රන් මිල පහළ යද්දී රන් සංචිත වැඩි වෙයි | සිළුමිණ

රන් මිල පහළ යද්දී රන් සංචිත වැඩි වෙයි

 

ටක විදේශ වත්කම් ඇත්තේ අවශ්‍ය විටෙක උපයෝගී කර ගැනීමට බවත්, මෙරට මහ බැංකුව සතුව ඇති රන් සංචිතය ද විදේශ වත්කම්වලට ඇතුළත් වන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

එසේ සිය රන් සංචිතවලින් කොටසක් අලෙවි කළේ සංචිත කලඹේ ද්‍රවශීලතාව ඉහළ නැංවීම සඳහා බව ද මහ බැංකුව පවසා තිබිණි.

එසේම මහ බැංකුව විසින් විදේශ වත්කම් අවශ්‍ය විටක උපයෝගී කර ගත හැකි අයුරින් කළමනාකරණය කරන අතර, ආයෝජන මෙවලම්වල වත්කම් සංයුතිය, ව්‍යවහාර මුදල් මිශ්‍රණය, ද්‍රවශීලතාව අවශ්‍යතා, කල් පිරීමේ කාල සීමාව, ලාභදායී වර්ධනය යනාදිය සම්බන්ධයෙන් උචිත කළමනාකරණ ප්‍රතිපත්ති රටේ විශේෂිත තත්ත්වයන් සහ ආර්ථික ප්‍රමුඛතා මත රඳා පවතින බව ද මහ බැංකුව පෙන්වා දී තිබිණි.

ශ්‍රී ලංකාව සතු රන් සංචිතයෙන් කොටසක් පසුගිය දා විකුණා දැමීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහ බැංකුව මේ බව සඳහන් කර තිබිණි.

එවැනි පසුබිමක මහ බැංකුව සතුව පවතින සංචිත වත්කම් පස් ආකාරයකි. එනම්,

1. විදේශ විනිමය සංචිත (Foreign currency reserves).

2. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලද සංචිත කොටස (Reserve position in the IMF)

3. විශේෂ ගැනුම් හිමිකම් (SDRs)

4. රත්‍රං (Gold)

5. වෙනත් සංචිත වත්කම් (Other reserve assets) වශයෙනි.

මේ අතරින් 2022 වසර ආරම්භයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවති රන් සංචිතයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 408.9 ක් ලෙසින් වාර්තා වූ අතර, 2021 ජනවාරි මාසය අවසාන වන විට එය ඩොලර් මිලියන 398.0 ක් දක්වාත්, පෙබරවාරි මාසය වන විට ඩොලර් මිලියන 381.4 ක් දක්වාත් පහළ ගොස් ඇති බව වාර්තා විය.

එසේම පසුගිය වසරේ නොවැම්බර් අවසානයේ මහ බැංකුව සතුව ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2 ක් වටිනා රන් සංචිත පැවති අතර දෙසැම්බර් අවසානයේ මෙරට සමස්ත රන් සංචිතය ඇමෙරිකන් ඩොලර් මිලියන 206.6 කින් පහත වැටී ඇත.

ඒ අනුව, දැන් ශ්‍රී ලංකාව සතුව ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 175.4ක රන් සංචිත ප්‍රමාණයක් පමණි.

ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසය තුළ මහ බැංකුව විසින් ඉතිරිව තිබූ රන් සංචිතවලින් 54%ක්ම විකුණා දමා තිබේ.

තවත් විදියකින් කිවහොත් එක් මසක් තුළ පහළ වැටුණු රන් සංචිත ප්‍රතිශතය 54% කි.

කෙසේ වෙතත් 2019 වසර අවසානයේ දී ලංකාව සතුව තිබූ රන් සංචිතවල වටිනාකම ඩොලර් මිලියන 954.9ක් විය. එම සංචිත වලින් විශාල ප්‍රමාණයක් විකුණා දැමීමෙන් පසුව 2020 වසර අවසානයේදී ඉතිරිව තිබූ රන් සංචිතවල වටිනාකම ඩොලර් මිලියන 408.9 දක්වා පහත වැටිණි.

පසුගිය 2021නොවැම්බර් මාසය අවසාන වන විට ද මහ බැංකුව සතුව ඩොලර් මිලියන 382.2ක් වටිනා රන් සංචිත තිබිණි.

පසුගිය මාසය තුළ එම සංචිතවලින්ද බාගයකටත් වඩා විකුණා දමා තිබෙන බව වාර්තා වේ.

නොවැම්බර් මාසයේ ඩොලර් මිලියන 1,588ක් වූ මුළු සංචිත ප්‍රමාණය වසර අවසානය වෙද්දී ඩොලර් බිලියන 3,138 දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව විසින් වාර්තා කර ඇතත් එසේ සංචිත ඉහළ ගියේ කෙසේ දැයි පැහැදිලි කර නැත.

ඇතැම් විශ්ලේෂකයන් විසින් අනුමාන කර තිබුණේ මාස ගණනාවකට පෙර චීනය සමඟ අත්සන් කළ විනිමය හුවමාරු ගිවිසුම හරහා ලබා ගත හැකි යුවාන් බිලියන දහයේ ඩොලර් වටිනාකම සංචිතවලට එකතු කර මේ ගණන පෙන්වා ඇති බවයි.

කෙසේ වෙතත් ඇමෙරිකානු ඩොලර් මිලියන 1014.7 ක් ලෙස පසුගිය නොවැම්බර් මාසයේදී සටහන් වූ මෙරට විදේශ මුදල් සංචිතය දෙසැම්බර් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 2770.6 ක් දක්වා වර්ධනය වී තිබේ.

එය සටහන් වන්නේ මෙරට විදෙස් මුදල් සංචිතයේ ඩොලර් මිලියන 1755.9 ක වර්ධනයක් ලෙසයි.

ලොව වැඩිම රන් සංචිතයක් ඇත්තේ ඇමෙරිකාව සතුව වන අතර ඔවුන් සතු සමස්ත රන් සංචිත ප්‍රමාණය ටොන් 8000 ඉක්මවයි.

සෑම රටක් ම ඉතාම අමාරු සහ හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ඒ ආකාරයේ රන් සංචිත ප්‍රමාණයක් තැන්පත් කරගෙන තිබේ.

රට තුළ මෙවැනි ආන්දෝලනාත්මක වාතාවරණයක් පවතින පසුබිමක වුවද පසුගිය ජනවාරි නව වැනිදා වන විට, ලෝක වෙළෙඳපොළේ රන් මිල පහත වැටීමක් වාර්තා විය.

ඒ අනුව ගත වූ සතියේ දී රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 1.789 ක් ලෙස සටහන් විය.

එය රන් මිලේ පැවති අගයෙන් 200% ක පමණ පහත වැටීමක් බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

Comments