ප්‍රශ්න ඇසීමෙන් හැඩ වැඩ වෙන මාධ්‍ය සන්දේශ | සිළුමිණ

ප්‍රශ්න ඇසීමෙන් හැඩ වැඩ වෙන මාධ්‍ය සන්දේශ

“ඔබ හිතන්නේ මම දස්කම් දක්වන සන්නිවේදකයෙක් කියලද?“ යන ප්‍රශ්නය නැඟුවේ ඩේවිඩ් ෆ්රොස් (David Frost) නමින් අප දන්නා හඳුනන සන්නිවේදන ලෝකයේ දැවැන්තයෙකි. එදිනෙදා ජීවිතයේදී තමන්ට හමුවන අය සමඟ විවිධාකාර සාකච්ඡා පවත්වන ෆ්රොස්ට් හා සමඟ කතාබහට එක්වූයේ ඔහු හා සමානම තවත් සන්නිවේදකයකු වූ ඩේවිඩ් ඩින්ග්ල්බ් (David Dingleby) ය. ඔවුන් දෙදෙනා කතාබහ කරන ආකාරය දැක බලා ගැනීමට ඔවුන් දෙදෙනාගේ ම රසික හා ග්‍රාහක පරපුරට අත් වූයේ අසීමිත සතුටකි.

ෆ්රොස්ට් වෙත යොමු කරන ලද පළමු ප්‍රශ්නය වූයේ “ඔබ කොහොමද මාධ්‍ය ලෝකයට ඇතුළු වුණේ?“ (How did you enter the media world?) යන්න ය. ඔහු මුලින් ම හිස වනා මඳහසක් පෑ බව අපට මතකය. ඔහු පටන් ගත්තේ කෙසේ ද?

“මමයි හරි නම් ඔය ප්‍රශ්නය ඔබෙන් අහන්න ඕනෑ. ඒත් ඔබ මඟෙන් දැන් අහන නිසා ඒ ප්‍රශ්නයට උත්තර දෙන්නේ කොහොමද? යන්න මට කල්පනා වුණා. මම පුංචි කාලේ මගෙන් හුඟ දෙනෙක් ප්‍රශ්න අහනවා. එහි මූලිකයා තමයි මගේ තාත්තා. මම ඒ ප්‍රශ්නවලට උත්තර දුන්නේ කොහොමද? කියන කාරණය මට මතක් කරගන්න වෙනවා. මම එක උත්තරයක් දුන්නා ම මගේ තාත්තා මගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා. මේක මට සෙල්ලමක් වුණා. කෙතරම් බරපතළ සෙල්ලමක් වුණාද කිව්වොත්, මමත් පෙරළා ප්‍රශ්න අහන කෙනෙක් බවට පත් වුණා. මොනවද මම අහපු ප්‍රශ්න? සාමාන්‍ය ප්‍රශ්න කීපයක් අපි නිතරම අහනවා නේද? ප්‍රශ්න අහන්නේ යමක් දැන ගැනීමටයි. අපට ඇහෙන දේ කුමක්ද? අපට පෙනෙන දේ මොනවාද? අපට හිතෙන්නේ මොනවාද? අප කතාබහ කරන්නේ මොනවාද? මොකක්ද ඒ ශබ්දය? උත්තරයක් ලැබෙන්නත් පුළුවන්. නොලැබෙන්නත් පුළුවන්. ඍතු හට ගත්තේ කොහොමද? මේ සිසිර ඍතුව. ඒ ඍතුව ගෙවී ගිහින් ඊළඟට එන්නේ වසන්ත ඍතුව! ඒ ඍතුවත් ගෙවිලා යනවා. ඊළඟට අප තුළ නිසර්ගයක් පවතිනවා යමක් දැන ගැනීමේ ඇල්ම. ඒ ඇල්ම සමහරුන්ගෙ වැඩියි. තවත් සමහරුන්ගෙ අඩුයි. ඒ ඇල්ම නැති කෙනෙක් නැතැයි කීමට පුළුවන්ද?

අප අහන බොහෝ ප්‍රශ්නවල බාගදා ලැබෙන්නේ හරි හෝ නිවැරැදි හෝ යනුවෙන් නිගමනය කළ හැකි පිළිතුරු ය. කීම අපහසු යි. ඒ නිසා අපි ඊළඟට කරන්නේ තවත් ප්‍රශ්නයක් අහනවා. ඒකටත් නිසි ලෙස පිළිතුරු නොලැබුණොත් තව තවත් ප්‍රශ්න අහනවා. මේ ප්‍රශ්න ඇසීමේ කෙළවරක් පේන්නේ නෑ. ප්‍රශ්න ඇසීමේ වරප්‍රසාදය මාධ්‍යවලින් ඈත් කිරීම කිසිසේත් ම කළ නොහැකි දෙයක්. අපේ රටේ ඉහළ ගණයේ සන්නිවේදකයකු ලෙස සර් වින්ස්ටන් චර්චිල් (Sir Wington Churchill) මහතා ගරු බුහුමන් ලැබුවා. වතාවක් චර්චිල් මහතාගෙන් ගුවන් විදුලි සන්නිවේදකයෙක් ප්‍රශ්නයක් නැඟුවා.

“ඔබ විවිධාකාර යුද වාර්තා ඉදිරිපත් කිරීමෙන් සතුටක් ලබනවාද?“

චර්චිල් මහතා හිනාවෙලා දුන්නු උත්තරය මට මතකයි. මොකක්ද දුන්නේ උත්තරය?

“ඔබ මගේ යුද වාර්තා අසාගෙන සිටීමෙන් සතුටක් ලබනවාද?“

“මට හිතෙනවා, මම එක්තරා ප්‍රමාණයක සතුටක් ලබනවා කියල.“

“ඇයි එක්තරා ප්‍රමාණයක කිව්වේ?“

“මටම වටහා ගන්නට අමාරුයි“

“මට කීමට තියෙන්නේත් ඒ ටිකම තමයි. යුද විවරණකරුවකුගේ කාර්ය භාරය සතුටත්, අසතුටත් අතර දෝලනය වෙනවා. ඒ විතරක් නොවේ. දුකත් සැනසිල්ලත් අතර දෝලනය වෙනවා.“

ඊළඟට ෆ්රොස්ට්ගෙන් අසනු ලැබූ ප්‍රශ්නය කුමක්ද?

“ඔබ ඉදිරිපත් කරන කතාබහ (talk) ප්‍රශ්නවලින් පිරිලා. එය තමයි ඔබේ අනන්‍යතාව (Identity)“

“ඒ අනන්‍යතාව මට විතරක් හිමිවූ දෙයක් නොවේ. ප්‍රශ්න නොඅසා කිසිම කතිකාවක් විධිමත් ලෙස ගොඩනඟා ගැනීම අපහසුයි. මේ නිසා තමයි, ආදි කාලයේ සිටම අපට උගන්වන ප්‍රශ්න කීපයක් තිබෙනවා. මොනවද ඒ ප්‍රශ්න?

කව්ද - Who

කොහේද - Where

කුමක්ද - What

කවදාද - When

කෙසේද - How

මේ ප්‍රශ්න සමඟම තවත් අභිමත ප්‍රශ්න අහන්නට පුළුවන්. ඒත් එය සිද්ධ වෙන්නේ ස්ථානය (Place) හා අවශ්‍යතාවට (Necessity) අනුකූලවයි තමන්ගේ මාධ්‍යය කෙමෙන් හැඩ වැඩවෙන්නේ ඔප් නැන්වෙන්නේ, වර්ණවත් වෙන්නේ, ප්‍රශ්නවලට ලැබෙන ප්‍රතිචාර (Respoase) වලට අනුකූලව බවත් අමතක නොකළ යුතු ය. අප උත්පාදනය කරන හැම යෙදුමක් ම (term) හැම සංකල්පයක්ම (Concept) හැම නිර්වචනයක්ම (definitions), හැම විවරණයක්ම (Commentary) හැම නිගමනයක්ම (Conelusion) රැඳී පවතින්නේ අප සන්නිවේදකයින් වශයෙන් නඟන ප්‍රශ්න මතය. අප අසන ප්‍රශ්නවලට නිසි ලෙසින් ප්‍රතිචාර හෝ පිළිතුරු නොලැබුණොත් සිදුවන්නේ අපේ මාධ්‍ය සන්දේශ (Media Message) ඔප මට්ටම් කර ගැනීම අපහසුවෙන එකයි. මේ නිසා අපේ පැරැන්නන් ඇසූ ප්‍රශ්නම නවතාවයෙන් ඇසීමට සිදුවෙනවා. මට හමුවූ කිසි කෙනෙක් කිසි දාක මට කියල නැහැ, “මගෙන් ප්‍රශ්න අහන්නට එපා“ කියල. ඒ වෙනුවට මට කියල තියෙන්නේ, “මගෙන් ඕනෑ ප්‍රශ්නයක් අහන්න. මට පුළුවන් විදිහට මම ප්‍රතිචාර දක්වන්නම්.“ ඩේවිඩ් ෆ්රොස්ට් නම්වූ සන්නිවේදකයා අපගෙන් සමුගත්තේය සිතිය නොහැකි විය. ඔහු සන්නිවේදකයකු වශයෙන් කිසිදාක විශ්‍රාම ගියේ නැත.

Comments