තිරසර වගා ක්‍රමයකට දොර හරිමු | සිළුමිණ

තිරසර වගා ක්‍රමයකට දොර හරිමු

මස්ත ජීවීන්ට මෙන්ම ශාක වර්ධනයට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ වාතය, ජලය හා හිරු එළියයි. එම සාධක නොඅඩුව ඇතිනම් සෙසු අවශ්‍යතා නිතැතින්ම ඉටුවන බව සැවොම දනිති. ශාක විවිධත්වය අතින් ඉතා උසස් තැනෙක අපේ වනාන්තර ඇති බව ලෝකයම පිළිගනී. මේ වනාන්තරවල ඇති විවිධ ශාකයන්ගේ වැඩීමට අවැසි සියලු පෝෂ්‍ය පදාර්ථයන් ඒ වනාන්තර තුළ ස්වභාවිකවම සැකසෙනවා විනා කිසිවකුත් පෝෂක ලෙසින් පිටතින් ගෙන ගොස් දමන්නේද නැත.

ඒ අනුව බලන කල මෙරට ශාකයකට වෙනත් රටකින් පොහොර ගෙනැවිත් දැමීම විහිළුවක් නොවන්නේ ද?

එක් අතකින් විහිළුවක් ලෙස පෙනුණද තවත් අතකින් බලන කල මෙය ජාතියක් වශයෙන් අපව සූරා කන නව ක්‍රමවේදයක්ද වන්නේය. කෘෂි රසායන හා පොහොර වෙනුවෙන් වසරකට මෙරටින් පිටරටට ඇදී යන ධනස්කන්ධය අප වැනි රටකට ඔරොත්තු නොදෙන අනවශ්‍ය වැය කිරීමකි.

ගොවිතැනට අවශ්‍ය පොහොර පිටරටින් ගෙන ඒමට මෙරට වගකිවයුත්තන් පොලඹවා ගත්තේ මෑතකදී බව වර්තමානයේ වෙසෙන වයෝවෘද්ධයන් හට මතක ඇතැයි සිතමි.

ඉතා අගනා දේශීය වී වර්ග දහසකට අධික සංඛ්‍යාවක් උරුමව තිබුණ ජාතියක් වූ අප වැඩි අස්වැන්නක් ලැබෙතැයි කියූ පමණින් විදේශික වී වර්ග වගාවට හුරු වීම අනුවණ ක්‍රියාවකි. ඒ බව වැටහෙනුයේ පොහොර මෙන්ම වැලඳෙන රෝග හා කෘමි උවදුරුවලට නැතිවම බැරි බෙහෙත් වර්ග ද එම රටවලින්ම මිලදී ගැනීමට සිදු වන විටයි.

මෙය ලොව මවිත කරවන විස්කම් වාරි සංස්කෘතියක් සමඟින් ආගමට දහමට මෙන්ම පරිසරයට ද පටහැනි නොවන තිරසර ගොවිතැන් ක්‍රමයක් බිහි කිරීමට සමත් වූ අපේ මුතුන්මිත්තන්ට කරන අවමානයක් නොවන්නේ ද?

එච්. එන්. විජේසිංහ 
පත්තම්පිටිය

Comments