ක්‍රීඩා තරග නතර කළ සුලබ නැති හේතු | සිළුමිණ

ක්‍රීඩා තරග නතර කළ සුලබ නැති හේතු

 

ක්‍රීඩා තරගාවලියක් සංවිධානය කිරීමට පෙර බොහෝ කාරණා සලකා බලයි. සහභාගි වන කණ්ඩායම්, ප්‍රේක්ෂකයන්, තරගාවලිය පවත්වන කාල සීමාව, විනිසුරුවන්, ක්‍රීඩාංගණ මොනවා ද යන්න වැනි කරුණු විශාල ප්‍රමාණයක් ඊට ඇතුළත් ය. තරගාවලියක් සංවිධානය කරන කාල සීමාව තීරණය කිරීමේ දී විශේෂයෙන් සලකා බලනුයේ කාලගුණික බාධාවන්ගෙන් තොරව එය පවත්වා අවසන් කිරීම අවශ්‍ය බව ය.

ඇතැම් විට එවැනි සැලසුම් අපේක්ෂා කළ ආකාරයට ම සිදු නොවූ අවස්ථා ද ලෝක ක්‍රීඩා ඉතිහාසයෙන් සොයාගැනීමට හැකි ය. අයහපත් කාලගුණය, අලෝකය අවම වීම ආදි විවිධ හේතු නිසා ක්‍රීඩා කරන අතරතුර තරග නවතා දැමීමට හෝ කල් තැබීමට සිදු වීම සුලබ සිදුවීමකි. නමුත් වර්ෂාව, අඳුර ආදි සාමාන්‍ය හේතූන්වලට වඩා ඔබ්බට ගිය දුර්ලභ ගණයේ සංසිද්ධීන්ගේ බාධාවට ලක් වූ ක්‍රීඩා තරග ද ලෝක ඉතිහාසයේ ඉඳහිට හෝ අපට හමුවෙයි. මේ එවන් අවස්ථා කිහිපයක් පිළිබඳ සටහනකි.

1980 සූර්යග්‍රහණයේ විවේක දිනයක්

1980 පෙබරවාරි මස 15-20 අතර දිනවල, ඉන්දියාවේ මුම්බායි වන්කඩේ ක්‍රීඩාංගණයේ අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරගයක් පවත්වන්නට කටයුතු යොදා තිබිණි. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ජුබිලි සංවත්සරය වෙනු-ෙන් ඉන්දීය පිල සහ එංගලන්ත පිල අතර එම තරගය පැවැත්විණි. දින 5 කින් යුත් එම ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ මුම්බායි නගරයට අර්ධ සූර්යග්‍රහණයක් දිස් වන බවට කල් තියාම විද්‍යාඥයෝ මත පළ කළ හ.

එනමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සංවත්සරය ද 15 වැනිදාට යෙදී තිබූ බැවින් කල් නොතබා තරගය ආරම්භ කරන්නට කටයුතු කෙරුණි. නමුත් අර්ධ සූර්යග්‍රහණය දිස්වන පෙබරවාරි 16 වැනි දා තරගය නොපැවත්වීමට බලධාරීහු තීරණය කළ හ. ක්‍රීඩකයන්, නරඹන්නන්, විනිසුරු-වන් ඇතුළු පිටියට රැස්වන්නන්ගේ සෞඛ්‍යය ආරක්ෂාව උදෙසා එම තීරණය ගෙන තිබිණි. ඒ අනුව පෙබරවාරි 17 වැනි දා තරගයේ දෙවැනි දිනය ලෙස සලකන්නට බලධාරීහු කටයුතු කළ හ.

ගෑස් පිපිරීම

2005 වසරේ දී එංගලන්ත කණ්ඩායම, ටෙස්ට් සහ එක්දින තරග සංචාරයක් සඳහා පාකිස්තානයේ සංචාරයක නිරත විය. එහි දෙවැනි තරගයේ එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන අතරතුර දී ක්‍රීඩාගාරය තුළින් යම් කිසි පිපිරීමක ශබ්දයක් නැඟුණි. නිතර ත්‍රස්තවාදී ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන පාකිස්තානයේ ක්‍රීඩාගාරයක් තුළ සිදු වූ මෙම පිපිරීම සම්බන්ධයෙන් කා තුළත් ඇතිවූයේ තැතිගැන්මකි.

නමුත් එය ගෑස් කාන්දුවක් නිසා සිදු වූ පිපිරීමක් බව අනාවරණය වන්නට ගතවූයේ මිනිත්තු කිහිපයක් පමණි. එම පිපිරීමෙන් නරඹන්නන් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ අතර, තරගය මඳ වේලාවකට නවත්වා දැමීමට ද බලධාරීන්ට සිදු විය. එම සංචාරයට සහභාගී වූ එංගලන්ත ආරම්භක පිතිකරු මාකස් ට්‍රෙස්කොතික් පැවැසුවේ අදාළ සිද්ධියෙන් තමා දැඩි ලෙස කම්පනයට පත් වූ බවයි.

ගුවන්යානා අනතුර

1976 වසරේ දී අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු පාපන්දු තරගයක් අතරතුර මෙම ගුවන්යානා අනතුර සිදු විය. ස්ටීලර්ස් සහ කෝල්ට්ස් නම් පාපන්දු සමාජ අතර එම තරගය පැවැත්විණි.

තරගය පැවැත්වෙන අතරතුර ප්‍රේක්ෂකාගාරය මතට මෙම ගුවන් යානාව පතිත විය. සිද්ධිය සිදු වන විට ප්‍රේක්ෂකාගාරයේ දසදහසක පමණ ජනාකයක් රැස්ව සිට ඇත. යානාව පැදවූ ඩොනල්ඩ් ක්‍රෝනර්ට මෙම අනතුරින් බරපතළ කැපුම් තුවාල සිදුව තිබිණි. මෙම හදිසි සිද්ධිය නිසා පැවැත්වුණු තරගය නවත්වා දැමීමට බලධාරීන්ට සිදු විණි.

පවර් කට්

බංග්ලාදේශය සහ සිම්බාබ්වේ අතර 2019 වසරේ ජුනි මාසයේ බංග්ලා-දේශයේ ෂර්-ඊ-බංග්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වුණු රාත්‍රී විස්සයි20 ක්‍රිකට් තරගයක් අතරතුර විදුලිය විසන්ධි වීමක් සිදු විය. එහිදී ක්‍රීඩාගාරවල පමණක් නොව ක්‍රීඩා පිටියෙහි ආලෝක කුලුනු පද්ධතියේද විදුලි බලය විසන්ධි විය. මිනිත්තු කිහිපයක් ක්‍රීඩාංගණය ඝන අන්ධකාරයක වෙලී පැවති අතර ප්‍රේක්ෂකයෝ දුරකථනවල විදුලි පහන් දල්වමින් ඝෝෂා කරන්නට විය. මිනිත්තු කිහිපයක් තුළ තත්ත්වය සමහන් වීමෙන් අනතුරුව නැවතත් තරගය ආරම්භ කෙරිණි.

වර්ෂාව, ක්‍රීඩාවට සුදුසු ආලෝකය අවම වීම වැනි කාලගුණික හේතු නිසා තරග නැවත්වීම සාමාන්‍ය දෙයක් වුව ද සූර්යග්‍රහණයක්, ගුවන්යානා අනතුරක්, ගෑස් පිපිරීමක් ආදි සිදුවීම් හේතුවෙන් ක්‍රීඩා තරග නවතා දැමූ අවස්ථා ඉතාම විරල වෙයි.

ඊට අමතරව ප්‍රේක්ෂකයන් විසින් ක්‍රීඩාංගණ ගිනි තබමින්, කඩා බිඳ දමමින් සිදු කළ කලකෝලාහල, විවිධ සතුන් ක්‍රීඩා පිටියට කඩා වැදීම, සුළි කුණාටු, සුළි සුළං වැනි ස්වාභාවික ආපදා ආදිය නිසා ද ක්‍රීඩා තරග නැවැත්වූ අවස්ථා බොහෝ වෙයි. ප්‍රේක්ෂකයන් විසින් විවිධ ගිනිකෙළි ආදිය ක්‍රීඩා පිටිය වෙතට විසි කිරීම නිසා ක්‍රීඩකයන් පිලිස්සීම් ආදි අනතුරුවලට ලක් වූ අවස්ථා නිසා තරග අත්හිටවූ අවස්ථා ද ක්‍රීඩා ඉතිහාසයේ හමුවේ. ඊට අමතරව ක්‍රීඩකයන්, ක්‍රීඩකයන් අතර මෙන් ම ක්‍රීඩකයන් විනිසුරුවන් අතර ඇති වූ බහින්බස් වීම් දුර දිග

යෑම නිසාද ක්‍රීඩා තරග නවත්වා දැමූ අවස්ථා ද ලෝක ක්‍රීඩා ඉතිහාසය තුළ සුලබ බව කිව යුතු ය.

 

Comments