නවකතා කියවීම යනු ද කලාවකි | සිළුමිණ

නවකතා කියවීම යනු ද කලාවකි

කෘතිය - සන්ධ්‍යානන්දය

කර්තෘ - කිීර්ති වැලිසර

සරසවි ප්‍රකාශනයකි

මිල රු. 550

විමසීම් - 077 0390052

කීර්ති වැලිසරගේ අලුුත්ම නවකතාව වන “සන්ධ්‍යානන්දය” සැටවිය පිරුණ විශ්‍රාමික චරිතයක් වටා ගෙතුණකි. ඔහුගේ නම ආනන්ද ය. කතුවරයාගේ සෙසු නවකතා සමඟ සසඳන විට මෙය අත්දැැකීමක් වශයෙන් මෙන්ම ආඛ්‍යාන රීතිය අතින්ද වෙනස් තැනක පිහිටි නිර්මාණ කාර්යයක් වේ. මෙතෙක් ඔහු විසින් ප්‍රස්තුත නොකර ගන්නා ලද වස්තු විෂයක් මත මෙය නිර්මාණය වී තිබිීම ඊට හේතුවයි.

කතුවර කීර්ති වැලිසර පෙන්වා දෙන අන්දමට පොදු පාඨකයා බොහෝ විට නවකතාවක් තුළින් තමන්ව සොයා යෑමේ උත්සාහයක යෙදේ. මෙය රෝගිී තත්වයක් හා සමාන යැයි පවසන ඔහු ඒ නිසාම තමන්ට තමන්ව දැැකිය හැකි නවකතා හොඳ සහ එසේ දැකිය නොහැකි නම් ඒවා පලක් නැති නවකතා ලෙසටත් වර්ගිීිකරණයක යෙදීමට ඔවුන් පෙලඹෙන බව පවසයි. ඒ ගැන තව දුරටත් අදහස් දක්වමින් “පාඨකයන්ගේ මෙම හැසිරීම හොඳ තත්වයක් නොවේ” යැයි ද පවසන ඔහු “ඊට සාපේක්ෂ්ව මෙහි එන ආනන්ද නම් ප්‍රධාන චරිතය පහළ මැද පාන්තික සමාජයකට අයත් ඒ වගේම සම්මත වීරයකුගේ හැසිරීමක් තබා ඒ අසලින්වත් යන චරිත ස්වභාවයක් ඇත්තෙක් නොවේ.” යනුවෙන්ද පෙන්වා දෙයි. එපමණක් නොව ආනන්ද වෙසෙන සමාජ පන්තියේ පසුබිමෙහි සිටින දේශපාලන හස්තයක් විසින්ද ඔවුන්ව හසුරුවනු ලබන තත්වයක් දැකිය හැක.

මෙම නවකතාවේ තවත් විශේෂත්වයක් වන්නේ එහි එන භාෂාවයි. එය පොදු සම්මත භාෂාවෙන් මෙන්ම කථන බසින්ද භින්න වූ මෙම චරිත හා සමාජ හැසිරීම් නිරූපණය කිරීම සඳහා ප්‍රතිනිර්මාණය කළ බස් වහරක් තමන් මෙහි යොදා ගෙන ඇති බව කතුවරයා පවසයි. උදාහරණයක් හැටියට ඔහුගේ “ගරුඬ මූර්තිය” නවකතාවේ එන වෙනස් බස්වහර ඒ සමාජ දේශපාලන තත්ව මෙන්ම පැරණි ජන ජිීවිතයේ බස් වහර ද නිරූපණය කරන්නකි. ඊට සාපේක්ෂව මෙම නවකතාවේලා නිරූපිත ආනන්ද මෙන්ම සෙසු සමාජීය ප්‍රතිනිර්මාණ වෙනුවෙන් උපයෝගි කොට ගෙන ඇති බස එහි විශේෂත්වය මෙන්ම එහිලා කතුවරයා කොතෙක් සමත් වී ඇත්ද යන්න වෙනම සංවාදයකට ලක්විය යුත්තක් යැයි සිතමි.

“මේ වනාහි පුද්ගලයකුගේ ඛේදවාචකයක් යැයි කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඒත් කෙනෙකුට තමන් ජීවත් වෙන සමාජ සන්දර්භයෙන් එළියට ඇවිත් තනියම විනාශ වෙන්න බෑ. තනියම ජයග්‍රහණය කරන්නත් බෑ. ඒ හැම දෙයක්ම ඔහු ජීවත් වන සමාජ දේශපාලන පසුබිමත් සමඟ සම්බන්ධ වෙනවා.” යනුවෙන් කතුවරයා මෙහි එන ප්‍රධාන චරිත නිරූපණය ගැන පවසයි. එසේ බලන කළ ආනන්දගේ ඛේදවාචකය ද ඔහු තමන් වෙනුවෙන් නිර්මාණය කරගත් පෞද්ගලික ඉරණමක් නොවන බව පැහැදිලි ය. කතුවරයාට අනුව නවකතාවක් යනු පවත්නා සමාජයේ කාබන් කොපියක් නොවේ. නවකතාවක් යැයි කියන්නේ ඉතිහාසයේ ප්‍රතිකථනයකි.

“ඔබත් මාත් වෙසෙන මේ මොහොත වර්තමානය යැයි කීවාට එය බොහොම ඉක්මනින් ඉතිහාසයට එකතුවීමට නියමිතයි. අනාගතය යනු අවසානයේදී ඉතිහාසයමයි. නවකතාව ප්‍රබන්ධයක් බව ඇත්ත. නමුත් එහි පරිකල්පනය සහ සෙසු කලාංග සමඟ යථාවේ ඒ රේඛාව තුළ පවතින තත්වයක් අපි දකිනවා. නවකතාවක එන ප්‍රස්තුත කතා වස්තුව සමාජ නියෝජනයක් යැයි මා සිතනවා.” කතුවරයාගේ එම අදහස් දැක්වීමට අනුව මෙහි එන ආනන්ද නම් ප්‍රධාන චරිතය පැහැදිලිවම ඔහු වසන සමාජ පැවැත්මේ නියෝජනයක් බව පැහැදිලි වේ. එසේ ගත් කළ එය ඉරාගෙන ඉහළට මතුවන “නෙරු” වර්ගයේ චරිතයක් නොවේ. එවැනි වීර චරිතයක් බවට පත්වීමට ආනන්ද අසමත් වේ. එය ඔහුගේ වරදක් නොවේ. මක්නිසාදයත් කතුවරයා ඉහතින් පෙන්වා දී ඇති ආකාරයට ආනන්ද යනු ඔහු ජීවත් වන ඒ සමාජ පැවැත්මේ නියෝජනයක්ම වන හෙයිනි.

එසේ ගත් කළ ආනන්ද යනු ක්ෂුද්‍ර චරිතයක් යැයි සිතිය හැක. නමුත් කතුවරයාට අනුව යම් සමාජයක පැවැත්ම, බහුත්ව නියෝජනය මෙවැනි ක්ෂුද්‍ර චරිත මත රඳා පවතී.

එමෙන්ම මෙතෙක් කිසිදු නවකතාකරුවෙකු සිය පාඨකයාව හඳුනා නොගත් ආකාරයකට පාඨකයාගේ හැසිරීම ඉදිරිපත් කරන්නට කීර්ති වැලිසර සමත් වෙයි. ඔහුට අනුව නවකතා පමණක් නොව සෙසු කලාංග රස විඳීම ද වෙසෙස් කලාවක් වේ. එය නිර්මාණාත්මක කටයුත්තකි. එසේ ගත් කළ පාඨකයා එසේ නැත්නම් රසිකයා විසින් සිදු කරනු ලබන්නේ ද නිර්මාණාත්මක කටයුත්තකි. එය ලේඛකයා මෙන්ම වෙනත් කලාශිල්පීන් ද සිතට ගත යුතු කාරණයකි. නිර්මාණයක් හොඳ යැයි පවසන විට එම පාඨකයා හෝ රසිකයා ඉහළට ඔසවා තැබීමටත්, විවේචනයක් ඉදිරිපත් කරන්නවුන්ව පහළටම ඇද දැමීමටත් කලාකරුවකුට අයිතියක් නැත. කීර්ති වැලිසර අවසාන වශයෙන් මෙසේ ද පවසයි.

“මහාකවි කාලිදාස මේඝ දූතය ලියා අවසන් කොට කියූවේ උස්තුරු මුඳුන්හි ඇති ඵල කෙරෙහි ලෝභයෙන් අඟුටු මිට්ටෙකු කළාවූ අත් එසවීමක් හා සමානය මගේ මේ ප්‍රයත්නය.”

ලේඛකයාගේ කාර්යභාරය පිළිබඳව පැවසෙන මේ කියුම කොතරම් වැදගත් දැයි සිතා බැලීම වටී. එමෙන්ම එය නිදහස් කාර්යයකි. අනිත් අතට පාඨකයාගේ විඳීමද නිදහස් පෘථුල අත්දැකීමක්ය යන්න අමතක නොකළ යුතුය. හොඳ නවකතාවක් කියවීමක් හෝ කලා කෘතියක් රසවිඳීම හෝ කෙනෙකු සිය ජීවිත කාලය තුළදීම නව උපතක් ලැබීමක් හා සමානය.

 

 

Comments