ජීවිතයේ බොහෝ කවි තිත්ත බැව් පසක් කරන නිර්මාණවේදිනිය | සිළුමිණ

ජීවිතයේ බොහෝ කවි තිත්ත බැව් පසක් කරන නිර්මාණවේදිනිය

සීතා රංජනී

තුවක්කුවක් තිබේ නම් ළඟ

මෝඩයකුට වුව බුද්ධිමතකු විය හැකිය

මුළු මහත් ලෝකය

ඔහු පාමුලට ගත හැකිය

යාළුවේ

තුවක්කුව විතරක් නොවේ

ඒවායේ උරුමකරුවන් ද

විශ්වාස නොකරපන්....

ත්ත කවි' ලියූ ඒ ගැහැනිය සීතා රංජනි ය; තිත්ත කවි ලියන්නට ප්‍රථම ව ලියූ තිත්ත ඇත්ත දැක්වෙන ඒ කවි‍ පද කිහිපය මා උපුටා ගත්තේ ඇය සංස්කරණය කළ ' දෝංකාරය' නම් කාව්‍ය සංග්‍රහයෙනි. ඈ පතන ලෝකයත්, ඒ ලෝකයේ නෙක සෝ තැවුල් හා ගැටුම් ගැනත් ඈ නිබඳ ව සවිඥානික ය. ඒ සවිඥානික බව විසින් ඈ වෙත ප්‍රධානය කරන ප්‍රභාෂ්වර බවෙන් බැබළෙන්නේ ඈ පමණක් නොවේ; ලාංකේය සියලු කාන්තාවන් වෙත බලාපොරොත්තුවේ, ශක්තියේ ප්‍රභාව තිළිණ කරන ඈ කාන්තාවට තව දුරටත් මුළු ගැන්විය නොහැකි බව ඒත්තු ගන්වන්නී ය.

එදා සිට අද දක්වා ම ආකල්ප වෙනස් නොකළ අප දන්නා කාන්තාවන් අතර ඉදිරියෙන් ම සිටින්නී ඇයයි. දැවැන්ත භීෂණ සමයේ වුව ද පන්හිඳ මෙන්ම කාව්‍ය ශක්තිය ද තම අරමුණ වෙනුවෙන් කැප කළ ඇය, ඒ වෙනුවෙන් පැමිණි බාධා ජය ගත්තේ නව ජවයකින් නැවත නැඟී සිටීමෙනි. එකී ජවය විසින් මෙහෙයවනු ලදුව ඇය මේ වන විට කෘති 15ක් රචනා කර තිබේ.

ඇය බොහෝ දේවල් විඳිමින් විඳවමින් ජීවිතයට මුහුණ දුන් ශක්තිමත් ගැහැනියකි. එවන් කාන්තාවන් ළඟ වැලපීම් හඩාවැටීම්, ඇයැදීම් හෝ කඩාවැටීම් නැත.

ඕනෑම අසීරු තත්ත්වයකදී ඒ අසීරු බව ලේඛනයෙන් දරා ගන්නට ඇති හැකියාව ලේඛකයා සතු දිව්‍යමය ශක්තියයි. 'තිත්ත කවි' ලියමින් ඈ ජීවිතයේ එක්තරා අසීරු ම අවස්ථාවක නැවත නැඟී සිටින්නී ය.

අහස ගුගුරයි; මහ වැසි ඇද වැටෙයි; අකුණු පුුපුරා යයි; මිදුලට වැටෙන වැහි බිඳු සෞමත්වයට වඩා පෙන්වන්නේ රුදු බවකි. ඈ මහ වැස්ස දෙස බලා සිටියි. ජනෙල් පියන හරින්නට බැරි ය.

දොඹ ගෙඩි වන් වැහි බිඳු සේම මාරුතයක් සේ හමා එන පවන ද නිවෙසට බලහත්කාරයෙන් ඇතුළු වෙන්නට වලි කයි. සීතා රංජනී නැඟී සිටින්නේ ආයාසයෙනි. හුදෙකලාවත් පිළිකා රෝගය විසින් ඔද්දල් කරන ලද සිතත් සමඟ ඇය සටන් කරන්නී ය. ඒ සටනෙන් සිතේ සිටින ලේඛිකාව මතුවෙන්නී ය; ඇය තමා තමාට ම පරාජය වන්නට ඉඩ නොදෙන්නී ය.

වැහි කෝඩයටත් ශාරීරික වේදනාවටත් යට නොවෙන ඇය කවියක් ලියයි. වේදනාව සොබාදහමට ආදේශ කරන ඇය නිර්මාණ ලෝකය සසල කළ අත්දැකීමකට පාදම ඒ ඔස්සේ නිර්මාණය කරන්නී ය.

‘තිත්ත කවියකට පෙරවදනක්‘ ලියද්දි මම හිතලා තිබුණෙ නෑ මොකද්ද ලියන්නෙ කියලා. අනුරාධපුරේ ඉදන් කොළඹ ඇවිත් අවුරුදු 40ක් ඇතුළත මම මේ කළ හා කී දෑ ඇසුරේ බිහි වූ අත්දැකීම් ලියන්න කියලා බොහෝ අය යෝජනා කළා. 98 දෙසැම්බර්වලදි මට මගේ ජීවිතේ පරීක්ෂා කරලා බලන්න අවස්ථාවක් එනවා. ඒ මම ජීවිතේ අතහරිනවද නැත්නම් අල්ල ගන්නවද කියන එක. මම පිළිකාවකට ගොදුරු වෙන්නෙ 98 වසරේ. රෝගය නොවේ ඒ කාලය වනවිට තිබුණු ගැටලුව රෝගයට කරන ප්‍රතිකාර. දැන් වගේ ප්‍රතිකාර ක්‍රම තිබුණෙ නෑ ඒ කාලේ. දරාගැනීම හරි ම අමාරුයි. මට කිසිම කෙනෙක් හිටියෙ නෑ මේ අමාරු කාලය දරා ගන්න ආදරය දෙන්න. මට තිබුණෙ මගේ හිතයි මගේ හයියයි විතරයි. මම ගොඩක් වැඩ කරන කෙනෙක්. ඒත් එක දවසක් ආවා මට දරා ගන්නම අමාරු වුණු. මට ඇතියි කියලා හිතුණා. ඒත් මට ම හිතුණා ටිකකින් මම මෙහෙම වුණොත් හෙට උදේ නැගිටින්නෙ තවත් දුර්වල වෙලා කියලා. මහා වැස්සක් ඒ වෙලාවෙ. මම හිතේ දහිරියෙන් නැගිට්ටා. පාරේ වතුර ලයිට් එළියට දිලිසෙනවා මට පේනවා. මහා ධාරාණිපාත වර්ෂාවක්. මම මේසයට වාඩි වෙලා ලියන්න පටන් ගත්තා.

අහස මොකට අඩනවාද මේ තරමට

පොළවට බර වැඩිතරමට කඳුළු බරට

මුළු නුවරම ගල් වී ගිය අන්ධකාර රාත්‍රියේ

ඉකිබිඳිනව අකුණු වගේ හූල්ලනව විදුලිය සේ

වහල උඩින් ඔය ඇහෙන්නෙ විලාප දෙන හඬ....

මේක ආඛ්‍යාන කාව්‍යයක් නිසා දිගින් දිගටම මම ලියාගෙන ගියා. මගේ සැත්කමට මම ගියෙත් බයක් නැතිව හිත හදාගෙන. මම හිතාගෙන ගියේ සැත්කම් කාමරය ගැන ලියන්න ඒක හොඳට බලාගන්න ඕන කියලයි. හැබැයි මට කල්පනා කරන්න කාලයක් තිබුණෙ නෑ. ඉක්මනින් මාව සැත්කමට ගත්තා.

හැබැයි මම සැත්කමෙන් පස්සෙත් ලිව්වා. සමාජ, දේශපාලනික, කලා, සංස්කෘතික ක්ෂේත්‍රවල නිරත මාධ්‍යවේදනියක් විදියට මට ලියන එක සතුටක්.

මගේ ධෛර්යය නිසා ගොඩක් අය මාව හැඳින්වුයේ යකඩ ගෑනියක් කියලා. ඒ කාලේ පිළිකාවක් කියන්නේ ගොඩක් අය බය වෙන දෙයක්. මගේ යාළුවන්ගේ ඇස්වලිනුත් මම දැක්කෙ මගේ මරණය. මගේ යාළුවන්ගෙ ඇස්වල තිබුණු මගේ මරණය මම පිළිගන්නෙ නෑ කියන එක මගේ හිතේ තිබුණා. ඒක මම ලිව්වා. මට මගේ මරණය දකින්න පුළුවන්. ඒ ස්මරණය මට පීඩාවක් නොවේ. හැබැයි දැන් මේ මරණය මට පිළිගන්න බෑ. ගොඩක් අය කියනවා හිත හදාගන්න භාවනා කරන්න කියලා. ඒත් කොහොමද මම ඇස් පියා ගන්නෙ. දෙමළ සිංහල කාන්තාවන් දෙපිරිසම මගේ දිහා බලන් ඉන්නවා වගේ මට පේනවා. එයාලගෙ ප්‍රශ්න මට කියන්න හදනවා වගේ. ඉතින් කොහොමද ඇස් පියාගන්නෙ.

ඔබේ ඇසෙන් උදුර ගත්ත

මගේ මිනිය

මගේ හිතෙන් වළ දැමුවයි

සහතිකයක් නැද්ද තාම‘

ඇය අහන්නේ සමාජයෙන් ය; අපෙන් ය. ජීවිතයේ බොහෝ කවි තිත්ත බැව් ඈ පසක් කරන්නී ය. ඇය බොහෝ සමාජ ප්‍රශ්න වෙනුවෙන් ස්වකීය ජීවිතය කැප කරන්නේ ය.

1979 දී රජරට සේවයේ ආරම්භක ක්‍රියාකාරීන් අතරට එක්වන ඇය ඉන් අනතුරුව 'විවර' සඟරාවේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කරයි. ඊටත් කලකට පසු සිය මතවාද ජනගත කිරීමට සුදුසු ම වේදිකාව තෝරා ගන්නා ඇය, 'යුක්තිය' පුවත්පතේ ක්‍රියාකාරිනියක වන්නේ එහි විශේෂාංග කර්තෘ ධූරය ද දරමිනි. සිය මතවාද වෙනුවෙන් නිරන්තර සූකර නොවන ගමන් මාර්ග තෝරා ගන්නා ඇය, කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නඟන්නී; එහි ම කැඳවුම්කාරිය ද වන්නී ය. මේ සියල්ල අබිමුව තබා ගෙන භාවනාවට හෝ මැරෙන්නට හෝ ඉඩ නැති ඇය ජීවත්වීමත් ඒ ජීවිතය අනුන් වෙනුවෙන් කැප කරන්නටත් ඉටා ගන්නී ය. සහෘදයත්වය, සංහිඳියාව ගැන බෙහෙවින් සවිඥානික ඈ සිය නිර්මාණකරණ දිශානතිය ගොඩ නඟන්නේ ද ඒ පිළිබඳ අවබෝධයෙනි.

‘ රාමන් පොත මම ලියන්නෙ සත්‍ය කතාවක් ඇසුරෙන්. මම ගොඩක් කම්පනයට පත් වූ කතන්දරයක් එහි තිබෙන්නේ. අපි බොහෝ සමාජ පීඩා දකිනවා. දකුණේ ඉපැදුණු දෙමළ තරුණයෙක් ඒ සමාජයේ ඇති වුණු ගැටුම්කාරී තත්ත්ව එක්ක පීඩාවට පත් වෙලා උතුරට යන ගමනක් මෙහි නිරූපිතයි. යන්නේ සාධාරණයක් හොයා ගෙන.

උතුරට ගියාමත් විවිධ දේශපාලන කණ්ඩායම් ඔහු දකිනවා. නමුත් ඒවායේ සාධාරණයක් ඉෂ්ට නොවන බව ඔහුට පෙනෙනවා. බල අරගල, ගැටුම් මිසක් ජනතා සාධාරණයක් එහිත් නොවෙන බව ඔහු අත්දකිනවා. අන්තිමට රාමන් කියන මේ තරුණයා තේරුම් ගන්නවා මේ කිසිතැනක සාධාරණයක් නෑ කියලා.

ඔහු ජීවිතයට මුහුණ දෙන ආකාරය සහ මොකද්ද මේ තත්ත්වයට විසඳුම කියන එක තමයි මේ ඔස්සේ සාකච්ඡා කරන්නෙ. මේවැනි චරිත අප දැක තියෙනවා කාලයක් තිස්සේ. සාහිත්‍ය හරහා මේ වැනි කරුණු පිළිබඳ සමාජය දැනුම්වත් කරන්න සෑහෙන කාර්යභාරයක් කරන්න පුළුවන් කියන කාරණය සමාජගත කරන්න මට අවශ්‍යයි‘

සාහිත්‍යකරුවා බොහෝ සමාජ ප්‍රශ්න කෙරේ බෙහෙවින් සවිඥානික ය. මිනිස් සමාජය ඇතුළේ ක්‍රියාත්මක විවිධ නොතකා හැරීම්, පාවාදීම් ආදිය ගැන සාමාන්‍ය කෙනකුට දැනෙන සංවේදනයට වඩා නිර්මාණකරුවා සංවේදී ය.

ඔහුට ඒවා පෙනෙන්නේ සමාජ ශෝධනයකට මඟ විවර කළ යුතු කාරණා ලෙස ය. සීතා රංජනී ලේඛිකාව ද මේ වැනි කරුණු පිළිබඳ බෙහෙවින් සංවේදී ය. ඇය සමාජ පන්ති විෂමතා කෙරෙහි බෙහෙවින් විරෝධාකල්ප සහිත ය. එය සැබෑ මානවවාදී නිර්මාණකරුවකුගේ ස්වභාවයයි. මේ කෘතිය වෙනුවෙන් ඇයට සම්මාන 3ක් පිරිනැමෙයි. සංහිඳියාව, සාමය වෙනුවෙන් කළ මෙහෙවර එහිදී ඇගයීමට ලක් විණි.

‘මගේ නවතම කවි එකතුව 2021 දී නිකුත් කළා. තිත්ත කවි ලියන කාලෙට වඩා අද මම බොහොම අවදානම් කාලයක් ජීවිතේ ගෙවන්නෙ. මට හිතෙනවා මගේ කාලය කෙටි වෙනවා කියලා. ඉතිරි කාලයේ ලියන්න ඕන කියන සිතිවිල්ල ඇවිත් මම ලියන්න ගත්තම ආයෙත් මගේ නිර්මාණ ප්‍රභවය විදියට ඉදිරියට ආවෙ කවිය. උරග විංසනියක කුරුලු බිත්තර කාව්‍ය සංග්‍රහය ලියැවෙන්නේ එකී මනෝභාවයෙන් හා ශාරීරික වේදනාවෙන් මා ලද පන්නරයත් මුල් කර ගනිමින්. එහි එන මේ කවිය ප්‍රමාණවත් මගේ ඒ සිතිවිලි හඳුනා ගන්න.

ඒ දවසට සූදානම.........

ශරීරය නුඹ කුමක් සිතුවද ඵලක් නැත

හිතුමනාපෙට පැහැර ගන්නට ඉඩ නොදෙමි

මේ මගේ ජීවිතය නුඹට පමණක් නොව

දුක මටත් හොඳටම හුරුය

දවසක් ඒවි එතෙක් මම නුඹ නඩත්තු කරමි

කැමැති වූවත් නොවූවත්

ඒ නුඹ නිසාමත් නොවේ

නුඹ ගැන කියන්නට

බොහෝ දේ ඇති නිසාමත් නොවෙයි

මට කරන්නට බොහෝ දේ

ඇති නිසාවෙනි....

ඇය අවසන් කරන්නේ ජීවිතය යනු මහමෙරකි කියා ය. අවුරුදු 20කට කලින් පටන් ගත්ත තැන තිබුණු අභියෝගය ම තමයි මට තියෙන්නෙ. ශරීරය තමයි මට මේ වෙද්දි තියෙන ගැටලුව.

හැබැයි ශරීරයට ඕන විදියට වැඩ කරන්න දෙන්න බැහැ. ජීවිතය මගේ. ශරීරය නම් භෞතිකය නික්ම යෑමට සූදානම් දිනයට මමත් සූදානම් නික්ම යන්න‘

ඇය නිර්මාණකරණයේ යෙදෙන්නී සිය වේදනාව එයින් සමනය කර ගන්නී ය. ශක්තිමත් වන්නී ය. තව තවත් අත්දැකීම් පොදු පාඨක පිරිසට ලබා දෙන්නී ය.

නිර්මාණකරුවා පොදු ජීවන යථාර්ථය ගැන සවිඥානික සේම ඒ පිළිබඳ විශ්වාසයෙන් ද යුතු බැව් ඈ පසක් කරන්නී ය.

සීතා රංජනී නම් මානව ක්‍රියාකාරිනිය අබිබවා ජීවිතය පිළිබඳ බොහෝ දෑ පිරිසිඳ දත් නිර්මාණකාරිනියක ලෙස ඇය සිය අත්දැකීම් පාඨක ප්‍රජාව හා බෙදා ගන්නේ සහෘදය සිතින් මෙන් ම සමාජ ඥානණය ද පිණිස ය.

අවසාන වශයෙන් ඇය සිය සහෘදයන් වෙනුවෙන් මෙසේ කියන්නීය.

‘අපි අපේ ජීවිතයට ආදරය කරනවා සේම ආරක්ෂා කරනවා වගේම අනෙකාගේ ජීවිතයටත් ආදරය කරන්න ඕන. ඒ ජීවිතවල ආරක්ෂාව ගැන හිතන්න ඕන. ඒක ජාති ආගම් කුලමල බේද ඉක්මවා ගිය එකක් වෙන්න ඕන. සාහිත්‍යකරුවකුට, නිර්මාණකරුවකුට ඒ සමාජ ආදරය දෙන්න බැරි නම් එතැන මනුස්සකම අඩුයි. හඬක් නැති අයට හඬක් වෙන්න අපිට යුතුකමක් තියෙනවා. ඒවා අත්දැකීම් කරගන්නවා නම් ලියන්න ඕන තරම් දේවල් තියෙනවා. මහා සමාජ ආදරයක් ගොඩනැඟෙන්නෙ එතකොට‘ .

Comments