යට ගැසූ පොලිස් කෙරුවාව ඉමදූව වීඩියෝවෙන් එළියට | සිළුමිණ

යට ගැසූ පොලිස් කෙරුවාව ඉමදූව වීඩියෝවෙන් එළියට

බීම­තින් අධි­වේගී මාර්ගයේ  රිය ධාව­නය කළ තැනැත්තා
බීම­තින් අධි­වේගී මාර්ගයේ රිය ධාව­නය කළ තැනැත්තා

 

දිනය, ඉකුත් 11 වැනි අඟහරුවාදායි. එදින සමාජ මාධ්‍යයේ සැරිසරන්නට වූ වීඩියෝවක් දෙස බොහෝ දෙනෙකුගේ දෙනෙත් යොමු වූයේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳව පිළිකුලක් මෙන්ම කනගාටුවක්ද ඇති කරවමිනි. ඒ වීඩියෝවෙන් ඇසෙන ඇතැම් වදන් පිළිකුල් සහගතය. පෙනෙන දසුනෙන් කනිෂ්ඨ පොලිස් නිලධාරියකු අපහසුතාවට පත්වන ආකාරය පොලිස් සේවයට ම නිගාවකි.

 

එම වීඩියෝව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදූව පිවිසුම අසලදී සිදු වූවකි. අධිවේගී මඟ ඔස්සේ ගාල්ල දෙසට ගමන් කිරීමට පැමිණි SG-CAE 0075 දරන මෝටර් රථය පොලිස් නිලධාරියකු විසින් පරීක්ෂා කිරීමට යාමේදී එකී පුද්ගලයා හා පොලිස් නිලධාරියා අතර වූ සංවාදය මෙලෙසිනි.

“කොහාටද යන්නෙ මහත්තයා?“ “ගාල්ලට“

“කොහේ ඉඳන්ද එන්නෙ ඔබතුමා?“ “ඕඅයිසී මහත්තයත් එක්ක ඉඳලා එන්නෙ...“ “බීලාද ඉන්නෙ?“ “ඔව්. චමිල මහත්තයත් එක්ක ඉඳලා එන ගමන්.“ “බීලා වාහන එළවන්න බැහැනේ මහත්තයෝ... කොයි වෙලාවෙද

පරී­ක්ෂ­ණ­වල
ප්‍රග­තිය ගැන සඳ­හන් කර­මින් අමාත්‍ය සරත් වීර­සේ­කර විසින් සුමිල්ට එවන ලද ලිපි­යක්

බිව්වෙ...“ “දැන්... දැන්...“ රියැදුරු දුරකථනය ක්‍රියා කිරීමට සූදානම් විණි. කොස්තාපල්වරයා ‘ස්පිකර් දාන්න... ස්පිකර්... ෆෝන් නම් අතට ගන්නෙ නෑ... මං...‘ යැයි කීය. “කොහේද ගෙවල්...“ “ගාල්ලෙ ගෙවල්...“

“ගාල්ලේ කොහේද?“ “හපුගල“ “ඩ්‍රැයිවින් ලයිසන් එක ගන්නකෝ...“ ඒත් සමඟ රියැදුරු දුරකථන ඇමැතුමක් ගැනිණි. “චීප්... හෙලෝ...“ ඊට පිළිතුරු දුන් තැනැත්තා ‘කියන්න‘ යැයි පවසනු ඇසේ. “මේ... මෙතැනින්ම නැවැත්තුවා... (රියැදුරු සමච්චල් ලෙස සිනාසෙයි) ඉමදූව... ඉමදූව... යැයි පවසමින් රියැදුරු දුරකථනය රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියාට ලබා දුන්නේය.

පොලිස් නිලධාරි - “හෙලෝ...“

එයට පිළිතුරු දුන් එවකට ඉමදූව පොලිස් ස්ථානාධිපති චම්ලි ගුණතිලක “හෙලෝ... කවුද...“ පොලිස් නිලධාරි - “සර් මං පියුමන්ත“

“හලෝ කියලද කතා කරන්නෙ“ යැයි අසැබි වචනයක් කියමින් පොලිස් ස්ථානාධිපතිවරයා තම කනිෂ්ඨ නිලධාරියා ඇමැතුවේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම නිගා කරමිනි.

පොලිස් නිලධාරි - “සර් කියලා දන්නෑ...“

පොලිස් ස්ථානාධිපති - “හා... ඕක යවන්න...“ පොලිස් නිලධාරි - “හා සර්... හා... සර්ගේ යාළුවෙක් ද?“ පොලිස් ස්ථානාධිපති “යවන්න කිව්වම යාළුවෙක්ද මොකද්ද කතාවක් වැඩක් නෑනේ...“ පොලිස් නිලධාරි - “හා සර්... හරි මහත්තයා යන්න...“

ඒ අනුව මෙකී වීඩියෝවට පාදක වූ ඉමදූව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලියන බඩල්ලගේ චම්ලි අශෝක ගුණතිලක විසින්ම බීමත් රියැදුරකු හට අධිවේගී මඟ ඔස්සේ ගමන් කිරීමට සලස්වමින් නීතිය නවමින් වූ අශෝභන සිදුවීම සිදුවී ඇත්තේ 2021 ජුලි මස 04 වැනිදා මධ්‍යම රාත්‍රි 12.44ටයි.

මුළු මහත් පොලිස් දෙපාර්තමේන්තුවම අවමානයට ලක්කරමින් කනිෂ්ඨ නිලධාරින්ට අත්වී ඇති ඉරණම ඉන් මනාව පිළිබිඹු විය. එසේ බීමත්ව අධිවේගී මඟ ඔස්සේ ගමන් ගත් පුද්ගලයා ගාල්ල, හපුගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. ඔහු ඉමදූව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති චම්ලිගේ කුළුපග මිතුරෙක් බව සැල වේ. චම්ලිද ගාල්ලෙ, මකුළුව අයෙකි.

එම සිදුවීමට මුහුණ පෑ පොලිස් නිලධාරියා කොස්තාපල් 91486 සුධීර පියුමන්තයි. 26 හැවිරිදි පියුමන්ත පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇත්තේ 2016 දෙසැම්බර් 15 වැනිදායි. සේවා කාලයෙන් වැඩි ම කාලයක් මන්නාරම ප්‍රදේශයේ රාජකාරි කළ පියුමන්ත ඉමදූව අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයට පැමිණ ඇත්තේ 2020 අගෝස්තු 31 වැනිදායි.

මෙකී වීඩියෝව කරළියට පැමිණීමත් සමඟ අප කළ සොයා බැලීමකදී අනාවරණය වූ කතාන්දරය අනුවේදනීයය.

වැලිගම, ඉබ්බාවල, විලේගොඩ ප්‍රදේශයේ වෙසෙන එච්. ඩබ්ලිව්. සුමිල් වසර 33ක සේවා කාලයකට හිමිකම් කියන හිටපු පොලිස් සැරයන්වරයෙකි. හබරාදුව පොලිසියේ සේවය කරමින් සිටියදී විශ්‍රාම යාමට මාස තුනක් තිබියදී පිළිකා රෝගයට ගොදුරු වන සුමිල් විශ්‍රාම ගියේ 2017 අගෝස්තු 10 වැනිදායි.

දූ දරුවන් සිවුදෙනෙකුගේ පියකු වන රෝගීව අසරණව සිටින සුමිල්ගේ බාල පුත්‍රයා ඉමදූව සිද්ධියට මුහුණ දුන් පොලිස් කොස්තාපල් සුධීර පියුමන්තයි. සිය බාල පුතු ඉකුත් සමයේදී ඉමදූව අධිවේගී කොට්ඨාස පොලිස් ස්ථානාධිපති චම්ලි ගුණතිලකගෙන් විඳි ගැහැට පිළිබඳව සුමිල් විසින් වගකිවයුතු සියලු දෙනාම දැනුවත් කළ බව අප සමඟ පැවැසීය.

තම පුත්‍රයා මුහුණ පෑ අවනඩුව සුමිල් විසින් අපට හෙළි කළේ මෙලෙසිනි.

ඉම­දූව අධි­වේගී පිවි­සුම් මධ්‍ය­ස්ථා­නය

“මගේ පුතා කාලයක් රාජකාරි කළේ මන්නාරමේ. පස්සෙ පුතාට ඉමදූව අධිවේගී පොලිස් ස්ථානයට ස්ථාන මාරුවක් හදාගන්න පුළුවන් වුණා. මට තනියම ක්ලිනික් යන්නත් අපහසු නිසයි පුතා ඒ මාරුව අරන් ආවේ. මං හිතුවේ නිවෙස ආසන්නයට ආවම මගේ වැඩ ටිකකුත් කොල්ලට කියලා කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් ඕඅයිසී පුතා බැඳලා නෑ තනිකඩයෙක්, බැරැක්කේ ඉන්න ඕන කියලා හරියට හිරිහැර කරලා. මාස ගණනාවකින් දින නිවාඩුවක් දීලා තිබුණෙත් නෑ. ඒ මදිවට හැමදාම වගේ අරක්කු ඉල්ලනවලු. පුතාට දින ගණනාවක් බොන්න දෙන්න වෙලා. පුතාට ගෙදර එන්න ඕන නම් මෙයාට බොන්න දෙන්න ඕනේ. තව බෙහෙත් හේත් පවා ඕඅයිසීට අරන් දෙන්න මගේ දරුවාට සිදු වුණා. ඒ වගේම මගේ ලොකු පුතාගේ බිරියට අයත් මෝටර් රථය ගෙන්වා ගෙන සුධීර පුතාට කියා අනියම් වැඩ කටයුතු කරගෙන තියෙනවා. ඒවා මඟ හරිනකොට තමයි පුතාට ප්‍රශ්න ඇතිවෙන්න ගත්තෙ. ඇත්තටම මගේ පුතා මුහුණ දුන්නෙ ලොකු ප්‍රශ්නෙකට.

දවසක් පුතා ගෙදර ඇවිත් අඬනවා මං දැක්කා. ‘මං ඇහුවා මොකද කියලා‘ දරුවා විඳින කරදර පිළිබඳ බොහෝ තොරතුරු කිව්වා. ඒ වගේම මට තාත්තගේ වැඩ කටයුතු කරලා දෙන්න විදිහක් නෑ. මට දුකයි. ඒක නිසා ඇඬුණා කීවා.

පස්සෙ මං මේ ගැන අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂට කිව්වා. ‘සර් මං පොලිසියේ ඉඳලා විශ්‍රාම ගිය කෙනෙක්. දැන් අසනීපව සිටින්නෙක්. මගේ පුතාට චම්ලි ගුණතිලක ඕඅයිසීගෙන් කරදර වෙනවා කියලා. අනේ සර්, උදව්වුවක් ලෙස මගේ පුතාව කොක්මාදුවට මාරු කරන්න කීවා.

හැබැයි ඩිරෙක්ටර් මහත්තයා එහෙම කොහොමද වෙන්නෙ... ඕඅයිසීලට පුළුවන්ද නිලධාරීන්ට හිරිහැර කරන්න කියලා කිව්වා. මම දන්න හැම කෙනාටම කියලා පුතාට කොක්මාදුවට ස්ථාන මාරුව හදලා දෙන්න ට්‍රයි කළා. ඒත් කොක්මාදුවේ නිලධාරින් වැඩි පිරිසක් ඉන්නවා කියලා පුතාට ස්ථාන මාරුව දුන්නෙ නෑ.“

කෙසේ හෝ තම පුතුට ස්ථාන මාරුව නොලැබුණු බව කියන සුමිල් ඒ දිනවලදීම කළුතර සිට කොක්මාදුවට වෙනත් නිලධාරියකු ස්ථාන මාරු ගෙන පැමිණි බවත් හෙළි කළේය.

“කරන්න දෙයක් නැති තැන මම 2021.07.13 සම්පූර්ණ විස්තරය ලියලා බීමත් රියැදුරු නිදහස් කළ ඉමදූව වීඩියෝව සීඩී තැටිවලට ගෙන ඒකත් සමඟ ලියුම් දැම්මා. පොලිස්පතිතුමාට, ආරක්ෂක ලේකම්තුමාට, සරත් වීරසේකර ඇමැතිතුමාට සහ විශේෂ අපරාධ විමර්ශන අංශයට. හැබැයි ඒ ලියුම්වලට විෂය බාර ඇමැති සරත් වීරසේකර මහත්තයා මට ලියුමක් එව්වා. 2021.07.26 වැනිදා. එහි තිබුණේ මං එවපු ලියුම ලැබුණා; ඒ සම්බන්ධව පරීක්ෂණ කටයුතු සඳහා එම ලිපිය යොමු කළ බවයි...

ඒ ලිපියත් සමඟ අධිවේග පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි කපිල අබේනායක මහත්තයා මගේ ගෙදරටම ඇවිත් මගෙන් ප්‍රකාශයක් ගත්තා. ඒ මහත්තයා මං ඉන්න අසරණ තත්ත්වය දැකලා පුදුම වුණා. එම පරීක්ෂණවලට ඉමදූව අධිවේගී පොලිස් නිලධාරින් අටදෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගත්තා. ඒ සියලු දෙනාම අපේ ලියුම්වල තියෙන්නෙ සත්‍ය බව සඳහන් කර තිබුණා. ඒඑස්පී මහත්තයා විභාග කරලා පිටු 631කින් යුත් වාර්තාවක් පොලිස්පතිතුමා වෙත යවලා තිබුණා.

කොහොමහරි ඩිරෙක්ටර් මහත්තයට වාර්තාව යැව්වම ආපහු දන්වලා එවලා තිබුණා මගේ පුතාටත් දඬුවමක් දෙන්න. උසස් නිලධාරින්ට පැමිණිලි නොකොට තාත්තා මාර්ගයෙන් කටයුතු කිරීම වැරැදි කියා...“

ඒ අනුව සුමිල්ගේ පුත් කොස්තාපල් සුධීර පියුමන්ත ඉකුත් අගෝස්තු මස 16 වැනිදා දොඩංගොඩ අධිවේගී පිවිසුම් පොලිස් කොට්ඨාසය වෙත ස්ථාන මාරුකර යවා තිබුණේ වැරැදිකරුවන්ට කිසිදු දඬුවමක් ලබා නොදෙමිනි. සුමිල් පවසන්නේ,

“මං කියන්නෙ පොලිසියට කාගෙන්හරි කමක් නෑ අවශ්‍ය තොරතුරක්නේ. විමර්ශන කිරීම එයාලගේ වැඩක්. අන්තිමට විමර්ශන පටන් ගත්තා විතරයි පුතා මාරු කළා දොඩංගොඩට. විත්තිකාරයයි සාක්ෂිකාරයෝ අටදෙනයි එතැනම හිටියා. පැමිණිල්ලට අදාළ පුද්ගලයා මාරු කළා. ලෝකෙ කොහේවත් සිදු නොවන අවනඩුවක් වුණේ.

එතැනින් පස්සෙ මුකුත් ම වුණේ නෑ. අන්තිමට මම පසුගිය දෙසැම්බර් 22 වැනිදා සරත් වීරසේකර ඇමැතිතුමාටයි, පොලිස්පතිතුමාටයි නැවත ලිපියක් දැම්මා. මේ සම්බන්ධයෙන් කිසිම විමර්ශනයක් හෝ මට දැනුම් දීමක් කර හෝ නැති බව දන්වා ඇමැතිතුමා එවූ ලිපිය පමණයි ලැබුණේ කියා.

මං කියන්නෙ මාත් හිටපු පොලිස් නිලධාරියෙක්. මං දන්නවා ඔය දේවල් හිරවෙලා තියෙන්නෙ කොහේද කියා. කොටින්ම කිව්වොත් මගේ පුතාට වූ අසාධාරණයේ ෆයිල් එක යට ගැහුවා. අන්තිමට බැරිම තැන මම ඒ වීඩියෝව මාධ්‍යයට මුදා හැරියා. මාධ්‍යය මේ දේ ප්‍රචාරය කළාට පස්සෙයි කාගෙත් ඇස් ඇරුණේ. ඇත්තටම මම මාධ්‍යයට ස්තුතිවන්ත වෙනවා මගේ පුතාගේ සිදුවීම මෙහෙමහරි රටට හෙළි කළාට.“

ඒ පියුමන්තගේ පියාණන් වන සුමිල් අපට කී කතාවයි. මාස කීපයකට පෙර පරීක්ෂණයක් සිදුකොට වාර්තාවක්ද නිකුත් කර තිබියදී විනය විරෝධීව කටයුතු කළ ඉමදූව අධිවේගී මාර්ග පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගැනීම උභතෝකෝටික ගැටලුවකි. මෙවැනි නිලධාරීන් ආරක්ෂා කරන ඉහළ නිලධාරීන් ගැනත් වහා සොයා බලා තීන්දු තීරණ ගත යුතු කාලය එළැඹ තිබේ.

මෙවැනි විනය විරෝධි ක්‍රියාවන්හි නිරත වන ඉහළ පොලිස් නිලධාරීන් කොහෙන් හෝ රැකෙන්නේ නම් රටේ ජනතාවගේ ප්‍රශ්නවලට පොලිසියෙන් ලැබෙන පිළිතුරුවලට ද දෙයියන්ගේ ම පිහිට ය.

Comments