අභිමානවත් සියවස සැපිරූ බම්බලපිටියේ සාන්ත පීතර | සිළුමිණ

අභිමානවත් සියවස සැපිරූ බම්බලපිටියේ සාන්ත පීතර

ඉකුත් ජනවාරි 18 වැනි ගුරුදාව බම්බලපිටියේ සාන්ත පීතර විද්‍යාලයේ සිසු ගුරු සියලු දෙනා අමන්දානන්දට පත් කළ අසිරිමත් දිනයක් විය. ඒ, එදිනට එම විද්‍යාලයට සියවසක් සම්පූර්ණ වීමය. එම දිනය ආශිර්වාදාත්මක දිනයක් කරගැනීමට සාන්ත පීතර විද්‍යාලයේ වත්මන් අදියුරු වන රෝහිත රොද්‍රිගෝ පියතුමා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩලය කටයුතු කළහ. ඒ අනුව එදින විද්‍යාල පරිශ්‍රයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ය. කොළඹ සහායක රදගුරු මැක්ස්වෙල් සිල්වා, කොළඹ සහායක රදගුරු ඇන්ටන් රංජිත් සහ කතෝලික පාසල් සාමාන්‍යාධිකාරී ගැමුණු ඩයස් පියතුමා ද ඒ අවස්ථාවට සහභාගි වූ අතර විදුහලේ උන්නතිය වෙනුවෙන් නිබඳ දිරි දෙන ආදි සිසුන් ද මේ අනගි අවස්ථාවට ඇරයුම් ලැබ සිටියහ. විද්‍යාලයේ අධ්‍යක්ෂ රෝහිත රොද්‍රිගෝ පියතුමාගේ මඟපෙන්වීම යටතේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් උත්සවය පවත්වන්නට සංවිධායක මඬුල්ල කටයුතු කර තිබිණ.

අගරදගුරු හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති තුති පුදීමේ දිව්‍ය පූජාවෙන් ආරම්භ වූ උත්සවයේදී උන්වහන්සේ පැවසුවේ, සත්‍යය වෙනුවෙන් පෙනී සිටින දරු පරපුරක් තැනීම වත්මන් සමාජය වෙනුවෙන් කරන මෙහෙවරක් ලෙස සලකා කටයුතු කළ යුතු බවයි. අනාගත ලෝකයට අවශ්‍ය වන්නේ යහපත් සහ මානුෂික ගුණාංගවලින් යුතු මිනිසුන් විනා දැනුම පමණක් ලබා ගත් යන්ත්‍ර නොවන බව ද එහිදී අගරදගුරු හිමියෝ අවධාරණය කළහ.

සියවස් සංවත්සරය වෙනුවෙන් සමරු ඵලකය විවෘත කිරීම, සියවස් සමරු මුද්දරයක් නිකුත් කිරීම, සියවස් සමරු සඟරාවක් ප්‍රකාශනයට කටයුතු කිරීම සහ විද්‍යාලයීය ලේඛනාරක්ෂක හා කෞතුකාගාර මධ්‍යස්ථානය විවෘත කිරීම සිදු කෙරුණේ ඉන් අනතුරුවය.

වර්තමානයේ සිසුන් හාරදහස් තුන්සියයකට අධ්‍යාපනය ලබාදෙන සාන්ත පීතර විද්‍යාලයේ සමස්ත ගුරු මණ්ඩලය දෙසිය දාහතකි. කොළඹ බම්බලපිටිය ප්‍රදේශයේ ඉතා සුන්දර භූමි භාගයක පිහිටා ඇති සාන්ත පීතර විද්‍යාලය එක් මායිමක් වන්නේ වැල්ලවත්ත ඇළයි. විදුහලේ ඉතිහාසය විසිවැනි සියවස මුල් භාගය දක්වා අතීතයට දිවෙන්නකි. එකල මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේ අදියුරු පියතුමන් ලෙස කටයුතු කළ ගරු මොරිස් ලෙගොක් පියතුමාගේ පුරෝගාමීත්වයෙන් ආරම්භ වූ එම විද්‍යාලයේ සිසු පිරිස ප්‍රමාණය ඉක්මවා ගොස් තිබීම නිසා කතෝලික පිරිමි දරුවන් වෙනුවෙන් ශාඛා පාසලක් විවෘත කිරීමේ අවශ්‍යතාව මතු විය.

ඒ අනුව වැල්ලවත්තේ පිහිටි අත්හැර දමනු ලැබූ කුරුඳු ඉඩමක් වූ ‘කැලන්කඩුව වත්ත’ නම් ස්ථානයේ අක්කර නවය හමාරක් පාසලක් පිහිටුවීම සඳහා මිලදී ගනු ලබන්නේ රුපියල් එක්ලක්ෂ පනස්දහසක මුදලකටය.

ඉඩම මිලදී ගැනීමෙන් පසු නව පාසල නිර්මාණය කිරීමේ කාර්යය සඳහා ගොඩනැඟිලි සැලසුම් කළේ මොරිස් ලෙගොක් පියතුමා විසින් ම යැයි පැවසේ. ඒ, සියලු ඉදිකිරීම් විශේෂඥයන්ට වඩා අද්විතීය මැවුම්කරුවාණන් වන දෙවියන් වහන්සේ කෙරෙහි උන්වහන්සේ තුළ තිබූ බලවත් විශ්වාසය පෙරදැරි කරගෙනය. 1921 ජූලි 7 වැනි දින විද්‍යාලයේ ඉදිකිරීම් ආරම්භ කරන ලද අතර එහි ප්‍රගතිය අධීක්ෂණය කිරීම සඳහා ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන J. R. J ජයසූරිය පත් කරන ලදී. සාන්ත පීතර විද්‍යාලයේ දක්නට ලැබෙන ප්‍රෞඩ බව මොරිස් පියතුමාගේ ඉදිකිරීම් සැලසුමේ අපූර්වත්වය සනාථ කරන්නකි. එකල ඉංග්‍රීසි පාසල්වල හුරුපුරුදු අංගයක් වූ ඉදිරිපසින් හතරැස් කොටුවක් සහ ඒ වටා දිවෙන ඕවලාකාර ධාවකයක් පියතුමා විසින් ඔහුගේ නිර්මාණ සැලසුමට ඇතුළත් කළ අතර, එළිමහන් පන්ති කාමර සංකල්පය හඳුන්වා දෙනු ලැබුවේ ද එතුමාය. එලෙස ඉදිවූ ශාඛා පාසල 1922 ජනවාරි 18 වන දා සවස් භාගයේදී සිසුන් 204 ක් සහ ගුරු මණ්ඩලය 9 දෙනකු සමඟ ආරම්භ වන්නේ ගරු මොරිස් ලෙගොක් පියතුමාගේ වෙහෙස මහන්සිය මල්ඵල ගන්වමිනි. එසේ ආරම්භ කරන ලද විදුහල සාන්ත පීතර විදුහල නම් කරනු ලබන්නේ 1927 වසරේදීය.

එදා එක් ගොඩනැඟිල්ලකින් ආරම්භ වූ විද්‍යාලය තුළ මේ වන විට විට ගොඩනැඟිලි රාශියකින් සමන්විත වන අතර සියලු පහසුකම්වලින් සමන්විත ගෘහස්ත ක්‍රීඩාංගණය සහ පිහිනුම් තටාකය පීතරයන්ට පමණක් නොව වෙනත් පාසල්වල සිසුන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් ද භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයකි.

එමෙන්ම ඉකුත් සියවස තුළ ක්‍රිකට්, රගර් , පාපන්දු , පැසිපන්දු , හොකී, ඔරු පැදීම, ටෙනිස් , පිහිනුම්, මලල ක්‍රීඩා ඇතුළු ක්‍රීඩා ඉසව් රැසක් වෙනුවෙන් විද්‍යාලයීය දරුවන් විසින් හිමිකරගත් ජයග්‍රහණ රාශියකි. සාන්ත පීතර විද්‍යාලය සතු ක්‍රීඩාගාරය දිවයිනේ සෙසු පාසල් අතර කැපී පෙනීමට හේතුව එහි දැවැන්ත බව පමණක් නොව සියලු පහසුකම්වලින් සමන්විත වීම නිසාය. සියවසක් තුළ විද්‍යාලයීය බාලදක්ෂයන් , ශිෂ්‍යභට කණ්ඩායම, අපරදිග තූර්ය වාදන කණ්ඩායම ද විද්‍යාලයේ කීර්තිය වෙනුවෙන් ඉටු කළ මෙහෙයන් රැසකි.

එපමණක් නොව අනෙකුත් සෑම ක්ෂේත්‍රයකම මෙන්ම ආරක්ෂක අංශ අතර ආදි පීතරයන් මනාව කැපී පෙනේ. ‘භාව - සාන්ත’ යනු සාන්ත පීතර විද්‍යාලයීය කිතුගොස දසත පැතිර ගිය එවැනි එක් අවස්ථාවකි. විද්‍යාලයේ පෙරදිග වාද්‍ය වෘන්දයෙන් නිමැවුණු අපූර්වතම සංගීත සංධ්වනිය වන ‘භාව - සාන්ත’ මේ වනවිට අවස්ථා දෙකකදී ජනගත කොට ඇත. විද්‍යාලයීය ශත සංවත්සරය වෙනුවෙන් එය මේ වසරේදී යළිත් වරක් කරළියට එන්නේ සියවසක අබිමන් තවත් වර්ණවත් කරමිනි.

සාන්ත පීතර විද්‍යාලයේ දියුණුවට උරදුන් අදියුරු පියවරුන්ගෙන් එදාමෙදා තුර ඉටු වූ සේවය පීතරයන්ගේ සිත්වල සදාතනික ලෙස සටහන් වී ඇත. ඩී. ජේ. නිකලස් පෙරේරා පියතුමා, බැසිල් වීරතුංග පියතුමා, ආතර් ප්‍රනාන්දු පියතුමා, මර්වින් වීරක්කොඩි පියතුමා, සී. තියඩෝර්, ඊ. පීරිස්, ක්ලේවර් පෙරේරා පියතුමා, ෆ්රැන්සිස් මාදිවෙල පියතුමා, ජෝ ඊ. වික්‍රමසිංහ පියතුමා, ෆිලීෂියන් රංජිත් පෙරේරා පියතුමා, ට්‍රැවිස් ගේබ්‍රියල් පියතුමා සහ ගරු ට්‍රෙවෝ මාටින් පියතුමා පීතරය ගුණනැණ බෙලෙන් පෝෂණය කිරීමට දායකත්වය දුන් අදියුරු පියවරුන්ය. 2019 අගෝස්තු මස සිට මේ දක්වා අධ්‍යක්ෂ පියතුමා ලෙස කටයුතු කරන රෝහිත රොද්‍රිගෝ පියතුමා පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙන්ම ඉදිරිපෙළ පාසලක් ලෙස සමාජය වෙනුවෙන් ඉටු කළ යුතු මෙහෙය ද මනාව වටහාගෙන කටයුතු කිරීම පැසසුමට ලක්කළ යුත්තකි. විද්‍යාලයේ සියවස් සමරු වැඩසටහන් අතර ඒ සඳහා ද ප්‍රමුඛත්වය ලබා දී ඇත. ඒ අනුව දුෂ්කර ගම්මානයක දරුවන් වෙනුවෙන් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් සඳහා විද්‍යාලය පියවර ගෙන ඇති අතර, ඒ සඳහා වත්මන් පීතරයන් සියලු දෙනා සක්‍රීයව දායක කරගැනීමට සැලසුම් කර තිබීම ඔවුන් තුළ මානව හිතවාදී ගුණාංග දියුණු කිරීමට අදියුරු පියතුමා ගත් මහඟු පියවරකි.

ලෝකයම ගොදුරු කරගත් කොවිඩ් වසංගත සමයේදී මාර්ගගත ඉගැන්වීම් සිදු කළ පාසල් අතර ඉදිරියෙන්ම සිටින සාන්ත පීතර විද්‍යාලය ඒ කාලය තුළදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පමණක් නොව ක්‍රීඩා පුහුණු කටයුතු පවා මාර්ගගත ක්‍රමයට සිදු කරනු ලැබුවේ දරුවන් තුළ කායික සහ මානසික සුවතාව ඇතිකිරීමට ක්‍රීඩාවෙන් ලැබෙන ප්‍රයෝජනය මනාව හඳුනාගැනීම නිසාය. සෑම සිසු දරුවකුටම එක් ක්‍රීඩාවක හෝ නියැළීමට අවස්ථාව සලසා තිබීම ද සාන්ත පීතර විද්‍යාලයේ කැපී පෙනෙන ලක්ෂණයකි.

සියවසක අභිමානය විඳින මේ ප්‍රීතිමත් මොහොතේ විද්‍යාලයීය වත්මන් අදියුරු රෝහිත රොද්‍රිගෝ පියතුමාගෙන් අප විමසුවේ විද්‍යාලයේ උන්නතිය වෙනුවෙන් ගන්නා ඉදිරි සැලසුම් ගැනය.

“විද්‍යාලයක් ලෙස සියවැනි සංවත්සරය සමරන මේ අවස්ථාව අප සියලු දෙනාටම ප්‍රීතිමත් අවස්ථාවක්. විද්‍යාලය මේ දක්වා පවත්වාගෙන ඒමට දායක වූ සියලු දෙනාම ස්තුති කරන්නටත් මෙය අවස්ථාවක් කරගන්නවා. විශේෂයෙන් සියවැනි සංවත්සර උත්සවය සාර්ථක කරගැනීම සඳහා දායක වූ සිසු, ගුරු, දෙමාපිය, ආදි සිසුන් ඇතුළු සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා.

මෙරට ප්‍රමුඛතම කතෝලික අධ්‍යාපන ආයතනයක් වශයෙන් සාන්ත පීතර විද්‍යාලය තුළින් සමාජයට සම්පතක් වන ඵලදායි පුරවැසියන් පිරිසක් ගොඩනැඟීම අපගේ අරමුණයි. සියලු දරුවන්ට ඔවුන්ගේ සිහින හා අභිලාෂයන් සැබෑ කර ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපනය කෙරෙහි අවධානය යොමු කරන අතරම විනයානුකූල පරිසරයක් තුළ විෂය සමගාමී, විෂය බාහිර හා ක්‍රීඩා කටයුතුවලට අපි මුල් තැනක් ලබා දෙනවා. සෑම දරුවකුටම ගරු කරන සහ අගය කරන සංස්කෘතියක් ඇති කිරීම අපේ අපේක්ෂාවයි.

ඒ නිසාම මේ දක්වා ආ ගමනේදී වගේම ඉදිරියේදීත් ‘සාමූහික කළමනාකරණය’ මූලධර්ම අනුගමනය කරමින් දරුවන් අධ්‍යාපනයෙන් සහ ආධ්‍යාත්මිකව පෝෂණය කිරීමට ගත හැකි සියලු පියවර ගනු ලබනවා. දරුවන් ගෝලීය පුරවැසියන් වුවත් ඔවුන්ට ඔවුන්ගේම සංස්කෘතිය හා සම්ප්‍රදාය තුළ ජීවත් වන්නට අවකාශ සලසමින් සාමකාමී සහ සුහදශීලී ලෝකයක් ගොඩනැඟීම සඳහා ඔවුන් මෙහෙයවමින් වගකීම් සහිත පුරවැසියන් බවට පත්කිරීමේ අභියෝගයට මුහුණ දීමට අප සූදානම්.“

Comments