ලෝකෙට ලොක්කා වුණත් කාලය උදාවූ කල සොක්කා වන්න සූදානම් විය යුතු ය | සිළුමිණ

ලෝකෙට ලොක්කා වුණත් කාලය උදාවූ කල සොක්කා වන්න සූදානම් විය යුතු ය

 

සෑම දෙයක් ම නිමාවට පත් වන මොහොතක් එළැඹෙන බවත් ඉන්දීය ටෙස්ට් පිලේ නායකත්වයට සමු දීමේ අවස්ථාව දැන් එළැඹී ඇති බවත් පවසමින් විරාත් කෝලි ඉන්දීය නායකත්වයෙන් ඉවත් වූයේ ය. පසුගිය දා දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගමාලාව 2-1 ක් ලෙස පරාජයට පත්වීමත් සමඟ විරාත් කෝලි සිය හත් වසරක ටෙස්ට් නායකත්වයෙන් මෙසේ ඉවත් විණි.

2015 වසරේ දී මුල් භාගයේ මහේන්ද්‍ර සිං දෝනි ක්‍රීඩාවෙන් විශ්‍රාම යෑමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසු ඉන්දීය ටෙස්ට් පිලේ නායකත්වයට පත් වූ කෝලි එකී තනතුරෙන් සමුගත්තේ එතෙක් මෙතෙක් ඉන්දියාවෙන් බිහි වූ වඩාත් ම සාර්ථක ටෙස්ට් ක්‍රිකට් නායකයාගේ වාර්තාවට හිමිකම් කිය-මිනි. ටෙස්ට් තරග 68 ක දී නායකයා ලෙස කටයුතු කර ඇති ඔහු, එහි දී ජයග්‍රහණ 40 ක් කරා ඉන්දීය කණ්ඩායම මෙහෙයවා තිබේ. ඒ අනුව ලෝක ටෙස්ට් පිටියේ වඩාත් ම සාර්ථක නායකයන් අතර සිව් වැනි ස්ථානයට හිමිකම් කියන්නේ ද කෝලි ය.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සහ කෝලි අතර පසුගිය මාසයේ සිට යහපත් සම්බන්ධතාවක් නොතිබිණි. ඒ අනුව විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට පසු ඔහු නායකත්වයෙන් ඉවත් විණි. අනතුරුව එම තනතුරට රෝහිත් ෂර්මා පත් කෙරිණි.

ටෙස්ට් නායකත්වයෙන් සමුගැනීමේ තීන්දුව විරාත් කෝලි නිල වශයෙන් නිවේදනය කළේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර පැවති ටෙස්ට් තරගාවලියෙන් අනතුරුව ය. දකුණු අප්‍රිකාවේ දී සිය පළමු තරගාවලි ජයග්‍රහණය වාර්තා කිරීමේ ඉන්දීය උත්සාහය ව්‍යර්ථ කිරීමට දකුණු අප්‍රිකාව සමත් විය. එම තරගාවලියේ පළමු තරගය ඉන්දියාව ජයග්‍රහණය කළ ද ඉතිරි තරග දෙක ම ජය ගනිමින් තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානුවෝ සමත් වූ හ.

ටෙස්ට් නායකත්වය අත්හැරීම පිළිබඳ විරාත් කෝලි නිවේදනය කර තිබුණේ සමාජ මාධ්‍ය හරහාය. එහි දී විරාත් කෝලි පවසා ඇත්තේ,

කණ්ඩායම නිවැරැදි මාවතකට ගෙන යෑමට මම වසර 7 ක් තිස්සේ වෙහෙස මහන්සි වී වැඩ කළා. මම නොපසුබට උත්සාහයෙන් සෑම දිනක් ම ගත කළා. මම අවංකව එම කාර්යය ඉටු කළා. තවත් ඉටුකිරීමට කිසිවක් ඉතිරි කර ගෙන නැහැ. මගේ විශ්වාසයට අනුව සෑම දෙයක් ම යම් අවධියක නතර වෙන්න ඕනෑ. ඉන්දියාවේ ටෙස්ට් නායකයා ලෙස මට එයට සමුදීමට කාලය පැමිණ ඇති බව හැඟෙනවා. මේ ගමනෙහි බොහෝ ඉහළ අවස්ථා වගේම පසුබෑම් දක්නට ලැබුණා. නමුත් කිසි විටෙකත් මගේ උත්සාහයේ අඩු-වක් හෝ විශ්වාසයේ අඩුවක් තිබුණේ නැහැ. මම සෑම විට ම මගේ සෑම දෙයක්ම උපරිමයටත් වඩා ඉහළින් කණ්ඩායමට ලබා දීමට උත්සාහ කළා. මට ඒක කරන්න බැරි නම් ඒක නිවැ-රැදි දෙයක් නොවෙයි. මගේ හදවතේ සම්පූර්ණ පැහැදිලි බවක් තියෙනවා. මට මගේ කණ්ඩායමට බොරු කරන්න බැහැ.

මෙතරම් දිගු කාලයක් මගේ රට මෙහෙයවීමට මට අවස්ථාව ලබා දීම ගැන ඉන්දීය ක්‍රිකට් ආයතනයට ස්තුති කරන්න ඕනෑ. ඊට අමතරව මම නායකයා වූ පළමු දිනයේ සිට ම කණ්ඩායම වෙනුවෙන් මා තුළ තිබූ දැක්ම පිළිගත් සහ කිසි විටෙකත් එකී අරමුණ අත් නොහළ සියලු ම කණ්ඩායම් සගයන්ටත් ස්තුතියි. කණ්-ඩායමේ පිටුපසින් හිඳිමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළට අඛණ්ඩව කණ්ඩායම මෙහෙය වූ එන්ජිම වුණේ රවී ශ්‍රාස්ත්‍රි. රවීට සහ සහායක කණ්ඩායමට මගේ දැක්ම ජීවමාන කිරීමට උදවු කළ ඔබ සියලු දෙනාටම ස්තුතියි. ඔබ සියලු දෙනා විශාල කාර්යභාරයක් ඉටු කරලා තියනවා. නායකයකු විදිහට මම ගැන විශ්වාසය තබා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යා හැකි දක්ෂ පුද්ගලයකු බවට මාව පත්කළ එම්.එස්.ට (මහේන්ද්‍ර සිං දෝනි) විශාල ස්තුතියක් පිරිනමන්න ඕනෑ.

එම්එස් ගෙන් අනතුරුව නායකත්වයට පත්වූ විරාත් කෝලි 2014 වසර අවසානයේ දී පළමුවරට ටෙස්ට් තරගයක දී ඉන්දියාව මෙහෙයවූයේ ය.

වසර ගණනාවක් පුරා, විරාත් කෝලිගේ ටෙස්ට් නායකත්වයේ සාර්ථකත්වය ප්‍රතිඵල වෙතින් දිස්වූ අතර, එක්දින සහ විස්සයි20 තරගවලින් ද එම්.එස්. ඉවත් වීමෙන් අනතුරුව ඉන්දීය කණ්ඩායමේ නායකත්වයට කෝලි පත්විණි. අවසානයේ දී එතෙක් මෙතෙක් ඉන්දීය කණ්ඩායමේ සාර්ථක ම නායකයා ලෙස හැඳින් වූ දෝනි අභිබවා ඉන්දීය ටෙස්ට් ඉතිහාසයේ සාර්ථක ම නායකයා බවට පත් වීමට විරාත් කෝලිට හැකිවිණි.

විරාත් කෝලි යටතේ, ඉන්දියාව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ඉහලටම පැමිණි අතර එරට ඉතිහාසයේ පළමු වරට 2018-19 දී ඔස්ට්‍රේලියාවේ දී ටෙස්ට් තරගාවලියක් ජයග්‍රහණය කිරීමට ද සමත්විය.

සමස්තයක් වශයෙන් ඉන්දීය කණ්ඩායම විරාත් කෝලිගේ නායකත්වය යටතේ ටෙස්ට් තරග 68 ක දී තරග 40ක් (ජයග්‍රහණ ප්‍රතිශය 58.82ක්) ජයගෙන තිබෙන අතර, එතෙක් මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ නායකයන් අතරින් ඔහුට වඩා ඉදිරියෙන් සිටින්නේ ග්‍රැහැම් ස්මිත් තරග 159, ජයග්‍රහණ 53 ක්, රිකී පොන්ටින් තරග 77, ජයග්‍රහණ 48 ක් සහ ස්ටීව් වෝ තරග 57 ක දී ජයග්‍රහණ 41 ක් වශයෙන් පමණි.

නායකත්වයෙන් නික්මෙන කෝලි-ගේ ක්‍රිකට් අනාගතය පිළිබඳ හිටපු ඉන්දීය ක්‍රිකට් විශිෂ්ටයකු වන කපිල් දේව් ද අදහස් දක්වා තිබුණි.

එහි දී ඔහු පවසා තිබුණේ තමාට වඩා කනිෂ්ඨ ක්‍රීඩකයෙකු යටතේ ක්‍රීඩා කිරීමට නම් කෝලි ඔහුගේ මමත්වය අත්හැරිය යුතුව ඇති බවයි. එසේම කෝලි යනු නායකත්වය විනෝදයට ගන්නකු නොවන හෙයින් නායකත්වයට සමුදීමේ තීරණය අති-ශයින් අමාරු තීරණයක් වන්නට ඇති බව ද පවසා තිබුණේ ය. එසේම නිර්භීත ක්‍රිකට් සන්නාමයක් ලෙස ක්‍රීඩා කිරීමට විරාත් කෝලිට ඇති හැකියාව අවහිර කරන මූලික කාරණය වූයේ ද නායකත්ව පීඩනය බවයි.

‘ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට විරාත් කෝලි ගත් තීරණය මම පිළිගන්නවා. ඔහු විස්සයි විස්ස නායකත්වයෙන් ඉවත් වූ දවසේ ඉඳන් දුෂ්කර කාලයක් පසු කරමින් සිටියා. ඒ වගේම ඔහු මෑත කාලයේ පීඩනයකට ලක්ව තිබෙනවා. ඒ නිසා නායකත්වය අත්හැරීම එක්ක ඔහුට නිදහසේ ක්‍රීඩා කරන්න අවස්ථාවක් උදා කරයි.’ යැයි හිටපු ඉන්දීය නායක කපිල් දේව් වැඩිදුරටත් පවසා තිබේ.

“සුනිල් ගවස්කාර් පවා මගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළා. මම ක්‍රිෂ්මචාරි ශ්‍රීකාන්ත් සහ මොහොමඩ් අසාරුඩීන් යටතේ ක්‍රීඩා කර තිබෙනවා. මට මමත්වයක් තිබුණේ නැහැ. විරාත් කෝලිටත් තමන්ගේ මමත්වය අතහැර ක්‍රීඩා කරන්න සිදුවෙනවා. ඒක ඔහුට සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතයට උපකාරී වේවි. ඒ වගේම නව නායකයාට, නව ක්‍රීඩකයන්ට විරාත් කෝලි මඟ පෙන්වන්න ඕනෑ. අපිට පිතිකරුවෙක් විදිහට ඔහුව අහිමි කර ගන්න බැහැ. කොහොමත් ඒක කරන්න බැහැ.” එසේ පවසන්නේ කපිල් දේව් ම ය.

මේ වන විට 33 හැවිරිදි වියේ පසු වන විරාත් කෝලි සිය නායකත්වය යටතේ පරාජය ලබා ඇති ටෙස්ට් තරග සංඛ්‍යාව 17කි.

 

***************************************

කෝලිගේ නායකත්වය අහිමි වීමේ තර්ජනයක් තිබුණා - ගවස්කාර්

 

'ඉන්දීය ටුඩේ' වෙත ප්‍රකාශයක් නිකුත් කරන හිටපු ඉන්දීය ක්‍රිකට් ශ්‍රේෂ්ඨයකු වන සුනිල් ගවස්කාර් පවසා තිබුණේ දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේ 1-2 ක් වශයෙන් පරාජය වීම කෝලිට සිය ටෙස්ට් නායකත්වය අහිමි වීමේ තර්ජනයක් නිර්මාණය වී තිබූ බවයි. එහෙත් තවත් හිටපු ඉන්දීය ක්‍රීඩකයකු වන මදන් ලාල් පවසන්නේ වෙනස් කතාවකි.

“ඔහුගේ ඉවත්වීම මට පුදුමයක්. මම හිතන්නේ ඔහුව එක්දින නායකත්වයෙන් ඉවත් කළේ ඇයි ද කියන පීඩනය තුළ ඔහු තවමත් සිටිනවා විය හැකියි. ඒ පීඩනය ඔහුට ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වීමට බලපෑමක් වන්නට ඇති” ඒ මදන් ලාල්ගේ අදහස ය.

නායකත්වයේ චණ්ඩි හැසිරීම් හේතු වුණා ද?

කෝලිට නායකත්වයෙන් ඉවත්වීමට දකුණු අප්‍රිකාව සමග පැවති අවසන් ටෙස්ට් තරගයේ දී වූ එක් අමිහිරි සිදුවීමක් බලපාන්නට ඉඩ ඇති බවට ද මතයක් ඇත. ඒ තරගයේ තීරණාත්මක අවස්ථාවක දකුණු අප්‍රිකා නායක ඩින් එල්ගර් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවී දැවී යෑමෙන් අනතුරුව ඔහු විනිසුරු තීරණය නැවත විමසීමේ අවස්ථාව ලබා ගත් අතර, එහි දී පන්දුව කඩුල්ලට ඉහළින් ඇදී යනු දක්නට තිබිණි. මෙහි දී ඉන්දීය නායක කෝලි කඩුල්ලේ සවි කර ඇති මයික්‍රෆෝනය වෙත ගොස් ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේ ය. මේ අතර ඉන්දීය ක්‍රීඩකයන් කිහිපදෙනෙක් ම එම තීරණය කෙරෙහි දැඩි අප්‍රසාදය පළ කළ අයුරු කඩුල්ලේ අටවා තිබූ මයික්‍රෆෝනයෙන් ශ්‍රවණය වී තිබිණි.

මේ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් කළමනා-කාරිත්වය ජගත් ක්‍රිකට් තරග නිලධාරීන් හා අදහස් හුවමාරු කර ගැනීමක් සිදු කර ඇති නමුත් ඉන්දීය ක්‍රීඩකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමේ සූදානමක් නොමැති බවත් දැන ගැනීමට තිබිණි.

නමුත් ඉහත සඳහන් ගවස්කාර්ගේ ප්‍රකාශය දෙස බලන විට කෝලිගේ ඉවත්වීම පිටුපස මෙම සිදුවීම හොල්මන් කරනු ඇති බව ද ප්‍රතික්ෂේප කළ නොහැකිය. හිටපු ඉන්දීය ක්‍රීඩකයකු වන ගෞතම් ගාම්බීර් ද හිටපු ඉන්දීය නායකයාගේ මෙම ක්‍රියාව තදින් විවේචනය කර ඇත.

 

කෝලිගේ හිස්තැනට නම් රැසක්

මේ වන විට කෝලිගෙන් හිස් වූ නායකත්වයට නො-යෙකුත් නම් යෝජනා වී ඇති අතර සුනිල් ගවස්කාර්ගේ තේරීම වත්මන් කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවකු වන 24 වියැති රිශාබ් පාන්ට් ය. මීට අමතරව රෝහිත් ෂර්මා, කේ.එල්. රාහුල්, රවිචන්ද්‍රන් අශ්වින්, අජන්ක්‍යා රෙහෙනේ යන ක්‍රීඩකයින් ගේ නම් ද යෝජනා වී තිබේ.

අනිල් වීරසිංහ

Comments