ඔලිම්පික් උළෙලට කාන්තා මැරතන් ක්‍රීඩාව ඇතුළත් කළ හැන්සන් විප්ලවය | සිළුමිණ

ඔලිම්පික් උළෙලට කාන්තා මැරතන් ක්‍රීඩාව ඇතුළත් කළ හැන්සන් විප්ලවය

 

‘විප්ලව විවිධාකාර අරමුන වෙනුවෙන් සිදුකළ හැකි ය. ඇතැම් ඒවා අමු අමුවේ සිදුකරනුයේ බලය වෙනුවෙනි. එසේ බලය අභිලාෂයෙන් සිදුකරන විප්ලවයන්හි මානුෂික භාවය මෙන් ම අමානුෂිකත්වය, අසංවේදීත්වය, මානව ඝාතන, සම්පත් වනසා දැමීම ආදිය ද වේ. ජැක්ලින් හැන්සන් ද විප්ලවයක් කළා ය. එය මහත්මා ගාන්ධිගේ විප්ලවය වැනි අවිහිංසාවාදය මත දියත් කළ විප්ලවයකි. ඈ පසුගියදා එකී විප්ලවය සමඟ යළි මතකයට ආවේ ඈ සිදුකළ පරිත්‍යාගයක් හේතුවෙනි. මේ ඒ ගැන ය.’

පළමුවන වසන්ත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඇතන්ස් හී දූවිලි සහිත වීදි ඔස්සේ පවත්වන ලද මැරතන් තරගයක ක්‍රීඩිකාවන්ටත් සහභාගී වීමේ අවස්ථාව ලබාගැනීමට සමත් වන්නේ නූතන ඔලිම්පික් ක්‍රීඩාව ඇරැඹී වසර 88කට පසු 1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ය. ක්‍රීඩිකාවන්ගේ දරා ගැනීමේ හැකියාව පිළිබඳව නිසි තක්සේරුවක් නොතිබීම ඊට බලපෑ ප්‍රධානම හේතුව විය.

එහෙත් පළමු වසන්ත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර ද මැරතන් තරග පවත්වා ඇතත් ඒ සඳහා ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයක් නොතිබිණි. එසේම එකල පවත්වා ඇති ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සමාන ක්‍රීඩා උළෙල කිසිවක් නැරඹීම පවා කාන්තාවන්ට තහනම් කර තිබූ බව සඳහන් ය. ඉතිහාසයට අනුව පළමු ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීමට පෙර මාර්තු මාසයේ මැරතන් සිට ඇතන්ස් දක්වා ඔලිම්පික් පාඨමාලාවට අයත් ධාවන තරගයක් පවත්වා තිබූ අතර ඊට සහභාගී වූ ස්ටැමැටිස් රොවිතී මැරතන් තරගයකට සහභාගී වූ පළමු කාන්තාව ලෙස ඉතිහාසයේ ලියැවී ඇත.

කාන්තා මැරතන් ක්‍රීඩාවේ යම් පිබිදීමක් 70 දශකයේ දී දක්නට ලැබිණි. ඒ වන විට කාන්තා මැරතන් තරග පැවැත්වීමට පියවර ගෙන තිබීම ඊට හේතුව ය.

ඔලිම්පික් පුරාණයට අනුව 1928 ඔලිම්පික් උ‍ෙළල දක්වාම ක්‍රීඩිකාවන්ට ජවන හා පිටිය තරග පවත්වා නොතිබිණි. එම වසරේ ක්‍රීඩිකාවන්ට ලබාදුන් ජවන තරග ඉසව් අතර උපරිම දුරක් සහිත ධාවන තරගය වී තිබුණේ මීටර් 800 ඉසව්වය. එහි ජය ලීනා රැඩ්කේ ක්‍රීඩිකාව හිමි කර ගත්තද සහභාගී වූ සියලු දෙනාගෙන්ම දිස් වූයේ දරාගත නොහැකි වෙහෙස කර බවකි. මේ නිසා එවක ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානියා ඔලිම්පික් ක්‍රීඩාවෙන් කාන්තා ජවන ඉසව් ඉවත් කිරීමට පවා යෝජනා කරන ලද බව සටහන්ව ඇත. එදා එතරම් බරපතළ තීරණයක් අනුමත නොවූව ද 1960 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර් 800 කාන්තා ඉසව්ව පවත්වන තුරු ම මීටර් 200 ක්‍රීඩිකාවන්ට ලැබුණු වැඩිම දුර සහිත ධාවන ඉසව්ව වී තිබුණි.

මැරතන් තරග සඳහා ක්‍රීඩිකා-වන්ගේ උනන්දුව වර්ධනය වීමක් දක්නට ලැබෙන්නේ 60 දශකයේ දී ය. ඒ 1960 වසරේ බොස්ටන් මැරතන් තරගයට අදාළ වූ පඳුරක සැඟව සිටි රොබර්ටා ගිබ්ස් ඊට සහභාගී වී එම තරගය නිමා කිරීමත් සමග ය. ඒ අනුව ඇය මැරතන් තරගයකට සහභාගී වූ පළමු ක්‍රීඩිකාව බවට පත් වූවා ය.

ක්‍රීඩිකාවන්ට මැරතන් තරගවලට සහභාගී වීමේ අවස්ථාව නිල වශයෙන් හිමි වූයේ 70 දශකයේදී ය. ඒ අනුව පළමු වන නිල කාන්තා මැරතන් තරගයක් ජයගත් ක්‍රීඩිකාව බවට අමෙරිකාවේ ජැක්ලීන් හැන්සන් පත් වන්නේ 1972 වසරේ පැවැති වෙස්ටන් හැම්ෂයර් මැරතන් තරගයේ දී ය. පසුව 1973 බොස්ටන් මැරතන් තරගය ද ජයගත් ඈ 1974 දී යළිත් වෙස්ටන් හැම්ෂයර් තරගය ජයගෙන තිබුණේ පැ. 2 වි. 43 තත් 55 ක වාර්තා ගත කාලයක් ද සහිතව ය. නැවතත් ඇය 1975 වසරේ පැවැති නයික් ඔරිගන් ට්‍රැක් ක්ලබ් මැරතන් තරගය පැය. 2 වි. 38 තත් 19 ක දී අවසන් කොට ජය ගැනීමත් සමග ජැක්ලීන්ට අවශ්‍ය වී තිබුණේ ඔලිම්පික් ක්‍රීඩා උළෙලක දී ක්‍රීඩිකාවන්ට ද මැරතන් තරගයකට සහභාගී වීමේ අවස්ථාව උදාකර දීමට ය.

ඒ සඳහා ඇය ලොව පුරා විසිරී සිටින දුර ධාවන ක්‍රීඩිකාවන් ඒකරාශී කර ගනිමින් සංගමයක් පිහිටුවා ගත්තා ය. එතැන් සිට එම සංගමය ඔලිම්පික් ක්‍රීඩාවට කාන්තා මැරතන් තරග ඉසව්ව ඇතුළත් කර ගන්නා තුරු නිරන්තර සටනක නිරත විය.

ජැක්ලින් හැන්සන්ගේ සටන ජය-ග්‍රහණයෙන් අවසන් වූයේ 1984 වසරේ ලොස් ඇන්ජලීස් හි පවත්වන ලද ඔලිම්පික් ක්‍රීඩා උළෙලිනි. එම ක්‍රීඩා උළෙලට කාන්තා මැරතන් තරගයට අමතරව මීටර් 3000 ඉසව්ව ද එක් කර තිබිණි.

මේ වන විට 73 හැවිරිදි වියේ පසුවන ජැක්ලීන් හැන්සන් 1972 වසරේ සිට 1982 වසර දක්වා වූ වසර 10 ඇතුළත මැරතන් තරග 11කට සහභාගී වී එම තරග සියල්ල ම ජයගෙන තිබුණි. ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල වන විට 36 හැවිරිදි වියේ පසුවූ බැවින් ඇය ඔලිම්පික් මැරතන් තරගයකට සහභාගී වීම සඳහා උත්සාහ කළේ නැත. නමුත් ලොස් ඇන්ජලීස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී පළමු මැරතන් ඔලිම්පික් රන් පදක්කම දිනූ ක්‍රීඩිකාව බවට අමෙරිකාවේ ජොආනේ බෙනටොයිඩ් පත්වීම ඇය සලකන්නේ ඇගේ ම ජයග්‍රහණයක් ලෙසිනි.

අද වන විට ජැක්ලීන් හැන්සන් ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් මැරතන් ඉසව්වට සහභාගී වීමට අවස්ථාව ලබාදීමට දියත් කළ සටන බොහෝ දෙනෙකුට අමතක වී තිබිය හැකි ය.

එහෙත් ඈ පිළිබඳව යළිත් සිහියට නැඟුණේ එදා, එනම් 1975 වසරේ පැය 2 වි. 38 තත් 19 ක දී අවසන් කොට නයික් ඔරිගන් මැරතන් තරගය ජයගන්නා අවස්ථාවේ පැලඳ සිටි පාවහන් යුගල පසුගිය දා ලෝක උරුම මලල ක්‍රීඩා කෞතුකාගාරයට ප්‍රදානය කිරීමට ඉදිරිපත් වීමත් සමග ය.

 

Comments