කවි සිළුමිණ | සිළුමිණ

කවි සිළුමිණ

කළු අක්කගෙ බුලත් කඩේ

 

පොල්අතු කවුළු අතරින් හිරු කිරණ ඉරී

ගෙතුළට ගලා එයි රන් පැහැයකට හැරී

දල්වා බුදු පහන ලබනට අසිරි සිරී

අරඹයි දවසෙ වැඩ කටයුතු රැගෙන දිරී

 

සැනසුම ලබන ලද දෙයකින් කළත් වැඩේ

අතමිට හිඟව ලොකු වැඩකට නොලත් ඉඩේ

මහමඟ ඉදිරියෙහි පොඩි කඩ පෙළත් හැඩේ

එහි මැද කොටස කළු අක්කගෙ බුලත් කඩේ

 

මීගමු, කතරගම වෙත ගම්පහින් එන

බසෙන් බෑ බුලත් වට්ටිය හිසින් ගෙන

එහි පිළිවෙළ අනුව තෝරා හොඳින් දැන

පහසුම මිල කියයි හැමටම අරන් යන

 

වංගෙඩියයි යකඩයයි මුල්ලකට වෙලා

නිදි කිර කිරා සිට කට හඬ අවදි කළා

සෝමෙත් උපකාර ගන්නට දෙනෙත හෙලා

මිටි බංකුවේ වාඩිවී පුවකයට තළා

 

දුන් කොළ පුවක් මිල කොපමණ ඉහළ ගියත්

විට දෙයි අඩු මිලට සුළු ලාභයකි අයත්

හෙප්පුව මැස්ස මත ඇය සතු ගුණය කියත්

අරගෙන මිස යමක් කිසිවෙකු ඉවත නොයත්

 

පියසේන හේවගේ


කෘතගුණ වේවා!

හිරු උදානයයි හිරු උදානයයි

සීතල දුරුතු මහේ

මල් ගෙඩි හැදිලා

පල බර වීලා

 

අස්වනු පූජා හිරුට පුදනමේ

තෛපොංගල් දිනයේ...

කෘතවේදිත්වය ලොවට කියන්නේ

තෛපොංගල් දිනයේ...

 

කුරා කුහුඹු හැම

අහර බුදින්නේ තෛපොංගල් දිනයේ...

පවුලේ සමගිය වසර පුරාවට

සතුට ගෙනෙන්නේ තෛපොංගල් දිනයේ

කෘතගුණ වේවා! කෘතගුණ වේවා!

හිරු දෙවියනි අපගේ

මඩුළුගිරියේ විජේරත්න


කවි පාඩම

කුරුලු ජෝඩුව තුරුණු

වෙහෙසෙමින්, සමගියෙන්

සොයා ගෙන රුකක් මත

රැකවරණ ඇති තැනක්....

 

පියඹගොස් දස අතේ

කැදලි ගෙන තුඩු අගින්

සුව පහසු ඇති අයුරු

මනා ලෙස නිමවමින්....

 

දරු පැටව් හදන්නට

නොගෙන කුලියට කුඩු

තනා ගන්නා අයුරු කූඩුවක්

කියා දෙන්නේ

අපට පාඩමක්...

ජගත් පද්මසූරිය


රෝස සුවඳ ලූ ආදරේ...

එගොඩ වන විට - වැල් පාලමෙන්

ගැහෙන හදවත ගුලි කරන්...

දුලි තැවරී - පයට පෑගී

තැළී පොඩි වුණු හදවතක්

බිම වැටී තිබුණා

එය ඔබේ යැයි

අඩ සිතට සිතුණා...

 

සින්නක්කරට ලියවුණු බවක්

මම සිතාගෙන සිටිය මුත්

රැඳුණු බිම්කඩ - කුලියකට ගත් බව‍

ඔබ කියා තිබුණා...

නවාතැන යළි මාරු කළ බව‍

ඔබ දැනුම් දී තිබුණා...

මසකට වරක් එන, සිතාසිය මත

එය ලියා තිබුණා...

ඒ. ඒ. බදුර්නිශා


මතක සැමරුම්

 

තිළිණ කළ සැමරුම්

රෝස මල් ගොමුවේ

තිබුණු ඒ වදනන්

සිහිනයකි අද නම්...

 

දුරින් ඉන්න එපා

ළං වෙන්න දිව ඇවිත්

ආදරෙන් ආ... දරෙන්

තිබුණු ඒ වදනන්

සිහිනයකි අද නම්..

 

රෝස මල් පොකුරේ

කටු ඉත්ත කවුදෝ

එහි රැඳී තිබූ ඒ

සුවඳ කොයිබක දෝ

ගයාන් නිරෝෂන්


ඉබි ගමන්

සායනයෙ දිග පෝලිමක්

ගේට්ටුව අසලම ඇතී

හය හමාරේ බස් රියේ ගිය

සැවොම වෙනිවැල් ගැට බොතී

 

පන්සලක නායක හිමී

දන්දුන්නු කාචය අගී

ප්ලාස්ටරයෙන් ඇස වැසී

ඇල ඉරක් වී හිටගමී

 

අසුනකට ගත බරවෙලා

දිවි බරින් ගල් වී හිදී

ඇසිපියන් ලාවට පියා

සුව සිහින දුටු අය නිදී

 

පාර මැද්දේ පංචමහවිල්

මගියො කස්තිරමක් රඟයි

සිරුර ලේ රත්වෙවී කෙරපෙන

රිය නළාවක් ගිනි පිඹියි

 

බෑගයක පරයේ පැටලී

වරලසක් දොස්මුර නඟයි

අඩිය උල් වූ යස සෙරෙප්පුව

පිටි පතුල් හාරා රිදෙයි

 

දුම් කෝච්චිය බර කරත්තය

ඇසූ අවමන් එක හිතයි

යුගය ඩිජිටල් ගමේ බස් රිය

අදත් ඉබිගමනින් හැඩයි

රුවන්මලී දීපිකා කොඩිකාර


රෝස කොපුල

 

ඇගෙ කොපුල

රෝස යායකි

එය වටා වූ වැට සේ ය

ඇගෙ කෙහෙ කලඹ

 

මහා අරාබි කවි

උර්කුලා එල් කල්බි

Urqula al-Kalbi

පරිවර්තනය: උදයංග අමරසේකර


ජීවිතය හා දියඇල්ල

කඳු මුඳුනෙක පල කුහරෙක

මතුව ආව දිය දහරෙක

දඟ කරමින් ගලා ආව

දිය දහරක් මං..

.

රුක්මුල් ගල්පර අතරින්

හැල හැප්පිලි දුක් මැද්දෙන්

වක්‍ර වෙවී දිග හැරෙමින්

පරිණත වූ මං...

 

වටින් පිටින් මා වැනි උන්

මා සමඟින් එකතු වෙමින්

ගත මත බැරි බර පටවන්

පහළ ඇදුනි මං...

 

ඉදී වැටුණු නරක් ම වුණු

පරව වැටුණු කහ පැහැවුණු

කුණු කසළත් ඇඟ දවටන්

ගලා හැළුණු මං...

.

දුක් නින්දා අලාභ මැද

ගෙවෙන නොතිර ජීවිත මෙන්

අවසානය සයුරු හිමිට පුද දුන්නා මං

ජීවිතයත් මරණයකින්

කෙළවර වෙන මෙන්

සී. පී. අයිරාංගනී


වියපත් සිතුවිලි

දෙමහල් නිවස තුළ නිසසල බව රැඳුන

දෙමහල්ලන් පමණි නිසසල බව බිඳින

වියපත් බව නිසා අතපය වෙර සිඳුන

මුසපත් බවින් එහෙමෙහෙ පාවෙන යනෙන

 

ඉරමල නැඟී පැයකින් දොර අගුල් ඇරේ

තව පැයකින් ජනෙල් දොරවල පියන් ඇරේ

වෙර සිඳුන මුත් තේ කහටින් බඳුන් පිරේ

අල්ලෙහි රැඳුණු පැණි රස දිව අග තැවරේ

 

ගෙය තුළ මුස්න අමදියි සතියකට වරක්

ඉදලට මිදුල හමුවෙයි දෙසතියට වරක්

තුන් වේලටම කුස පුරවන බත් හැළියක්

මද්දහනයට පෙර අල කරවල හොද්දක්

 

අප වාගෙමයි බල්ලා දිවි ගෙවන්නේ

දෙපතුළ ළඟයි හැම මොහොතෙම නිදන්නේ

අවටින් ඇසෙන සුළු වෙනසට බුරන්නේ

දුක සැප දෙකට ඌමය ළඟ හිදින්නේ

 

අතීතය ගැනම හිතලා පලක් නැතේ

අනාවකට අත වනලා සෙතක් නැතේ

දහමට අනුවමයි දිවි රැක ගත යුත්තේ

ගත වෙර නැතත් සිත තුළ සතුටකි ඇත්තේ

කුසුමා වර්ණසූරිය


 

ආදරණීය යෙහෙළිය...

 

තාත්තාගේ අභාවය නුඹ

සුසුමකින් කොඳුරලා කීවා

වැදී ගල්කැට කැලැත්තී සිත

තැනින් තැන බොර පැහැ වුණා

 

ඈතකට විහිදිලා වැටුණා...

උණ විකාරිත ගත ප්‍රමුදිතයි...

ඒත් තව තවත් එය දැවුණා...

පංති කාමරෙ හිස නමාගෙන

තොඳොල් වදන ම නිතර මිමිණුව

පුංචි යුවතිය...

 

කරල් දෙකකට බෙදූ මුහුලින්

හංස තුඩු පැටලූව යෙහෙළිය...

සැලෙන සිරුරේ පිරුණු වටොරේ

රැලි සදන ගවුමේ..

.

මුව සිනා නෙතු ළඟට ගත් තැන

ආදරේ තිබුණේ...

නොකියා ම හිත් තමයි දෙඩුවේ...

පුංචි උද්භිද උද්‍යානයේ විසල් අඹ වෘක්ෂේ

සිදුරු හද රූ වසාගෙන ගීය නුඹ කිව්වේ...

 

වාරු නැතිවී තාත්තලු සුක්කානමත් දුන්නේ

මාතලීමලු වාහනෙත් ගෙන නුඹේ ආසනෙ,

මිලට ගත්තේ...

ලංසුවත් තිබ්බේ...

පාසලට එව්වේ...

 

ඒත් ඇයි දහතුනේ වසරෙදි

වාහනෙන් නුඹ බැස්සේ...?

“නාවාට කමක් නැහැ මළ ගෙදර...

ඔයා සනීප වෙන්නකෝ...

නුඹේ වදනට අනේ ඇත්තට

හීනියට ඇඟ පුරා විහිදෙන

බිඳුණු රැහැනක සෙනෙහෙ විදුලිය

 

සිරුර කිති කැව්වා...

හිත්වලින් බදාගෙන...

නෙත් කෙවෙණි තෙමාගෙන...

නෙත් දියෙන්, පිවිතුරුව මුව දෙවුවා...

අගුලු ලා පිවිසුමට විවර දොර

නුඹ පිදූ යතුරින් ම

කවුළු පත් මං විවර කෙරුවා...

 

දොර වසා තිබුණාට

එළිපත්තෙ පඩි මත්තෙ කෙළි කවට හිනාවන්

කොයිතරම් සුන්දර ද හිතුණා...

සෞම්‍ය ලලිත් කළුබෝවිල


ස්නේහය

ආදාහනාගාරයේ

දුම් කවුළුව තුළින්

පිටවන දුම්රොද

කැරකි... කැරකී

කැරකි... කැරකී

වාතලයට ගමන් කරයි

 

ඉහළට... ඉහළටම

පෙව් මවු කිරිවල සුවඳ

නැළවූ නැළවිලි ගී හ‍ඬෙහි

ස්නේහය

දුම් රොද සමඟ

ගමන් කරයි

දේශයෙන් පිට වී...

 

මෙල්බර්න් නුවර

විසල් ගොඩනැගිල්ලක

අහස් ගැබ දෙස බලා සිටින

සුවඳ නොදැනුණ

මවු කිරිවල

 

ස්නේහය නොදැනුණ

නැළවිලි ගී හ‍ඬෙහි

තම එකම පුතුගේ

හිස්ම හිස්

හදවත ළඟ

නතරවන්නට...

චාන්දනී දේවිකා පුංචිහේවා


ප්‍රදීපාගාරයක හෘද සාක්ෂිය

අව් වැසි දරමින

නොසෙලී හිදිමින

ක්ෂිතිජයට නෙත් දෙමින

කඳුළක් රහසින් තෙමන...

 

පවන හා පෙමින

බෝ රහස් කොඳුරාන

සීත පිනි බිඳු මතින

වලාරොද සළු දවටන...

 

රෑ සඳ හා තුටින

ආදර මිහිර විඳිමින

තරු මල් කඩාගෙන

සයුරු දියෙහි පා කරන...

 

කරදිය මත යනෙන

නාවිකයනට ගම්බිම් පවසන

දනන් ගැවසී නරඹන

සීරුවෙන් සිටගෙන සිටින...

ජේ.එච්. සමන් අතුල කුමාර


ඔබයි ජීවය

ජීවිතය ජය ගන්න

පාර සොයන, අපට

හරි මඟට යා ගන්න

නුවණැසට ලැබේවා...

 

හිරු නැඟෙන හෙට උදේ

අලුත් සිතුවිලි එක්ක

ගහ කොළට පෙම් බදින

මිනිස් ගුණ දම් රකින...

 

ලෝකයම එකම යායක් වෙලා

හිනැහෙන්න නිදහසේ

ලොවක් යළි ගොඩ නඟමු

ලෝකයක් තනන්නට

අපි සැවොම එක්වෙමූ

ජේ. ඩී. අබේකෝන්


එන්න අම්මේ ගෙදර

ගියදා පටන් දුරු රට

ඔබේ නැළවිලි ගී නැතිව

හඬයි නංගී දුකට

රෑ මැදියමේ අවදිව...

 

අත්තම්මගේ හඩට

ඇය තවම හුරු නැත

කඳුළු පුරවාගෙන නෙත් අතර

හූල්ලනවා නිතර...

 

තාත්තාගේ ගොරහැඩි කටට

බිය දැනේ අපි දෙන්නාට

ඉතින් ඔය ඇති සල්ලි

එන්න අම්මේ ගෙදර

ධම්මජොති හිමි


අතරමං වන ජීවිතය

සසර කතරෙහි

නොනිමි ගමනයි

අතර මං වන

නිතර මං පෙත

ජීවිතය

සිඩ්නි ජයවීර

Comments