනෙහි සේ ම ලියමනෙහි ද එය යොදන සුවියත් පැවිදි උතුමකුට සුනිසි ම හරසර බුහුමන් ලැබුණු හෙයිනි. සැරියුත් මහ මුගලන් පිළිවෙළින් පත් පිළිවෙත් සරු මහ සඟ ගණ පෙළ අයත් නොකිලිටි පැවිදි බව ඇති කෙනකුන් ගැන ලිවීමත් පිනෙකි. දැන් බසිමු හරි වහරට. (මූර්ධජ) ‘ණ‘ යෙදෙන තැන් ගැන අපි සති කිහිපයක් විමැසුවමු. ඒ ගැන ගැටලු තැන් කිහිපයක් පිළිබඳ වැ ඇතැම් කෙනෙක් පැන ද නැඟූ හ. නිසි තැන දී එ පැන ද විසඳමු. අපේ මහ නාහිමිපාණනට ද උපහාර පිණිස දැන් ‘අග්ගමහා පණ්ඩිත‘ යන්නෙන් ද ‘ණ‘ රීතියක් මතු කැර ගනිමු.

‘අග්ගමහා‘ බව මඳක් පසකට කොට ‘පණ්ඩිත‘ යන්න ම ගනිමු. මෙහි මුල ‘ප‘ ද අග ‘ත‘ ද ඉවත් කළ විට ‘ණ්ඩි‘ යන අක්ෂර සංයෝගය ඉතිරි වේ. එහි ද ස්වරය ඉවත් කළ විට ‘ණ්ඩ්‘ යන සංයෝගය ඉතිරි වේ. මෙයින් කියැවෙන්නේ කිමෙක් ද? ‘ඩ්‘ යන්නට පෙර (මූර්ධජ ‘ණ්‘) යෙදෙන බව යි.

එහෙත් ‘ඩ්‘ යන්නට (හෝ එයට ස්වර එක් වැ ඇති වන ඩ, ඩි, ඩු, ඩෙ ආදී අක්ෂරයකට හෝ) පෙර (දන්තජ) ‘න්‘ යෙදුණු තැනක් අප ගේ සම්භාව්‍ය ග්‍රන්ථ ව්‍යවහාරයෙහි නම් දක්නා නො ලැබේ. එහෙයින් ‘ඩ්‘ හෝ එයට ස්වර එකතු වී නිපැදුණු අකුරකට හෝ පෙර (දන්තජ) ‘න්‘ නොයෙදෙන බවත් (මූර්ධජ) ‘ණ‘ ම යෙදෙන බවත් ස්ථිර ව කිය හැකි වේ.

තවත් දුරට කරුණු විමසන විට පෙනෙන්නේ ‘ඩ්‘ පමණක් නො ව, ට්, ඨ්, ඪ් වැනි අක්ෂර ද ඒ හා එසේ එකතු වැ නිපන් අක්ෂර ද මුලින් ‘ණ්‘ යනු ම යෙදෙන බවයි. එය රීතියක් කොට සලකන කල්හි මූර්ධජ අක්ෂරයකට පෙර යෙදෙන නාසික්‍ය ව්‍යඤ්ජන අක්ෂරය නම් ‘ණ්‘ යැයි කියනු ලැබේ. ඍ, ර, ළ, ෂ යනු ද මූර්ධජ අක්ෂර යි එයට පෙර නො ව පසු ව ණ යෙදෙන සැටි කලින් කිහිප විටක් විමසනු ලැබිණ. දැන් බලමු යට කී රීතියට නිදසුන් වදන් කීපයක්.

කණ්ට (කටු)

කණ්ඨ (උගුර)

ඛණ්ඩ (කඩ, කොටස්)

ගණ්ඨි (ගැට)

භාණ්ඩ (බඩුව)

තුණ්ඩ (තුඩු/ තුඩ)

කණ්ණ (කර්ණ)

වණ්ණ (වර්ණ)

ආදිය එයට මනා නිදසුන් වේ. මෙ බඳු නිදසුන් මනා වැ විමසන කල, මේ රීතිය බෙහෙවින් යෙදෙනුයේ සංස්කෘත පාලි, තත්සමල බව පෙනේ. සිංහලයෙහි යෙදෙන දෙමළ වදන්වල ද මෙසේ ම ‘ණ්‘ යෙදේ. නිදසුන් මෙසේ ය.

ආණ්ඩු

ගුණ්ඩු

සණ්ඩු

කණ්ණාඩි

කණ්ණඩ

දැන් මෙ කී කරුණු විමැසුම් නුවණින් සලකන්නකුට පැනයක් ඇති විය හැකි යි. සංස්කෘත, පාලි, දෙමළ ආදී ප්‍රාචීන (පෙරදිග) භාෂාවල වචන යට කී ලෙසින් ලියැවේ නම් ඉංගිරිසි ආදී ප්‍රතිචීන (අවරදිග) භාෂාවලින් පැමිණ සිංහලයේ යෙදෙන වදන්හි මේ රීතිය මෙසේ ම යෙදේ ද යනු යි.

විධියට හෙවත් රීතියට අනුව නම් එ සේ යෙදිය යුතු ය. සැබැවින් ම මෙහි පදනම නම් උච්චාරණ විධියෙකි.

මූර්ධජ (තල්ල මුඳුනින් උපදින) අක්ෂරයනට පෙර වෙනත් තැනෙකින් උපදින නාසික්‍යයක් කීම සඳහා හැඩ ගැසීම දිවට මහත් අපහසුවෙකි. යම් වර්ෂයකට අයත් අක්ෂරයකට පෙර නාසික්‍ය අක්ෂරයක් යෙදේ නම් එය ඒ වර්ගයේ ම නාසික්‍යයක් වනුයේ එ හෙයිනි.

දැන් නම් මේ රීතිය උච්චාරණයේ දී එසේ ම නො යෙදේ. (දන්තජ) න, (මූර්ධජ) ණ යැයි දෙකක් වර්තමාන සිංහලයෝ නිවැරැදි වැ උච්චාරණය නො කරති. එ දෙක ම වෙනුවට දත් වැටියට මඳක් ඉහළින් දිවෙහි තුඩ ගාවා එක් ‘න්‘ හෝ ‘ණ්‘ හෝ ශබ්දයෙහි ඔවුන් උච්චාරණ කරනුයේ අක්ෂර උච්චාරණයත් අක්ෂර ලේඛනයත් එ තැන දී එකට නො යයි.

උච්චාරණ විධි නො සලකා බොහෝ දෙනකු බටහිර බසෙකින් ආ වදන් ලිවීමේ දී මූර්ධජ අක්ෂරවලට පෙර දන්තජ නාසික්‍යය යොදන බව පෙනේ. නිදසුන් ලෙස

ලන්ඩන්

කැන්ටීන් (කැන්ටිම)

සන්ටෙල්

රැන්ඩම්

ලින්ටන්

ආදිය දැක්විය හැකි ය. මෙ බඳු තන්හි දී කුමක් කරමු ද? විධියට අනුකූල ලෙසට ලියමු ද? නැත්නම් වහරේ වැඩි දෙනකු ලියන විදියට ලියන්නට දෙමු ද? මතු වරෙක දී එය විමසා බලමු!

Comments