තනි කකුලෙන් පියාඹා වීරත්වයට ගිය කොලොම්බියාවේ සුපර් හීරෝ | Page 2 | සිළුමිණ

තනි කකුලෙන් පියාඹා වීරත්වයට ගිය කොලොම්බියාවේ සුපර් හීරෝ

 

කොලොම්බියාව මෑතක් වන තුරුම සන්නද්ධ ත්‍රස්තවාදී කණ්ඩායම් හා රජයේ හමුදා අතර නිතර නිතර ගැටුම් පැවැති රටක්. ජුවාන් ජෝස් ෆ්ලෝරියන් නම් වූ විශිෂ්ට ක්‍රීඩකයා මතු වන්නේ එහෙව් රටකින්. නමුත් ඔහු ක්‍රීඩකයකු බවට පත්වන්නේත් ආබාධිතයකු වීමෙන් පසුව වීම තමයි විශේෂත්වය.

ජුවාන් ජෝස් ජීවත් වුණේ වනගත ප්‍රදේශයක ඉදි කරන ලද කුඩා නිවසකයි. ඔවුන්ගේ ජීවනෝපාය සලසා ගෙන තිබුණේ පැපොල්, දොඩම් හා අලිගැටපේර වැනි පලතුරු වගා කිරීමෙන්.

වනගත ප්‍රදේශයක් බැවින් රාත්‍රී කාලයේ දී ඒ පළාතේ බලය අත්පත් කරගෙන සිටියේ ත්‍රස්තවාදීන්. රාත්‍රියේ එම පළාතේ ඇඳිරි නීතිය පනවනු ලබන්නේ ද ත්‍රස්තවාදීන් විසින්. ඔවුන්ගේ ඇඳිරි නීතිය කඩ කරන්නවුන් ඔවුන්ගේ විවිධ තාඩන පීඩනවලට ගොදුරු වුණා. සමහරුන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදුව තිබුණා.

රාත්‍රී කාලයේ නිතර නිතර කැරලිකරුවන් හා රජයේ හමුදා අතර සටන් ඇවිලුණා. මේ සටන් පැවැතියේ රජයේ හමුදා අඳුර මකන්නට අහසට මුදා හැරින ට්‍රේසර් ආලෝකයේ ආධාර ඇතිවයි.

කොලොම්බියානු දරුවන් වඩාත් ප්‍රිය කළේ පාපන්දු ක්‍රීඩාව වුවත් ජුවාන් ජෝස් හා ඔහුගේ වැඩිමහල් සොහොයුරු මිලර්ට විනෝදාස්වාදය ලැබුණේ රාත්‍රී කාලයේ අහස පුරා විහිදෙන ට්‍රේසර් ආලෝකය නැරඹීමෙන්.

ඒ නිසාම මේ දෙසොහොයුරන්ගේ අපේක්ෂාව වූයේ නියමිත වයස පැමිණි පසු හමුදාවට එක්වීමයි.

හරියටම 23 වැනි වියට එලැඹි පසු මිලර් ආසන්නම නගරයේ පිහිටි හමුදා කඳවුරට ගොස් හමුදාවට එක්වීමේ සිහිනය සැබෑ කරගත්තා. නමුත් ඉන් සතියක් ඉක්ම යද්දී අයියා හමුදාවට දුන්නා නම් මල්ලී තමනට අවශ්‍ය බව පවසමින් ත්‍රස්තවාදීන් විසින් බලහත්කාරයෙන් ම ජුවාන් ජෝස් රැගෙන ගියා.

රජය හා ත්‍රස්තවාදීන් 2016 වසරේ සාම ගිවිසුමට අත්සන් කරන තුරු දෙලක්ෂ හැටදහසකට පමණ දිවි අහිමි කරමින් මිලියන හයක පමණ ජනතාව අවතැන් කළ යුද්ධයට 16 හැවිරිදි වියේ පසු වූ ජුවාන් ජෝස් ගොදුරු වූයේ එලෙසයි.

අත්අඩංගුවට පත් වූ දවසේ සිට ම ඔහු දිනපතාම සැලසුම් කරනු ලැබුවේ පැන යාමට ය. ඒ නිසා ඔත්තු බැලීමට හා රහසේ සවන්දීමට ජුවාන් ජෝස් පුරුදු වුණා.

වසරක් ගෙවී යද්දී ඔහුගේ දවස උදාවුණා. ඒ ඔහු අනුයුක්ත කර තිබූ 27 වැනි භට කණ්ඩායමට පොලිස් මුරපොළකට පහරදීමට අණ ලැබීම නිසායි. ඒ ප්‍රහාරය අස්සේ පලා ගොස් හමුදාවට භාරවීමට ඔහුට හැකි වුණා.

හමුදා කඳවුරේ ආරක්ෂිතව ජීවත් වූ ජුවාන් ජෝස්ගේ වයස අවුරුදු 18 සම්පූර්ණ වීමත් සමග ඔහු හමුදාවට බඳවා ගත්තා. ඒ වන විට සොහොයුරු මිලර් ද හමුදාවේමයි හිටියේ. නමුත් දෙදෙනා සේවය කරනු ලැබුවේ එකිනෙකාට කිලෝමීටර් 300ක පමණ දුරකින් පිහිටි හමුදා ඛණ්ඩ දෙකකයි.

ජුවාන් ජෝස්ගේ ජීවිතය කණපිට පෙරළුණේ ඔහු නිවාඩුවකට ගෙදර ගොස් සිටිය දී යි. ඒ සිය ගෙමිදුල අයිනක වූ පාර්සලයක් දැක එය පරීක්ෂා කරන්නට උත්සාහ කරනවාත් සමගයි. සිදුවූයේ ජෝස් කිසිදා නොසිතූ දෙයක්. ඒ පාර්සලය මහා හඬක් නඟමින් පුපුරා ගියේ බරපතළ අනතුරකට ඔහු ගොදුරු කරමින්.

එම අනතුරින් ඔහුට තම දෑත, දකුණු ඇස හා දකුණු පාදය අහිමි කර තිබුණා. ඔහුට සිහිය පැමිණියේ දින 12 ක ට පසුවයි.

දැන් තවදුරටත් ජීවත් වී වැඩක් නෑ. ඒ නිසා මං දිවි හානි කරගන්නවා. ඔහුට එසේ සිතුණු වාර අනන්තයි.ඒත් වාහනයකට පැනලා මැරෙන්න වුණත් ඇවිදීමට නොහැකි නිසා එය පවා තමන්ට කළ නොහැකි බව ජුවාන් ජෝස්ට අවබෝධ වුණා. ඒ නිසා ජීවත් වීම සඳහා වෙනත් විකල්පයක් තෝරා ගැනීමට ඔහු කල්පනා කළා.

ඒ අනුව ඔහු පිහිනීම තෝරා ගන්නේ හමුදා කඳවුරේ පුනරුත්ථාපනය වෙමින් සිටියදීමයි. 2013 වසරේ එස්. එස් සමනල ආර ඉසව්වෙන් පළමු පදක්කම දිනා ගත් ජුවාන් ජෝස් වසර තුනක් තිස්සේ ම ජයග්‍රහණ රැසක් අත් කර ගත්තා.

ජුවාන් ජෝස් හමුදා සේවයෙන් 2016 වසරේ දී විශ්‍රාම ගියා. ඒ නිසා තවදුරටත් යුද හමුදා පැරා පිහිනුම් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද ඔහුට අහිමි වුණා. ඒ නිසා මනෝවිද්‍යා උපාධිය හදාරන අතරේ ම වෙනත් ක්‍රීඩාවක් තෝරා ගැනීමට ඔහුට අවශ්‍ය වෙලා තිබුණා.

පාපැදි ක්‍රීඩාවට ඔහු එක්වන්නේ ඒ අනුවයි. කොලොම්බියා පැරාලිම්පික් ක්‍රමවේදයට අනුව ත්‍රිත්ව අත්පා අහිමි වූවන්ට එතරම් සැලකිල්ලක් නොදැක්වූවා. නමුත් ඒ වන විටත් විවාහ වී සිටි ජුවාන් ජෝස්ට ඔහුගේ බිරිඳ ඇන්ජිගෙන් පාපැදි ක්‍රීඩකයකු වීමට ලැබී තිබුණේ ඉහළම සැලකිල්ලක්.

කොලොම්බියානු ගුවන් හමුදාවේ නඩත්තු බළකායෙන් ජුවාන් ජෝස්ගේ ආබාධිත තත්ත්වයට ගැළපෙන ලෙස නිර්මාණය කළ පාපැදියක් ලැබෙන්නේ ඒ අතරේයි.

එතැන් සිට ඔහු සිය බිරිඳ සමග එක් වී පුහුණුවීම්වල නිරත වී වැඩි කාලයක් ගතවෙන්නට පෙර බෙල්ජියම, ඉතාලිය, නෙදර්ලන්තය හා පෘතුගාලය යන රටවල පැවැත් වූ පැරා පාපැදි තරග රැසකට සහභාගී වුණා. ජයග්‍රහණ ද හිමි කර ගත්තා. ජුවාන් ජෝස් සුපර් හීරෝ වූයේ ඒ ජයග්‍රහණ සමඟින්.

පසුගිය ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ පාපැදි තරග සඳහා කොලොම්බියානු පාපැදි ක්‍රීඩකයින් තිදෙනෙකුට අවස්ථාව ලැබී තිබුණා. නමුත් ඒ සඳහා ක්‍රීඩකයින් විශාල පිරිසක් ඉදිරිපත් වූ බැවින් ඔහුට අවස්ථාව අහිමි වී ගියා.

දැනට 39 හැවිරිදි වියේ පසුවන ඔහු මේ වසරේ පැවැති ජාතික පාපැදි තරගාවලියේ මාර්ග ධාවන තරගයේ කාල ගණන පැරා පාපැදි තරගයේ ද ශුරතා දිනා ගනු ලැබුවා.

ටෝකියෝ ඔලිම්පික් වරම් අහිමිවීම ගැන ඔහුට දුකක් නැත. ‘කමක් නෑ මම තවම ජීවතුන් අතරනේ - ඔලිම්පික් ඉස්සරහටත් තියෙනවානේ‘ ඒ ඔහුගේ බලාපොරොත්තුව ද ඉලක්කය ද විය යුතු ය.

 

Comments