
අතීතයෙන් කතාවක්... ඒ 1983 වසරේ ජූලි මස 25 වැනිදාය. වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් වාට්ටුවේදී කුට්ටමනී ඇතුළු 35 දෙනකු ඝාතනය විය. එයින් දින දෙකකට පසුව එනම් අප්‍රේල් 27 වැනිදා තවත් 17 දෙනකු ඝාතනය විය. කළු ජූලියේ තවත් අඳුරු පැතිකඩක් එසේ නිර්මාණය වූයේ මෙරටට තවත් අප කීර්තියක් ලබා දෙමිනි.
ඒ අපකීර්තියෙන් අවුරුදු 29කට පමණ පසුව වැලිකඩ බන්ධනාගාරය යළිත් අන්තර්ජාතිකව පවා කතාබහට ලක් විය. දිනය හරියටම කියනවා නම් 2012 වසරේ නොවැම්බර් 09 වැනිදාය. එදින වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුම 1983 ගැටුමටත් වඩා දුර දිග ගියේය. ඒ එම ගැටුම පසුදින දක්වාම ඇදී ගිය නිසාය.
වැලිකඩ බන්ධනාගාරයේ ගැටුමින් 27 දෙනකු මිය ගියේය. ගැටුම පසුපස කතා බොහොමයක් තිබේ. මේ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන මෙන්ම පත් කළ කමිටු වාර්තා සියල්ල හමස් පෙට්ටියට ඇදී ගියේය. කෙසේ වුවත් සමාජයේ බොහෝ තැන්වල විරෝධතා නිසා මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු විය. එනිසාම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හරහා නඩුව විභාගයට ගැනිණි. එහි තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් විය. එහිදී වැලිකඩ ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මැගසින් බන්ධනාගාරයේ අධිකාරිවරයා වූ එමිල් රංජන් ළමාහේවාට මරණ දණ්ඩනය නියම විය. චූදිත නියොමාල් රංගජීව නිදොස් කොට නිදහස් කරන ලදී. වැලිකඩ බන්ධනාගාරයේදී ඝාතනය වූවන්ට නීතිය ඉටු කරන ලෙස ඉල්ලා රට පුරා තැන්තැන්වල පැවැත්වූ විරෝධතා පිකටිං හි ප්‍රතිඵලයක් ලෙස නඩු කටයුතු ඉක්මන් වූ අතර ආරම්භයේදී ඉතා මන්දගාමී ස්වරූපයකට ලක්ව දිය වී යමින් තිබූ නඩුව විභාග කිරීමද කඩිනම් විය.
![]() |
එමිල් රන්ජන් නඩු තීන්දුවෙන් පසුව බන්ධනාගාරයට ගෙන යද්දී |
සිදුවීමේ ආරම්භය 2012 වසරේ අගෝස්තු මාසය දින දක්වා ඇදී යයි. ඒ වන විට බන්ධනාගාරයේ බුද්ධි අංශයක් නිර්මාණය කර තිබුණි. මේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරු මත බන්ධනාගාරයේ නිරතුරුවම ජංගම දුරකථන භාවිතය මෙන්ම මත්කුඩු කුමන හෝ ක්‍රමයකින් බන්ධනාගාරය තුළට රැගෙන එන බවට වාර්තා වී තිබුණි. ඒ බව වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ද වාර්තා කර තිබුණි. බන්ධනාගාර කොමසාරිස්වරයා වූ පී. ඩබ්ලිව්. කොඩිප්පිලි විසින් එවකට පොලිස්පතිවරයා වූ එන්. කේ. ඉලංගකෝන් වෙත 2012 අගෝස්තු 2 වැනිදා ලිපියකින් දන්වා ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ පරීක්ෂාවක් කළ යුතු හෙයින් 2012 වසරේ නොවැම්බර් 7 වැනිදා ට පොලිස් නිලධාරීන් 300කගේ සේවය ලබා දෙන ලෙසයි. ඒ සඳහා පිළිතුරු ලිපියක් පොලිස්පතිවරයාගෙන් 2012.08.04 දිනැතිව බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත ලැබේ. එයින් කියවෙන්නේ එම කටයුතු සිදු කිරීම සඳහා පොලිස් නිලධාරීන් හා බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් මනා සබඳතාවයකින් කටයුතු කර ගැනීමට කටයුතු සලස්වා ගන්නා ලෙසයි.
කෙසේ හෝ එම ලිපියෙන් පසුව මේ සම්බන්ධ කටයුතු මන්දගාමීව සිදු වූ අතර නොවැම්බර් මස 7 වැනිදාද පසු විය. නව වැනි දා බන්ධනාගාරයට විශේෂ දිනයක් විය. පාසල් නිමවීමට ආසන්න වේලාවය. වෙස්ලි විදුහල අසල නවතා තිබූ පාසල් වෑන් රථ පවා ඉක්මනින් එම ස්ථානයෙන් මඳකට බැහැර කෙරිණි. වේලාව පස්වරු 1.30ට පමණ වන්නට ඇත. එක්වරම ටී - 56 ගිනි අවි සහ කදුළු ගෑස් සහිතව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා සෙබළුන් 798 දෙනකු බන්ධනාගාරයට පැමිණියහ. එහෙත් බන්ධනාගාරය ඇතුළට යාමට ඔවුන්ට අවසර නොලැබුණි. කෙසේ හෝ ඉහළින් ආ නියෝග අනුව ඇතුළට යෑමේ අවස්ථාව ඔවුනට ලැබිණි.
විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සෙබළුන් බන්ධනාගාරයේ බුද්ධි අංශ සාමාජිකයන් ද සමඟ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කළහ. පොලිස් ආරක්ෂාව ඉල්ලා තිබුණේ බන්ධනාගාරයම පරීක්ෂා කිරීමට වුවත් ඔවුන්ට අවශ්‍ය වූයේ රැදවියන් සිටින වාට්ටු දෙකක් පමණි. ඒ L වාට්ටුව හා දරුණු ගණයේ අපරාධකරුවන් හා මරණීය දණ්ඩනය නියමව සිටින රැදවියින් රදවා ඇති චැපල් වාට්ටුවයි.
![]() |
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව නඩුවෙන් නිදහස් වූ පසු |
පැමිණි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට එසේ බන්ධනාගාරයට ඇතුළුවීමට කිසිදු බලයක් නැත. ආයුධ ගෙන ඒමට කිසිසේත්ම නොහැකිය. විශේෂයෙන්ම එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා බන්ධනාගාර අණ පනත් සියල්ලම උල්ලංඝණය කිරීමකි. 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව සෝදිසි වරෙන්තුවක් නොමැතිව විශේෂ කාර්ය බලකාය ඇතුළු වීම පවා නීති විරෝධීය.
බන්ධනාගාරය තුළ අවි ආයුධ ගෙන යෑමට නොහැක්කාක් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් විසින්ද අවි ආයුධ භාවිත කළ යුතු ආකාරය බන්ධනාගාර ආඥා පනතේ අංක 218 යටතේ දක්වා තිබේ. ඒ අනුව ජීවිතය බේරා ගැනීම පිණිස හෝ සාමූහිකව පහර දීමකදී හෝ පැනයාමක් වැළැක්මක් වැනි අත්‍යවශ්‍ය කටයුත්තකදී පමණි. ඒ බන්ධනාගාර නිලධාරීන්ටය. අනෙක් අයට ආයුධ ඇතුළට නෙ යාමට අවසර නැත.
පළමුව විශේෂ ගණයේ රක්ෂිත බන්ධනාගාරගත වූවන් රඳවා සිටින රිමාන්ඩ් සිරමැදිරි පරීක්ෂාවට භාජන කරන ලදී. අවි ඇතැතිව එසේ පරීක්ෂා කිරීමට රැදවියෝ විරෝධය පෑහ. එහිදී ඔවුනට දැඩි පීඩාකාරී බවක් ගෙන දෙන අයුරින් පරීක්ෂා කර තිබෙන බව පසුව තහවුරු විය. වාට්ටුවල සිටි රැදවියන් තල්ලු කරමින් දණ ගස්වමින් කළ පරීක්ෂා කිරීම්වලට ඔවුහු දිගින් දිගිටම විරෝධය පෑහ. එම පරීක්ෂා කිරීම්වලදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක් හා මිලිග්‍රෑම් 790ක්, ජංගම දුරකථන 14ක් සිම්කාඩ්පත් 22 ක් හා මුදල් රුපියල් 2140ක් සොයා ගන්නා ලදී. පස්වරු 4.00ට රිමාන්ඩ් සිරමැදිරි පරීක්ෂාව අවසන් වූ අතර එතැනින් පසුව බන්ධනාගාරගතව සිර දඬුවම් විඳින දරුණු ගණයේ අපරාධකරුවන් මෙන්ම මරණ දණ්ඩනය නියම වූවන් රඳවා සිටින චැපල් වාට්ටු පරීක්ෂාවට යොමු විය.
එහෙත් ඊට පෙර විශේෂ කාර්ය බළකායට දැඩි ලෙසින් රැදවියන්ගේ විරෝධතා එල්ල වූයේ ‘හූ‘ හඬද සමඟිනි. 2000කට අධික රැදවියන් රඳවා ඇති චැපල් වාට්ටුවේ A 3, B 3, C 3, D 3 ලෙසින් ප්‍රධාන වාට්ටු 4කි. කුටි 350කින් පමණ එය සමන්විත අතර ඔවුන් පාලනය කිරීම පිණිස විශේෂ කාර්ය බළකාය විසින් අහසට වෙඩි තබන ලදී. එයින් රැදවියන් තවත් කලබලයට පත් විය. එළිමහනේ සිටි රැඳවියන්ගේ ‘හූ‘ව එන්න එන්නටම වැඩි විය. පසුව විශේෂ කාර්ය බළකාය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන ලදී. පස්වරු 4.00 සිට පස්වරු 6.30 පමණ දක්වා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය. මේ අවස්ථාවේ ‘චමින්ද වාට්ටුව‘ නමින් හැඳින්වෙන වයෝවෘද්ධ පුද්ගලයන් සිටින වාට්ටුවටද කඳුළු ගෑස් ප්‍රහාර එල්ල විය.
එයින් කිපුණු රැදවියෝ අතට අසුවන සියල්ලෙන්ම දමා ගැසූහ. අවසානයේ විශේෂ කාර්ය බළකාය පසුබැස ප්‍රධාන දොරටුව අසලට යන්නට විය. ඒ වන විට කලබල හමුවේ ආයුධ ගබඩාවේ විවරයක් තනාගෙන රැදවියන් එයින් ආයුධ එළියට ගෙන කලහකාරී ලෙසින් හැසිරෙන්නට පටන් ගෙන තිබුණි. ඔවුහු වහලය මතට නැගුණාහ.
බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනකු රැඳවියන් සමඟ සාකච්ඡා කරන්නට ගිය නමුත් එය සාර්ථක නොවීය.
ඒ අතර 14 වන සේනාංකයේ 158ක භට පිරිසක්ද බන්ධනාගාරය ආසන්නයේ රඳවා තිබුණි. ඒ අතර අඳුරේම ට්‍රක් රථයකට මුවා වී ත්‍රිරෝද රථයකින් පැනයාමට තැත්කළ රැඳවියන්ට විශේෂ කාර්ය බළකායෙන් වෙඩි වරුසාවක් එල්ල වී තිබේ. වාර්තාවේ සඳහන් අන්දමට එම ත්‍රිරෝද රථයට වෙඩි 178ක් තබා තිබේ. එයින් පැනයාමට තැත් කළ රැදවියන් 9 දෙනකු ජීවිතක්ෂයට පත් විය.
ඒ අවස්ථාවේ මැගසින් බන්ධනාගාරයේ අධිකාරි එමිල් රන්ජන් ළමාහේවා වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අතර යුද හමුදවේ සන්නාහ සන්නද්ධ රථ දෙකක් හා බෆල් රථ දෙකක්ද පැමිණ තිබේ. හමුදාව තත්ත්වය පාලනය කිරීමෙන් පසුව පැමිණි අය අතර මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවද විය. ඔහු පැමිණ තිබුණේ සාමාන්‍ය ඇඳුමින් සැරසී ගෙනය. එමෙන්ම මත්ද්‍රව්‍ය නාශක අංශය සහ ත්‍රස්ත විමර්ශන ඒකකයද බන්ධනාගාරයට පැමිණ තිබුණි.එල්ල කළ ප්‍රහාර හමුවේ විජය රෝහණ නැමැත්තා ඝාතනය කර තිබුණි. ඔහු මත්ද්‍රව්‍ය නාශක අංශයේ නියොමාල් රංගජීව ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබූ අයෙකි.
මේ සිදුවීමෙන් පසුව එවකට බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර විසින් කමිටුවක් පත් කරන ලදී. එමෙන්ම ඇමැතිවරයා පැවසුවේ රැඳවියන් රෝහලේ ඖෂධ ගබඩාව කඩා ඖෂධ පානය කිරීමෙන් මත් වී ඔවුනොවුන් විසින් වෙඩි තබාගෙන ඇති බවයි. මානම හිමිකම් කොමිසමේ නිලධාරීන් මෙන්ම අවසර ලත් වෙනත් මානම හිමිකම් සංවිධාන මෙහන්ම සිරකරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධාන මඟින්ද මේ සම්බන්ධව විශේෂ පරීක්ෂණ සිදු කරන ලදී. ඒ සියල්ලන්ම හෙළි වූයේ ගජධීර ඇමැතිවරයාගේ ප්‍රකාශයේ සත්‍යතාව ඉතා සුළු ප්‍රතිශතයක් බවයි.
පසුව වැලිකඩ බන්ධනාගාර අධිකාරි විසින් පරීක්ෂණයක් පවත්වා ඩී/1717 කැරැල්ල නමින් අභ්‍යන්තර වාර්තාවක් යොමු කරන ලදී. එයද හමස් පෙට්ටියේය.
පසුව යහපාලන රජයේ අධිකරණ නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ විසින්ද කමිටුවක් පත් කරන ලදී. ඒ හිටපු මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම්ගේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අශෝක විජේගුණතිලක හා විශ්‍රාමික පරිපාලන නිලධාරි නීතිඥ එස්. කේ ලියනගේ ඇතුළත්වය. එක් වාර්තාවකින් කියවුණේ රැඳවියන් විසින් ආයුධ ගබඩාව කඩා ආයුධ ලබා ගෙන ඔවුන් අතර ඇති කරගත් වෙඩි හුවමාරුවකින් ඝාතන සිදුව ඇති බවයි.
එමෙන්ම කොමිසම විසින් කළ ප්‍රශ්න කිරීම් හමුවේ විශේෂ කාර්ය බළකාය අර්ධ හමුදාමය ආරක්ෂක ආයතනයක් නිසා මෙහෙයුම් සඳහා යාමේදී අනිවාර්යෙන්ම ආයුධ රැගෙන යන බව එහි නියෝජ්‍ය පොලිස්පතිවරුන් ව එම්.සී රණවන හා නියෝජ්‍ය පොලිස්පති සිල්වෙස්ලටර් විජේසිංහ කොමිසමට පවසා තිබුණි. රණවනද මේ ප්‍රහාරයේදී තුවාල ලැබුවේය. කෙසේ වෙතත් රාත්‍රී 11ට පමණ හමුදාවේ මෙහෙයුම ද අවසන් විය. බන්ධනාගාරය යළිත් සාමකාමී තත්ත්වයට පත්වූ අතර සිරකරුවන් පස් දෙනෙකුගේ සිරුරු බන්ධනාගාරය ඇතුළේ තිබී සොයා ගැනිණි. සිරකරුවන් පිරිසක් දණ ගස්වා යුද හමුදාව ඔවුන් පරීක්ෂා කරන ලදී. බන්ධනාගාරයේ තිබූ ආයුධ ගබඩාවෙන් රැඳවියන් ලබා ගත් බව කියන ගිනි අවි යුද හමුදා බාරයට ගෙන ඒවා ආයුධ ගබඩාව බාරව සිටි ජේලර්වරයාට බාර දී තිබේ. ඒවායේ අංක පවා සඳහන් කර ලේඛන ගත කර ඇත.
හමුදාව සිටියදීම බන්ධනාරයට ඇතුළු වී ඇත්තේ සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයන්ය. ඒ එක් අයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීවය. සාමාන්‍ය ඇඳුමෙන් බන්ධනාගාරය තුළට පැමිණි බව කියන ඔවුන්ගෙන් කෙනකු අත නම් ලැයිස්තුවක් තිබී ඇත. ඊට පෙර යුද හමුදාවෙන් දණ ගස්වා සිටි පිරිස සිටින තැනට ගිය මොවුන් අතේ තිබූ කොළේ ඇති නම් අඬගසා ඔවුන් වෙන් කර පැත්තකට කැඳවා ගෙන තිබේ.
මේ අතුරින් මුලින්ම රැගෙන ගියා යැයි පැවසෙන්නේ මාලන්ය. දෙවැනියට කපිලය. කපිලගෙන් පසු එළඹ ඇත්තේ මංජු ශ්‍රී ගේ වාරයයි.
ඉන්පසු බන්ධනාගාර නිලධාරියකුද සමඟ ඔවුන් O වාට්ටුවලට ගොස් තිබේ. එම වාට්ටුව ඉබි යතුරු දමා වසා තිබී ඇති අතර වෙඩි තබා ඉබි යතුරු කැඩූ බව සාක්කිකරුවන් ප්‍රකාශ කර ඇත. ලැයිස්තුවේ ඇති නම් අනුව ඉන් කිහිප දෙනකු පිටතට ගෙන ඇත්තේ ඉන් පසුවය. මේ ආකාරයට නම් අඬ ගසා එළියට ඇදගෙන ගිය පිරිස අට දෙනෙකි.
මාලන් හෙවත් කංකානම්ලාගේ මලින්ද නිලේන්ද්‍ර පැල්පොල, නිර්මල අතපත්තු, ගුණ්ඩු මාමා හෙවත් විජය රෝහණ, චින්තාමනී මොහොට්ටිගේ තුෂාර චන්දන හෙවත් කළු තුෂාර, පොන්න කපිල හෙවත් අන්දුපුලිගේ ජෝතිපාල, මංජු ශ්‍රී හෙවත් හර්ෂ ශ්‍රී මහකීර්ති පෙරේරා, මාලි ප‍්‍රසන්න හෙවත් රයිගමගේ සුසන්ත පෙරේරා සහ කොණ්ඩ අමිල හෙවත් මලලගේ මලිත් සමීර පෙරේරා ඔවුහුය.
කොණ්ඩා අමිල ඝාතනය වූ තවත් රැඳවියෙකි. කොණ්ඩා අමිල අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් මත්ද්‍රව්‍ය චෝදනා මතය. ඔහු බන්ධනාගාර ගතව සිටිය දී කළහකාරී ලෙස හැසිරුණු සිද්ධියක් ගැන වෙනම නඩුවක් ද ගොනු කර තිබී ඇති අතර බන්ධනාගාරයේ අධිකාරී එමිල් රංජන් සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් ඔහුගේ මව බී. ටී. ඩී. ජයවීර විසින් HRC/1841/2012 යටතේ මැගසින් බන්ධනාගාර අධිකාරීට විරුද්ධව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණණිල්ලක් ද ගොනු කර තිබුණි. බන්ධනාගාරයේ ගැටුම්කාරී වාතාවරණය යුද හමුදාවේ මැදිහත් වීමෙන් නිමා වූ පසු බන්ධනාගාරයට ගිය තිදෙනාගේ මෙහෙයවීමෙන් නම් කතා කර එළියට ගත් රැඳවියන්ගේ මළ සිරුර තැන තැන වැටී තිබිය දී පසු දින සොයා ගන්නා ලදී. ඒ බොහෝ සිරුරු අසල ගිනි අවි ද තිබිණි. යුද හමුදාව සොයා ගත් ගිනි අවි ඇතුළු උපකරණ පනාගොඩ හමුදා කඳවුරේ සැරයන් පී. බී. එස්. තෙන්නකෝන් විසින් බන්ධනාගාර අවි අංශය භාර නිලධාරී ජී එල් ඩබ්ලිව් නානායක්කාර වෙත භාර දී ඇත. ඒ ලේඛන සහිතවය.
පසුදින දහවල් වන විට මරා දමා තිබූ රැඳවියන් අසල තිබී ඇත්තේ එම ගිනි අවිය. ඒ අනුව රහස් පොලිසිය මෙන්ම ත්‍රිපුද්ගල කමිටුවද වාර්තා කර තිබුණේ මෙම රැඳවියන් පිරිස මරා දැමීමෙන් පසු කැරැල්ලේ දී මැරුණු බව පෙන්වීමට සිද්ධියෙන් බොහෝ වේලාවකට පසු ඔවුන් අසලට ගිනි අවි ගෙනැවිත් දමා ඇති බවයි. එමිල් රන්ජන් යුද හමුදා නිලධාරියකු සමඟ මියගිය අයකු අත්බැඳ ගෙන ගොස් ඇති බව එක් අයකුගේ සාක්ෂියකින් තහවුරු වී ඇති අතර පසුව ඔහුගේ මළ සිරුර හමු වී ඇත. බන්ධනාගාරයට ඇතුළට ගොස් තෝරාගත් සිරකරුවන් අට දෙනකු මරා දැමීමේ චෝදනාවට සැකපිට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව හා මැගසින් බන්ධනාගාර අධිකාරී එමිල් රංජන් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නේ මේ සිදුවීම් මාලාවේ පිටු එකිනෙක ගැළපෙද්දීය. ඔවුන්ට විරුද්ධව නඩු පැවරෙන්නේ ඒ අනුවය. එහිදී පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව චෝදනාවලින් නිදහස් වූයේ පරස්පර සාක්ෂි නිසා වන අතර එමිල් රන්ජන්ට මරණීය දණ්ඩනය නියම වන්නේ එක අයකුගේ සාක්ෂියක් මතය. කෙසේ හෝ එම සාක්ෂිය ගැනද විවිධ පරස්පර අදහස් තිබේ.
· ·