පිජාමා පිකාසෝ බෙවන් මහත්තයා | සිළුමිණ

පිජාමා පිකාසෝ බෙවන් මහත්තයා

 

'ඔහු එදා පිටියට පැමිණියේ ඔස්ට්‍රේලියානු ඉදිරි පෙළ පිතිකරුවන් බොහෝ දෙනෙක් ප්‍රතිවාදී පන්දු යවන්නන්ගේ පීඩනය ඉවසා ගන්නට නොහැකිව සිය කඩුලු ඔවුනට ලබා දී ක්‍රීඩාගාරය වෙත ගිය අවස්ථාවේ ය. එසේ පැමිණි මොහොතේ සිට ඔහු කළේ තම කණ්ඩායම වෙත එල්ලවී තිබූ පීඩනය ප්‍රතිවාදී කණ්ඩායම වෙතට යොමු කර වීමයි. එකී ප්‍රයත්නයේ බොහෝ උත්සාහයන් සාර්ථක වූ හෙයින් ඔහු සැලකුණේ “Best Finisher” ලෙසය.

ක්‍රිකට් කියන්නේ වෙලාව-කට හරිම පුදුම හිතෙන ක්‍රීඩාවක්. ඒ ක්‍රිකට් ක්‍රීඩාවේ අන්ත පරාජයක් වෙත යමින් සිටි කණ්ඩායමක් නොසිතූ නොපැතූ අයුරින් ජයග්‍රහණය කරා මෙ‍ෙහය වූ අවස්ථ දකින්නට ලැබෙන නිසයි.

බොහෝ විට එක් ක්‍රීඩ-කයෙක් හෝ ක්‍රීඩකයන් දෙ-දෙනකුගේ දක්ෂතා නිසා එවන් විස්මයජනක ක්‍රිකට් ජයග්‍රහණ සිදු වන බව පිළිගත යුතුයි. ඔස්ට්‍රේලියාවෙන් බිහි වූ අග්‍රගණයේ පිතිකරුවකු ලෙස සැලකෙන මයිකල් බෙවන් කියන්නෙත් එවන් විස්මයජනක ජයග්‍රහණ රැසක් ඔස්ට්‍රේලියාවට උරුම කර දුන්න ක්‍රීඩකයෙක්. ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ හොඳම ඉනිම් අවසන් කරන්නා යන විරුදය ඔහුට පටබැ‍ඳෙන්නේත් ඒ නිසාමයි.

මයිකල් බෙවන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසෙන්නේ 1994 දී. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව තරග වදිමිනුයි. නමුත් එහිදී ඔහුට පන්දුවට පහර දෙන්නට අවස්ථාව ලැබෙන්නේ නැහැ. නමුත් බෙවන් සහභාගී වූ දෙවැනි එක්දින තරගය ඔහුට ඉතාම සුවිශේෂී එකක් වෙනවා. නවසීලන්තයට එරෙහිව පැවති එම තරගයේ දී ඔස්ට්‍රේලියාවේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 123කට දැවී යන අතර, ඉන් පසු පිටියට පිවිසි බෙවන් එහි දී නොදැවී ලකුණු 39 ක් ලබා ගෙන ඉනිම අවසන් වන තුරුම පිටියෙහි රැඳී සිටිනවා. ඔහු අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ පන්දුවට පහර දුන් පළමු ඉනිමේ දී ම ඉනිම අවසන් වන තුරු නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

ඉන් පසුව බෙවන් ඇතුළු ඔස්ට්‍රේලියානු කණ්-ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නියැළුණා. එහි පළමු තරගයේ දී ත් බෙවන් ඔස්ට්‍රේලියානු ඉනිම අවසන් වන තුරුම තරගයේ රැඳී සිටින්නේ නොදැවී ලකුණු 47 ක් ලබා ගෙනයි.

1995-96 වසරවල දී ශ්‍රී ලංකාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර පැවති බෙන්සන් ඇන්ඩ් හෙජස් තරගාවලිය බෙවන්ගේ දස්කම් මැනවින් ඉස්මතු කරවූ තරගාවලියක්. එම තරගාවලියෙහි ඔස්ට්‍රේලියාව මුහුණ දුන් තරග 10 න් 8 ක දී ම ඔහු නොදැවී ඉනිම අවසන් වන තුරුම කඩුල්ලේ රැඳී සිටිනවා.

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවති එම තරගාවලියෙහි සිව්වැනි තර-ගයේ දී ඔස්ට්‍රේලියානු ඉනිමේ පළමු කඩුලු 6 ම ලකුණු 38 ක් වන විට දැවී ගියා. නමුත් සත් වැනි කඩුල්ල වෙනුවෙන් බෙවන්, ඉයන් හීලි හා එක්ව ලකුණු 40ක් එක් කළා. සත් වැනි කඩුල්ල ලෙස හීලි දැවී ගියත් ඉන් අනතුරුව ඉනිමේ බර තනිවම සිය කර මතට ගත් බෙවන් නොදැවී ලකුණු 76 ක් ලබා ගන්නේ නොසිතූ ජයක් ඔස්ට්‍රේලියා කණ්ඩායමට අත්කර දෙමින්. ඔහු තරගයක් අවසන් කළ හොඳම ඉනිම් අතර එම ඉනිම අද්විතීය යි.

1996 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් තරගයේ දී ත් බෙවන් ඔස්ට්‍රේලියානු ඉනිම අවසන් වන තුරුම ඉවසිලිවන්ත ලකුණු රැස් කිරීමක යෙදෙන්නේ පන්දු 49ක දී නොදැවී ලකුණු 36 ක් ලබා ගනිමින්.

2000 වසරේ ආසියානු කණ්ඩායම සහ ලෝක කණ්ඩායම සමඟ පැවති ප්‍රදර්ශන තරගයක ආසියානු කණ්ඩායම ලබා දුන් ලකුණු 321ක ඉලක්කය ලෝක කණ්ඩායම නියෝජනය කළ ‍මයිකල් බෙවන් ඉතා මැනවින් හඹා ගියා. එහිදී පන්දු 132කට ලකුණු 185ක් ලබා ගත්තත් එක් ලකුණකින් ආසියානු කණ්ඩායමට එම තරගයේ ජය හිමි වූවා.

2002 වසරේ නවසීලන්තයට එරෙහිව පැවති තරගයක දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ මුල් පෙළ කඩුලු 6 ලකුණු 82ක් තුළ බිඳ වැටුණු අවස්ථාවේ දී පිටියට පිවිසි ඔහු නොදැවී ලකුණු 102 ක් රැස් කළේ ලකුණු 246 ක ඉලක්කය සාර්ථකව හඹා ගොස් සිය කණ්ඩායමට නොසිතූ ජයක් ලබා දෙමිනුයි.

2003 ලෝක කුසලාන තරගාවලියේ එංග-ලන්තය සමඟ පැවති පළමු වටයේ තරගයේ දී ඔස්ට්‍රේලියාවේ පළමු කඩුලු 4 ලකුණු 48කට බිඳ වැටෙනවා. ඒ මොහොතේ පිටියට පිවිසි ඔහු නොදැවී ලබා ගත් ලකුණු 74 නිසා තරගයේ ජය ඔස්ට්‍රේලියාවට හිමි වුණා.

මේ අනුව බලන කල එක්දින ක්‍රිකට් ලෝකයේ බෙවන් යනු අතිසාර්ථක ක්‍රීඩකයෙක් වුණත්

ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි ඔහුට සුවිසල් කාර්ය-භාරයක් ඉටු කරන්න ලැබුණේ නැහැ. ඔහු ක්‍රීඩා කළ මුල් ටෙස්ට් ඉනිම් කිහිපයේ දී අර්ධ ශතක කිහිපයක් ද සමඟ සාර්ථක ටෙස්ට් ක්‍රිකට් දිවියක් ආරම්භ කරන්නට ඔහුට හැකි වුණත් ටික කලක් යද්දී ටෙස්ට් පිටිය තුළ ඔහු දිගින් දිගට ම අසාර්ථක වුණා. එම නිසා ඔහුගේ අන්තර්ජාතික ටෙස්ට්

දිවිය තරග 18 ක ට සීමා වුණා.

ලාංකේය සම්භවයක් සහිත මයිකල් බෙවන් සිය පළමු එක්දින තරගයට ‍මෙන්ම අවසන් එක්දින ඉනිමද ක්‍රීඩා කළේ ලංකාවට එරෙහිවයි. අන්තර්ජාතික එක්දින පිටියේ ඔහු නොදැවී සිටි අවස්ථා ගණන 67ක්. පිතිකරුවෙක් ලෙස මෙන්ම පන්දු යවන්නෙක් ලෙස ද බෙවන් ඇතැම් අවස්ථාවන්හි දස්කම් පෑවා. පාසල් ක්‍රිකට් දිවියේ පන්දු යවන්නෙක් ලෙස ක්‍රිකට් බිමට එක්වන ඔහු ආබාධයක් හේතුවෙන් පිතිකරණයට හුරු වූවෙක්. බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව 1997 වසරේ දී ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරගයක දී ඉනිම් දෙකෙහිම ලකුණු 113කට කඩුලු 10ක් බිඳ හෙළන්නට සමත් වෙනවා. 'පිජාමා පිකාසෝ' යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන බෙවන් ඉන්දීය ප්‍රිමියර් ලීග් හි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද කටයුතු කළා.

2004 වසරෙන් පසුව අන්තර්ජාතික ක්‍රිකට් බිමෙහි අවස්ථාවක් නොලද හේ 2007 වසරේ දී ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තත් ඔහුගේ නාමය හැමදාමත් ක්‍රිකට් ලොව තුළ සදා අමරණීය යි.

 

Comments