කාර්යාල දුම්රිය අඩු කර රාගමට ඇයි කුඩම්මගේ සැලකිලි | Page 2 | සිළුමිණ

කාර්යාල දුම්රිය අඩු කර රාගමට ඇයි කුඩම්මගේ සැලකිලි

මෙරට වැඩිම මඟී ජනතාවක් සංචරණය කරනු ලබන ප්‍රධානතම දුම්රිය මංසන්ධිය වන රාගම දුම්රිය ස්ථානයට මෑත කාලයේ සිට කුඩම්මාගේ සැලකිල්ලවත් නොලැබෙන තත්ත්වයක් උදා වී ඇත. කාර්යාල මඟීන් මෙන්ම දුර ගමන් සේවා භාවිත කරන මඟීන් මේ නිසා දැඩි ලෙස අපහසුතාවට පත්ව සිටිති.

රාගම නවත්වා ධාවනය කළ උත්තර දේවි දුම්රිය නගරාන්තර දුම්රියක් ලෙස හඳුන්වා එම වේලාවටම (පෙ.ව. 11.50ට කොළඹින් හා පෙ.ව. 5.30ට කන්කසන්තුරයෙන්) ධාවනය කරන නමුත් එය රාගම නොනවත්වයි. එමෙන්ම රාගම නවත්වා මඩකළපුව බලා ධාවනය කළ රාත්‍රී ශීඝ්‍රගාමී දුම්රිය ද ‘මීන ගයා ’නමින් හඳුන්වා නගරාන්තර දුම්රියක් ලෙස ධාවනය වන නමුත් එය ද රාගම නවත්වන්නේ නැත. එසේම කන්කසන්තුරේ බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය ද මේ වන විට රාගම නොනවත්වා ධාවනය කෙරේ. මේ තත්ත්වය නිසා දිගින් දිගටම මඟී ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටී.

එසේම කාර්යාල මඟීන් බහුල වේලාවට ද මේ තත්ත්වය ඉතා දැඩි ලෙස මඟීන්ට බලපා ඇත. කුරුණෑගල, මහව, මහනුවර බලා ධාවනය වන කාර්යාල දුම්රිය මෙන්ම මේ වන විට වේයන්ගොඩ බලා අලුතින් ධාවනයට එක් කළ කාර්යාල දුම්රියක් ද රාගම නොනවත්වා ධාවනය කිරීම නිසා මඟීන් මුහුණ දෙන අපහසුතා සුළුපටු නොවේ. දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පසුගිය කාලසීමාවේදී කොළඹ සිට, රඹුක්කන, මහනුවර, කුරුණෑගල, හලාවත දක්වා නව කාර්යාල

දුම්රිය ආරම්භ කළද ඒ එකදු දුම්රියකින් හෝ රාගම මඟීන්ට ගමන් පහසුව සලසා දී නැත.

අලුතින්ම ආරම්භ කිරීමට සැලසුම් කළ වේයන්ගොඩ බලා පස්වරු 5.35ට ගමන් ආරම්භ කෙරෙන දුම්රිය ද ගම්පහ සහ වේයන්ගොඩ පමණක් නවත්වා ධාවනයට කටයුතු යොදා ඇත. ඒ අනුව කලකට පෙර රාගම නවත්වා ධාවනය කළ දුර සේවා දුම්රියන්, නව දුර සේවා කාර්යාල දුම්රියන් හා නගරාසන්න කාර්යාල දුම්රියන් සියල්ල රාගම නොනවත්වා ධාවනය කිරීම දුම්රිය බලධාරීන්ගේ පෞද්ගලික පලි ගැනීමක් බව මඟීහු පවසති.

පස්වරු 4.35 සිට පස්වරු 5.35 දක්වා රාගම හරහා දුම්රිය 13ක් ධාවනය කරන නමුත් රාගම නවත්වා ධාවනය කරන්නේ දුම්රිය 4ක් පමණි. අදාළ කාලසීමාවේදී අලව්වේ දුම්රිය 7ක් මීරිගම දුම්රිය 6ක් හා අඹේපුස්සේ දුම්රිය 5ක්ද නවත්වන අතර මෙරට ප්‍රධානතම දුම්රිය මංසන්ධිය පත් කර ඇති තත්ත්වය එයින්ම සිතාගත හැකිය.

අවම වශයෙන් කොළඹින් පස්වරු 4.45 හලාවත කාර්යාල දුම්රිය මහව පස්වරු 4.40 හා රඹුක්කන පස්වරු 4.50 හා මහනුවර පස්වරු 5.10 දුම්රිය, පස්වරු 5.35 වේයන්ගොඩ දුම්රිය හා දුරසේවා දුම්රියන් රාගම නවත්වා ධාවනය කිරීමට කටයුතු යොදන මෙන් ඉල්ලා සිටිමු.

පස්වරුවේ රාගම දක්වා ගමන් ගන්නා හා රාගම සිට ගමන් කරනා කාර්යාල මඟීන් පත්ව ඇති දැඩි අපහසුතාව සැලකිල්ලට ගැනීමට ප්‍රවාහන ඇමැතිනිය මෙන්ම රාජ්‍ය ප්‍රවාහන ඇමැතිවරයා ද පියවර ගනු ඇතැයි සිතමි.

ඒ. එම්. ඒ. රංජනී 
රාගම

Comments