හිඟු­රාණ සීනි සමාගමට ඉව අල්ලන බහිරවයෝ | සිළුමිණ

හිඟු­රාණ සීනි සමාගමට ඉව අල්ලන බහිරවයෝ

හිඟු­රාණ සීනි කම්හල් භූමිය දිස්වන අයුරු
හිඟු­රාණ සීනි කම්හල් භූමිය දිස්වන අයුරු

ම්පාර දිස්ත්‍රික්කයේ ආර්ථික ක්‍රියාවලියේ හදවත බඳු වූ හිඟුරාණ සීනි කර්මාන්තය දිවංගත ඩී. එස්. සේනානායක අග්‍රාමාත්‍යවරයාගේ ගල්ඔය ගොවිජනපද ව්‍යාපාරයේ අතුරුඵලයක් ලෙස බිහි වූවකි. 1960 වර්ෂයේ දී සීනි නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කොට ඉතාමත් සාර්ථකව පවත්වාගෙන ආ මෙම ආයතනයේ පැවැත්මට කණකොකා හඬන්නේ 1990 දශකයේ දීය. එවක පැවති රණසිංහ ප්‍රේමදාස රජයේ රාජ්‍ය ආයතන ජනතාකරණය කිරිමේ ප්‍රතිපත්තිය මත හිඟුරාණ සීනි ආයතනයද 1993 වසරේ පුද්ගලික අංශයට පවරා දෙන ලදී.

 

හිඟු­රාණ එත­නෝල් නිෂ්පා­ද­නා­ගා­රය

ඉන් අනතුරුව නිරන්තරයෙන් මෙහි පැවති සේව්‍ය/ සේවක ආරවුුල් නිසා 1994 වර්ෂයේ දී පත් වූ චන්ද්‍රිකා රජය මඟින් මෙය නැවතත් රජයට පවරා ගන්නා ලදී. නමුත් රජයට කිිසිදු අනාගත සැලැස්මක් නොවූ නිසා අවසානයේ සේවකයන්ට සොච්චම් වන්දි මුදලක් ගෙවා ආයතනය සම්පූර්ණයෙන් වසා දමන ලදී. ඉන් අනතුරු රුපියල් කෝටි ගාණක් වටිනා සීනි කම්හලේ යන්ත්‍ර සූත්‍ර දිරා පත් වී යකඩ ගොඩක් බවට පත් විය. යාන වාහන සිය ගණනක් එක තැන දිරා පත් වන්නට විය. සරුසාර උක් ඉඩම් අක්කර 12500 ක් පමණ සම්පූර්ණයෙන් මුුඩු බිම් නිසරු බිම් බවට පත් විය. මුළු ප්‍රදේශයම ජනශුන්‍ය වූ අතර වසර 10 ක් පුරා කිිසිදු ආණ්ඩුුවක් මේ පිළිබඳ සොයා බැලුවේ නැත. ප්‍රදේශයේ ජනතාව මැති ඇමතිවරු කොතෙක් හඬ නැඟුවද ඒවා එකල බීරි අලින්ට විණා වැයීමක් විය. එසේ කිසිවකුගේ ඇල්ම බැල්ම නොමැතිව වසර 10 කට අධික කාලයක් වසා දමා තිබූ මේ ආයතනය ගැන 2005 වර්ෂයේ එවකට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂයන්ගේ අවධානය යොමු විය. ඒ අනුව මහින්ද රාජපක්ෂයන් විසින් සීමාසහිත බ්‍රවුන්ස් ආතයනය සහ එල්ඕඑල්සී ආයතන අධිපති ඉෂාර නානායක්කාරට මෙම ආයතනය ගොඩනැඟීම සඳහා බාර දෙන ලදී.

ජනාධිපති මහින්ද රාජපක්ෂයන් විසින් බාර දුන් ගරා වැටුණු යකඩ ගොඩ හා මුඩු බිම් බාරගත් ඉෂාර නානායක්කාර ගල්ඔය වැවිලි සමාගම නමින් නව සමාගමක් ආරම්භ කර හිඟුරාණ සීනි ආයතනය යළි ගොඩගැනීමේ භාරධූර කාර්යයට අත ගැසුවේය. ඒ වන විට ගල්ඔය ව්‍යාපාරයෙන් හා ශ්‍රී ලංකා සීනි සංයුක්ත මණ්ඩලය මඟින් වසර 40 කට පමණ පෙර නිර්මාණය කර තැබූ වාරි මාර්ග, ඇළවේලි නිර්මිත සියල්ල කැඩී බිදී වල් බිහි වී තිබු අතර ඒ සිියල්ල නැවත පිළිිසකර කරමින් උක් වගාවට සරිලන පරිදි ඉඩම් සකස්කිරීම සිදුකරන ලදී.

උක් වගාව ආරම්භ කිරීමේ දි අභියෝග රාශියක් එල්ල විය. ඒ සියලු අභියෝග ජය ගනිමින් එවකට හිටපු අම්පාර දිසාපති සුනිල් කන්නන්ගර හා එවකට රාජ්‍ය ව්‍යවසාය ඇමතිවරයාව සිටි පී. දයාරත්නගේ උපරිම සහයෝගයෙන් උක් ගොවීන් සාර්ථකව උක් වගාවට යොමුු කර ගැනීමට හැකිවිය. ඒ අනුව 2006 වර්ෂයේ දී යළි ආරම්භ කළ හිඟුරාණ සීනි ආයතනය ( ගල්ඔය වැවිලි සමාගම ) 2012 වර්ෂයේ දී සීනි නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලදී.

එතැන් සිට වර්ෂයෙන් වර්ෂය දියුණුවට පත් වූ මෙම ආයතනය 2019 වර්ෂයේ දී එදා මෙදා තුර ඉතිහාසයේ ප්‍රථම වරට සීනි මෙට්‍රික් ටොන් 20000 ක් නිපදවා වාර්තාවක් තැබීමට සමත් විය. ඒ සමඟම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් පිටරටින් ගෙන්වන ලද ‘‘එතනොල්‘‘ නතර කිරීම නිසා දේශීය නිෂ්පාදනයට හොඳ කල දවසක් උදා විය. එතෙක් දේශීය එතනොල් ලීටරයක් රුපියල් 300 කට වත් විකුණා ගැනීමට නොහැකිව තිබූ අතර පිටරටින් ගෙන්වීම නතර කිරීම නිසා ලීටරයක් රු.700-800 ට විකිණීමට හැකි වීමෙන් ගල්ඔය වැවිලි සමාගම ලාබ ලබන තත්ත්වයට පත් විය. ඒ තුළින් ආයතනයේ 1200 ක් පමණ වූ සේවකයන්ට හා 500 ක් පමණ වූ උක් ගොවීන්ට සහන හා පහසුකම් රාශියක් ලබා ගැනීමට හැකි විය.

හොඳ වැටුපක්, උසස් වීම් ක්‍රමයක්, සුබ සාධන සේවා, ප්‍රසාද දීමනා එමඟින් ලැබුණි. ඒ අනුව 2021 වර්ෂයට දෙවරක් ප්‍රසාද දීමනා ලැබුණි. ඒ අප්‍රේල් මාසයේ දී සහ දෙසැම්බර් මාසවලදී ය. අද වන විට සේවකයන් සඳහා වර්ෂයකට දෙවරක් ප්‍රසාද දීමනා දෙන මෙන්ම ප්‍රසාද දීමනා වශයෙන් මාස 03 ක වැටුුපත් ගෙවන එක ම පුද්ගලික ආයතනයක් වේ නම් එය ගල්ඔය වැවිලි සමාගම පමණි. එසේම උක් ගොවියන් වෙනුවෙන් ද ආයතනය විශාල පහසුකම් රාශියක් ඇති කර ඇත.

පොහොර, කෘෂි රසායන, බීජ ලබා දීම, ඉඩම් සකස් කර දීම, සහන මිලකට ලබා දේ. එමෙන්ම 2012වන විට රුපියල් 1200 පමණක් ගෙවූ උක් මෙට්‍රික්ටොන් 1 කට අද රුපියල් 6250 දක්වා වැඩි කිරීමට පියවර ගෙන ඇත.

මෙසේ ඉතා කෙටි කලකින් ඉතාමත් සාර්ථකව පවත්වාගෙන යන මෙම ගල්ඔය වැවිලි සාමාගම සිනි, එතනෝල් නිෂ්පාදනයට අමතරව වසර 40 ක් පමණ තිස්සේ ඉවත ලූ පරිසරයට එක් කළ අපද්‍රව්‍ය උපයෝගි කර ගෙන විශාල කාබනික පොහොර ව්‍යාපෘතියක් ද, විදුලි ජනන ව්‍යාපෘතියක් ද ආරම්භ කර ඇත. මෙසේ දිනෙන් දින දියුණුවට පත් වෙමින් තිබෙන මෙම ජාතික සම්පතට කණකොකා හඬන තත්ත්වයක් උද්ගත වී ඇතැයි ප්‍රදේශවාසීහු හා සේවකයෝ පවසති. ඒ මේ ආයතනය අයත් අමාත්‍යාංශයේ රාජ්‍ය ඇමතිවරයා ගොවීන් අතළොස්සක් සිටින එක්තරා ගොවි සංවිධානයක් මවාපාන වැරදි අදහස්වලට මුවා වී මේ ආයතනය යළිත් රජයට පවරා ගැනීමට යන්නේ යැයි පවතින කතාවක් මුල් කරගෙනය. මේ නිසා පසුගිය දිනවල හිඟුරාණ නගරය කේන්ද්‍ර කරගෙන ප්‍රදේශයේ මහා සංඝරත්නය ඊට විරෝධය පෑමටත් සේවකයන් හා උක් ගොවීන් එක් වී ඊට විරෝධය දක්වන දැවැන්ත උද්ඝෝෂණ පෙළපාළි සංවිධානය කිරීමටත් පෙලඹී සිටියහ.

මේ පිළිබඳ මාධ්‍යට අදහස් දැක්වූ අම්පාර මඩකලපුුව දෙදිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මහාවාපි විහාරාධිපති, අම්පාර විද්‍යානන්ද පරිවෙණාධිපති ශාස්ත්‍රපති කිරිදිවල සෝමරතන නා හිමියන් මෙසේ ප්‍රකාශ කළහ.

‘මේ ආයතනය මේ පළාතට සම්පතක්. දීර්ඝ කාලයක් මුළුල්ලේ ප්‍රදේශයේ ජනතාවට අමිල සේවයක් කරනවා. ගල්ඔය වැවිලි සමාගම මේ ඓතිහාසික දිගාමඩුුල්ලේ විශාල ධනෝපායන මාර්ගයක්. ජන ජීවිතවල ආර්ථිකයට විශාල කාර්ය භාරයක් ඉටු කරනවා. පුරා දශකටකට අධික කාලයක් මේක වැහිලා තිිබුුණා. ප්‍රදේශයේ ජනශුන්‍ය වුණා. ආර්ථිකය කඩා වැටුුණා. දැන් මේ ගල්ඔය වැවිලි සමාගම ක්‍රියාත්මක වන ආකාරයට ගැන අපි සතුටට පත් වෙනවා. අපි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් අගමැති මහින්ද රාජපක්ෂයන්ටත් දැනුුම් දෙනවා; ඔබතුමන්ලා තමයි වැසී තිබුණු මේ ආයතනය නැවත ගොඩනඟන්න එල්ඕඑල්සී සමාගමේ අධිපති ඉෂාර නානායක්කාරට බාර දුන්නේ ඔහු මේ ආයතනය අද ගොඩ අරන් තියෙනවා. සීනි, විදුලිය, පොහොර නිෂ්පාදනය කරනවා. සේවක සුබ සාධනය උක් ගොවි සුබ සාධනය ඇති කර තිබෙනවා. ප්‍රදේශයේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් වෙහෙර විහාර සංවර්ධනය වෙනුවෙන් උර දෙනවා. එසේ තිබිය දී අවස්ථාවාදීන් පිරිසක් මේ තත්ත්වය උදුරා ගන්න හදනවා. අමාත්‍යාංශය බාර රාජ්‍ය ඇමතිවරයා තාම එක දවසක් වත් මේ ආයතනය පය තියලා නැහැ. කොළඹ ඉදන් මාධ්‍ය සංදර්ශන පවත්වමින් මේකට විරුද්ධ වෙන්නේ ඇයිද කියා සංඝරත්නයට ප්‍රශ්නයක් තිබෙනවා. අපි ඔහුගේ ක්‍රියා කලාපය හෙළා දකිනවා. අපි ඉදිරියේ දි සියලු මැති ඇමතිවරුන්, බලධාරීන්, මහා නා හිමිවරුන් දැනුවත් කරන්න කටයුතු කරනවා. ප්‍රදේශයේ අන්තවාදීන් බලන්නේ මේ උක් බිම් අල්ල ගන්න. අපි පත් කරගත් අපේ මේ ආණ්ඩුව ගැන අපිට කනගාටුවක් ඇතිි වනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයන් වනජීව වන සම්පත් හා වන රක්ෂණ රාජ්‍ය ඇමති විමලවීර දිසානායක පැවසුවේ මෙවැන්නකි.

‘මේ ආයතනය දීර්ඝකාලයක් වසා තිබුණු ආයතනයක්. මෙය එජාප රජය පුද්ගලික අංශයට දුන්නා. අසාර්ථක වුුණා. නැවත රජයට පවරා ගත්තා. අසාර්ථක වුණා. ඊට පස්සේ මේ රජය එල්ඕඑල්සී සමාගමට පවරා දුන්නා. ඒ අය අති විශාල ජනස්කන්ධයක් ආයෝජනය කරලා දැන් හොඳ තත්ත්වයට ගොඩනඟලා තියෙනවා. සේවක සුබ සාධනය ඇති කරලා තියෙනවා. පඩි නඩි වැඩි කරලා තියෙනවා. උක් මිලත් සාධාරණ ගණනකට වැඩි කරලා තියෙනවා. තවත් යම් යම් ප්‍රශ්න තියෙනවා නම් ඒවත් සාකච්ඡා කරලා විසදා ගන්න හැකියාව තියෙනවා. පසුගිය කාලයේ ඇති වුුණ ගෝලීය වසංගත තත්ත්වය තුළ අපේ රටේ ආර්ථිකය කඩා වැටිලා තියෙන්නේ. රජයට මුුදල් නැහැ. රජයේ ප්‍රතිපත්තිය ආයෝජකයන් දිරි ගැන්වීමයි. තව තවත් ආයෝජකයන් මේ රටට ගෙන්වීමයි. එසේ තිබිය දී පුද්ගලික ආයතන රජයට පවරා ගත්තොත් කරන්න බැහැ. ආයෝජකයෝ එන්නේ නැහැ. අද මේ රටේ පවතින බොහෝ රාජ්‍ය ආයතන පාඩු පිට පවත්වාගෙන යන වෙලාවක මේක රජයට පවරා ගන්න කියන එකට පුද්ගලිකව මම විරුද්ධයි. අද මේ ප්‍රදේශයේ සෘජු හා වක්‍රව විශාල පරිසක් මේ හරහා යැපෙනවා. එය නැති කරන්න හොඳ නැහැ.

සමගි ජන බලවේගයේ පොතුවිල් ආසනයේ ආසන සංවිධායක හිටපුු පළාත් සභා මන්ත්‍රී හිඟුරාණ සිනි ආයනයේ හිටපු ජාතික සේවක සංගමයේ ලේකම් ඩී.ඩී.මේත්තානන්ද ද සිල්වාගේ අදහස මෙසේය.

‘පැවති රජයන්වල දූරදර්ශී යම් යම් ප්‍රතිපත්ති නිසා මේ ආයතනය දීර්ඝකාලයක් වසා දමලා තිබුණා. ප්‍රදේශයේ ජනශුන්‍ය වුණා. ආර්ථිකය කඩා වැටුණා. ඔය අතර ගල්ඔය වැවිලි සමාගම මෙය බාර ගෙන අද ඉතාම හොඳ තත්ත්වයෙන් පවත්වා ගෙන යනවා. කම්හලයි, වගාවයි දෙකම හොඳට කරගෙන යනවා. නාස්තිය, දුෂණය නැති කරලා නව තාක්ෂණය යොදා ගෙන මනා ලෙස කළමනාකරණය කරගෙන යනවා. අපි බොහොම සතුටු වෙනවා. දැන් දැන් සේවකයන්ට හොඳ පඩි ක්‍රමයක්, ප්‍රසාද ක්‍රමයක් තියෙනවා. හැබැයි ගොවියාගේ පැත්තෙන් ගොවියා විසින් වර්ෂයක් තිස්සේ මහන්සි වෙලා පොහොර කෘෂි රසායන යොදලා නඩත්තු කරලා අස්වනු නෙළලා ආයතනයට ප්‍රවාහනය කරලා ආයතනයට ගෙනවිත් බාරදීම දක්වා වන ක්‍රියාවලිය සඳහා ගොවියා විශාල මුුදලක් වැය කරනවා. එම වැය කරන මුදලට, ශ්‍රමයට අවසානයේ ලැබෙන ප්‍රතිලාභය කොතෙක් දුුරට සාධාරණ ද කියා සිතා බැලිය යුතුයි. කෙසේවෙතත් මෙය නැවත රජයට පවරා ගැනීම මෝඩ ක්‍රියාවක්. ඒ තුළින් දේශපාලන ඇගිලිි ගැසීම් වැඩි වී එමඟින් යළිත් වරක් ආයතනය කඩා වැටීම වළක්වන්න බැහැ. අපි ඒකට විරුද්ධයි.

සමාගම පහසුකම් සලසන උක් ඉඩම්
අම්පාර හිඟුරාණ සීනි කම්හල බේරාගැනීම සඳහා මහා සඟරුවන සහ ජනතාව ජනවාරි 12 වැනි දින හිඟුරානේ පවත්වන ලද දරුණු උද්ඝෝෂණයේ අවස්ථාවක්

 

Comments