දේශීය සංගීතයක් වෙනුවෙන් කැරැලි ගැසූ ගාන්ධර්වයා සුනිල් සාන්ත | සිළුමිණ

දේශීය සංගීතයක් වෙනුවෙන් කැරැලි ගැසූ ගාන්ධර්වයා සුනිල් සාන්ත

ලස්සන සුවඳ මල් ඇයි මේ තරම් හනිකට පරවෙනුයේ

පහනෙකි සුදිලුණු අද ගන අඳුරුයි කෙලෙසද වෑවෙනුයේ

පෙම්බර පුතුනේ හා ජගතෝ ඇයි අද සැතපෙනුයේ

නැගිටිනු නැගිටිනු ගී ගයනට යමු පිය පුතු මල් වනයේ...

සිය පුතුගේ වියොව වාවනු බැරි ව ගී පටබැඳීමෙන් නතර නොවුණු මේ පියා ඊට සති පහකට පසු හෘදයාබාධයකින් දිවියෙන් සමු ගනියි. සමුගත් මේ පියා ලංකා කලා ඉතිහාසයේ දනන් මුවඟ රැව්පිළිරැව් දෙන නොමැකෙන නාමයක් තැබූවෙකි. කලා ඉතිහාසයේ අදීන කලාකරුවන් ගැන කියැවෙන සෑම විටෙක ම තවමත් හේ පළමු වැන්නා ය. සුනිල් ශාන්ත නාමයෙන් තොර ගී කලාවක් ගැන කතා කරන්නට නොහැකි තරම් හේ සිය නාමය කලාව අතර ප්‍රතිෂ්ඨාපනය කළේ ය.

වාද්‍ය විශාරද, ගායන ඩිප්ලෝමා යන අංශද්වයෙන් ප්‍රථම පන්ති සාමාර්ථය ලත් පළමු ශ්‍රී ලාංකිකයා වී උත්තර භාරතීය රාගධාරී සංගීතයෙහි පාරප්‍රාප්ත වුව ද එය ප්‍රතික්ෂේප කරමින් දේශීය සංගීත ලකුණක් වෙනුවෙන් සටන් වැදුණු පළමු කැරලිකරුවා සුනිල් සාන්ත ය.

හඬ පරීක්ෂණයක් කිරීමේ අරමුණෙන් රතන්ජංකර් පඬිවරයා මුල්වරට ලංකාවට පැමිණෙන්නේ 1949 දී ය. ඔහු එසේ ලංකාවට එනවිටත් ගායන ශිල්පීන් පස්දෙනකු ගුවන්විදුලියේ ඒ ශ්‍රේණියේ ලා සැලකුණු බවට හැට හය වසරක ගුවන්විදුලිය කෘතිය රචනා කරමින් නන්දන කරුණානායක සඳහන් කරයි. ඒ ලයනල් එදිරිසිංහ, ආනන්ද සමරකෝන්, දේවාර් සුර්යසේන, සුනිල් සාන්ත හා සරණගුප්ත අමරසිංහ යන ශිල්පීහු ය. හින්දුස්ථාන රාගධාරී සංගීත සම්ප්‍රදාය මිනුම් දඬුවක් කර ගනිමින් දේශීය සංගීත ශිල්පීන් වර්ග කිරීම වරදක් යැයි කියමින් සුනිල් මේ පරීක්ෂණයට මුහුණ දීම සපුරා ප්‍රතික්ෂේප කළේය. ගුවන්විදුලිය කැලඹූ මේ ක්‍රියාව නිසා ගුවන්විදුලියෙන් ඉවත් කරනු ලැබූ සුනිල් ශාන්ත සිය ප්‍රතිපත්තිමය තීරණය වෙනුවෙන් දැඩි ව පෙනී සිටියදී කලින් විවේචනය කළ බොහෝ අය සිය ප්‍රතිපත්ති පාවා දෙමින් සිය රැකියාව බේරා ගත්හ. ඔහු පෙනී සිටියේ සංගීත දර්ශනයක් වෙනුවෙනි. එනයින් බලන කල දේශීය සංගීත කලාවක් වෙනුවෙන් අදීන ව හා අභීත ව පෙනී සිටි සුනිල් සිය දිවියේ කටුකතම ආර්ථික පරිහානියට මුහුණ දුන්නේ ය. එහෙත් පුද්ගලික ජීවිතයේ ඔහු එකල්හි ආශීර්වාදය ලද්දේ ය. ඒ සිය දිවි ගමන බෙදා හදා ගත් පෙම්වතිය වූ ලීලා සමඟ විවාහ වීමයි.

ජීවිතයේ හැටි එහෙම ය. එය අටලෝ දහම අනුව ගොඩනැඟෙන්නකි. දෙයක් නැති වෙන විට තව දෙයක් ලැබෙයි. සෑම හිමි වීමක ම අහිමි වීමක් ද අහිමි වීමක හිමි වීමක් ද ඇත්තේ ය.

හෙළ හවුලේ ආභාසය ලැබීම සුනිල් සාන්ත ගී මඟ වෙනස් කිරීමේ ලා බෙහෙවින් බලපෑම් කළේ ය. දේශීය සංගීතයක අනන්‍යතාව ගැන ඔහුගේ අවධානය වැඩියෙන් යොමු වූයේ මෙකල්හි ය. ජයන්ත වීරසේකර ඇසුරේ හෙළ බසත්, හෙළ මීයැසියත් ගැඹුරෙන් උගත් හේ හෙළ හවුලේ සාමාජිකයන් ලවා ගීත රචනා කර ගත්තේ ය. සුනිල් සාන්ත නමැති ගායකයා ජාතියට ප්‍රධානය වෙන්නේ ඒ මඟ යමිනි. මුලින් ම ගුවන්විදුලි තැටිවලට නැඟුණේ සුනිලුන්ගේ ගීත ය. ඕලු පිපීලා, කෝකිලයන්ගේ, පලබර බක් මාසේ ඒ තැටි ගීත යි. මේ ගී ගුවන්විදුලියෙන් වාදනය වීමට පටන් ගත් ඇසිල්ලේ සිට සුනිල් සාන්ත දිවයිනේ අස්සක් මුල්ලක් නෑර පසිඳු පුද්ගලයකු බවට පත් විය. එකල්හි හේ ගුවන් විදුලියට නැතිවම බැරි පුද්ගලයකු වී සිටියේ ය. එහෙත් ඕනෑම පුද්ගලයකු අත්‍යවශ්‍ය වෙන්නේ ඔහුගෙන් තම අවශ්‍යතා පූර්ණය කරගන්නා තාක් පමණී. සුනිලුන්ට වූයේ ද එය ම ය. කලක් මී පැණි සේ වුණු ඔහු ගුවන් විදුලියෙන් පිටමං කරද්දී වහකදුරු සේ වීම ලෝක ධර්මය ම විනා අන් යමක් නොවේ.

අනතුරුව ආර්ථික වශයෙන් ඉතා අසීරු කාලයක් ගෙවූයේ වුව ඔහු සිය ප්‍රතිපත්තිය පාවා නොදුන්නේ ය. ජීවිකාව ගෙන යන්නට බොහෝ දෑ කළ ඔහු වඩු වැඩ, මේසන් වැඩ, කැටයම් කැපීම, රථවාහන අලුත්වැඩියාව, ගුවන්විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කිරීම, කරවල, බුලත්විට ආදී සිල්ලර බඩු වෙළෙඳාම ඈ බොහෝ දෑ කළේ ය. මෙවන් ගාන්ධර්වයකුට අත් වූ ඉරණම ගැන රට ම කම්පා වූහ. පුවත්පත්වල ඒ පිළිබඳ ලිපි පළ විණි. මහ සභා මැද වියත් දෙසුම්වල මාතෘකාව විණි.

ඒ වනවිට ලෙස්ටර් ගේ රේඛාව හා සංදේශය චිත්‍රපට සඳහා ගීත රචනය කළේ සුනිල් ශාන්ත ය. තමාගේ තනු නිර්මාණ සහිත චිත්‍රපට දෙකට ම ගී නො ගැයූ සුනිල් සාන්ත 1964 දී අම්බපාලී නම් සිංහල දෙබස් කැවූ වංග චිත්‍රපටයට බුදු ගුණ ගීයක් ගැයීය. ත්‍රෛලෝක්‍ය නේත්‍ර නම් ඒ ගීය රචනා කළේ රැයිපියෙල් තෙන්නකෝන් විසින් වන අතර, එහි තනු නිර්මාණය කළේ ද සුනිල් ය.

1967 දී ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත් වෙන අතර එහි ප්‍රථම සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් වන්නේ නෙවිල් ජයවීර ය. ඔහු සුනිල් සාන්තයන් නැවත ගුවන් විදුලියට කැඳවා ගන්නේ ඔහුගේ හැකියාව හා ගුවන්විදුලියට ඔහුගෙන් වන මෙහෙය ගැන අනුදත් නිසා ය. 1952 දී පණ්ඩිත් රතන්ජංකර් ගෙන්වා කළ හඬ පරීක්ෂණය කිරීමට 1967 දී සුනිල් සාන්ත ගුවන් විදුලියට කැඳවීම දෛවයේ හාස්කමකි. එය හාස්කමක් වෙන්නේ ප්‍රතික්ෂේප කළ තැනට ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ තනතුර ම ලැබ යෑම හැකි වීම නිසා ය. කලින් කීවාක් මෙන්ම ලෝකය සැඳී ඇත්තේ ලැබීම් හා නොලැබීම් එකතුවෙනි. වසර 15කට පසු සුනිල් සාන්ත 1967 දී ගුවන් විදුලි වැඩසටහන් මාලාවකට ගී ගැයූහ. මේ කුමන දේ කළත් ඔහුගේ පරම අභාලාෂය වූයේ සංගීතය පිළිබඳ නව පර්යේෂණ කිරීම කෙරෙහි ය. එහිදී ඔහු තනු නිර්මාණයේ විවිධ අභ්‍යාස හා පර්යේෂණ සිදු කළේ ය.

සුනිල් ශාන්තයන් විශ්වාස කළේ සිංහලය රාජ්‍ය භාෂාව විය යුතුය කියා පිළිගන්නා යුගයෙක දේශීය සංගීතයක් ද බිහි කරගත යුතු බව ය. ලෝකයට ම ඇත්තේ එක ම සංගීත හෝඩියක් වුවත් බසෙහි හෝඩිය රටින් රටට වෙනස් වෙන බව හේ දුටුවේ ය. එබැවින් සංගීතයෙහි දේශීයත්වය ඉස්මතු කිරීමට ප්‍රධාන වශයෙන් භාෂාව පාදක කරගැනීම වඩාත් සුදුසු බව හේ සිතුවේ ය. හෙළ බසෙන් නැඟෙන ශබ්ද ධ්වනිය දේශානුගත සංගීත ධ්වනියක් බවට පත් කිරීම දේශීය සංගීතයක් පිළිබඳ සුනිල් සාන්තගේ ප්‍රථම අත්හදා බැලීම විය. සංස්කෘත වචන මිශ්‍ර නොවූ පද රචනයක් කෙරේ හේ නිරන්තර උත්සුක විය. ආචාර්ය තිස්ස අබේසේකරයන් පවසන්නේ සුනිල් සාන්ත සංගීතයෙහි ඇති දේශීය ස්වරූපය සිංහල භාෂාවේ නෛසර්ගික හෙවත් ආවේණික ගුණය නිසා ඇති වූවක් බව ය. ඔහුගේ සංගීත ශෛලියෙහි පදනම වූයේ හෙළ හවුලේ භාෂා ශෛලියයි. භාෂාව පාදක කරගත් දේශීය සංගීතයක් සොයා ගිය සුනිල් සිංහල කවියෙන් ගීයට යොදා ගත හැකි සියලු ගුණාංග භාවිතයට ගත්හ. අවැසි තැන්හි එළිසමය පිහිටු වූහ. ශබ්දාලංකාරයට, රිද්මයට මුල් තැනක් දුණි. පෙරපරදිග සංගීතය හැදෑරීමෙන් හේ ලද ආභාසයට සිංහලභාවය යට කරන්නට ඔහු ඉඩ දුන්නේ නැත. ඔහුගේ විශේෂත්වය එයයි. ගායනයෙහි දේශීයත්වය රැක ගැනීම සඳහා හින්දුස්ථාන සංගීතයෙහි එන මූලික ගායනාලංකාර රැසක් අත්හළේය. දේශීය සංගීතයේ නාමයෙන් ඔහු හින්දුස්ථාන සංගීතය ප්‍රතික්ෂේප කළේ ය. එහෙත් ඔහුගේ සංගීත දිවියේ පෙරදිගට වඩා බටහිරට වූ නැඹුරුවක් දක්නට ලැබෙන බව විචාරක මතයයි. දේශීය සංගීත සංකල්පය ප්‍රවර්ධනය කිරීමේ ලා ඔහු ගත් අප්‍රතිහත ධෛර්යයේ සලකුණු ලාංකේය සංගීත කලාවේ නව මං විවර කළ බව නොරහසකි. සිංහල සංගීතයට බටහිර ගායන ශෛලිය හඳුන්වා දුන් ප්‍රථම ගායකයා ලෙස හේ ඉතිහාසගත ය. ඔහු ගැයූ ගීතයක් නොඇසූ, නොගැයූ කෙනෙක් සොයා ගැනීම උගහට ය.

1915 අප්‍රේල් 14 දා බැද්දෙලියනගේ දොන් ජෝසප් ජෝන් ලෙස උප්පැන්නේ නම සඳහන් සුනිල් සාන්තගේ පියා වූයේ බද්දෙලියනගේ පෙමියානු ය; මව මහරගේ එංගල්තිනා පෙරේරා ය. ඔහුට සොහොයුරෙක් හා සොයුරියක් විණි. ඒ රෝකුස් සහ කැතරින් ලෙසිනි. දෙහියාගාත රජයේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලබන සුනිල් වරින්වර කොටහේනේ සාන්ත බෙනඩික් විද්‍යාලය හා ගාල්ල ශාන්ත අලෝසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබේ. ගාල්ල කල්වරි කන්ද විද්‍යාලයේ සිංහල පුහුණු ගුරුවරයකු ලෙස සේවයට එක්වෙන ඔහු 1930 ජුලි ශාන්ති නිකේතනයට යන්නේ සංගීතය පිළිබඳව හැදෑරීමට ය. 1944 දී වාද්‍ය විශාරද, ගායන ඩිප්ලෝමා යන අංශද්වයෙන් ප්‍රථම පන්ති සාමාර්ථය ලත් පළමු ශ්‍රී ලාංකිකයා වීමේ භාග්‍යය ඔහුට උදා වෙයි. සංගීතය පිළිබඳ භාත්ඛණ්ඩේ සංගීත පීඨයේ ඩිප්ලෝමා සහතිකය සහ උපාධිය 1945 අප්‍රේල් 21 ලැබීමෙන් අනතුරුව හේ ගුවන්විදුලියට එක් වෙයි. 1952 අගෝස්තු 21දා ජයසේකර සෙනෙවිරත්න මුදියන්සේලාගේ මේරි ජොසපින් බර්නදෙත් ලීලාවතී සමඟ අතිනත් ගන්නා සුනිල් සාන්ත ට දරුවන් හතර දෙනෙකි. ඒ පයස් සුනිල් ශාන්ත, ලංකා සාන්ත, ජගත් සාන්ත, කලා සාන්ත ලෙසිනි. පුතුන් තිදෙනාම ඉංජිනේරුවන් වන අතර, එක ම දියණිය කලා, පශු වෛද්‍යවරියක් වූවාය. 1981 අප්‍රේල් 11 දා හදිසි හෘදයාබාධයකින් දිවියෙන් සමුගන්නා සුනිල් සාන්ත මෙරට සංගීත ක්ෂේත්‍රයට නව පර්යේෂණ හා දේශීය සම්ප්‍රදායක් හඳුන්වා දීමේ නොතිත් පෙලඹවීමකින් අදීන ව ක්‍රියා කළ නිර්මාණකරුවෙකි.

ගීතය නැමැති බුද්ධිමය දේපළ වෙළෙඳුන්ගේ ග්‍රහණයෙන් මුදා ගන්නට හේ සටන් කළේ ය. එනිසාම ඔහුගේ කෘති සඳහා ද ගැටලු මතු විය. ගුවන්විදුලි මාධ්‍යයට අමතර ව තම මතය ජනතාව අතරට ගෙන යෑමට හේ භාවිත කළේ පොත් ප්‍රකාශනයයි. ඔහු පළ කළ කෘති අතර හෙළ රිදී වලාව (1947), සුනිල් හඬ (1948), ගුවන් තොටිල්ල (1948), SONG FOLIO (1948), හේළි මිහිර (1949), සංගීතයෙහි අත්තිවාරම, මිහිරියාව (1950), SONG LANKA(1950), සුනිල් ගී (1951), මල් මිහිර (1952), දේශීය සංගීතය (1953) ප්‍රධාන ය.

ගීත පද මාලාවේ දේශීය වදන් පාරිශුද්ධත්වය පිළිබඳ සටන් කරමින් හෙළ බස සංගීත බස කරන්නට කැපවූ සුනිල් සාන්ත රියැලිටි නැති කලක ජන හද පෑයූ කඩා නොවැටෙන තරුවක් විණි. එය අද මෙන් මුදල් වියදම් කර SMS යවා ගත් ජනප්‍රියත්වයක් නොවේ. පැවැත්මෙන්, අභ්‍යාසයෙන් හා ඉදිරිපත් කිරීමෙන් ම ලද්දකි. එ් සඳහා හේ අසීමිත ව කැප වූයේය. අදීන ලෙස සටන් කළේ ය. තම මතය ලාබ ප්‍රයෝජන වෙනුවෙන් වෙනස් නොකළේ ය. තමාට ලැබුණු නිවෙස පවා වාරික වශයෙන් ගෙවා නිම කළේ ය. අසීමිත මානව හිතවාදී විය. ජීවන ගමනේ අතිශය නිහතමානී සොඳුරු සිතැත්තෙක් වූ ඔහු අසාධාරණයේදී කිපුණේ ය. එදා ගුවන්විදුලියේ බබළන තරුවක් ව හිඳි හේ දේශීය සංගීතයක් වෙනුවෙන් එක රැයින් එයින් එළියට බැස්සේ ය. ප්‍රතිපත්ති පාවා නොදුන්නේ ය. නොමියෙන මිනිසකු ව සංගීත දර්ශනයක් වෙනුවෙන් පෙනී සිටි ප්‍රථම සංගීත චින්තකයා ලෙස අද ද ඔහුගේ නාමය වැජඹෙන්නේ ඒ නිසා ය.

ශ්‍රී ලාංකිකයන්ට අනන්‍ය ගී ආරක් හඳුන්වා දුන් සුනිල් ශාන්ත නම් යුග පුරුෂයා වෙනුවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කළ “සුනිල් සාන්ත අධ්‍යයනය” නම් කෘතියේ ඔහු පිළිබඳ අපූරු සටහනක් තිබිණි. සුනිල් සාන්ත අධ්‍යයනය කරන්නකුට ඒ මහාර්ඝ ග්‍රන්ථය පිටුබලයක් වනු නොඅනුමාන ය.

“බූරු ඇඳක විනා සුව සයනයක නොසැතපුණු, රළු අහකර විනා රස මසවුලක රස නොබැලූ, කාර් කටුවල සහ බස්‌ කබල්වල විනා සුඛෝපභෝගී රියක ගමන් බිමන් නොගිය, දළ කපු පිළියෙන් විනා දුහුල් සළුවෙන් සිරුර නොසැරහූ, ගීයක්‌ අසන්ට ගුවන් විදුලි යන්ත්‍රයක්‌වත්, තනුවක්‌ තනන්ට තූර්ය භාණ්‌ඩයක්‌වත්, නිවසෙහි නොතිබුණු වෙළෙඳුන්ට නොවිකිණුනු, දේශපාලනඥයන්ට නොරැවටුණු, අයුක්‌තියට නොනැමුණු, සංගීතයෙහි උඩුගං බලා පිහිනන්ට වෙර වැඩූ ඒ අපූර්ව මිනිසා…”

සුනිල් සාන්තයන් හඳුන්වන්නට වෙන අටුවා ටීකා අවැසි නැති බව ට මේ වදන් පමණක් වුව ප්‍රමාණවත් ය.

Comments