සිතුවමෙන් මිනිසුන්ට කතා කරන එස්. එච්. සරත් | සිළුමිණ

සිතුවමෙන් මිනිසුන්ට කතා කරන එස්. එච්. සරත්

මෙ රට සිතුවම් කලාවේ නමක් රැඳවු ප්‍රවීණ චිත්‍රශිල්පි එච්. එස්. සරත්ගේ චිත්‍ර ප්‍රදර්ශනයක් මේ දිනවල අංක 18ඒ, සරසවි උද්‍යානය, නාවල පාර, නුගේගොඩ ආර්ට් ගැලරි හිදී පැවැත් වේ. මෙම ප්‍රදර්ශනය මේ මස 31 දින දක්වා එම ස්ථානයේදී පැවැත්වේ. 1968 වසරේදී රජයේ කලායතනය එහෙමත් නැත්නම් හේවුඩ් එකට චිත්‍ර ශිල්පය ඉගෙන ගැනීම සඳහා ඇතුළත් වූ සරත් ට බොහෝ ප්‍රවීණයන් ගෙන් ගුරහරුකම් ලබා ගැනීමට හැකි විය. එය ඔහුට බොහෝ වටිනා කාලයක් විය. ඒ අතීතය සිහිපත් කරන සරත් පවසන්නේ මෙවන් තොරතුරුය.

“ අපේ කාලයේ තිස්ස රණසිංහ මහත්මයා, මහගම සේකර මහත්මයා, ස්ටැන්ලි අබේසිංහ ආදී විශිෂ්ට ගුරුවරු හිටියා.අපි බොහෝම හොඳින් ඉගෙනීමේ කටයුතු කළා. .1972 වසරේ තිස්ස රණසිංහ මහත්මයා, හෙන්ද්‍රි නිව්ටන් පෙරේරා මහත්මයා මුල් වෙලා ලයනල් වෙන්ට් එකට මුදල් බැන්දා චිත්‍ර ප්‍රදර්ශනයක් පවත්වන්න. මේ ප්‍රදර්ශනය හොඳින් පැවැත් වුණා. මගේ මුල්ම එක පුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය පැවැත් වුණේ 1974 අවුරුද්දේ. මේ උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස පැමිණියේ මාර්ටින් වික්‍රමසිංහ මහත්මයා. මේ ප්‍රදර්ශනය නැරඹිමට එදා සැලකිය යුතු පිරිසක් පැමිණියා.

70 දශකයේ මැද භාගයේ පටන් සමාජ අසාධාරණයට විවිධ අයුරින් ප්‍රතිචාර දක්වමින් චිත්‍ර නිර්මාණයේ යෙදෙන සරත් ඔහුටම ආවේනික වූ හැඩතල භාවිත කරමින් චිත්‍ර නිර්මාණයේ යෙදෙන්නෙකි. කිසිදු සීමා මායිම් වලට යට නොවී තම සිතැගි පරිදි චිත්‍ර නිර්මාණ කරණයේ යෙදෙන ඔහු ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් වලතමන් කළ සිතුවම් වලට ඉඩක් ලබා ගැනිමට සමත්කම් පෑ ශිල්පියෙකි. එමන්ම ඔහු හා සමකාලින චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් වලට වඩා සරත්ගේ සිතුවම් හාත්පසින්ම වෙනස් ය. මේ වෙනස්කම නිසාම මෙරටදී මෙන්ම පිටරටදි ඔහුගේ සිතුවම් වලට ලැබුණ ඉඩ බොහෝය.

“1979 අවුරුද්දේ මට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණා. ඒ තායිලන්තයේ ශිල්පකෝන් විශ්වවිද්‍යාලයට ඇතුළත්ව ඉගෙනුම ලැබීමට. නමුත් ඊට පෙර සුගතපාල සෙනරත් යාපා මහතා නිර්මාණය කළ පෙම්බර මදු චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කරන්න ලැබුණා. එමෙන්ම බන්දුල විතානගේ, එච්. ඩී. සුගතපාල, සයිමන් නවගත්තේගම, හෙන්ද්‍ර ජයසේන යන අයගේ වේදීකා නාට්‍ය වල කලා අධ්‍යක්ෂණය කරන්න ලැබුණා. මේ කටයතු වින් පසුව තමයි මම විදේශ ගතවෙන්නේ. එක්දහස් නවසිය අසූ ගණන් වලදි යුගෝස්ලියාවේ ප්‍රදර්ශණයක් කරන්න ලැබෙනවා. මට විවිධ නිර්මාණ කරන්න ලැබෙනවා චිත්‍ර විෂය ගැන ගැඹුරින් හදාරන්නත් ලැබෙනවා. චිත්‍රවලට මම බුදුදහම ගොඩක් නැඹුරු කර ගන්නවා මුල් කාලේ ඉදලම. මේ අතර තමයි මම 1981 දී පමණ රූපා සපරමාදු (මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ දුව) සමඟ එක්වි ඇගේ කොග්ගල හෝටලයේ චිත්‍ර ප්‍රදර්ශණයක් කිරීමටත් චිත්‍ර ඇදීමටත් අවස්ථාව ලැබෙන්නේ. මම එහිදි සිතුවමක් විකුණනවා රබර් ගසක කඳුළු නමින් ඇඳපු. එහි මිල රුපියල් 250 යි. ඒ වගේම චන්ද්‍රකා බණ්ඩාරනායක මහත්මිය ලංකාවට පැමිණි අලුත මගේ චිත්‍රයක් මිලට ගන්නවා. ඒ කාලේ චිත්‍ර තරගයකින් දින්නාම රුපියල් 350 ක් වගේ මිලක් ලැබෙන්නේ.

ඔහු යට ගියාව පිළිබඳ සිහිපත් කරන්නේ සතුටිනි.

සරත්ගේ මව චාර්ලිනා රුද්‍රගු ජයවීරය. ව්‍යාපාරිකයෙකු වූ ඔහුගේ පියා සෙල්ලා හැන්දිගේ ගුණපාලය.

මාතර වැලිගම උපන් සරත් ඔහු පවුලේ දෙවැනියාය. ඔහුට වැඩිමල් සොයුරියක, මෙන්ම බාල සොයුරෙකු හා සොයුරියන් දෙදෙනෙකි. මාතර වැලිගම ශ්‍රී සුමංගල මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ එකල සිටම වැඩියෙන්ම ප්‍රියතාවයක් දක්වන්නේ චිත්‍ර විෂයටය. පාසල් වියේදී දහඅටෙන් පහළ සිතුවම් තරගයකදී තමන් ඇදි සිතුවමකට ජයග්‍රහණයක් ලැබුණ අයුරු තවමත් ඔහුට මතකය.

ඔහු පැමිණි ගමන බොහෝ වෙහෙසකරය. නමුදු සිතුවමට ඇති ඇල්ම, හැකියාව මෙන්ම ඕනෑකම නිසා ඔහුට ඒ ගමනේ වෙහෙසකර බවක් නොදැනිනි. හැමවිටම කරන දේ නිවැරදිව කරන්නට උත්සාහ දැරූ ඔහු අද තමන් පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරි බලා සතුටු වන්නේය. නමුදු මේ පැමිණි ගමනේදී ඔහුගේ සිත රිඳුණු තැන් ද නැතිවා නොවේ. එහෙත් ඒ වෙනුවෙන් නිහඬව සිටියා හැරෙන්නට ඔහු මෙතෙක් කළ දෙයක් නැත.

අතීතයේ දවසක සරත් විසින් ඇදි සිතුවමක් අදටත් ජිනිවා මුලස්ථානයේ බිත්තියක තිබියදී මෙරට දී ඔහු මහත් වෑයමෙන් පාසල් දරුවන් ගුරුවරුන් ආදී පිරිසකගේ දායකත්වයෙන් ඇදී සිතුවමක් මකා දමා තිබීම කනගාටුවට කරුණකි. ස්ථානය පුස්තකාල සේවා මණ්ඩලයයි. කලක් තිස්සේ එහි බිත්තියක තිබු සිතුවම අද එතැනින් ඉවත් කර තිබීම කනගාටුවට කරුණකි.

“මම ඇඳි සිතුවම් අදත් කොමර්ෂල් බැංකුවේ තියෙනවා. අපේ රටේ බොහෝ තැන වල මගේ නිර්මාණ තියෙනවා. ඒ වගේම මම විදේශ රටවල බොහෝ වාර ගණනක් ප්‍රදර්ශන පවත්වා තිබෙනවා. ජිනිවා මුලස්ථානයේ අදටත් මා ඇදි සිතුවමක් තිබෙනවා. 1985 වසරේ මට පුස්තකාල සේවා මණ්ඩලයේ බිත්තියක සිතුවමක් අඳින්න දුන්නා. මම මෙයට පාසල් ගුරුවරු. පාසල් දරුවෝ සහභාගි කරගෙන සිතුවමක් නිර්මාණය කළා. එයට බොහෝ ඇගයිම් ලැබුණා. නමුත් පසුගිය රජය කාලේ මේ බිත්ති සංසරක්ෂණය කරනවා කියලා ඒ චිත්‍රය මුළුමනින්ම එතැනින් ඉවත් කළා. මට බොහෝ අය කිව්වා ඒ ගැන ජනාධිපතිතුමාට, අගමැතිතුමාට කියන්න කියලා. නමුත් මම කාටවත් කියන්න ගියේ නැහැ. එහෙත් මම තීරණය කළා කිසිම දවසක රජයකට සම්බන්ධවී නැවත චිත්‍ර නිර්මාණය කරන්නේ නැහැ කියලා. මම ඒ කාලේ සිටම සිතුවම් නිර්මාණයේදී බුදුදහම සම්බන්ධ කරගත්තා. මම විවිධ ආයතන වල සේවය කර තිබෙනවා. අදටත් මම සිතුවම් අඳිනවා. මේ දිනවල පවත්වන ප්‍රදර්ශන‍යෙන් මම අපමණ සතුටක් ලබනවා. ඒ හැරුණ විට සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනවා.

සරත්ගේ බිරිද චේකා ප්‍රේමසිරි නිතිඥවරියක ලෙස කටයුතු කරන අතර දියණිය කුෂ්ලාණි හා පුතු අකිල විදේශයන්හී ජීවත් වෙති.

ඡායාරූප - සුදත් මලවීර

Comments