සතියේ කල දවස | සිළුමිණ

සතියේ කල දවස

මේෂ - ගැටලු රැසක්

මේෂ ලග්නයට අනුව ඔබට මෙම සතිය දැඩි ප්‍රවේශම අවශ්‍යයි. චන්ද්‍රයා 06, 07, 08, 09 යන ස්ථාන පසු කරමින් යන ගමනේදී බාධක රැසක් පැමිණෙන සතියකි. තම ආර්ථිකයට මෙන් ම ගෘහ ජීවිතයට ගැටලු පැමිණෙනු ඇත. තමා එදිනෙදා කරගෙන ආ ව්‍යාපාර වෙත් නම් ඒවාට බාධා එළඹේ. පිට පාර්ශ්වයෙන් පැමිණෙන අවහිර කිරීම් ද සහිතයි. තුනටියේ යටි බඩේ ආපදා ඒ අතර වෙයි.

• අය - 04, වැය - 07, ජය අංකය -03, ජය වර්ණය - නිල්, සුබ දවස - බ්‍රහස්පතින්දා


වෘෂභ - නව ආයෝජන

වෘෂභ ලග්නයට අනුව ඔබට දරුවකු පිළිබඳ තිබූ බලාපොරොත්තුව ඉටුවේ. නමුත් සතිය මැද භාගය වනවිට එම දරුවන් පිළිබඳ දැඩි කැපවීම් කිරීමට සිදුවේ. ගෘහ ජීවිතය කාර්යය බහුල වන අතර තම රාජකාරි කටයුතු යථා පරිදි කරගෙන යාමට නොහැකි වන අන්දමේ උවදුරු පැමිණේ. නමුත් තම ආර්ථිකයට නව මං පෙත් එළි පෙහෙළි වන සතියකි. නව ආයෝජනයකට අත ගසයි. කුස ආශ්‍රිත අසනීප බහුලවේ.

• අය - 04, වැය - 05, ජය අංකය - 02, ජය වර්ණය - ළා නිල්, සුබ දවස - බදාදා


මිථුන - දුන් ණය මුදලක් ලැබේ

මිථුන ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබයි. චන්ද්‍රයා 04, 05, 06, 07 යන ස්ථානවල ගමන් කිරීමට අනුව නව රැකියා වාසනාව නව ආයෝජනයකට ඉඩකඩ සැලසේ. පිටරට ගමන් මතු කෙරේ. තම දරුවකු නිසා එදිනෙදා කටයුතු බාධා කිරීම් සහිත වෙයි. ආර්ථිකයට කිසියම් අවහිරතා පැනනැගුණ ද තමා කිසිවකුට දී තිබූ ණය මුදලක් යළි තමා අතට පත්වීම තුළින් බොහෝ අතපසුවී තිබූ කටයුතු රැසක් නිම කර ගැනීමට හැකිවේ.

• අය - 08, වැය - 06, ජය අංකය - 05, ජය වර්ණය - කහ, සුබ දවස - බදාදා


කටක - නව නිවාස පල

කටක ලග්නයට අනුව ඔබට සුබයි. නව ඉඩමක වාසනාව පෑදේ. කලක් පැවැති නඩුවක් තමාට වාසි සහගත ලෙස තීන්දුව ලැබෙන සතියකි. එහෙත් සතිය අවසානයේ ශල්‍ය කර්ම වැනි දේ නිසා පීඩා විඳීමට සිදුවේ. නව නිවසක පදිංචියට යාමට වාසනාව පවතී. එදිනෙදා ජීවිතයේ කාර්යය බහුලතාව නිසා තමාට වාසියට තිබූ ව්‍යාපාර අවාසි සහගත තත්ත්වයට පත්වන ලකුණු පෙනේ. 

අය - 08, වැය - 07, ජය අංකය - 04, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - අඟහරුවාදා


සිංහ - ලොතරැයි ජය

සිංහ ලග්නයට අනුව මෙම සතියේ චන්ද්‍රයා 02, 03, 04, 05 යන ස්ථානවල පසුකොට ගමන් කිරීම නිසා සතිය ආරම්භයේ ආර්ථික ප්‍රතිලාභයකට හේතුයි. ලොතරැයි ජය හිමිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. තමා කරගෙන ආ නිවාස කටයුතු සාර්ථකව නිමකර ගැනීමට හැකිවනු ඇත. පපුවේ අසනීප පවතින අය ප්‍රවේශම් විය යුතු සතියකි. හදිසි හෘදයාබාධ පැමිණිය හැකිය. අධික සීතල සුබ නැත. නමුත් තමාට අසල්වාසී පිරිසගේ ඇප උපකාර නොඅඩුව ලැබෙනු ඇත.

• අය - 05, වැය - 03, ජය අංකය - 08, ජය වර්ණය - රෝස, සුබ දවස - සිකුරාදා


කන්‍යා - සිතට සහනය

කන්‍යා ලග්නයට අනුව චන්ද්‍රයා 01, 02, 03, 04 යන ස්ථාන පසුකර යාම ඔබට සුබ ගෙන දෙන සතියකි. යහපත් සිතුවිලි සිතට එන කලාකාමී අදහස් උදහස් මතු කෙරෙන අතර ස්ව උත්සාහයෙන් කිසියම් ආර්ථික වාසියක් උදාකරගත හැකි වනු පෙනේ. තමාට හිමි වීමට තිබූ ඉඩමක අයිතිය පිටස්තර අයකු වෙතට යාමට බොහෝ දුරට ඉඩ ඇති නිසා කල්පනාකාරී වන්න සාමූහික ගිවිසුමක් වැනි දෙයකට අත්සන් තැබීම තමාට අවාසි සහගත විය හැක.

• අය - 07, වැය - 05, ජය අංකය - 10, ජය වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා


තුලා - වෘත්තීය ජයග්‍රහණ

තුලා ලග්නයට අනුව මෙම සතිය ඔබට පිටරට ගමනකට තිබූ බාධා ඉවත්වේ. චන්ද්‍රයා 12, 01, 02, 03 යන ස්ථානවල ගමන් කිරීම නිසා වැය පැත්ත ඉහළ යන අතර බොහෝ විට කිසියම් ව්‍යාපාරයකට අතගැසීමට හේතුවනු පෙනේ. තමාට තම වෘත්තීය මට්ටමේ ජයග්‍රහණයකට ද හේතුයි. දරුවකුගේ කටයුතු වෙනුවෙන් විශාල කැපවීමක් සිදුකිරීමට වන අතර තම ඥාති පාර්ශ්වයෙන් විවිධ බාධා කිරීම් ද එළඹෙනු පෙනේ. උගුරේ ආපදා තෛරොයිඩ් ආපදා පවතින අය ප්‍රවේශම් විය යුතුයි.

• අය - 04, වැය - 08, ජය අංකය - 07, ජය වර්ණය - ලාදම්, සුබ දවස - සෙනසුරාදා


වෘශ්චික - ආර්ථික වාසි

වෘශ්චික ලග්නයට අනුව මෙම සතිය ඔබට හදිසි ආර්ථික ලැබීමකට හේතුයි. වසරක් දෙකක් පුරා කරගෙන ආ කිසියම් ව්‍යාපාරික කටයුත්තකින් ලැබීමට තිබූ මුදලක් එකට එකතුවී ලැබෙන සතියකි. තමාගේ ව්‍යාපාරයක් වෙත්නම් එයට මෙම ලැබීම බොහෝ වාසිදායක වෙයි. මගතොට හමුවන අමුත්තකු නිසා ද තමාට තම ව්‍යාපාරික කටයුතු සාර්ථක කර ගැනීමට ඉඩ ප්‍රස්තාව ලැබේ. අධ්‍යාපනය හදාරන අයකු නම් කාර්ය බහුල සතියකි.

• අය - 09, වැය - 06, ජය අංකය - 09, ජය වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා


ධනු - දූ දරුවන්ගේ ජයග්‍රහණ

ධනු ලග්නයට අනුව මෙම සතිය ඔබ ජීවිතයේ සුවිශේෂී සතියකි. වෘත්තීය මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිවන අතර තමාට තම රැකියා ස්ථානයේ කලක සිට පැවති සතුරු උවදුරක් දුරුවනු ඇත. තම වාසියට කැරෙන කටයුතුවල නිරතවීමට හැකිවන අතර තම දූ දරුවන් නිසා ද ජයග්‍රහණ හිමි වෙයි. පිටරටකට යාමට බලාපොරොත්තුව සිටි දරුවකුට එම වාසනාව පෑදෙන සතියක් වන අතර ආගමික කටයුත්තකට ද යොමුවනු ඇත.

• අය - 04, වැය - 06, ජය අංකය - 05, ජය වර්ණය - රෝස, සුබ දවස - සිකුරාදා


මකර - සමාජයෙන් පැසසුම්

මකර ලග්නයට අනුව චන්ද්‍රයා 09,10,11,12 යන ස්ථානවල ගමන ඔබට සුබදායක වෙයි. තමාට පෙර පිං මහිමය නිසා ද එදිනෙදා ආගමික සමාජීය කටයුතු රැසක ජයග්‍රහණ හිමිවේ. සමාජයේ කැපී පෙනෙන කටයුතුවල නිරතවීමට ඔබට හැකියාව උදාවන අතර පැසසුම් ගලා එනු ඇත. විවිධ සමාජ කටයුතු බහුලවීම නිසා වෘත්තීය මට්ටමේ බාධාවීම් පැමිණිය ද වගකිවයුතු අයගේ ප්‍රසාදය නිසා එම බාධා ලිහිල්වනු ඇත.

• අය - 06, වැය - 04, ජය අංකය - 08, ජය වර්ණය - තැඹිලි, සුබ දවස - සෙනසුරාදා


කුම්භ - වැයපස ඉහළ යයි

කුම්භ ලග්නයට අනුව මෙම සතියේ ඔබ දැඩි ලෙස ප්‍රවේශම් විය යුතුයි. තුනටිය යටිබඩ ආශ්‍රිත උවදුරු වැඩිපුර දැනෙන්නට පටන් ගනී. ආර්ථික වශයෙන් වැය වන තත්ත්වය වැඩි වන අතර ලැබීම් අවම වනු ඇත. උපරිම සෞඛ්‍යාරක්ෂිත වීම වැදගත්ය. තම දරු මුණුපුරන් නිසා ද එදිනෙදා ගෘහ ජීවිතයේ කටයුතු අඩාල වනු ඇත. වැය ශීර්ෂය ද ඉහළ යනු ඇත.

• අය - 04, වැය - 08, ජය අංකය - 04, ජය වර්ණය - රතු, සුබ දවස - ඉරිදා


මීන - නිවසේ උත්සවශ්‍රීයක්

මීන ලග්නයට අනුව චන්ද්‍රයා 07, 08, 09, 10 යන ස්ථානවල ගමන් කිරීම ඔබට සුබදායක වෙයි. අවිවාහක අයට මංගලයෝග ද විවාහ වී ගැටලුවලට මුහුණදී සිටි අයගේ ගැටලු නිරාකරණයවේ. තම විවාහක සහකරු හෝ සහකාරිය අතර හොඳ හිත ආරක්ෂා වනු ඇත. නව ආර්ථික ප්‍රතිලාභ අතර කලක් පාඩුවට ගෙන ගිය ව්‍යාපාරයක ලාභයක් සතිය අගදී පෙන්වනු ඇත. නිවසේ උත්සව ශ්‍රීයත් උසුලනු පෙනේ.

• අය - 08, වැය - 06, ජය අංකය - 09, ජය වර්ණය - දුඹුරු, සුබ දවස - සඳුදා

Comments