පස්වෙනි තට්ටු­වෙන් නිම වූ කෝටි හතේ මුදල් ගැහිල්ල | සිළුමිණ

පස්වෙනි තට්ටු­වෙන් නිම වූ කෝටි හතේ මුදල් ගැහිල්ල

 

දිනය 1966 වසරේ අප්‍රේල් මස 15 වැනිදා ය. රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණයේ සැකකරුවකු ලෙසින් අත්අඩංගුවට ගත් රත්නපුරයේ දොඩම්පෙ මුදලාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙවත් රහස් පොලිසියේ හතරවැනි තට්ටුවෙන් බිමට වැටී මිය ගියේය. පොලිස් අත්අඩංගුවේදී යම් යම් හේතූන් නිසා සැකකරුවන් මිය යාම සිදු වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී නම් එසේ මිය යාම් සිදු නොවන තරම්ය. තත්ත්වය එසේ හෙයින් දොඩම්පෙ මුදලාලි ගැන එවකට මුද්‍රිත මාධ්‍ය පුවත් පත් කිහිපය හා ගුවන් විදුලියේ වැඩි අවධානයක් ඒ වෙනුවෙන් වෙන් කෙරිණි.

 

ඒ අදින් වසර 55කට පෙර වූ සිදුවීමකි. ඒ ලෙසින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 5 වැනි මහලේ වැසිකිළියක ජනේලයෙන් පිටතට පැන කාන්තාවක් දිවි නසා ගැනීමේ පුවතක් පසුගිය දා අපට වාර්තා විය. එසේ මිය ගොස් ඇත්තේ කාන්තාවකි.

අදාළ කාන්තාව සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි නිසා ඇය අත්අඩංගුවට ගැනීමට දීර්ඝ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන පවත්වමින් තිබුණි. ඇය රාජපක්ෂ මුදියන්සේලාගේ අප්සරා මැණිකේ රාජපක්ෂ නමින් අපි හඳුන්වමු. ඇයගේ පදිංචි ලිපිනය ලෙස පොලිසිය සටහන් කරගෙන ඇත්තේ පන්නිපිටිය, නියදගල, අරලිය මාවතයි.

ඇය රුපියල් ලක්ෂ 700කට ආසන්න මුදල් වංචාවකට සම්බන්ධ වූ අයකු බවට වූ චෝදනා එල්ල වී තිබූ නිසා පොලිස් දැල එළා තිබුණි. එහෙත් ඇය නම් කිහිපයකින් පෙනී සිටීම නිසා අත්අඩංගුවට ගැනීම ගැටලුවක් විය. එසේම ඇයගේ ලිපිනය ගැන ද ගැටලු මතුව තිබුණි. පන්නිපිටියේ ඇයගේ ලිපිනයේ ඇය ඒ වන විට පදිංචිව නොසිටීම ඊට හේතු විය.

කෙසේ හෝ පොලිසියට හැමදාම බොරු කළ නොහැකිය. පසුගිය 10 වැනිදා දහවල් 11.00 පමණ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළුබෝවිල රෝහල ඉදිරිපිට පොලිස් දැල එළා තිබුණේ ඇය එදින රෝහලට එන බවට ලද විශ්වසනීය තොරතුරක් නිසාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලද තොරතුර නිවැරැදිය. අප්සරාගේ පැමිණීම සිදු විය. ඇය අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම සඳහා ඇය කොළඹ පොලිස් මූලස්ථානයට නුදුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 4 වැනි තට්ටුව වෙත රැගෙන ගියාය.

පන්නි­පි­ටිය නිය­ද­ගල අප්සරා විසුවේ යැයි පැව­සෙන නිවස (සේයා­රුව - නිරෝෂ් බටේ­පොළ)

එදින පස්වරුවේ ඇයගේ තොරතුරු විමසා සටහන් කර ගැනීමෙන් අනතුරුවම වැඩිදුර ප්‍රශ්න කිරීම පසුදින එනම් 11 වැනිදා ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණි. ඒ වන විටත් ඇය අවශ්‍යතාව දැඩි බව පවසමින් අවස්ථා 6කදී වැසිකිළියට ගොස් තිබුණි. 11 වැනිදා අලුයම ද ඇය වැසිකිළියට යාමට අවශ්‍ය බව පවසා ඇති අතර නිලධාරිනියන් දෙදෙනකුගේ අධීක්ෂණය යටතේ ඇය 5 වැනි මහලේ වැසිකිළියට කැඳවා ගොස් තිබේ. එහෙත් විනාඩි 10කින් පමණ වැසිකිළිය තුළට ගිය කාන්තාවගෙන් කිසිදු හඬක් නොමැති නිසා නිලධාරිනියන් දෙදෙනා එහි දොර විවෘත කර බලන විට ඇය නොමැති බව දැනගෙන ඒ බව වාර්තා කර තිබේ.

එමෙන්ම තවත් තොරතුරකින් වාර්තා වන්නේ ඇය ප්‍රමාද නිසා දොර විවෘත කර බැලූ විට ඇය වැසිකිළි පෝච්චියට නැඟී ජනෙල් කවුළුවෙන් එළියට පැනීමට උත්සාහ ගැනීමේදී අදාළ නිලධාරිනියන් දෙදෙනා විසින් ඇය බේරා ගැනීමට උත්සාහ කළ ද එය නිශ්ඵල වූ බවයි. ඒ සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන සිදු කෙරේ.

පස්වන මහලෙන් බිමට පැන දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් සිටි ඇය රෝහල් ගත කිරීමෙන් පසු මිය ගියාය. ඇයගේ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 12 වැනිදා සිදු කෙරුණු අතර එහිදී මරණ වාර්තාවේ සඳහන් වන්නේ බාහිර තුවාල කිසිවක් හෝ පහරදීම් වැනි කිසිවක් සිදුව නැති බවයි. ඉහළ සිට පහළට වැටීමෙන් වූ තුවාල නිසා මරණය සිදුව ඇති බව මරණ පරීක්ෂකවරයාගේ තීරණය වී ඇත.

අපි මුලින් ඇය අප්සරා යන නමින් හැඳින්වීමු. අප්සරාගේ පදිංචි ලිපිනය ලෙස අප සඳහන් කළ පරිදි පන්නිපිටිය වුවද ඇය එහි පදිංචිව සිට නැත. ඇය 2015 වසරේ පමණ සිට අසරණ සරණ සමිති යනුවෙන් කුඩා සමිති කිහිපයක් ආරම්භ කර තිබේ. මේ සමිති හරහා මුදල් අවශ්‍ය අයට උපකාර කිරීම කළ හැකි බවද ඇය විසින් පවසා තිබේ. ඒ වෙනුවෙන් එම සමිතිය ලියාපදිංචි කර ඇති බවට ව්‍යාජ සහතික පවා ඉදිරිපත් කර තිබේ.

එසේ සාමාජිකත්වය ලබාදීමෙන් පසුව ඔවුන්ට රුපියල් 50,000/=ක ණය මුදලක් ලබා දීමට කටයුතු කරන බව ඇය පවසා තිබේ. එසේම එහි දෙවන අදියර ලෙසින් තවත් රුපියල් 50,000/= හෝ රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන බවට ඇය පොරොන්දු වී ඇත. එමෙන්ම ඒ බව ලිඛිතවම දැනුම් දී තිබේ.

ඒ අනුව අදාළ ගනුදෙනුකරුවන් කොල්ලුපිටියේ රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව වෙත කැඳවාගෙන ගොස් ඔවුන්ට අදාළ ණය මුදල් ලබා දීමට කටයුතු කර ඇත. එසේ ණය මුදල් ලබා දීමේදී එම ගනුදෙනුකරුවාට රුපියල් 50,000/=ක මුදලක් බැංකුවෙන් ලබා දෙන අතරම අදාළ ණය මුදල ලෙස ඇය බැංකුවෙන් රුපියල් ලක්ෂ 10ක් ලක්ෂ 12ක් හෝ ලක්ෂ 15ක් බැගින් ලබා ගෙන තිබේ. ඒ ගනුදෙනුකරුවාට නොදැනෙන සේය.

එමනිසා අදාළ ගනුදෙනුකරුවාට ලැබෙන්නේ එයින් රුපියල් 50,000ක් පමණි. එහෙත් ඔහු බැංකුවට රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 15ක් දක්වා වන ණයකරුවන් බවට පත් වේ.

2016 වසරේ ආරම්භ කළ මේ කෙරුවාවට සියයකට අධික පිරිසක් අසුව තිබේ. එයින් බැංකුව හරහා රුපියල් ලක්ෂ ලක්ෂ 10 සිට ලක්ෂ 15ක් දක්වා ණයකරුවන් බවට පත් වූ පිරිස 48කි. අදාළ පුද්ගලයන්ට මේ බව දැන ගන්නට ලැබෙන්නේ බැංකුව විසින් මාසික වාරිකය වැඩියෙන් ගෙවන ලෙස දැනුම් දෙන විටය. එවිට අස්වයා පැන ගොසිනි. එවිට ගනුදෙනුකරුවෝ කාන්තාව සොයා යති. එහෙත් ඇය සොයා ගැන්මට නැත. අප්සරා මේ වන විට වැල්ලම්පිටිය, අංගොඩ හා රාජගිරිය ප්‍රදේශවල ගනුදෙනුකරුවන් සිය ගණනකගෙන් මේ ලෙසින් මුදල් වංචා කර තිබේ. අප්සරා යන්න ඇයගේ නියම නම ද යන්න පවා මෙහිදී ගැටලු සහගතය. ඇය මේ වන විට නම් 4කින් පෙනී සිටි ඇතිබවට තොරතුරු තහවුරු කරගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසයි. අප්සරා එක් නමකි. එසේම ඇය ඒ. එස්. නිල්මිණි, හිඹුටු උයන, මුල්ලේරියාව, ඒ. ඒ. එම්. නිදර්ශනී, හිඹුටු උයන, මුල්ලේරියාව, සී. වී. මාතරආරච්චි, බ්ලොක් 5, මාලිගාවත්ත මහල් නිවාස කොළඹ 10 යන නම්වලින් අදාළ ලිපිනයන් භාවිත කර තිබෙන බව සොයා ගෙන ඇත. එමෙන්ම ඉහත නම්වලට අමතරව ඩබ්.එම්. කුමාරසිරි (පිරිමි නමක්), ගොඩැල්ල පාර,මුල්ලේරියාව, අංගොඩ නමින්ද ඇය සිම්කාඩ්පත් ලබා ගෙන තිබේ.

ඊට අමතරව ඇය සතු ව්‍යාජ හැඳුනුම්පත්, ගමන් බලපත් ඇතුළු ලේඛන ඇති බවට සැකකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ඒ සම්බන්ධයෙන් විමර්ශන කෙරෙමින් පවතී.

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවට මේ පිළිබද මහජන පැමිණිලි ලැබීමෙන් පසු ඒ සම්බන්ධයෙන් පොලිසියට හා ඉන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ ආරම්භ කරන ලදී. එහෙත් මේ සියල්ලට ම අදාළ කාන්තාව විසින් ව්‍යාජ නම් භාවිත කර තිබුණු හෙයින් ඇය සොයා ගැනීම දැඩි ලෙසින් දුෂ්කර විය. ඇය විවිධ දුරකථන අංකවලින් පෙනී සිටීම නිසා මෙන්ම ස්ථාවර දුරකථන පවා භාවිත කර ඇති නිසා මේ ලෙසින් බොහෝ පිරිසක් අසරණව තිබේ. විශේෂයෙන්ම පළමුවර ණය ලබා ගත් තැනැත්තා තමන් ණය මුදල් පහසුවෙන් ලබාගත් බව පැවසීමෙන් පසු ණය ලබා ගැනීමට වැල නොකැඩී ඇය වෙත පිරිස් පැමිණ තිබේ. එසේ පැමිණෙන ගනුදෙනුකරුවන් සූක්ෂ්ම ලෙස සමිතිය හරහා ගනුදෙනු කළ යුතු බව පවසා මේ ලෙසින් බැංකු ණය කරා යොමු කර තිබේ.

අදාළ ගනුදෙනුකරුවන් ඇය කෙරෙහි සැක උපදවා නැත්තේ ණය මුදල් කඩිනමින් ලබා ගැනීමට හැකිවීම නිසාය. එමෙන්ම රාජ්‍ය බැංකුවක් හරහා ගනුදෙනු කළ නිසාය. එම නිසා ඇතැම් අයගේ වටිනා ඉඩකඩම් නිවාස පවා ඇප ලෙසින් තබා ඇත. ඒ රුපියල් 50,000ක් වෙනුවෙන් වුවත් අදාළ ණයකරුවන්ට රුපියල් ලක්ෂ 15ක් දක්වා ණය මුදල් ගෙවන්නට සිදුව තිබේ.

ඇය වංචා කර ඇති මුදල රුපියල් ලක්ෂ 700කට හෙවත් කෝටි 7කට අධිකය. මෙතරම් මුදලක් ගෙන ඇය කුමක් කෙළේද යන්න ගැනද මේ වන විට විමර්ශනය කෙරෙමින් පවතී.

මේ සම්බන්ධ විශේෂයෙන්ම විමර්ශනය කළ යුතු කරුණක් වන්නේ සාමාන්‍ය ගනුදෙනුකරුවකුට රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 15ක් දක්වා ණය මුදල් මුදා හරින්නට බැංකුව කටයුතු කළේ කෙසේද යන්නයි.

ශ්‍රී ලංකාවේ ණය මුදා හැරීමේ ක්‍රමවේද අනුව රුපියල් කෝටි ගණනක වත්කම් තිබුණද ණයකරුවාගේ ගෙවීමේ ශක්තිය අනිවාර්යෙන්ම බැංකුව හෝ අදාළ මූල්‍ය ආයතනය විසින් සොයා බැලිය යුතු වේ. ඒ අනුව බැංකුව කටයුතු කර නැත. ඇත්තෙන්ම මෙහිදී ‘බැංකුව‘ යන්න ව්‍යවහාර කිරීම උචිත නොවේ. ඊට හේතුව අප්සාරගේ මේ කූට වංචාවට බැංකුවේ කළමනාකරුවන්ටත් වඩා ඉහළ තනතුරු හොබවන නිලධාරීන්ගේ හා කළමනාකරුවන්ගේ සහාය ලැබී තිබෙන බව තහවුරු වීමයි. විශේෂයෙන්ම ණය මුදල් නිකුත් කරන්නේ ණය ලබා ගන්නා තැනැත්තාට නම් ගනුදෙනුකරුවාට රුපියල් 50,000ක් පමණක් ගිණුම්ගත වී ඉතිරි මුදල් වෙනත් අයකුගේ ගිණුමකට බැර කෙළේ කෙසේද යන්න බරපතළ ගැටලුවකි. ඒ ගැටලුවට විසඳුම අධිකරණය මඟින් සොයා ගැනෙනු ඇත. මේ වන විට මේ වංචාව සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ගොනු කර තිබේ. අප්සරාට විරුද්ධව පැමිණිලි 48ක් යටතේ නඩුකර ගොනුව තිබේ.

මේ සම්බන්ධයෙන් රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති උදය ශ්‍රී කාරියවසම්ගෙන් සිළුමිණ විමසුවෙමු.

‘‘විශේෂයෙන්ම කියන්න ඕන මේ සිදුවීම වෙලා තියෙන්නෙ 2016 වසරේ ඒ කියන්නෙ අවුරුදු 5කටත් පෙර සිටයි. ඒ බව දැන ගන්න ලැබුණු විගස අපි විශේෂ විමර්ශන කටයුතු ආරම්භ කරා. පොලිසිය මට්ටමින් නීතිය ක්‍රියාත්මක කෙරෙනවා. ඒ වගේම බැංකුව මට්ටමින් අපි අභ්‍යන්තර පරීක්ෂණ සිදු කෙරෙනවා. අදාළ නිලධාරීන් සිටිනවා නම් ගත යුතු නිසි පියවර ගන්නවා. මේ සම්බන්ධයෙන් අධිකරණයේ මේ වන විට නඩු කටයුතු සිදු කෙරෙන බැවින් ඒ ගැන ඊට වඩා ඒ ගැන කතා කිරීම සුදුසු නැහැ‘‘

එහෙත් අවසානයේ අපට පවසන්නට ඇත්තේ ‘සදාතනික දහමේ සත්‍යතාව‘ යන්න පමණි. රුපියල් කෝටි 7ක් ගත් අයකුට අවසානයේ සිදුවූයේ මහල් 5ක වැසිකිළි ජනේලයකින් පැන දිවිය අවසන් කර ගැනීමය.

Comments