වස විෂ නැති යස හිත ඇති චන්දිමාල් ගෙන් හරි වැඩේ ගනිමු | Page 2 | සිළුමිණ

වස විෂ නැති යස හිත ඇති චන්දිමාල් ගෙන් හරි වැඩේ ගනිමු

 

දිනේෂ් චන්දිමාල් බලපිටියෙන් ක්‍රිකට් ලෝකයට එක්වුණු ක්‍රීඩකයෙක්. අජිත් ද සිල්වා නිසා කොළඹ ආනන්ද විදුහලට පැමිණි ඔහු කෙටි කලකින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වෙන්න වාසනාව හිමි කර ගන්නවා. එතැන් පටන් ඔහුට නායකත්වය දක්වා එන්න ගතවන්නේ කෙටි කාලයක්. නමුත් සියල්ල වෙනස් වන්නේ ඔහු ක්‍රිකට් පිටියෙන් ඉවතට විසි වෙන්නේ නායකත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළේ අරගල නිර්මාණය වෙමින් තිබුණු කාලයකදීයි. විවිධ ක්‍රීඩකයන් තම තමන්ගේ ප්‍රතිරූප යොදා ගනිමින් ජාතික පිලේ නායකත්වයට එන්නට උත්සාහ දරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආබාධ, අයි.සී.සී. ය විසින් පන්දු යැවීමේ වේගය පවත්වාගෙන නොයෑමේ චෝදනාව මත ලැබූ තරග තහනම් නිසා නිත්‍ය නායකත්වයෙන් ඉවතට විසි වෙන්න දිනේෂ් චන්දිමාල්ටත් බලපෑම් කරනවා. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ඔහුට නායකත්වය කෙසේ වෙතත් ජාතික කණ්ඩායමේ නිත්‍ය ස්ථානයත් අහිමිවීමයි. මේ ඔහු ගේ ක්‍රිකට් අනාගතය සම්බන්ධයෙන් ‘ක්‍රීඩා’ තබන සටහනක්.’

කාලය හොඳ වුණා ම මෝල් ගහක් වුණත් පැළ වෙනවා කියලා කතාවක් තියෙනවා නේ. ඒ වගේම තමයි කාලය නරක් වුණාම සිද්ධ වෙන්නෙ ඒකේ අනිත් පැත්ත.

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉන්න විශිෂ්ට පිතිකරුවෙක් වන දිනේෂ් චන්දිමාල් ගැන සඳහන් කරන්න තමයි ඔය උපමාව යොදා ගත්තේ.

අවුරුදු 21 දී ජාතික පිලට එකතු වෙලා පන්දුවාර 20, එක්දින හා ටෙස්ට් යන ක්‍රිකට් ක්‍රීඩාවේ අංශ තුනේ ම නායකත්වයට ළාබාල වියේදීම පත්වෙන්න වාසනාවන්ත වුණු දිනේෂ් චන්දිමාල් අදටත් වර්ගීකරණය වෙලා තියෙ-න්නේ තාක්ෂණයෙන් අග තැන්පත් පිතිකරු-වකු ලෙසයි.

මේ වන විට ටෙස්ට් තරග 64 ක දී ලකුණු

4217ක් ද එක්දින තරගවල දී ලකුණු 3707 ක්ද පන්දුවාර 20 ක්‍රිකට් තරගවල දී ලකුණු 950ක් ද වාර්තා කර ඇති ඔහු ටෙස්ට් ශතක 11ක් හා අර්ධ ශතක 20ක්, එක්දින ශතක 4ක් හා අර්ධ ශතක 23ක් මෙන්ම පන්දුවාර 20 අර්ධ ශතක 6 ක් ද වාර්තා පොතට එක්කර අවසන්.

දේශීය ක්‍රිකට් පිටියේ දී නොදැවී ලකුණු 354 ක් රැස්කොට ඉහළම ඉනිම සටහන් කරන තමන් සහභාගී වූ මංගල ටෙස්ට් තරගයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ඉනිම දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කළ පළමු ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්වෙලත් තියෙන්නේ චන්දිමාල් තමයි.

අද වන තුරුත් ඔහු ශාරීරික යෝග්‍යතාවකින් අසමත් වෙලත් නැහැ. නමුත් පසුගියදා පැවැත් වූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් යොවුන් නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ද අසමත් වෙලා තිබුණා. ලෝකයේ සිටින අනික් හැම පිතිකරුවෙක් වගේම චන්දිමාල් පවා ලකුණු අතර නොසිටි කාලයක් තිබුණා. ඒ කාලවල ඔහුට ජාතික පිලේ අවස්ථා අහිමි වෙලත් තිබුණා. ඕක සාමාන්‍ය තත්ත්වයක්. නමුත් දැන් සිදුවන සිදුවීම් අනුව චන්දිමාල් බලධාරීන්ගේ කතුරට ගොදුරු වෙලා ඉන්න බවක් තමයි පෙනෙන්නේ.

පසුගියදා නිමාවට පත් වූ දෙවැනි ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් තිබුණ ක්‍රීඩක වෙන්දේසියේ දී චන්දි-මාල්ට කිසිම කණ්ඩායමක අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ පිළිබඳ ව කටකතා පැතිරෙන්නට ගත්තම චන්දිමාල් සහ මැතිව්ස් ඇතුළු 10 දෙනෙකුට තරගා-

වලියට එක්වීමට අවස්ථාව ලැබුණා. අවසානයේ කොළඹ පිල නියෝජනය කළ චන්දිමාල් නැවතුණේ එම තරගාවලියේ තෙවැනියට වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා වශයෙනුයි. ඒ තරග 9 ක ට සහභාගි වෙලා ලකුණු 277 ක් ලබා ගනිමිනුයි.

ඒ මොනව වුණත් ශ්‍රී ලංකාවේදී පවත්වන සිම්බාබ්වේ සංචාරයට අයත් එක්දින තරගාවලියට නම් කරපු කණ්ඩායමට චන්දිමාල් එකතු කර තිබුණේ නෑ.

ඒත් කොවිඩ් වැලඳීම, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම, ආබාධයන්ට ගොදුරු වීම ඇතුළු හේතු කිහිපයක් නිසා කණ්ඩායමෙන් ක්‍රීඩකයන් ඉවත්වීම චන්දිමාල්ට යළි ජාතික පිලට එක්වන්න අවස්ථාව උදාකළා. කොහොම වුණත් අපි කියන්නේ එක්දින ක්‍රීඩාවේ දී හෝ පන්දුවාර 20 ක්‍රීඩාවේ දී හෝ ඔහු ශ්‍රී ලංකා පිලට අවශ්‍ය නොවේ නම් ඒ බව ඔහුට දැන්වීම අවශ්‍ය බවයි. ටෙස්ට් තරග නොමැති අවස්ථාවල විදේශයන්හී පවත්වනු ලබන ක්‍රිකට් තරග මාලාවන්ට සහභාගී වීමට ලැබෙන අවස්ථාවන් වළකාලීමට බලධාරීන්ට පියවර නොගත යුතුයි. ඒ හරහා උපයන යම් මුදලක් වේ නම් ඒවා ඔවුන් රැගෙන එන්නේ ශ්‍රී ලංකාවට බව අප අමතක නොකළ යුතුයි.

මෙතැන චන්දිමාල්ගේ ඇති විශේෂත්වය වන්නේ තමන් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් එකොළොස් දෙනාට ඇතුළු වුවත් නැතත් කණ්ඩායම වෙනුවෙන් අවංකව කටයුතු කරන එක දැක්විය හැකියි. ඔහුට ප්‍රවීණයන් සමඟ මෙන් ම නවකයන් සමඟ ද සුහදව කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා.

ඒ අතින් ගනිද්දී චන්දිමාල් කියන්නේ විෂ බීජයක් නොවන යස බීජයක් ලෙස සැලකිය හැකි විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ලැබුණු අවස්ථාවෙන් තමුන්ට වගේම රටට දෙයක් කරන්න ඔහු පසුබට නොවන ක්‍රීඩකයෙක්. නවක ක්‍රීඩකයන් කෙරේ ද්-වේශයකින්, නායකත්වය සම්-බන්ධයෙන් කෑදරකමකින් තො-රව නිහතමානීව කණ්ඩායම වෙනුවෙන් තම උපරිම යුතුකම් කරන්න කැමැති ක්‍රීඩකයෙක් තමයි දිනේෂ් චන්දිමාල් කියන්නේ.

ඒත් දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ චන්දිමාල් සම්බන්ධයෙන් ගනු ලබන තීන්දු තීරණ ඔහු වගේ ක්‍රීඩකයකුට නොගැළපෙන බව කිව යුතුයි. කොහොම වුණත් ඔහු මෙතරම් අපහසුතාවන්ට ලක්කළ යුතු ක්‍රීඩකයෙක් නොවෙයි. ඔහු යො-වුන් ක්‍රීඩකයන් සමඟත් ප්‍රවීණ ක්‍රීඩකයන් එක්කත් හොඳින් මුසුවී ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්.

එසේම තවමත් ඔහුගේ දක්ෂතා ගිලිහී නැති හෙයින් සිදු කළ යුත්තේ දිනේෂ් චන්දිමාල්ට නිත්‍ය වගකීම් පවරා ඔහුව ටෙස්ට් තරග රටාව තුළ හෝ ස්ථාවර කිරීම ය. එසේ නොමැතිව ක්‍රීඩක මානසිකත්වය මොට කිරීම නොවේ.

ක්‍රිකට් ක්‍රීඩාව ගැන ඉතා ගැඹුරින් දන්නා වර්තමාන තේරීම් කමිටු සභාපතිවරයා දිනේෂ් චන්දිමාල් නමැති ක්‍රීඩකයා සම්බන්ධයෙන් මැදහත්ව සිතිය යුතුව ඇතැයි අපි විශ්වාස කරමු. එය චන්දිමාල් නමැති ක්‍රීඩකයාගේ අනාගතය සම්බන්ධයෙන් පැහැදිලි තීරණයකට එළැඹීමට ඔහුට ද ලබා දෙන සසයෝගයක් මෙන් ම රටේ ක්‍රිකට් ක්‍රීඩාවටද ඔහුගෙන් උපරිමය ලබා ගැනීමක් වනු ඇති බව කවුරු කවුරුත් තේරුම්ගත යුතුව ඇත.

 

Comments