ලුණුත් පිපිරෙන තරම් ලුණු ලේවායේ ගැටුම් | සිළුමිණ

ලුණුත් පිපිරෙන තරම් ලුණු ලේවායේ ගැටුම්

ලුණු ලේවායේ සභා­පති වරයා ඇතුළු පිරිස නග­රා­ධි­පතිට විරෝ­ධය දක්ව­මින් පැවති විරෝ­ධ­තා­වය
ලුණු ලේවායේ සභා­පති වරයා ඇතුළු පිරිස නග­රා­ධි­පතිට විරෝ­ධය දක්ව­මින් පැවති විරෝ­ධ­තා­වය

ම්බන්තොට ලුණු ලේවායත් හා හම්බන්තොට නගර සභාවත් යනු කලක් තිස්සේ උණුසුම් පුවත් මවන ස්ථාන දෙකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. පසුගිය 27 දින හම්බන්තොට ලුණු ලේවාය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළේ හම්බන්තොට නගරාධිපතිවරයා හා ඔහුට හිතවත් නාගරික මන්ත්‍රිවරු පිරිසක් හා ලුණු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු විසිනි. ඒ හම්බන්තොට ලුණු ලේවායේ වත්මන් සභාපති නිතීඥ නිශාන්ත සදභරණ ඒ ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමිනි.

 

යහපාලන ආණ්ඩුව සමයේ පැවති දින 52 ආණ්ඩු කාලය තුළදී ද ලංකා ලුණු ලේවායේ සභාපති ධුරයට පත් වුයේ වත්මන් සභාපති නිතීඥ නිශාන්ත සදභරණය. ඔහු එදා එම ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේ එහි පැවති සුහද

නග­රා­ධි­පති ඇතුළු පිරිස ලුණු සභා­ප­තිට විරෝ­ධය දක්ව­මින්

හමුවකදී කැපී පෙනෙන චරිතයක් වූයේ හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍රය. ඔහු ඇතුළු ඔහුගේ ආධාරකරුවන් පිරිසක්ද එහි පැමිණ වත්මන් ලුණු සභාපතිවරයාට සහාය පළ කළේය. දින 52න් පසු ආණ්ඩුව මාරුවත් එක්ක යළි ලුණු ලේවායේ මුල් පුටුවේ වෙනසක් වීය. එලෙස වසර එක හමාරක පමණ කාලයකට පසු පැවති මැතිවරණයෙන් පොහොට්ටුව ආණ්ඩු බලයට පත්වීමත් සමඟ යළි හම්බන්තොට ලුණු ලේවායේ සභාපති පුටුව හිමි වුයේ නීතීඥ නිශාන්ත සදභරණටය. දෙවන වරට ද ඔහු ලුණු ලේවායේ සභාපති පුටුවට තේරී පත් වූ අවස්ථාවේ පැවති උත්සව සභාවේ ප්‍රධාන කථිකයකු බවට පත් වුයේ හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ය. එලෙස පැවති මිත්‍රත්වය අද වනවිට හම්බන්තොට ලේවායේ ලුණු කැට පුපුරණ තරමට විරසක වී තිබේ. මේ හේතුව නිසා හම්බන්තොට නගරයේ මුල් පුරවැසියා හා හම්බන්තොට නගරයේ පිහිටි මේ ප්‍රධාන කර්මාන්ත ශාලාවේ මුල් පුටුව හා පවතින ආරවුල පිළිබඳව සොයා අප ලංකා ලුණු ලේවායට ගියේ එහි සැබෑ තතු සොයාගෙනය.

හම්බන්තොට නගරාධිපතිවරයා ඇතුළු හම්බන්තොට නාගරික මන්ත්‍රීවරුන් කණ්ඩායමක්, ලුණු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එක්ව පසුගිය 27 වැනි දින ලංකා ලුණූ ලේවාය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කෙරුණේ ලංකා ලුණු සමාගමේ වත්මන් සභාපතිවරයා වන නිතීඥ නිශාන්ත සදභරණ එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලමිනි.

එහිදී සත්‍යග්‍රහය ආරම්භ කරමින් හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර මෙසේ පැවසීය.

පැවතුණු යහපාලන ආණ්ඩුව බලයෙන් ඉවත් වීමෙන් පසු 2019 වසරෙදී ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ලෙස මෙම සභාපතිවරයා පත් කළේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඔහු කටයුතු කරයි කියලා බලාපොරොත්තු ඇතිවයි. නමුත් අද එම සභාපතිවරයා ඔහුට ඕන විදියට අත්තනෝමතික විදියට ලුණු ලේවායේ පරිපාලන කටයුතු සිදුකරමින් යනවා. මෙච්චර කාලයක් පාරම්පරිකව ලුණු කර්මාන්තය සිදුකරගෙන ආ හම්බන්තොට ලුණු ව්‍යාපාරිකයන් බිමට ඇද දමමින් අද ලේවායේ සභාපතිවරයාගේ ඥාතීන් දෙදෙනෙකුට ලුණු සමාගමේ ලාභය බෙදී යන ආකාරයට කටයුතු කර තිබෙනවා. එදා ව්‍යාපාරිකයන්ට මේ හම්බන්තොට ජනතාවට නිදහසේ ලුණු ටික ගන්න තිබුණු අවස්ථාව වත්මන් සභාපති වරයා අහිමි කරලා. මේ නිසා අද මෙම සභාපතිවරයාගේ ක්‍රියා කලාපය ලුණු ව්‍යාපාරිකයාට වගේම සමස්ත ලුණු පරිභෝජනය කරන පිරිස් සඳහාද ගැටලුවක් බවට පත් වෙමින් තිබෙනවා. ලුණු ව්‍යාපාරිකයන්ට හා හම්බන්තොට ජනතාවට සිදුවෙලා තිබෙන මෙම අසාධාරණය පිළිබඳව ඔවුන් නගරාධිපතිවරයා ලෙස මට කිව්වා. මම මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම ලේවායේ පාලනාධිකාරියෙන් විමසිම් කළත් කිසිදු ප්‍රතිඵලයක් වුණේ නෑ. මම විතරක් නෙමේ මේ සභාපතිවරයාගේ මේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් මහජන ඡන්දයෙන් පත් වුණු නාගරික මන්ත්‍රි කණ්ඩායමත් එකතු වෙලා ඉන්නවා. මේ වන විට නාගරික මන්ත්‍රිීවරු ඇතුළු පිරිස මේ ස්ථානයේ දින 20ක් තිස්සේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙනවා. අපේ එකම ඉල්ලීම වන්නේ ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන්න කියලයි. නගරාධිපතිවරයා පැවසීය.

ලංකා ලුණු ලේවායේ සභාපති නිතීඥ සදභරණ ඊට මෙලෙස පිළිතුරු දුන්නේය මෙසේය.

‘පළමුවෙන්ම මා කියන්න ඕනේ මට නගරාධිපති එරාජ් විසින් එල්ල කරන සියලු චෝදනා මා ප්‍රතික්ෂේප කරනවා. මේ ආයතනයේ දූෂණ වංචා සිදුවෙන බවට මට චෝදනා කරලා තියෙනවා. මම ඒ අයට මුල ඉදන්ම කිව්වා මට විරුද්ධව යම් චෝදනාවක් තියෙනව නම් ඔප්පු කරන්න; අන්න එදාට මම මේ පුටුවෙන් ඉල්ලා අස්වෙන්න වුණත් සූදානම් කියලා. මට චෝදනා එල්ල කරන නගරාධිපතිවරයා ඇතුළු කණ්ඩායම කියන්නේ ලේවායේ දුෂණ වංචා සිදු වෙනවලු. හැබැයි ඔප්පු කරන්න සාක්ෂි නම් නැතිලු. මට තේරෙන්නේ නෑ නගරාධිපතිවරයාගේ මේ හතරබීරි කතාව මොකද්ද කියලා. ලේවායේ පක්ෂ විපක්ෂ සියලුම වෘත්තීය සමිති මේ මොහොත වනතුරුත් ලේවාය රැක ගැනීම වෙනුවෙන් මා සමඟ ඉන්නවා. ලංකාවේ ප්‍රථම වරට තමයි ලාබ ලභපු ආයතනයකට එරෙහිව උද්ඝෝෂණයක් කරන්නේ. සේවක පඩි නඩි ගෙවීම් පැහැර හැරිමක්වත්, ආයතනයේ දියුණුවේ අඩුවක් වෙලාවත්, නැත්නම් නගර සභාවට ගොවිය යුතු බදු මුදල් නොගෙවීමක්වත් හෝ වෙනත් අකටයුත්තක් වෙලාවත් නැතුව මේ පිරිසක් එකතු වෙලා මේ විදියට මට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ කාගේ හෝ වුවමනාවකට කියලා නම් පැහැදිලියි. මම මේ ආයතනය ලාභ ලබන තැනට ගෙනත් තියෙනවා. මේ සේවකයන්ට පඩි නඩි වගේම බෝනස් දීලා තියෙනවා. කිසිදු අයුරකින් මගේ මේ සේවකයන් මම අතෘප්තියට පත් කරන්න කටයුතු කරලා නෑ. ඒ වගේම අද වෙනකොට මේ ලේවාය තුළ සිදුවෙන දියුණුව දැකලා පක්ෂ විපක්ෂ වෘත්තීය සමිති නායකයන් පවා මාත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා මේ ආයතනය දියුණු කරන්න. මම බොහොම වගකීමෙන් කියනවා එක එක්කෙනාගේ බුදල් වෙලා තිබුණු මේ ලුණු ලේවායේ ලුණු මාෆියාව මම සම්පූර්ණයෙන්ම නවතා දමා අද ලංකාවේ සියලුම පුරවැසියන්ට ලංකා ලුණු සමාගම විවෘත කරලා තියෙනවා. මම මේ සභාපති පුටුවේ ඉන්නකම් කිසි කෙනෙකුට ලුණු මාෆියාවක් ඇති කරන්න ඉඩ තියන්නේත් නෑ. ලුණු හිඟයක් ඇතිවෙන්න ඉඩ තියන්නෙත් නෑ. මෙච්චර කල් වුණේ ලුණු ව්‍යාපාරිකයන් කියා ගන්නා පුද්ගලයෙක් දෙන්නෙක් විතරක් ලේවායෙන් ලුණු ටික මිලදි අරගෙන අතරමැදියෙක් ලෙස මාසෙකට රුපියල් මිලියන 10ක් විතර තියාගෙන තමයි ලුණු ටික අනිත් ව්‍යාපාරිකයන්ට දුන්නේ. මම ඒ ක්‍රමය වෙනස් කිරිම තමයි මේ සත්‍යග්‍රහයට හේතුව. කොමිස් මුදල් නොලැබීමේ අසතුට තමයි මේ තියෙන්නේ.

මේ ආයතනය ලාබ ලබන්න හේතු ඒවා මිසක් මන් වෙන මැජික් එකක් කළේ නෑ. ගෝඨාභය ජනාධිපතිතුමා මම මේ ලේවායට සභාපති කරලා එවනකොට කිව්වේ හේතු නම් එපා; ලාභ විතරක් පෙන්වන්න කියලයි. ඉතින් මම ඒ වැඩේ කරලා තියෙනවා.

මේ වන විට මා ඇතුළු මගේ සේවකයන්ගේ ජීවිත දැඩි අනාරක්ෂිත තත්වයට පත්ව තිබෙනවා. මාව මරණවාමයි කියලා තර්ජනය කර තිබෙන අවස්ථාවක මට හා මගේ නිලධාරීන්ට නිසි ආරක්ෂාවක් දෙන්න කියලා මම පොලිසියෙන් ඉල්ලීමක් කළත් මෙතෙක් ඒ සඳහා නිසි ආරක්ෂිත වැඩපිළිවෙළක් සිදුවෙලත් නෑ. මම පොලිස්පතිවරයාටත් ලිඛිතව පසුගිය 27 පැමිණිල්ලක් කළා. එහිදී පොලිස්පතිවරයා අදාළ වගකිවයුතු නිලධාරීන්ට මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස දැනුම් දී ඇති බව දැනගන්න ලැබුණා.

අපි කරන ලද පැමිණිල්ලකට අදාළව පසුගිය දවසේ නගරාධිපතිවරයා හම්බන්තොට පොලිසියට ගෙන්වා තිබුණත් පොලිසිය ඔහුගෙන් කට උත්තරයක් ගැනීමවත් සිදු කළේ නෑ. මේ සම්බන්ධයෙන් කිසිදු විමර්ෂණයක් සිදු කළේ නෑ.අද වෙනකොට අපි කරපු පැමිණිල්ලට වෙච්ච දෙයක් නෑ. පොලිසිය ක්‍රියාත්මක නොවුණට අපි මේ වන විට ලේවායේ දේපළ වලට හානි කිරීම හා අපේ කීර්ති නාමයට හානි කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන්ට එරෙහිව සිවිල් නඩු පැවරීමට අදාළ එන්තරවාසි මේ වන විටත් යවා තිබෙනවා. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් නීතිය හමුවට යනවා සභාපතිවරයා පැවසීය.

සත්‍යග්‍රහයට එක්ව සිටින හම්බන්තොට මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති කේ.ජී.ගාමිණී ශ්‍රියානන්දගෙන්ද අප මේ පිළිබඳව විමසිමක් කළ අතර එහිදි ඔහු මෙලෙස පැවසීය.

සත්‍ය­ග්‍ර­හයේ නිරත පිරිස
 

මේ හම්බන්තොට නගරයට තියෙන එකම කර්මාන්ත ශාලාව තමයි ලුණු ලේවාය. මේක හම්බන්තොට ජනතාවට ලැබිච්ච දායාදයක්. කලින් කලට මේ ආයතනයට විවිධ සභාපතිවරු පත් වුණා. නමුත් ඒ කිසිදු සභාපතිවරයෙක් සිදු නොකළ විදියට මේ සභාපතිවරයා හම්බන්තොට ව්‍යාපාරිකයන්ට ලුණු දෙන්නේ නැතිව සිය හිතවතුන්ට පමණක් ලුණු නිකුත් කිරීම සිදු කරමින් යනවා. මේ සභාපතිවරයා කියනවා මේ ආයතනය ලාබ ලබපු ආයතනක් කියලා. ලාභ ලැබුවා නම් කෝ ලාභාංශ බෙදලා. මේ ආයතනයේ කොටස් හිමිකරුවන් 400ක් ඉන්නවා. නමුත් දැන් අවුරුදු 03ක් තිස්සේ මේ එක අයකුටවත් ලාභාංශ බෙදලා නෑ. අද වෙනකොට ලේවායේ ලුණු තැන්පතු නෑ. තව දවස් කීපයක් යනකොට මේ මැෂින් ඔක්කොම වහන්න වෙනවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලනවා වහාම මේ සභාපතිවරයා ඉවත් කරන්න කියලා. එතෙක් අපි අපේ මේ අරගලය නවත්තන්නේ නෑයි පැවසීය.

මෙම සත්‍යග්‍රයට ලේවායේ සේවකයන් එක්ව තිබේද යන්න පිළිබඳව අප ලුණු සමාගමේ ප්‍රධාන වෘත්තීය සමිති දෙකෙහි නියෝජිතයන්ගෙන්ද විමසීමක් කළ අතර එහිදී ප්‍රගතිශීලී නිදහස් සේවක සංගමය සභපති දිනුක චාමර පැවසුවේ මෙම සත්‍යග්‍රහය සඳහා අප සංගමයේ කිසිදු සේවකයකු එක්ව නැති බවත්, සභාපතිවරයාගේ ක්‍රියා කලාපය පිළිබඳව සේවකයන්ට කිසිදු ගැටලුවක්ද නොපවතින බවත්ය. වත්මන් සභාපතිවරයා ලේවාය දියුණු කිරීම වෙනුවෙන් කටයුතු කරගෙන යද්දි සේවකයන් විදියට අපි ඊට සහාය දීලා තියෙනවා යැයි පැවසීය.

ලේවායේ විපක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් සේවක සංගමයේ සභාපති හම්බන්තොට සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රි දිනේෂ් දර්ශන මෙලෙස පැවසීය.

අපි ලේවායේ විපක්ෂය නියෝජනය කරන වෘත්තීය සමිතිය. ලේවාය ඉස්සරහා විරෝධතාවක් දින ගාණක් තිස්සේ තියෙනවා සභාපතිවරයාට එරෙහිව. මෙහිදී අපිට කියන්න තියෙන්නේ අපේ සේවක සංගමයට අයත් කිසිදු සේවකයෙක් මේ සඳහා එකතු වෙලා නැහැ. මොකද අපිට මේ සභාපතිවරයා පිළිබඳව ගැටලුවක් නැහැ. ඒ නිසා අපි මේ සත්‍යග්‍රහයට සහයෝගය දක්වා නැහැ යැයි පැවසිය.

මේ වන විට ලේවායේ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථාන 07කින් නිලධාරීන් කැඳවා ස්ථානගත කිරීමටත් මහජන සාමය ආරක්ෂා කිරිමටත් පියවර ගෙන ඇති බව අපි කළ විමසිමකදී උසස් පොලිස් නිලධාරියකු පැවසුවේ ය.

 නුවන් ජයසේකර, සූරියවැව විශේෂ

Comments