හැට පස් වස­රක් ඉපැ­රණි චීන ශ්‍රී ලංකා මිතු­දම | සිළුමිණ

හැට පස් වස­රක් ඉපැ­රණි චීන ශ්‍රී ලංකා මිතු­දම

චීන ශ්‍රී ලංකා සබදතාවලට වසර 65 පිරීම නිමිත්තෙන් වරාය නගර පිවිසුමේ පවත්වන ලද ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්, අගමැති මහින්ද රාජපක්ෂයන් සහ චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී විවෘත කළ අවස්ථාව.
චීන ශ්‍රී ලංකා සබදතාවලට වසර 65 පිරීම නිමිත්තෙන් වරාය නගර පිවිසුමේ පවත්වන ලද ඡායාරූප ප්‍රදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්, අගමැති මහින්ද රාජපක්ෂයන් සහ චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී විවෘත කළ අවස්ථාව.

 

මිත්‍රත්වයන් ඇතිවිය හැකිය. නැතිවිය හැකිය. එහෙත් දීර්ඝ ඉතිහාසයක් සහිත මිතුදමක් පවතින්නේ නම් එය බොහෝ දුර්ලභය. එවැනි මිතුදම් ආරක්ෂා කර ගත යුතුය. මේ දහම මිනිසුන්ට පමණක් නොව රටවලටද පොදුය. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින්නේද එවන් වූ මිතුදමකි. පසුගියදා දෙරට අතර සබඳතාවල 65 සැමරුම පැවතියද සැබවින්ම නම් චීනය සහ ශ්‍රී ලංකාව අතර මිතුදම සියවස් ගණනක් පැරණීය.

 

විශේෂයෙන්ම ආසියානු රටවල් අතර චීනය, ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාවටද හිමිවන්නේ ඉතා දීර්ඝ මෙන්ම අද්විතීය ඉතිහාසයකි. ඒ හේතුවෙන්ම මේ රටවල් අතර වෙළෙඳ සබඳතා මෙන්ම සංස්කෘතික සබඳතාද ඇතිවීම වැළෑක්විය නොහැකි විය.

ලිඛිත ලේඛනවල සඳහන් වන අන්දමට චීනය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාවල ආරම්භය ක්‍රිස්තු පූර්ව 4වැනි සියවස දක්වා ගමන් කරයි. ඒ ෆාහියන් නම් වූ චීන ජාතික භික්ෂූන් වහන්සේ ශ්‍රී ලංකාවට සැපත් වීමත් සමඟිනි. දෙරට අතර සම සංස්කෘතික සබැඳියාව මෙමගින් තහවුරු වූ අතර බෞද්ධ දර්ශනයෙන් පෝෂීත දෙරටක් ලෙස ශක්තිමත් මිත්‍රත්වයකටද පදනම ඒ සමඟින් හිමි විය.

චීනය දැවැන්තයකු වුවද විසිඑක්වැනි සියවස ආරම්භය දක්වා චීනය සිටියේ නිදිගත් යෝධයකු වශයෙනි. එහෙත් එහි අති දැවැන්ත සංස්කෘතික පසුබිම කිසිඳු රටකට අවතක්සේරු කළ නොහැකි විය. මුළු මහත් ආසියාව වසා ගනිමින් චීන සංස්කෘතිය පැතිර ගොස් තිබූ අතර එය දෙවැනි වූයේ නම් ඉන්දියානු මහා සංස්කෘතියට පමණක්ම විය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර 1952 දෙසැම්බර් 18 චීනයේ බෙයිජිං නගරයයේදි  සහල්- රබර් ගිවිසුමට අත්සන් තැබූ අයුරු

 

චීනය අතීතයේ සිටම තම අසල්වැසියන්ට උපකාර කිරීමට ඉදිරිපත් වූ රටක් විය. ඇතැම් අවස්ථාවල ආසන්න අසල්වැසියන් සමඟ ගැටලු පැවතියද චීනය සහ ශ්‍රී ලංකාව අතර පැවතියේ මිත්‍රත්වයක් පමණක්ම විය.

විසිවැනි සියවස වන විට එම මිත්‍රත්වය පදනම් කර ගනිමින් වාණිජ ගනුදෙනුද ආරම්භ වන්නේ වඩා ශක්තිමත් පදනමක් දෙරට අතර ගොඩ නඟිමිනි. ඒ සඳහා හොඳම උදාහරණය වන්නේ රබර් සහල් ගිවිසුමයි. හැත්තෑව දශකය වන විට ශ්‍රී ලංකාවද නොබැඳි රටක් ලෙස ලෝකයේ නමක් දිනා ගනිමින් ගමන් කරමින් සිටියේ වාමාංශීක දේශපාලන ධාරාවේය. ඒ වන විට රුසියාව පමණක් නොව, ඉන්දියාවද, චීනයද වාමාංශීක පාර්ශ්වයට සහය දක්වමින් පෙරමුණේ විය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය මේ රටවල් ත්‍රිත්වය පදනම් කර ගනිමින් ශක්තිමත් ආර්ථීක ධාරාවක් රට තුළ ස්ථාපිත කරමින් සිටියාය. රට තුළ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නැ‌ෙඟමින් තිබිණී.

1957 වර්ෂයේදී දෙරට අතර තානාපති සබඳතා ආරම්භ කෙරුණු අතර එතැන් සිට ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් වර්ධනය කිරීමට චීනය වරින්වර විශාල වශයෙන් ආධාර ලබා දී තිබිණී.

චීනය සමඟ රබර් සහල් ගිවිසුම අත්සන් තැබෙන්නේ මෙවන් වටාපිටාවක් තුළදීය. එම යුගයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන බෝග ඉතා විධිමත්ව පැවති අතර අමතරව සුළු අපනයනය බෝගද රටට විශාල ලෙස විනිමය ලබා දෙමින් තිබිණී. චීනය ශ්‍රී ලංකාව සමඟ එක් වන්නේ මෙකී බෝග හුවමාරුවක් දෙරටටම වාසිදායක ලෙස සිදු කිරීම අරමුණූ කර ගනිමිනි. 1962 වසරේදී අත්සන් තැබුණූ මේ ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවෙන් චීනයට රබර් ලබා දීමට නියමිත වූ අතර චීනයෙන් ශ්‍රී ලංකාවට වටිනාකමට සමානව සහල් ලබා දීමට නියමිත විය. මේ ගිවිසුම එකල කලාපයේ ආර්ථීකයට විශාල බලපෑම් කළ හැකි ගිවිසුමක් ලෙස හැඳින්වුණූ අතර දෙරටේම ආර්ථීකයන්ට විශාල වැදගත් ගිවිසුමක් වූ බවට නම් තර්කයක් නොවීය. එපමණක්ද නොව මූල්‍ය හුවමාරුවක් හෝ ණය හෝ සහනාධාර ලබා දීමක් නොවූයෙන් මේ ගිවිසුම රටේ නිෂ්පාදන ආර්ථීකය වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරී විය.

මේ ගිවිසුම දෙරට අතර සබඳතා තවත් වර්ධනය කිරීමට හේතුවූ අතර චීනය ශ්‍රී ලංකාවට ත්‍යාගයක් ලෙස ලබා දුන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉඳි කෙරුණේ එහි අතුරු ඵලයක් වශයෙනි.

පසුකාලීනව තවත් ගිවිසුම් රැසක් ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් කෙරුණු අතර 1982දී අත්සන් කෙරුණු චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ වෙළෙඳ ගිවිසුම, 1984දී අත්සන් කෙරුණූ ආර්ථීක සහා වෙ‌ෙළඳ සහයෝගිතාව පිළිබඳ එකඟතාව මේ සඳහා උදාහරණ වශයෙන් දැක්විය හැකි අතර 1991 වසරේදීද දෙරට අතර ගිවිසුම් දෙකක් අත්සන් තබණු ලැබීය. පසුකාලීනව ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ණය ලබා දීම කෙරෙහි චීනයේ අවධානය යොමු වූ අතර 1994දී සංවාර්ධන කටයුතු සඳහා ලබා ගත් ණය මුදල ඒ සඳහා හොඳම උදාහරණයක් විය. එම ණය මුදල යටතේ අදාළ සංවර්ධන කටයුතු රට තුළ සිදුවන්නේද යන්න විමසා බැලීමට සහ ඒ සඳහා සහයෝගය ලබා දීමට චීන - ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන කවුන්සිලය ද පිහිටුවනු ලැබීය.

විසිඑක්වැනි සියවසේදී දෙරට අතර සංවර්ධන කටයුතු වඩාත් වර්ධනය වූ අතර මිත්‍ර සබඳතා ද ඒ පරිද්දෙන්ම විය. දකුණූ ආසියානු කලාපයේ චීනයේ වඩාත් ශක්තිමත් මිත්‍රත්වය ශ්‍රී ලංකාව සමඟ පවත්වා ගැනීමට චීනය සමත් විය.

ඒ යටතේ මේ වන විට චීන ආධාර යටතේ අපේ රටේ දැවැන්ත ව්‍යපෘති සිදුවෙමින් පවතී. චීනයේ තීරයක් සහ මාවතක් තේමාව යටතට අයත්වන ප්‍රධාන මර්මස්ථානයක් බවට ශ්‍රී ලංකාවද පත්ව ඇති අතර ඒ වෙළෙඳ ගනුදෙනුවලදී අප රටට අත්‍යවශ්‍ය වන යටිතල පහසුකම්, විශේෂයෙන්ම මහා මාර්ග පද්ධතිය සහ වරාය පද්ධතිය ඉදි කිරීමේ කටයුතු චීන ආධාර මත මේ වන විටත් සිදුවෙමින් පවතින්නේය.

Comments