නාසු කන්දෙන් ලොව උසම කන්ද තරණයට දිරිය ලැබූ පළමු ගැහැනිය | සිළුමිණ

නාසු කන්දෙන් ලොව උසම කන්ද තරණයට දිරිය ලැබූ පළමු ගැහැනිය

 

බෙහෙවින් අභියෝගාත්මක, අවදානම්කාරී ක්‍රියාවන්හි නිරත විය හැක්කේ පුරුෂ පක්ෂයට පමණක්ය යන්න දිගු කාලාන්තරයක් පුරා සමාජය තුළ මුල්බැසගෙන ඇති මතයකි. මේ මතයට අභියෝග කළ, මේ මතය අසත්‍ය බවට පත්කළ කාන්තාවන්ගෙන් ද ලොව හිඟ නොවන්නේ ය. ජුන්කෝ ටාබේ ඊට එක් නිදසුනකි. ලොව උසින් වැඩි ම ස්ථානය වන එවරස්ට් කඳු මුදුනට ළඟා වූ ලොව මුල් ම කාන්තාව ඇය වන්නී ය.

1939 සැප්තැම්බර් 22 වැනි දින ජපානයේ මිහාරුහි දී ඇය උපත ලැබුවේ දරු දැරියන් සත්දෙනකුගෙන් යුත් පවුලක පස් වැන්නිය ලෙසිනි. ඇයගේ මවුපියෝ එතරම් වත්පො-හොසත්කම් ඇත්තෝ නොවූහ.

ජුන්කෝ තුළ කඳු තරණය කිරීමේ ආශාව මුල් වරට ජනිත වූයේ දස වැනි වියෙහි පසුවද්දී ය. එකල පාසලෙන් විනෝද චාරිකාවක් ලෙසින් සංවිධානය කෙරුණු, නාසු කන්ද තරණය කිරීමට මිතුරු මිතුරියන් සමඟින් ඇය එක්වූවා ය. මෙහි දී කඳු මුදුනේ සිට දුටු භූ දර්ශනය තදින්ම ඇයගේ සිතෙහි මුල්බැස ගත්තේය. එතරමට ම ඇය සොබාදම් ලෝලිනියකි.

“නාසු කන්දට නැඟලා මම දැකපු ලස්සන මාව අමුතුම ලෝකයකට අරගෙන ගියා වගෙයි මට දැනුණෙ. ඒක හරිම ලස්සන දර්ශනයක්. මාව කඳු නඟින්නියක් බවට පත්කළේ ඒ ලස්සනයි. එහෙම නැතුව මම කඳු නඟින්නෙ නිකම්ම නිකං ක්‍රීඩාවක් හැටියටවත් ඒ තුළින් වාර්තා තියන්නවත් විනෝදය ලබන අත්දැකීමක් කරගන්නවත් නෙවෙයි. පරිසරයේ සුන්දරත්වය විඳගන්නයි.” තමා කඳු නඟින්නියක් බවට පත්වූ පසුබිම ජුන්කෝ විස්තර කරන්නේ එලෙසිනි.

වයසින් මෝරත්ම කඳු නැඟීම විෂයයෙහි ජුන්කෝ තුළ තිබූ උද්‍යෝගය ද දලුළා වැඩුණේය. ඇය මේ කාර්යයේ දී තමා හා සමව අදහස් දරන කඳු නඟින්නන්ගේ සමාජයක් පිහිටුවා ගත්තාය. මෙය ‘ජෝෂි ටෝහාන් සමා-ජය’ නම් විය. මේ කණ්ඩායම 1970 දී නේපාලයේ අන්නපූර්ණා නම් කන්ද තරණය කළේය.

ජුන්කෝ තවත් කණ්ඩායමක් සමඟින් එවරස්ට් කන්ද තරණය කිරීමට සැරසුණාය. මේ කණ්ඩායමේ බහුතරය විවිධ වෘත්තීන් නියෝජනය කළ කාන්තාවන් ය. ජුන්කෝ මේ කණ්ඩායම සඳහා කඳු නැඟීමේ අවසරය ඉල්ලා සිටි නමුත් ඒ සඳහා වන කාලසටහනක් ලබා ගැනීමට වසර හතරක් ගතවිය. මේ වෙනුවෙන් මූල්‍ය අනුග්‍රහය අපේක්ෂාවෙන් විවිධ ආයතනවලින් ඉල්ලීම් කළත් සතුටුදායක ප්‍රතිඵල ලැබුණේ නැත. අවසානයේ ප්‍රවෘත්ති සහ මාධ්‍ය සමාගම් දෙකක් එක්ව අවශ්‍ය මුදලෙන් හරි අඩක් පරිත්‍යාග කළේය. ඉතිරි මුදල උපයා සපයා ගත්තේ ඇය පියානෝ වාදන ගුරුවරියක ලෙසින් කටයුතු කරමිනි. මෙම ගමන වෙනුවෙන් ලැබුණු මුදල් ඉතිරි කර ගැනීම උදෙසා ගමනට උවමනා කළමනා රැසක් ඇය සියතින්ම තනා ගත්තාය.

දැඩි පුහුණුවකින් අනතුරුව 1975 දී මේ කණ්ඩායමට එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට හැකිවිය. මොවුන් මුහුදු මට්ටමෙන් මීටර 6300 ක පමණ උසකින් කඳවුරු බැඳ සිටිය දී ප්‍රබල හිම කුණාටුවකට ගොදුරු විය. ඉන් ජුන්කෝ දැඩි ලෙසින් රෝගාතුර වූවාය. දින දෙකක් තුළ සුවය ලද ඇය ප්‍රමුඛ කණ්ඩාය ම ඉහළටම ගියහ. ගමනට එක්වූ කාන්තාවන් අතරින් 1975 මැයි 16 වැනි දින එවරස්ට් කඳු මුදුනට ළඟා වීමට හැකි වූයේ ජුන්කෝ හට පමණි. ඒ අනුව එවරස්ට් කඳු මුදුනට මුල් වරට ළඟා වූ ලොව මුල්ම කාන්තාව වූයේ ඇය යි.

“ඇත්තම කිව්වොත් එවරස්ට් කන්ද නඟිද්දි අපිට ඇති වුණු බාධාවලට

වඩා මේ ගමන සංවිධානය කර ගනිද්දි අපිට එල්ල වුණු බාධකවල, අභියෝගවල කෙළවරක් තිබුණෙ නැහැ. අපි උදවු ඉල්ලපු බොහෝ දෙනෙක් අපිව මඟහැරියා. ඒත් ඒ හැම දේම ජය අරගෙන අපි අපේ අරමුණට ළඟා වුණා. ඒ අපේම හිත්වල හයියෙන්. හිතුවොත් අපිට මොනවද කරන්න බැරි?” ජුන්කෝ පවසන්නේ සැබෑ ම ජයග්‍රහණයක උරුමකාරිය විලසිනි.

එවරස්ට් යනු ආසියානු මහාද්වීපයේ උස ම තැන ය. මේ ගමනෙන් අනතුරුව ජුන්කෝ, 1980 දී අප්‍රිකා මහාද්වීපයේ උස ම කන්ද වන කිලිමන්ජාරෝ ද, 1987 දී දකුණු අමෙරිකා මහාද්වීපයේ උසම කන්ද වන ඇකොන්කාගුආ ද, 1988 දී උතුරු අමෙරිකානු මහාද්වීපයේ උස ම කන්ද වන ඩෙනාලි ද, 1989 දී යුරෝපා මහාද්වීපයේ උස ම කන්ද වන එල්බෘස් ද, 1991 දී ඇන්ටාක්ටික් මහාද්වීපයේ උස ම කන්ද වන වින්සන් ද කරණය කළාය. ඒ අනුව ලොව පිහිටි මහාද්වීප හතෙන් හයක උසින් වැඩි ම කඳු තරණය කළ ලොව මුල්ම කාන්තාව ලෙසින් ද ඇය ඉතිහාසගත වූවා ය.

සෑම රටක ම උසම කන්ද තරණය කිරීමේ සිහිනයක් ජුන්කෝ හට තිබිණි. ජීවිත කාලය තුළ දී ඇය එවන් කඳු හැත්තෑවක් තරණය කළාය.

ජුන්කෝගේ නාමය ඉතිහාසගත වී ඇත්තේ හුදු කඳු නඟින්නියක් ලෙසින් පමණක් නොවන්නේය. එයට හේතුව කඳු තරණය කරන්නන් අතින් වන හානිවලින් එම පරිසරයන් සුරැකීමට ඇය පෙරමුණ ගත් හෙයිනි.

ගුරුවරියක ද වූ ජුන්කෝ හට මනා ලිවීමේ හැකියාවක් උරුම ය. ඒ නිර්මාණශීලි හැකියාව උපයෝගී කරගත් ඇය කඳු තරණයේ දී තමන් ලද අත්දැකීම් කැටිකොට පොත් හතක් රචනා කළාය.

උදරයේ පිළිකාවක් හේතුවෙන් 2016 ඔක්තෝබර් 20 වැනි දින ජුන්කෝ ටාබේගේ ජීවිත ගමන නතර විය. මියයෑමට පෙරාතුව ප්ලූටෝ හි කඳු පන්තියක් ඇයගේ නමින් නම ්කෙරිණි.

 

Comments