පුවත් සොරාගෙන මවන්නන්ට වැඩ වරදී | සිළුමිණ

පුවත් සොරාගෙන මවන්නන්ට වැඩ වරදී

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන කොල්ලකා යූටියුබ්, සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිවලට විකිණීමෙන් මුදල් උපයා ගැනීමේ ජාවාරමක් පිළිබඳ පුවතක් වාර්තා විය. මෙරට ජාතික මට්ටමේ විද්යුත් මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති නිෂ්පාදන අංශයේ කටයුතු කරන පුද්ගලයන් සහ ජනප්‍රිය කලාකරුවන් ද ඒ අතර සිටින බව මේ පිළිබඳව තොරතුරු විමැසීමේදී දැන ගන්නට ලැබිණි. මාධ්‍ය සදාචාරය හා මාධ්‍ය නිදහස පිළිබඳව කතා කරන ආයතන මේ පිළිබඳ කිසිදු ප්‍රවෘත්තියක් පළ නොකර මුනිවත රැකීමෙන් මේ පිළිබඳව අප තුළ ඇති කළ කුතුහලය තීව්‍ර විය. එනිසා මේ පිළිබඳව චෝදනා එල්ල වන පාර්ශ්වයට ඉඩ තබා අගතියට පත් වූ පාර්ශ්වය සමඟ කතිකාවකට මුල පිරුවෙමු.

 

රටේ අර්බුදකාරී තත්ත්වයන් පැන නැඟී සෑම අවස්ථාවකදීම තම ජීවිත පවා පරදුවට තබමින් ජනතාව වෙත පුවත් සමීප කිරීමට ජනමාධ්‍යවේදීහු උත්සුක වෙති. මෙහිදී ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ මැදිහත් වීම. ඈත ගම්දනව්වල සිදුවන දෑ ක්ෂණයකින් ප්‍රවෘත්ති මැදිරිය වෙත එන්නේ ඔවුන්ගේ මේ දායකත්වය නිසාය. කෙනකු තම ජීවිතය පවා පරදුවට තබා එලෙස සොයා ගන්නා ඇතුම් පුවත්වලට විශාල ජනතා ආකර්ෂණයක් හිමි වේ.

ඔවුන් මේ පුවත් මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය ආයතනවලට ලබා දෙන්නේ ඊට නිසි වටිනාකමක් හිමි වේ යැයි බලාපොරොත්තුවෙනි. නමුත් ඒවා හොර පාරෙන් ගොස් වෙනත් මාධ්‍යවල පළ වන්නේ නම් එය කණගාටුවට කරුණකි. ඇතැම් වෙබ් අඩවි, යූටියුබ් චැනල් සහ සමාජ මාධ්‍යජාල ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ පුවත් සොරකම් කරමින් ඔවුන්ගේ ප්‍රවෘත්ති ලෙස පළ කිරීමේ ප්‍රවණතාවයක් කාලයක සිටි වර්ධනය වෙමින් තිබුණි. මෙය ප්‍රාදේශීය මාධ්‍යවේදියාට කරන බලවත් අසාධාරණයක් මෙන්ම මාධ්‍ය සදාචාරයටද හොද නැත.

වමේ සිට - ප්‍රාදේශීය මාධ්‍ය සංවිධානවල නියමුවන් වන දඹුල්ලේ කාංචන ආරි­ය­දාස, පුත්තලම ජූඩ් සමන්ත, කුරුණෑගල සුනිල් එස්. පැල්ල­න්දෙ­ණිය,   හැටන් රංජිත් රාජ­පක්ෂ, මහියංගනයේ රංජිත් කරු­ණා­වීර සහ හම්බන්තොට රාහුල් සමන්ත

කිසියම් සිද්ධියක් වාර්තා වූ විගස එම ස්ථානයට මුලින්ම ළඟා වන ප්‍රාදේශීය මාධ්‍යවේදියා අදාළ සිදුවීම දෑසින් දැක සවිස්තරව කරුණු දැන, ඡායාරූප ගත කර හෝ කැමරා කර මුද්‍රිත හෝ විද්යුත් මාධ්‍ය ආයතන වෙත ඊමේල් මඟින් හෝ ෆයිල් ට්‍රාන්ස්පර් පොටොකෝලය (FTP)මාර්ගයෙන් යොමු කරයි. එලෙස ලබාදෙන ප්‍රවෘත්ති ඇතැම් විට එම මාධ්‍ය ආයතන මඟින් විකාශනය නොකරයි. එසේ වුවත් එම ප්‍රවෘත්ති කෙටි කාලයක් ඇතුළත කේබල් ටීවි නාළිකාවල, යූටියුබ්වල, ෆේස්බුක්වල සහ ප්‍රවෘත්ති වෙබ්අඩවිවල ප්‍රචාරය වේ. ඇතැම් ප්‍රවෘත්ති මාධ්‍යවේදියාගේ නමින් ම පළ කෙරෙන අතර සමහරක් ඒවා නම් නැතුව පළ කරයි. මෙහි බරපතළම කාරණය වන්නේ ඇතැම් මාධ්‍ය මෙම ප්‍රවෘත්ති තමන් දරන දේශපාලන මතය වෙනුවෙන් විකෘති කර ප්‍රචාරය කිරීම බව පුත්තලමේ ජූඩ් සමන්ත පෙන්වා දෙයි.

පසුගිය දිනක තමන් අත්දුටු මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් අදහස් දැක් වූ දඹුල්ලේ කාංචන ආරියදාස පැවසුවේ මෙවැන්නකි.

“ඇමති ජනක බණඩාර තෙන්නකෝන් හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහභාගී වූ උත්සවයක් දඹුල්ලේ තිබුණා. මේ උත්සවය ආවරණය කරන්න බාරදීලා තිබුණෙ මටයි. එහිදී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කිව්වා මිනිහෙක් මැරුණට පස්සේ තමයි හොඳ අහන්න පුළුවන් වෙන්නේ. එතකම් වැඩ කරන කට්ටියට බැණුම් තමයි අහන්න වෙන්නේ. නිදහස් අධ්‍යාපනයේ පියා වුණු කන්නංගර මහත්තයා අවසාන‍යෙන් ඡන්ද නැතිව පාර්ලිමේන්තුවත් අහිමි වුණා. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ජාතික ආර්ථික ප්‍රතිපත්තියක සිටිමින් බොහෝ දේවල් කළා.

නමුත් ඇයගේ ප්‍රජා අයිතිය නැති කළා, හෙර කියල බැන්නා. ඒ නිසා කෙනෙක් මැරුණට පස්සෙ තමයි හොඳක් අහන්න ලැබෙන්නේ. එතකං හොඳක් නම් අහන්න ලැබෙන්නේ නැහැ” කියලා. මේ කථාව මං ප්‍රවෘත්තියක් විදියට හදලා ප්‍රචාරය කරල පැයක් දෙකක් යනකොට වෙනත් ප්‍රවෘත්ති වෙබ් අඩවියක පළවෙනවා. ෆොටෝ එකත් ඒකමයි. දැන් මේ විකෘති කිරීම මගේ වැඩක් කියල හිතාගෙන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මට කතා කළා. “මොකක්ද කාංචන ඔයා කරල තියෙන කැත වැඩේ. ඇයි මං කියපු අදහස විකෘති කරල පළ කළේ? කියලා.” මම උඩ ගියා. මං ඇහුවා “ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ” කියල. “එදා මාධ්‍යවේදියෙක් විදියට එතන හිටියේ ඔයා විතරයි. වෙන කවුරුත් හිටියේ නහැනේ. ඔයා ඇරෙන්න වෙන කෙනෙක් කරන්න විදියක් නැහැ” කියලා ඔහු කිව්වා.

මෙවැනි සිදුවීම් නිසා ඔවුන් ඉතා අසරණ වන බවත්, ඉන් තම වෘත්තිය ජීවිතයට පවා බාධා එල්ල වන බවත් හෙතෙම පැහැදිලි කළේය.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්; මහන්සියෙන් කැපවීමෙන් ගන්නා ඡායාරූපය වීඩියෝ මාධ්‍ය ආයතන වෙත ලබා දෙන්නේ එය තමන්ගේ රැකියාව නිසා බවත්, එලෙස ලබාදෙන දර්ශන හා ඡායාරූප ඒ ආයතනවලම සේවය කරන ඉතා සුළු පිරිසක් ඉතාම සූක්ෂ්ම ලෙස මංකොල්ලකා විවිධ මාධ්‍ය ආයතනවලට විකුණන බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බවත් මහියංගනයේ රංජිත් කරුණාවීර පවසයි. ආයතන මට්ටමින් ඉහළ නිලධාරීන් පවා මේ පිළිබඳ දැනුම්වත් කළ ද පලක් නොවූ බව හෙතෙම පැවසීය.

මාධ්‍යවේදියෙක් දවස තිස්සේ වෙහෙසිලා, බයිසිකලයට තෙල් ගහගෙන, වාහන නඩත්තු කරගෙන, ඉන්ටනෙට් බිල්, විදුලි බිල් ගෙවාගෙන අතේ තියෙන තුට්ටු දෙක වියදම් කරලා මේ කාර්යය කරන්නේ. එවැනි තත්ත්වයක මෙවැනි සොරකම් සිදු කිරීම් කෙතරම් මානුෂිකද; කෙතරම් සදාචාර සම්පන්නදැයි රට වටා ජනමාධ්‍යවේදියෝ සංගමයේ ලේකම් සුනිල් එස්. පැල්ලන්දෙණිය විමසයි.

අප මාධ්‍ය ආයතන වෙත යවන විඩියෝ හා ඡායාරූප පෞද්ගලික යුටියුබ් වෙත මුල් අයිතිකරුගේ අවසරයකින් තොරව නිකුත් කළේ කොහොමද? මුල් අයිතිකරුගේ අවසරයකින් තොරව මෙහෙම පළ කරන්න පුළුවන් ද? කිසියම් මාධ්‍ය ආයතනයක් වෙත පමණක් යැවූ විඩියෝ දර්ශන එලෙස අස්ථානගත වේ නම් එම මාධ්‍ය ආයතන ඒ පිළිබඳව සොයා බැලිය යුතු නොවේද? එනිසා ඉදිරියේදී තම සංවිධානය මේ අසාධාරණය සම්බන්ධයෙන් කිසියම් වෘත්තිය තීරණකට එළඹෙන බවත් විශේෂයෙන්ම එවැනි මාධ්‍ය සඳහා පුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබා දීම ප්‍රතික්ෂේප කරන බවත් හෙතෙම පැහැදිලි කළේය.

‘ඒ නිසා මේවා එළියට විකුණන ක්‍රමය හොයාගන්න ඕන. රටේ ඇතැම් මාධ්‍ය ආයතන විසින් ම මේ හොරකම් සිද්ධ වෙන කොට අනිත් තැන් ගැන මොන කතාද. රටේ හොරකම් අසාධාරණකම් ගැන රටට කියනකොට තමන්ගේ ආයතන තුළ මේ සිද්ධ වෙන හොරකම් අසාධාරණකම් ගැන ඒ අය හොයා බලන්නේ නැති එකයි ගැටලුව.

මේවා ගැන නිහඬව ඉන්න ඉන්න අපිට හැමදාම හුළං තමයි. අපේ ශ්‍රමය මුදල් බවට හරව ගන්න ජාවාරම්කරුවන්ට පාඩමක් උගන්වන්න ඕන; ආයේ මෙහෙම කැත වැඩ නොකරන්න. අඩුම තරමේ කෝල් එකක් දාල ඇහුවා නම්. ඒත් කමක් නෑ. තමන් මහන්සියෙන් කරපු කතාවක් වගේ ඒ අයගේ යුටියුබ් නාළිකාවල දාලා මුදල් හම්බ කර ගන්නවා. ඒක සාධාරණද? අපේ මහන්සියට සතයක්වත් ගෙව්වද මේ හොරු? ආයතනවල වැඩ කරන මාධ්‍යවේදින් ( ඇතුළෙ සිටින නිලධාරීන්) ආයතනයෙන් පිටව ගියාම නැත්නම් අස්කරාම; එළියේ ඉඳගෙන ඊමේල් හා ෆයිල් ට්‍රාන්ස්පර් පොටොකෝලය (FTP) වෙත ඇතුළු වෙලා ප්‍රවෘත්ති හොරකම් කරනවා. මොකද අවුරුද්දකට සැරයක්වත් ආයතනයේ පාස්වර්ඩ් මාරු කරන්නේ නැහැ. ඒ නිසා ඔවුන් පහසුවෙන් මේ වැඩේ ජයට කරගෙන යනවා යැයි මහියංගනයේ රංජිත් කරුණාවීර පවසයි.

මේවා හැකි සෑම අවස්ථාවකම මැදිහත්වෙලා ඉහළම ආකාරයට නතර කිරීම සඳහා සෑම දෙනාම කටයුතු කළ යුතුය. නැත්නම් ඉදිරියේදී මේ කර්මාන්තය කරගෙන යෑමේ ගැටලුවක් මතු වේ. මේ විදියට ලේසියෙන්ම නිවුස් එක හොරකම් කර ගන්න පුළුවන් කියන මානසිකත්වය ගොඩනැඟුණොත්; නිකන් ඉඳල අනුන්ගේ ශ්‍රමයෙන් මුදල් හම්බ කරන; මාධ්‍යවේදීන්ගේ ශ්‍රමය හුරා කන; මාධ්‍ය ආයතන කප්පරක් රටේ බිහිවෙන එක වළක්වාලිය නොහැකි බව ද ඔහු ගේ අදහසය.

මෙවැනි අයථා ක්‍රියාමාර්ග හේතුවෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවන් විසින් ලබාදෙන තොරතුරු විකෘති ආකාරයෙන් සමාජගත වී ඉන් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදුවුවහොත් ඊට වගකිවයුතු වන්නේද එම ප්‍රවෘත්තිය පළ කළ මාධ්‍ය ආයතනය නොව එම ප්‍රවෘත්තිය වාර්තා කළ මාධ්‍යවේදියා බව හැටන් ප්‍රාදේශීය ප්‍රවෘත්ති වාර්තාකරු රංජිත් රාජපක්ෂ පෙන්වා දෙයි.

තමන් මුහුණ දුන් එවැනි අත්දැකීමක් සිහිපත් කළ ඔහු “දින කිහිපයකට පෙර මස්කෙළිය ප්‍රදේශයේ කඳුකර කොටියකු මන්දකට හසුවී ලිහාගන්නා දර්ශන මා පටිගත කළා. හැටන්වල සිට කිලෝමිටර් තිහක් විතර ඈතින් තමයි මේ සිදුවීම වාර්තා කිරීමට මා ගියේ. උදේ ඉදන් හවස් වෙනකම් බලන් ඉඳලා මං ඒ දර්ශන රූගත කළා. එහෙම කරලා මං ඒක මාධ්‍ය ආයතනයකට ලබා දුන්නා. මේ මාධ්‍ය ආයතනයේ පුවත් අංශයේ කටයුතු කරන අයෙක් මේ දර්ශන සොරකම් කර ඔහුට අයත් යූටියුබ් චැනලයක මුදාහැර හැර තිබුණා. ඉන් ඔහු මුදලක් උපයාගෙන තිබුණා. නමුත් අපි දුක්මහන්සි වෙලා බොහොම කැපවීමෙන් පටිගත කරගන්න මෙවැනි දර්ශන මේ විදියට කිසිම ගෙවීමක් නැතුව මංකොල්ල කෑම සාධාරණද?

අපි දවස් ගණන් සතිගණන් වෙහෙසවී තොරතුරු එක් රැස් කර ලියන ගවේෂණාත්මක ලිපි පවා සමහර මාධ්‍ය ආයතනවල සේවය කරන අය පොඩ්ඩක් එහෙ මෙහෙ කරල පළ කරනවා. ඉංග්‍රිසි පුවත් පත් ඒ ලිපි එහෙන් පිටින්ම පරිවර්තනය කරලා පළ කරනවා. කවදාවත් හොරොව්පොතාන පැත්තෙවත් නො ගිය කෙනෙක්; හම්බන්තොට පැත්තෙවත් නොගිය කෙනෙක් ඒ ප්‍රදේශවල සිදුවීමක් ගැන ලියලා සම්මානයට පාත්‍ර වෙනවා. මේ අසාධාරණයට තමන් දිගින් දිගටම මුහුණ දී ඇති බව මාධ්‍යවේදී රහුල් සමන්ත පවසයි.

ඉතා ජනප්‍රිය කලාකරුවන් මාධ්‍ය ආයතනවල විකාශනය සඳහා ලබාදුන් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන එහෙන් පිටින්ම සොරකම් කර ඔවුන්ගේ ෆේස්බුක් පිටුවල යූටියුබ් නාළිකාවල පළ කර තිබුණා. ඒ විතරක් නෙමෙයි මේ මාධ්‍ය ආයතන සොයා බලා මේ අසාධාරණය නැවත්වීමට පියවර ගන්න ඕන. අප මාධ්‍ය සගයන්ගේ දර්ශන සොරකම් කර කූට ලෙස තම දේපළක් ලෙස ප්‍රචාරය කරන ලද යූ ටියුබ් නාළිකා කිහිපයක් අප විසින් හඳුනා ගැණුනා. අප ඒ සම්බන්ධයෙන් ඔවුන් දැනුම්වත් කිරීමට ද අවස්ථා කිහිපයකදී කටයුතු කළ ද ඇතැම් යූ ටියුබ් නාළිකා පවත්වා ගෙන යන අය අප මාධ්‍ය සගයන්ට තර්ජනය කර තිබුණා.

මේ සමහර යූටියුබ් නාළිකා මීඩියා කියල වාහනවල බෝඩ් ගහගෙන ඇවිත් මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටිමින් තොරතුරු ලබා ගන්නවා. නමුත් මේ අය ළඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුව මඟින් ලබාදෙන හැඳුනුම්පතවත් නැහැ. ඒ ස්ථානවල සිටින පොලිස් නිලධාරීන් හිතන්නෙත් ඒ අය මාධ්‍යවේදීන් කියලා. නමුත් මේ අය මොනවගේ තොරතුරු ද රැස් කරන්නේ කියල කවුරුවත් දන්නේ නැහැ.

මේ පිළිබඳව සලකා බලා සාධාරණ මැදිහත්වීමක් කරන්නැයි රට වටා ජනමාධ්‍ය‍ෙව්දියෝ සංගමය ජනාධිපතිවරයාගෙන් අගමැතිවරයාගෙන් සහ ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.

 

Comments