සංචා­රක ව්‍යාපා­රයට නව අරු­ණලු | Page 2 | සිළුමිණ

සංචා­රක ව්‍යාපා­රයට නව අරු­ණලු

 

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හමුවේ දැඩි බලපෑමට ලක්වූ ක්ෂේත්‍රයක් ලෙස වසර ගණනාවක් පුරා මෙරටට වැඩි ම විදේශ විනිමය ආදායමක් ගෙන දුන් සංචාරක ව්‍යාපාරය හඳුන්වා දිය හැකියි. වසංගතයේ බලපෑම තීව්‍ර වෙත්ම 2020 හා 2021 වසරවලදී මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ වැටී ඒ ක්ෂේත්‍රය තුළ සිය ජීවන පැවැත්ම තහවුරු කර ගෙන සිටි ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ එම ජීවනෝපාය මාර්ගයන්ද අහිමි වී ගියහ. ලොකු,කුඩා සංචාරක හෝටල් රැසකටම සිය ආදායම් මාර්ග අහිමි වී ගිය අතර වසංගතයේ බලපෑම හමුවේ වසා දමා තිබුණු සංචාරක හෝටල් බොහොමයක් තවමත් විවෘත වී නොතිබීමෙන්ම කොවිඩ් වසංගතය මෙරට සංචාරක ව්‍යාපාරයට කෙතරම් දරුණු බලපෑමක් සිදු කර තිබේදැයි මොනවට පැහැදිලි වේ.

 

කෙසේ වුවත් මෙරටට බලපෑ තුන්වන කොවිඩ් රැල්ලෙන් පසු 2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් රට විවෘත වීමත් සමඟ මෙරට සංචාරක ව්‍යාපාරයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව යම් සුබදායී හැඟීමක් ඇති කර ගන්නට හැකියාව ලැබී තිබීම මහා අස්වැසිල්ලකි. ඒ අනුව පසුගිය නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල සිට යළිත් විදේශීය සංචාරකයන් මෙරට සංචාරය සඳහා පැමිණෙමින් තිබෙනු දැකිය හැකියි.

සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වත්ම එලෙස පැමිණෙන එකී සංචාරකයන් නිසා මෙරට තුළ යළිත් කොවිඩ් රැලි ඇති නොවීමට වග බලා ගැනීම ඇත්ත වශයෙන්ම මහා අභියෝගයක් ලෙස හඳුන්වා දිය හැකි නමුත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දීමට සංචාරක අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර ඇත. ඒ අනුව මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා පමණක් නොව සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අංශ නියෝජනය කරන සියලු පිරිස් වෙත සෞඛ්‍ය මාර්ගෝපදේශ රැසක්ම මේ වන විටත් ක්‍රියාත්මක වේ.

යළිත් ක්‍රමක්‍රමයෙන් අළු ගසා නැඟී සිටිමින් තිබෙන මෙරට සංචාරක ව්‍යාපාරයේ හෙට දවස පිළිබඳ ව සංචාරක අමාත්‍යාංශයේ ලේකම්වරයා තුළද ඇත්තේ ඉතාම යහපත් වූ සුබදායී හැඟීමකි. කොවිඩ් නිසා මෙම ක්ෂේත්‍රය මුහුණ දුන් අභියෝග හා එම අභියෝග පරාද කරමින් ජයග්‍රහණය කරා ඉදිරියට ගමන් කරන ආකාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි විසින් පසුගියදා කොළඹ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක්ද පැවැත්වූ අතර එහිදී ඔහු අවධාරණය කර සිටියේ කඩා වැටුණු ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තය සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුව යමින් යළි ජයග්‍රාහී ඉසව්වක් වෙත රැගෙන යාම සඳහා අවශ්‍ය සැලසුම් හා වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.

රටට විදේශ ප්‍රේෂණ ලැබීමේ ප්‍රධාන මූලාශ්‍රයන් අතර සංචාරක කර්මාන්තයට ලැබුණේ තෙවන ස්ථානයයි. අන්‍ය මූල්‍ය උත්පාදන ක්ෂේත්‍රයන්ට සාපේක්ෂව සංචාරක කර්මාන්තයේ ආදායම රටට ලැබුණේ ශුද්ධ ආදායමක් ලෙසය.එහෙත් කොවිඩ් වසංගත තත්ත්වය ඉතිහාසයේ නොවු විරූ ලෙස සංචාරක කර්මාන්තය බිඳ වැටීමට ප්‍රධාන හේතුවක් වූ බවත් සංචාරක ක්ෂේත්‍රය තුළ කටයුතු කරමින් සිටි දසලක්ෂයකට අධික පිරිසකගේ සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා අහිමි කිරීමට තරම් එය බලවත් වූ බවත් මෙහිදී වැඩිදුරටත් පැහැදිලි සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි නව සැලසුම් සහ ක්‍රමෝපායන්ට අනුව යමින් වසර 2030 වන විට සංචාරකයන් මිලියන හතකට වැඩි පිරිසක් වාර්ෂිකව මෙරටට ආකර්ෂණය කරගනිමින් ඇමරිකන් ඩොලර් බිලියන දහයක පමණ ආදායමක් උපයා ගැනීම තම අමාත්‍යාංශයේ අරමුණ බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු ද මෙහිදී අදහස් දැක්වූ අතර එහිදී ඇය සඳහන් කර සිටියේ ඉදිරි කාලය තුළ මෙරට සංචාරක් ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය අපේක්ෂා කරන අරමුණ සාධනය කරගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන්ට හා නිර්ණායකයන්ට ශ්‍රී ලංකාව ද එක්විය යුතු බවත් ඒ සඳහා සියලු රටවැසියන් ද ආකල්පමය වශයෙන් ධනාත්මක ස්වරූපයක් දැරිය යුතු බවත්ය.

රජයේ නව වැඩපිළිවෙළ යටතේ සංචාරක අමාත්‍යාංශයට මෙතෙක් නොතිබූ නව ආයතන ගණනාවක් අනුබද්ධ ආයතන ලෙස සම්බන්ධ වී තිබීම සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට සෘජු දායකත්වයක් සපයන බවද පැවසූ සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කොවිඩ් මර්දනය සඳහා මෙරට තුළ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබදව ජාත්‍යන්තරයේ පවා ප්‍රසාදය හිමි වී ඇති අතර වසංගතය විද්‍යාත්මකව කළමනාකරණය කිරීමට අප රට සමත්වීම හේතුවෙන් ආසියාවේ සෙසු රටවලට සාපේක්ෂව සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබෙන බවද සඳහන් කළාය. ඉදිරි කාලය තුළ සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ආකර්ෂණය කර ගැනීම සඳහා මෙරට තුළ ඇති ස්වභාවික සම්පත් හා මානව සම්පත් සතු සංස්කෘතික හැකියා සහ විභවතා විද්‍යාත්මක ලෙස ප්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.

•2022 ජනවාරි 1 සිට 10 දක්වා දින 10 ඇතුළත  සංචාරකයන්ගේ පැමිණීම 29,420කි. එය අතිශයින් වැඩිවීමකි.

මේ අතර මෙරට සංචාරක ව්‍යාපාරයේ හෙට දවස පිළිබඳව සිළුමිණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ සඳහන් කර සිටියේ මෙරට සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත රැකියාවන්හි නිරත පිරිස ලක්ෂ 30කට අධික වන අතර, වසංගතයත් සමඟ ඒ සියල්ලන් ගේ රැකියා අවදානමට වැටුණු බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කරන පරිදි ගෝලීය කොවිඩ් තත්ත්වය අඩු වැඩි වෙමින් 2024 වසර දක්වාම පවතින බවද කී ධම්මිකා විජයසිංහ එය එසේ වුවත් කොවිඩ් අවදානම අවම කර ගනිමින් වැඩි සංචාරක පිරිසක් ඉදිරි වසර කීපය තුළ මෙරට සංචාරය සඳහා ආකර්ෂණය කර ගැනීමට හැකි වනු ඇතැයිද සඳහන් කළාය.

"ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ප්‍රංසය සහ චීනය මෙරටට වැඩිම විදේශ සංචාරකයින් පිරිසක් පැමිණෙන රටවල්ය. එම රටවල් ද ඇතුළුව සංචාරකයන් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගත හැකි සියලු ම රටවල් ඉලක්ක කර ගනිමින් සංචාරක ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක වේ. එම වැඩසටහන් අතර කුච්චවේලි, කල්පිටිය සහ බෙන්තොට සංචාරක කලාප ආශ්‍රිතව රුපියල් බිලියන ගණනක ව්‍යාපෘති 22ක් ක්‍රියාත්මක කිරීමට මේ වන විටත් අනුමැතිය ලබා දී ඇත. එසේම විශේෂ ව්‍යාපෘතියක් වන නානු ඔය සිට ග්‍රෙගරි වැව දක්වා වන කේබල් කාර් ව්‍යාපෘතියට ද අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව හෝටල්, වෝටර් බංග්ලෝ, කේබල් කාර් වැනි ආකර්ෂණීය ව්‍යාපෘති 22ක් ඉදිරි වසර දෙක ඇතුළත ඉදිකර අවසන් වීමට නියමිතය.

මීට අමතරව ඇල්ල, යාල ආදී සංචාරක ප්‍රදේශයන්හි යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ද මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් තිබේ. ඒ අතරම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව කල්පිටිය, මන්නාරම,මඩකලපුව වැනි ප්‍රදේශයන්හි පිහිටි පැරැණි බලකොටු ප්‍රතිසංස්කරණය කර සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහා ඒවා යොදා ගැනීමේ වැඩසටහනක්ද ආරම්භ කර ඇත.

එපමණක්ද නොව කඳුකර දුම්රිය මාර්ගය සංචාරක ආකර්ෂණයට යොදා ගත හැකි ක්‍රමවේද පිළිබඳ සොයා බලා, ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ එක්ව ක්‍රියාත්මක කරමින් සිටියි. ඒ අනුව අලුත් සංචාරක ආකර්ෂණීය ස්ථාන 5,500ක් හඳුනා ගෙන ඒවා වැඩි දියුණු කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති අතර මාලදිවයිනේ මෙන් නොගැඹුරු මුහුදේ සිට මුහුදු මට්ටම දක්වා ඉදිකරන වෝටර් බංග්ලෝ ව්‍යාපෘතියක් සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට කල්පිටිය ප්‍රදේශයෙන් රජයේ ඉඩම් ලබා දී මේ වන විට එම ව්‍යාපෘතියේ සැලසුම් සකස් කර අවසන්ව ඇත.

වැඩිදුරටත් අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා විජයසිංහ සඳහන් කර සිටියේ මෙම වසර තුළ ලක්ෂ 11ක සංචාරකයන් පිරිසක් මෙරට සංචාරය සඳහා පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි. ඒ පිළිබඳව සුබදායී හැඟීම් ඇති කරමින් මේ වසරේ පළමු දින 10 තුළ පමණක් සංචාරකයන් 29,420 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවද සඳහන් කළ ධම්මිකා විජයසිංහ කොවිඩ් වසංගතයේ බලපෑමට පෙර සංචාරකයින් මිලියන තුනකටත් වඩා වැඩි පිරිසක් වාර්ෂිකව මෙරටට පැමිණ ඇති බවද ප්‍රකාශ කළාය.

මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ට සෑම අවස්ථාවකදීම අප රට පිළිබඳව යහපත් චිත්‍රයක් ඇති වන අයුරින් කටයුතු කළ යුතු බවත් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙමින් මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ පහසුව සහ කළමනාකරණය ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යෑමට අවශ්‍ය නවීනතම මෘදුකාංගයක් හඳුන්වා දීමට පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය සඳහන් කළාය.

Comments