උක්කුං පුතාගේ කතාව! | සිළුමිණ

උක්කුං පුතාගේ කතාව!

හැන්දෑවේ පහමාරට පමණ නිවසට පැමිණි සීමන් අප්පු උදැල්ල මහ සද්දෙට බිම ගැසුවේ ය.

ඊළඟට අමුඩ ලේන්සුව පිළීවැලට දාන අතර බැණ වදින්නට පටන් ගත්තේ ය.

“එක්කො මේ කොල්ල හදා ගනිල්ල!

නැත්නම් මං යනව ඔළුව හැරුණු අතේ;

හැමදාම කාගෙන් හරි කතා අහන්ට ඕනෑ.

මූ ළමයෙක්ද? නැත්නම් රාක්ෂයෙක් ද?“

සීමන් අප්පුගේ බිරිය රොසලින් කුස්සියේ සිට චීත්තයේ අත පිසිමින් ඉස්තෝප්පු කෑල්ලට පැමිණියේ සිය සැමියාගේ සුපුරුදු ගෝරනාඩුව කෙසේ හෝ නවතා ගත යුතු බැවින් ය.

“ඇයි මොකද වෙලා තියෙන්නෙ?“

“ඇයි - හූයි තමා, ආං උඹැහැගෙ

හුරතලා පන්සලේ පිං කැටේ කඩල!“

“නෑ...හ්! අනේ ඔය පොඩි එකාට

එහෙම දෙයක් කරන්ට පුළුවන් ද?“

“පොඩි එකා! පොඩි එකාට හරියයි

පොලිසියෙන් කුදලගෙන ගියහම!“

“අනේ අපුච්චේ! මූගෙ අපල කාලෙ

මං ගිහින් ලොකු හාමුදුරුවො හම්බවෙලා

ඕක විසඳුමක් කරගන්නම්කො!“

“අම්මලා පුතාල ඕන එකක්!“

සීමන් අප්පුට දරුවෝ පස් දෙනෙක් උන්හ. ඒ ගැහැනු දරුවන් හතරක් හා එක් පිරිමි දරුවෙක් වශයෙන් ය. බාලයා වූ සේපාලට අම්මා කතා කළේ උක්කුං පුතා යනුවෙන් ය. උක්කුං පුතා නාහෙට - නාහන දඩබ්බරයෙකි. ඔහු ඉස්කෝලෙට ගියොත්; කාට හෝ ගල්කූරෙන් අනී. නැතහොත් පාසලෙන් පැන ගොස් ඉබාගාතේ ඇවිදියි. ගෙදර හිටියොත් අක්කලාට හූ කියයි. නැතහොත් ඔවුන්ට පයින් පහර දෙයි. සේපාල සිය තාත්තාට කිසිසේත්ම කීකරු නැත. අම්මා කියා සිටියේ තම පුත්‍රයාට රාහු ලබා ඇති බව ය.

සේපාල නොහොත් උක්කුං පුතා නිසා මේ ගෙදර හැමදාම ආරවුල් ය. තාත්තා පුතා පිටමං කළ යුතු යැයි කියන අතර අම්මා ඔහු ආරක්ෂා කිරීමට වෑයම් කරයි. අක්කලාට මල්ලී කල්කදුරු මෙන් තිත්ත ය. අසල්වැසියෝ ඔහු දුටු තැන ඉවත බලා ගනිති. හොරා, ඇට්ටරයා, මදාවියා, සීමන්ගේ යක්ෂ පැටියා යන නම් ද ඔහු සඳහා භාවිත

විය.සේපාල කඩයකට ගියහොත් මුදලාලි සියලු වැඩ නවතා ඔහු දෙස ඇස ගසාගෙන සිටී. සේපාල ඉස්කෝලෙට ගියොත් ලොකු මහත්තයා වේවැල රැගෙන ඔහු සිටින පන්තිය අසල රැඳෙයි. සේපාල පන්සලට ගියොත් ලොකු හාමුදුරුවෝ ඔහු පන්නා ගනිති. උක්කුං පුතා කාටත් එපා වූ පුද්ගලයකු වී සිටියේ ය.

සේපාලට අපූරු හැකියාවන් කිහිපයක් ද තිබිණි. ඉන් එකක් වූයේ මතක ශක්තිය යි. එක වරක් ඇසූ දෙයක් ඔහුගේ මතක ගබඩාවෙහි ඒ අයුරින් ම සටහන් වී තිබිණි. තව හැකියාවක් වූයේ ඕනෑම දෙයක් කරගැනීම සඳහා සුදුසුම උපාය මාර්ගයක් ඔහු ළඟ තිබීම ය. තවත් හැකියාවක් වූයේ කිසියම් දෙයක් විනිවිද දැකීම සඳහා ඔහු සතු වූ නිරීක්ෂණ හැකියාව ය. මේ හැකියාවන් තිබුණ ද සේපාල හොඳ - නරක හඳුනන්නේ නැත. සදාචාරයෙන් ඔහුට වැඩක් නැත. පවට ඔහු භය නැත. කිසිවකු ඔහුගේ හොඳක් දුටුවේ නැත. එහෙත් නරක ගම පුරා ප්‍රචලිත විය.

“මං උක්කුං පුතාව

නාරම්මල ගරාජ් එකකට දානවා!

සීමන් අප්පුගේ බිරිය එක් දිනෙක රාත්‍රියේ සිය සැමියාට කියා සිටියා ය. සීමන් අප්පු කිසිදු පිළිතුරක් ලබා දුන්නේ නැත. ඔහුට සිය පුත්‍රයා හොඳට ම එපා වී තිබිණි. ඒ වනවිට සේපාලට යන්තම් අවුරුදු එකොළහ සම්පූර්ණ වී තිබිණි. අම්මා කැටුව නාරම්මල ගරාජයට ගිය සේපාල එතැන් සිට ගරාජ් වැඩ පුහුණු වන්නට පටන් ගත්තේ ය. ඔහුට කාර්මික වැඩ සම්බන්ධයෙන් උපන් හැකියාවක් ද තිබිණි. එම ගරාජයේ ම පුංචි කාමරයක ඔහුට නවාතැන් පහසුකම් ලැබිණි. අම්මා මාස දෙකකින් සිය පුත්‍රයා බලන්නට ගිය අතර ඔහු හොඳින් වැඩ කරගෙන සිටියේ ය. තවත් මාස දෙකකින් නැවත පුත්‍රයා බලන්නට ගිය අම්මාට දකින්නට ලැබුණේ ඔහු වඩාත් සතුටින් සිටින බව ය. එහෙත් තෙවන වර සිය පුත්‍රයා බලන්නට ගිය මවට ඔහු දකින්නට ලැබුණේ නැත.

සේපාල ගරාජයෙන් සල්ලි හොරකම් කරගෙන එතැනින් පැන ගොස් තිබිණි. පොලීසියට පැමිණිලි කළ ද ඔහු සොයා ගත නොහැකි විය.

“කොහෙ ගියත් හොරා හොරාමයි,

ඌ හදන්ට සක්කරයටවත් බෑ!“

සීමන් අප්පු හැමවිට ම සිටියේ සිය පුත්‍රයාට එරෙහිව ය. හැබෑවට ම සේපාල හෙවත් උක්කුං පුතා ගැන කිසිදු තෙතමනයක් සීමන් අප්පු ළඟ තිබුණේ නැත. ඔහු පුත්‍රයා ගැන සොයන්නට ගියේ නැත. පුත්‍රයා මතක් කළේ ද නැත. එහෙත් අම්මා හැඬූ කඳුළින් කාලය ගත කළා ය. වරෙක ඈ පේන අහන්නට ගියා ය. තව වරෙක බෝධි පූජා තබා සිය පුත්‍රයාට සෙත් පැතුවා ය.

කාලය සෙමෙන් ගෙවී ගිය අතර ගමේ ලොරි ඩැයිවර් කෙනකු වූ සයිමන් සේපාලගේ අම්මාට පණිවිඩයක් ගෙන ආවේ ය. ඉන් කියැවුණේ සේපාල නොහොත් උක්කුං පුතා ඇඹිලිපිටියේ හෝටලයක වැඩ කරමින් සිටින බව හා ඔහු හඳුනා ගැනීමට බැරි තරම් වෙනස් වී ඇති බව ය. අම්මා ඇඹිලිපිටියේ හෝටලය සොයාගෙන ගියා ය. සයිමන්ගේ පණිවිඩය ඇත්තකි. සේපාල හෝටලයේ ම නැවතී එහි වැඩ කරමින් සිටියේ ය.

“අනේ පුතේ අපි ගෙදර යං!

“මට කරදරයක් නෑ!

මං මෙහෙ ඉන්නවා!“

“මොනව වුණත් පුතේ

හොරකම් කරන්ට එපා“

“නෑ අම්මෙ ආයෙ මං

හොරකම් කරන්නෙ නෑ!“

රොසලින් අම්මා ආපසු පැමිණියේ සිත සන්සුන් කරගෙන ය. ගෙදර සියලු දෙනාට සේපාල පිළිබඳ ආරංචිය ලබාදුන්න ද කිසිවකු එය සැලකිල්ලට ගත්තේ නැත. අක්කලාට සිය මල්ලී අමතක ය. පියා වූ සීමන් අප්පු පසුවන්නේ පුත්‍රයා

පිළිබඳ අප්‍රමාණ කෝපයකින් ය.

“තව වැඩිකල් ඉන්නෙ නෑ

ඌ ඔතනිනුත් පැනල යනවා!

නිකං නෙමෙයි ලොකු

හොරකමකුත් කරලා!“

සීමන් අප්පු තර්ක කළේ ය. රොසලින් අම්මා සිය සැමියා සමඟ වාද කිරීමට ගියේ නැත. එහෙත් ඇයට එක විශ්වාසයක් තිබිණි. එනම්; මින් පසු සේපාල හොරකම් කරන්නේ නැති බව ය. වසරක් පමණ ගෙවී ගිය තැන රොසලින් අම්මා යළිත් තම පුත්‍රයා බැලීමට ඇඹිලිපිටියට ගියේ ය. එහෙත් ඔහු හෝටලයෙන් පැන ගොස් තිබිණි. මෙවර ඔහු හොරකමක් සිදුකර තිබුණේ නැත.

“සේපාල හොඳ ළමයා

ශතයක වංචාවක් නෑ!

ඒ වුණත් මෙහෙං ගිය එක

ප්‍රශ්නයක්!“

මුදලාලි කියා සිටියේ තමන්ගෙන් හෝ හෝටලයේ සේවක මණ්ඩලයෙන් හෝ සේපාලට කිසිදු වරදක් සිදුවූයේ නැති බව ය.

කාලය ගෙවී ගියේ ය. සේපාලගේ අක්කලා මේ වනවිට දීග - තල ගොස් සිටියෝ ය. සීමන් අප්පු මෙන් ම රොසලින් අම්මා ද වයස්ගත අය වූහ. රොසලින්ගේ කාලය ගෙවී ගියේ බණ ඇසීමට හා පන්සල් ගණනේ ගොස් පින් දහම් කිරීමට ය. සීමන් අප්පු තවම බැරි - බැරි ගානේ ගොවිතැන් බත් කරන්නේ ය.

නා විමන ආරණ්‍යයේ සෝවාන් භාවයට පත් භික්ෂූන් නමක සිටින බව ද උන්වහන්සේගෙන් බණක් ඇසීම මහා පින්කමක් බව ද ගම පුරා පැතිර ගියේ ය. රොසලින් අම්මා මේ ආරංචිය කන වැකුණු සැණෙන් නාවිමන වෙත යෑමට සූදානම් වූවා ය. අවසන් ලෙස සීමන් අප්පු ද ඊට කැමැති කරවා ගැනීමට ඇය සමත් වූවා ය.

ඔවුහු එකත් පස්ව වැඳ වැටී බණ දේශනාව ශ්‍රවණය කරමින් උන්හ. උන්වහන්සේගේ හඬ සමඟ ආත්මීය බැඳීමක් ඇතැ‘ යි රොසලින් අම්මාට සිතිණි. බණ දේශනාවේ මාතෘකා පාඨය වූයේ දාරක ස්නේහය යි.

උන්වහන්සේගේ ගැඹුරු ධර්ම විග්‍රහ රොසලින් අම්මාට වැටහුණේ නැති වුව මහා ශෝකයක් ළය පුරා පැතිර ගියේ ය. දරුවා යනු බාධාවක් බව ද, පාපයක් බව ද උන්වහන්සේ දේශනා කළ හ. දේශනාව අවසානයේ උන්වහන්සේ සමඟ වචනයක් කතා කිරීමේ වුවමනාව රොසලින් අම්මාට තිබිණි. එහෙත් දේශනය නිමා කළ උන්වහන්සේ වහා සිය කුටියට වැඩම කළ හ.

Comments