‘පෝර්ට් සිටි’ චමත්කාරය | Page 2 | සිළුමිණ

‘පෝර්ට් සිටි’ චමත්කාරය

පවුල් පිටින් වරාය නග­රයේ සුන්ද­ර­ත්වය බල­මින්.
පවුල් පිටින් වරාය නග­රයේ සුන්ද­ර­ත්වය බල­මින්.

 

ලොව උසස්ම පෙළේ වාණිජ මධ්‍යස්ථානයක් ලෙස වර්ග කිලෝමීටර් 2.6 ක විශාලත්වයෙන් යුතුව ඉදිවන කොළඹ වරාය නගරයට ඇතුළුවීමට දැන් ශ්‍රී ලාංකිකයන්ට නොමිලේම අවස්ථාව ලබාදී ඇත.

 

ශ්‍රී ලාංකික ජනතාවගේ සිහින නගරය ලෙස හැඳින්විය හැකි වරාය නගරයේ සුළු කොටසකට හෝ මේ වසරේ ඇතුළුවීමට ඉඩ කඩ ලැබෙනු ඇතැයි අප කිසි විටෙකත් සිතුවේ නැත.

නමුත් පසුගිය 9 වැනිදා සිට අප බොහෝ කල් බලා සිටි ඒ අපේ සිහින නගරයට ඇතුළුවීමට දැන් අපට අවස්ථාව ලැබී ඇත.

පසුගිය ජනවාරි 9 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, අගමැති මහින්ද රාජපක්ෂයන් හා චීනයේ විදේශ අමාත්‍ය වැන්ග් යි යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මං තීරුව පොදු ජනතාව සඳහා විවෘත විය. මීටර් 500 ක දිගකින් යුත් මේ මෙම මංතීරුව ඉතාමත් අලංකාර ලෙස ඉදිකර තිබේ.

චීන - ශ්‍රී ලංකා මිතුදම පිළිබද ඡායාරූප ප්‍රදර්ශනයක් ද එහි ඇත.

වරාය නගරය ඉදිකරන අතරතුර එහි ඉදිවුණු පොදු ස්ථාන රාශියක් පියවරෙන් පියවර ජනතා අයිතියට ලබාදීමට සූදානම් කර ඇත.

වරාය නගරයේ ප්‍රධාන සැලැස්ම අනුව හෙක්ටයාර 91 ක භූමි ප්‍රමාණයක් පොදු අවකාශයන් සඳහා වෙන්කර ඇත. ඒ අනුව තිරසර හරිත උද්‍යාන 7 ක් මෙහි ඉදිකෙරේ. ඒවා හෙක්ටයාර 53 පුරා විහිදී යයි.

වරාය නග­රයේ සුන්ද­ර­ත්වය බැලීමට  එහි පැමි­ණෙන විශාල පිරිස්

කිලෝමීටර් 2 දිග මීටර් 200 ක් පළල කෘතිම වෙරළ තීරයක්, අක්කර 277 ක විශාලත්වයෙන් යුත් තිරසර නාගරික උද්‍යාන 7 ක් මෙහි දැන් ඉදිවෙමින් පවතින බව වරාය නගරය ඉදිකරන CHCE සමාගමේ මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් පවසයි.

හෙක්ටයාර 14 ක මධ්‍යම උද්‍යානයක්, පදික මං තීරු ඇළ මාර්ග සහ උද්‍යාන එකිනෙකට යා කරන මං මාවත් ආදිය ද මෙහි ඉදිවන බවත් ඒවා ළඟදීම ජනතා අයිතියට පත් කරන බවත් කස්සප සෙනරත් පවසයි.

අලුතින් විවෘත කළ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි මෙම පදික මං තීරුව වෙත පාගමනින් පැමිණීමට එතෙර මෙතෙර ජනතාවට දැන් අවස්ථාව ලැබේ.

ගාලු මුවදොර පිටිය කෙළවර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ සඳහා තාවකාලික පිවිසුම් දොරටුවක් සකස් කර ඇති බවත් මහජන සම්බන්ධතා ප්‍රධානී කස්සප සෙනරත් පවසයි.

ඒ අනුව සෑම දිනකම පෙරවරු 9 සිට සවස 6 දක්වා කාලය ඇතුළත ජනතාවට මෙම ස්ථානයට සෞඛ්‍ය ආරක්ෂිත නීති අනුව ඇතුළු වීමට පුළුවන. මෙලෙස ඇතුළු වෙන අයට මෙහි ඉදිකළ සුවිශේෂී ආරුක්කු හැඩැති ලෝහමය එල්ලෙන පාලම ඇති ස්ථානය දක්වා ගමන් කළ හැකි වේ.

කෙසේ වුවත් ආරක්ෂක විධි විධාන සහ Covid - 19 සම්බන්ධ මාර්ගෝපදේශ නිවැරැදිව පිළිපදිමින් මෙම නැරඹීම් සිදු කරන ලෙස කොළඹ වරාය නගරය කළමනාකාරීත්වය ජනතාවගෙන් ඉල්ලා සිටී. ඉදිරියේදී මෙම මාර්ගය ඔස්සේ අලුත් වෙරළ ක්‍රීඩාංගණයටත් ඊට පසු එහි ඇති Golf Arena සඳහාත් ජනතාවට ඇතුළුවීමට ඉඩ දෙනවා. එවිට අවශ්‍ය අයට Golf Arena එකේ සිට ගෝල්ෆ් ගහන්නත් පුළුවන්. ඒ අතරම එහි ඇති ATV ඇඩ්වෙන්චර් මාර්ගය ඔස්සේ වැලි කඳු මත මෝටර් සයිකල් සහිත ATV ක්‍රියාකාරකම්වල ද යෙදෙන්නත් අවශ්‍ය අයට ඉඩ තිබෙනවා. අවශ්‍ය අයට ATV සෆාරි ජීප් රථයක් මඟින් වරාය නගරයේ ඉදිකිරීම් පිළිබඳව චාරිකාවක් යන්නත් පුළුවන්. නමුත් එයට යම් මුදලක් අය කරනවා. කස්සප සෙනරත් අලුත් ම තොරතුරු හෙළි කරයි.

ඊට අමතරව ඉදිරියේදී ජනතාවට පෝර්ට් සිටි නගරය තුළ ඉදිවන Port city Merina හා අලුතින් ඉදිවන Cart Racing Track වෙතටත් ඇතුළුවීමට අවස්ථාව තිබේ. සුවිශේෂී ජල ක්‍රීඩා සඳහා මෙහි සැහැල්ලු යාත්‍රා යාත්‍රාංගණයට ඕනෑ ම කෙනකුගේ රුවල් යාත්‍රා හා සැහැල්ලු යාත්‍රා පවා ඇතුළුවීමට ඉඩ තිබේ. ඉදිරියේදී දිය ගොඩ යන යාත්‍රා පවා මෙයට ඇතුළුවීමට කටයුතු කිරීමට වරාය නගරය සූදානම්ව සිටී.

ඒ සමඟම කොළඹ වරාය නගරයේ ඉදිවන ප්‍රථම වාණිජ ගොඩනැඟිල්ලේ සැලසුම් දැන් සකස් වෙමින් පවතී. එය ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර අසල ඉදිවන අතිවිශාල මහල් ගොඩනැගිල්ලක් වනු ඇත. ලොව සුප්‍රසිද්ධ බැංකු හා මූල්‍ය සමාගම් රැසක් මෙහි තම ශාඛා කාර්යාල පිහිටුවීමට යෝජිතය. අන්තර් ජාතික මූල්‍ය ආයතන ද ඇතුළත් වන මෙන් ‘අන්තර් ජාතික මූල්‍ය මධ්‍යස්ථානය ලෙස දැනට ම නම් කර ඇත.

සුවපහසු පාවෙන අවන්හල්, හරිත මං තීරු, හෝටල්, විවේක ස්ථාන ආදී ජනතාවගේ සතුට, වින්දනය හා විනෝදය පිණිස ඉතා සුවිශේෂී වූ ජගත් මට්ටමේ අවන්හල් රැසක් ද මෙහි ඉදිකිරීමට දැනටම සැලසුම් කර ඇත.

අපේ රටට වාර්ෂිකව රුපියල් කෝටි 230000 ක ප්‍රතිලාභ දෙන අපේ තරුණ තරුණියන් 82000 ක ජගත් මට්ටමේ රැකියා දෙන කොළඹ වරාය නගරයට ඇතුළු වී එහි සුන්දරත්වය ඉදිකිරීම් කෙරෙන හැටි බලන්නට ඉඩ සැලසීම පිළිබඳව එහි පැමිණි ජනතාව රජයට හා CHCE සමාගමට සිය ස්තුතිය පළ කරති. 2014 සැප්තැම්බර් 17 වැනිදා එදා ජනපති වත්මන් අගමැති මහින්ද රාජපක්ෂයන් වරාය නගර ඉදිකිරීම් අරඹා දැන් වසර 7 කි. වත්මන් රජය හා පෝර්ට් සිටි චීන ඉදිකිරීම් සමාගම කෝවිඩ් - 19 තර්ජන මධ්‍යයේ වුව ද මේ ඉදිකිරීම් නියමිත පරිදි මේ අයුරින් ඉදිකිරීම අගය කළ යුතු ම ය.

සේයාරූ, දුෂ්මන්ත මායාදුන්නේ

 

Comments