මාර්කේස් සංකථන | සිළුමිණ

මාර්කේස් සංකථන

මාර්කේස් සංකථන’ ලෙස ආනන්ද අමරසිරි විසින් පරිවර්තනය කරනු ලැබ ඇති The Fragrance of Guava සහ ඔහුගේ සමීපතම මිතුරෙකු වන Plinio Apuleyo Mendoza අතර දීර්ඝ සංවාද ඇසුරින් ලියැවුණු කෘතියකි. 1982 දී ප්‍රකාශයට පත් කරන ලද මෙය ගාර්ෂියා මාර්කේස්ගේ මුල් ළමාවියේ සිට ප්‍රසිද්ධ පුද්ගලයින් හමුවීම දක්වා ඔහුගේ ජීවිතය විස්තර කරයි. ස්පාඤ්ඤ භාෂාවෙන් කෘතියේ නම El Olor de la Guayaba ය. එහි අරුත ‘පේර සුවඳ’ ය. කෙසේ වෙතත්, වචනාර්ථයෙන් ගත් කළ වෙනත් නමක් යෙදිය නොහැකි බව ද පැහැදිලි ය.

මාකේස් යනු 1982 වසරේ සාහිත්‍යය පිළිබඳ නො‍ෙබල් ත්‍යාගය දිනාගත් ලේඛකයා බව විශ්ව සාහිත්‍යය කියවන පාඨකයෝ දනිති. ස්පාඤ්ඤ බසින් ලියන ඔශු පසුගිය සියවස තුළ වඩාත්ම සම්භාවනාවට පාත්‍ර වු ලතින් අමෙරිකානු ලේඛකයා ලෙස සඳහන් ය. සිංහල පාඨක අවධානය දිනාගත් සියක් වසක හුදකලාව, කොලරා කාලේ ආලේ , කරුමක්කාර කතාවක් සහ කර්නල් සහ එරන්දිරා යන කෘතිවල කර්තෘ ඔහු ය. මාකේස් ගැන කතා කරනවිට නොවරදවාම සඳහන් කෙරෙන පදයකි ‘ඉන්ද්‍රජාලික යථාර්ථවාදය’ (Magic Realism). සරල වශයෙන් මෙයින් කියැවෙන්නේ එදිනෙදා සිදුවීම්වලට මැජික් බද්ධ කිරීමයි.

කොළාම්බියාවේ මැග්ඩලිනා දිස්ත්‍රික්කයේ අරකටකා හි වැසියකු වු මාර්කේස් සහ එරට බොසාකා දිස්ත්‍රික්යේ තුන්ජා හි වැසියකු වූ, මෙන්ඩෝසා සිය රටේ අගනුවර වන බොගෝටාහි දී මුණගැසෙන්නේ 1947 දී ය. එවිට ඔවුන් දෙනොගේ වයස් පිළිවෙළින් අවුරුදු 21 සහ 16 කි. වසර හතකට පසු ඔවුහු පැරිසියේදී හමුවූහ. මේ හමුව මාකේස්ට තමාගේ හොඳම මිතුරා මුණගැසීම විය. ඇත්තටම මෙන්ඩෝසා බිතු සිතුවමක් වැනි ව පිටු නොපෑ අතිශය දුෂ්කර දවස්වලදී මාකේස්ට උදව් කළ මිතුරෙකු බව පැවසේ. මැන්ඩෝසා ඔහු පෝෂණය කළේය, රැකියාවක් ලබා දුන්නේය, මුදල් අවශ්‍යතා ද පිරිමැසී ය. ඔහුගේ අත්පිටපත් කියවා, ආරක්ෂා කළේය. ‘එමෙන්ම ඔහු (මෙන්ඩෝසා) මට ඔහු වෙනුවෙන් කළ හැකි දේට වඩා වැඩි මුදලක් ආපසු ගෙවා ඇත’යි මාකේස් පැවසූ බව සඳහන් ය.

ඔහුගේ හොඳම මිතුරා ගැන පොතක් ලිවීමට මෙන්ඩෝසාට යෝජනා කරන ලද්දේ මෙක්සිකෝ නුවර පළවන ‘එල් යුනිවර්සල්’ නම් පත්‍රයේ 2012 ජුනි 24 කතුවැකියෙනි. මෙන්ඩෝසා මේ අදහස මාර්කේස් සමඟ සාකච්ඡා කළ අතර එය පලදායක විය. ‘එය විශිෂ්ට අදහසක්, මේ ආකාරයෙන් මට සෑම සම්මුඛ සාකච්ඡාවකදීම සියල්ල නැවත කියන්නට සිදු නොවනු ඇත.’

මාධ්‍ය හමුවක දීි මෙන්ඩෝසා පවසා ඇත්තේ මේ පොත නොබෙල් ත්‍යාගලාභියා සමඟ එක් සම්මුඛ සාකච්ඡාවක් මත පදනම් වූවක් නොවන බවයි: ‘මා ඔහු සමඟ වසර 40 ක් කතා කර ඇති අතර, ඔහු මට පැවසූ සියල්ල ලියා ඇත. මම ඔහුට ඌණපූරණ සඳහා අත්පිටපත යැව්වෙමි’. ජෙරල්ඩ් මාටින් නම් ලේඛකයා විසින් ලියන ලද මාකේස්ගේ චරිතාපදානයට අනුව, ‘පේර සුවඳ’ යනු දේශපාලනයේ සිට ඇසරු කළ කාන්තාවන් දක්වා මාකේස්ගේ මුළු ජීවිතය සහ ඔහුගේ මත විස්තර කරන පරිපූර්ණ සංවාදයකි.

පරිච්ඡේද දහහතරකින් මේ කෘතිය සමන්විත වේ. 1. පවුල් පසුබිම හා පරපුර 2. පවුල 3. ඔහුගේ ලේඛන කලාව 4. අධ්‍යාපනය 5. කියැවීම් හා ලැබූ ආභාසයන් 6. නිර්මාණ 7. බලාපොරොත්තු සහගතව බලා හිඳීම 8. හුදෙකලාවේ සියවස 9. ආඥාදායකයාගේ සරත් කාලය 10. වර්තමානය 11. දේශපාලනය 12. ගැහැනු 13. මිත්‍යා විශ්වාස, උන්මාද හා රුචිකම් 14. කීර්තිය හා කීර්තිමත් පුද්ගලයෝ යනු ඒවායේ ශීර්ෂ වේ.

සංවාදවල දී මාකේස්ගේ පෞද්ගලික ජීවිතය, මුතුන් මිත්තන්, ඔහුගේ උපන් ගම වන අරකටකා, ඔහුගේ ආච්චිලා සීයලා, ඔහුගේ කෘතිවලට බලපෑ සිදුවීම් කිහිපයක්, ඔහුගේ මිත්තණිය මියගිය ඥාතීන් සමඟ කතා කළ ආකාරය සහ ඔහුගේ සීයාගේ මරණය පිළිබඳ විස්තර කරයි. සිය කෘතිවල ඇතැම් චරිත තමාගේ ඇතැම් ඥාතීන්ට සමානකම් දක්වන ආකාරය ගැන මෙන්ඩෝසාගේ විමසිම් අනුව මාකේස් පැහැදිලි කරයි.

මෙහි එන ලේඛන කලාව නම් පරිච්ඡෙදයේ මාකේස්ගේ ලේඛන චර්යාව, ඔහුගේ නිර්මාණවලට බලපෑ සිදුවීම් හා චරිත සහ ඔහුගේ නවකතාවල ඇති සමහර සංසිද්ධි සැබෑ සිදුවීම් මත පදනම් වූ ආකාරය ගැන විස්තර එයි. මාකේස් ම සිය කෘති සමාලෝචනය ද කරනු පෙනේ. ඔහුගේ පළමු නවකතාව වන Leaf Storm සිට One Hundred Years of Solitude දක්වා වසර පහළොවක කාලයක් කිසියම් කෘතියකට යම් පිළිගැනීමක් ලැබෙන තෙක් බලා සිටීමට සිදුවීම ගැන ද සඳහන් ය.

පොත ගාර්සියා මාකේස්ගේ පොදු ජීවිතය, ඔහුගේ ජීවිතය සලකුණු කළ කාන්තාවන්, ඔහුගේ දේශපාලන රුචිඅරුචි සහ ඔහුගේ ජීවිත කාලය තුළ ඔහුට හමු වූ ප්‍රසිද්ධ පුද්ගලයින් ගැන විස්තර ඉදිරිපත් කරයි. මාකේස්ට බොහෝ දෙනා ඇසුරු කරන්නට අවස්ථාව ලැබී ඇතත් තමාට හමුවූ වඩාත් සිත්ගන්නා පුද්ගලයා කවුද‘යි විමසන ලදුව ඔහු දුන් පිළිතුර: ‘ඒ මගේ බිරිඳයි.’ යන්න ය.

මාකේස් ආගන්තුක නොවන සිංහල පාඨකයාට එක දිගට කියවාගෙන යා හැකි මේ කෘතිය බොහෝ ප්‍රයෝජනවත් වනු ඇත.

මෙන්ඩෝසා: ඔබ මන:කල්පිත ලෝකය පිළිකුල් කරනවා ඇයි ඒ?

පරිකල්පනය කියන්නේ හුදෙක් යථාර්ථය නිපැදවීම සඳහා යොදා ගන්නා උපකරණයක් බවත්, සැම විටම නිර්මාණයේ උල්පත අවසන් වශයෙන් යථාර්ථය බවත් මා විශ්වාස කරන නිසා. කිසිදු යථාර්ථ පදනමක් නැති මු`ඵමණින් ම සරල, වෝල්ට් ඩිස්නි ශෛලියේ අලුත් නිපැදවීමක් කියන අර්ථයෙන් ගන්නා විට මන:කල්පිතය (fantacy) අන් සියලු දේට ම වඩා පිළිකුල් සහගතයි. ළමයින් සඳහා කතන්දර පොතක් ලිවීමේ උනන්දුව ඇති ව සිටි එක් අවස්ථාවක මම The Sea of Lost Time කියන කතාන්තරයේ දළ සටහනක් ලියා ඔබට එවුවා මතක ඇති.

ඔබට හුරු පුරුදු අවංක භාවයෙන් යුතු ව ඔබ එයට කැමැති නොවූ බව කීවා. මන:කල්පිත දේවලට ඔබ නොකැමැති වීම තුළ ගැටලුව රැඳී ඇති බව ඔබ කල්පනා කළා. ඒ තර්ක කිරීමෙන් මා විනාශ වි ගියා. මොකද කීවොත් ළමයිනුත් මන:කල්පිතයට අකැමැති වීම නිසා. ඔය තත්ත්ව දෙක අතරේ ඇති වෙනස (ෆැන්ටසියත් යථාර්ථයත් අතර) මිනිසකුත්, ඉන්ද්‍රජාල කථකයකු අත තියෙන පඹයකුත් අතර ඇති වෙනසට සමාන වනවා. (48 පිට)

Comments