එක්සත් කම්කරු පන්තියක් වෙනුවෙන් කැප වූ නීල් විජේතිලක | සිළුමිණ

එක්සත් කම්කරු පන්තියක් වෙනුවෙන් කැප වූ නීල් විජේතිලක

පාසල් වියේ සිට මාක්ස්වාදී දේශපාලනය හැදෑරුවා 
- මම දාපු මානව හිමිකම් නඩුවක් නිසා ප්‍රජාතන්ත්‍රවාදය ගැන අලුත් අර්ථකථනයක් නීති පොතට ඇතුළත් වුණා

දැන් වෘත්තිය සමිති ව්‍යාපාරය බොහෝ දුරට පිරිහිලා. දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වූ වෘත්තිය සමිති, අවස්ථාවාදී දේශපාලන ව්‍යාපාර බවට පත්වෙලා. එවැනි නායකයෝ විශ්වාස කරලා සටන් කරන්න දැන් කම්කරුවෝ බයයි. අපේ රටේ කම්කරුවා බලගැන්වීමට නම් ධනේෂ්වර දේශපාලනයෙන් කම්කරුවා මුදවාගත හැකි කම්කරු බලයක් සහිත දේශපාලනයක් ඇතිකිරීම අත්‍යවශ්‍යයි. එය අපේ ජීවිත කාලය තුළදී කරන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ¨

ඒ හඬ, කම්කරු අයිතීන් ආරක්ෂා කිරීම සිය ජීවිතයේ තේමා පාඨය කරගත් එක්සත් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නීල් විජේතිලක ගේය. ගම්පහ මුඳුන්ගොඩ උපන් නීල් විජේතිලක, සහෝදර සහෝදරියන් 9 දෙනකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවාය. ඔහුගේ පියා පොලිස් නිලධාරියෙකි. ගමේ පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ නීල් අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය අවසන් කළේය. 

¨මගේ පවුලේ කිසිම කෙනෙක් දේශපාලන නැඹුරුවක් තිබුණු අය නෙවෙයි. දේශපාලනයට ඇලුම් කළ එකම කෙනා මමයි. ඒ කාලේ තිබුණු සමාජ පරිසරයත් එක්ක මම දේශපාලන කටයුතු කිරීම ගැන ගෙදරින් ලොකු විරුද්ධත්වයක් ආවා. තාත්තා මං ගැන ගොඩක් බය වුණා. මම උපන්නේ 1946, දැන් වයස අවුරුදු 76ක්. 1963 ඉඳන් මම දේශපාලනය කළා. සාමාන්‍යපෙළ, උසස්පෙළ පන්තිවල ඉන්න කාලේ ඉඳලම මම දේශපාලන වැඩවලට සම්බන්ධ වුණා. පාසලේ සමිතිවල වාද විවාද කළා. කුඩා වියේ සිට මට ලංකා සම සමාජ පක්ෂයේ සහෝදරයන්ගේ ආභාසය ලැබුණු නිසා දේශපාලනය ගැන ලොකු උනන්දුවක් ඇතිවුණා. විශේෂයෙන් මාක්ස්වාදී දේශපාලනය ගැන පාසල් වියේදීම හොඳ හැදෑරීමක් කළා. පාසලේදී හොඳ ගුරුවරුවරුන්ගේ ආභාසය ලැබීමත් ඒකට ප්‍රධාන හේතුවක්. උසස්පෙළ පන්තියේදී අපිට ඉගැන්වූ මාධ්‍යවේදී සුරත් අම්බලන්ගොඩ ගුරුතුමා මගේ දේශපාලන ජීවිතයේ ගුරුවරයා. ඒ වගේම හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ පියා වූ පියසේන ගුරුතුමාගෙන් මට හොඳ වාමාංශික ආභාසයක් ලැබුණා.“ සිය දේශපාලන ජීවිතයේ ඇරඹුම ගැන මතක අවදි කරමින් නීල් විජේතිලක කීවේය.

1964 දී විතර මම පාසල් ගමන අවසන් කරන්න ආසන්න කාලේ මැයි පෙළපාළියකට ගිය අවස්ථාවක මට හමුවුණා බාරොන් පෙරේරා කියලා සම සමාජ පක්ෂයේ පොත් විකුණන සහෝදරයෙක්. කොමියුනිස්ට් වාදය ගැන ලියැවුණු ඒ පොත් ගන්න ආස වුණත් මගේ අතේ සල්ලි තිබුණේ නැහැ. ඒත් ඔහු මට පොත් කිහිපයක් දීලා තවත් පොත් කීපයක් පස්සෙ එවන්නම් කිව්වා. තැපෑලෙන් පොත් පාර්සලේ ගෙදරට ආවම තාත්තා මට හොඳටම ගැහුවා ¨උඹ මොකද මේ කරන්නෙ, මැරෙන්නද හදන්නේ¨කියලා. තාත්තා පොලිසියෙන් ඉවත් වෙලා ඇසෝසියේටට් මෝටර්ස් සමාගමේ වැඩ කරද්දි එහි ස්ට්‍රයික් එකක් තිබුණා. මම ඒ රැස්වීමේ කතා කළා. අනිත් අය සේරම ස්ට්‍රයික් එකට සම්බන්ධ වුණත් මගේ තාත්තා විතරක් වැඩ කළා. ඒත් මම ඒ රැස්වීමේ කතා කළා කියලා තාත්තව රස්සාවෙන් අස් කළා. එහෙම බාධක, අභියෝග ආවත් මගේ ගමන නවත්වන්න බැරි වුණා. නමුත් වෘත්තිය සමිති වැඩ කළා කියලා මට කවදාවත් හිරේ යන්න නම් වුණේ නැහැ. අපේ පක්ෂයේ, සංගමයේ සහෝදරයෝ පොලිස් අත්අඩංගුවට ගන්න හැම තැනකදිම වගේ මමත් හිටියා. කුඩා කාලෙදි මට පෝලියෝ හැදුණු නිසා පාදයේ ආබාධයක් තියෙනවා. එහෙම තියෙද්දි තමයි මම හැමතැනම යන්නෙ. මම හිතන්නෙ ඒකත් මට වාසනාවක් වුණා කියලා. ලංකාව පුරා මම නොගිය පළාතක් නැතිතරම්. ඒ වගේම විවිධාකාර අත්දැකීම් ලබා තිබෙනවා.¨ ඔහු පවසන්නේ දිරිමත් සිතිනි.

අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු සමුපකාර වෙළෙඳ ක්ෂේත්‍රය පිළිබඳ මාස 9ක පාඨමාලාවක් හදාරන නීල් විජේතිලක, වෘත්තිය ජීවිතය අරඹන්නේ කළමනාකරුවකු ලෙස පයාගල සමුපකාරයෙනි. පසුකලෙක ඔහු එහි අධ්‍යක්ෂ මණ්ඩලයට ද එක්විය. වෘත්තිය සමිති නායකයකු වීම දක්වා ගමන ගැන ඔහු මතක අවදි කළේ උද්‍යෝගයෙනි.

මම දේශපාලන කටයුතු කළේ වෘත්තිය සමිති ගැන හිතලා නෙවෙයි. නමුත් වාවාංශික ව්‍යාපාරය ජයග්‍රහණයක් ලබන්න නම් කම්කරුවන් සංවිධානය කළ යුතුයි කියන අදහස මා තුළ තිබුණා. ඒ නිසාම ශිෂ්‍යයෙක් හැටියට හිටපු කාලෙදි පවා මම කොහේහරි වැඩපළක වැඩවර්ජනයක්, උද්ඝෝෂණයක් තියෙනවා නම් යාළුවොත් එක්ක ගිහින් ඒවාට උදව් කරනවා. රැස්වීම්වල කතාකරනවා. සමුපකාරේ රැකියාව කරන අතර මම එහිදී පර්සි වික්‍රමසේකර සහෝදරයා එක්ක එක්සත් රාජ්‍ය සංස්ථා සහ වෙළෙඳ සේවක සංගමය කියලා වෘත්තිය සංගමයක් හැදුවා. 1971 රටේ දේශපාලනයේ ලොකු වෙනසක් වෙලා සම සමාජ පක්ෂය නිදහස් පක්ෂය එක්ක එකතුවුණාම අපි සේරම ඒකට විරුද්ධ වෙලා ඒ පක්ෂයෙන් ඉවත් වෙලා වික්‍රමබාහු, වාසුදේව එක්ක එකතුවෙලා 1976දී සංස්ථා සමුපකාර හා වෙළෙඳ සේවක සංගමය කියලා අලුත් සංගමයක් හැදුවා. එතැන් සිට රාජ්‍ය, අර්ථ රාජ්‍ය ආදී විවිධ ආයතනවල සේවක අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. ඊට අමතරව රටේ පොදු කම්කරු පන්තියේ අයිතිවාසිකම් රැකගැනීම වෙනුවෙන් අනෙකුත් වෘත්තිය සමිති සමඟ එක්වෙලා මහා පරිමාණ උද්ඝෝෂණ කළා. ඒ කාලේ හැම රජයේ ආයතනයකම වගේ අපේ සංගමයේ ශාඛා පිහිටුලා තිබුණා. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන රාජ්‍ය සංස්ථා ගණනාවක් පෞද්ගලීකරණය කර විකිණීම නිසා දහස් ගාණකට රැකියා නැතිවුණා. ඒ නිසා ඒ ආණ්ඩුව කාලේ අපිට සිද්ධ වුණේ කම්කරු අයිතින් වෙනුවෙන් නඩු කියන්නයි, උද්ඝෝෂණ කරන්නයි. ඒ නිසාම විවිධ අඩත්තේට්ටම්වලටත් ලක්වුණා.

වාසුදේව නානායක්කාර සමිතියේ ලේකම්කම මට බාරදීලා අපෙන් ඉවත් වෙලා දේශපාලන වශයෙන් වෙනත් පැත්තකට යද්දි අපි ඒකටත් විරුද්ධ වුණා. ඒ වෙද්දි අපි වික්‍රමබාහු එක්ක හිටියේ. අපි කම්කරුවො සංවිධානය කළා.¨

නීල් විජේතිලක නම් කම්කරු නායකයා නිර්මාණය වන්නේ එවැනි මඟක් ඔස්සේය. නාගරික කම්කරුවන්ට වඩා ග්‍රාමීය කම්කරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඔහු වැඩි අවධානයක් යොමු කළේය.

¨ඒ කාලේ මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ අනියම් කම්කරුවෝ අටදාහක් පමණ වැඩකළා. ඒ කවුරුත් ස්ථිර කරන්නෙ නැහැ. ඔවුන්ට පඩි වෙනුවට දුන්නේ පාන් පිටි, කරෝල වගේ බඩු. කිසිම නිවාඩුවක් දුන්නේ නැහැ. ඒ ප්‍රශ්න විසඳන්න මම මැදිහත් වුණා. විශාල උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කරලා ඒ සියලුම කම්කරුවන් ස්ථිර කරලා, පඩි වැඩිකරලා අයිතිවාසිකම් රාශියක් ලබාදුන්නා. ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් සේවකයෝ දහ දාහක් පමණ සිටියා. රුපියල් හතළිස් එකේ දවසේ පඩියට වැඩ කළ ඔවුන් ස්ථිර සේවයේ පිහිටු වන්න කටයුතු කළා. 2015දී පන්දහසක පමණ පිරිසක් සමඟ ගොස් මහින්ද රාජපක්ෂ මහත්මයාට ඔවුන්ගේ දුක්ගැනවිල්ල ඉදිරිපත් කළාම ඔවුන් ස්ථීර කරන්න එතුමා කැමති වුණා. ඒක විශාල ජයග්‍රහණයක්. නමුත් මහින්ද මහත්තයා ඒ වෙලාවේ අපිට උදවු නොකළා නම් ඒක කරගන්න බැරිවෙනවා. ඒ ගැන අපි එතුමාට ස්තුතිවන්ත වෙනවා.¨ 1980 වැඩවර්ජනය මෙහෙය වූ මණ්ඩලයේ සාමාජිකයකු වූ නීල් විජේතිලකගේ වෘත්තිය සමිතිය එහි සම නායකත්වය ද දැරීය. විවිධ ආයතනවල සේවක ප්‍රශ්න විසඳීමට මෙන්ම ජාතික ම්ට්ටමේ පොදු ප්‍රශ්නවලදී ද ඔහු පෙරමුණ ගත්තේය.

¨වරක් මධ්‍යම සංස්කෘතික අරමුදලේ පොළොන්නරුව ශාඛාවේ කම්කරුවන් වැඩවර්ජනයක් සංවිධානය කළේ අයවැයෙන් වැඩි කළ රුපියල් විසි පහක වැටුප් වැඩිවීම කම්කරුවන්ටත් ලබාදෙන්න කියලා. මුළු ලංකාව පුරාම ඒ ආයතනයේ කාර්යාල තියෙන ස්ථානවල විශාල උද්ඝෝෂණයක් අපි සංවිධානය කළා. ආණ්ඩු පක්ෂයේ වෘත්තිය සමිතිය, අපි ආණ්ඩුවිරෝධී කුමන්ත්‍රණයක් කරන්න යනවා කියලා පොලිසියට පැමිණිලි කිරීම නිසා උද්ඝෝෂණය පැවැත්වීමට නියමිතව තිබුණු දිනට පෙර දින රාත්‍රියේ අපේ ශාඛා සමිතියේ ලේකම් පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඒ නිසා එදා පොළොන්නරුවේ විතරක් පිකට් එක කරන්න බැරිවුණා. ඒ ගැන මම මානව හිමිකම් නඩුවක් දැම්මා. ඒකට මට උදව් කළේ වත්මන් මැතිවරණ කොමසාරිස් නිමල් පුංචිහේවා මහත්මයා. පොලිසිය කළ දේ සම්පූර්ණ නීති විරෝධියි කියලා තීන්දුව ලැබුණා. ඒ වෙනුවෙන් අපේ සංගමයට රුපියල් පනස්දාහක් ගෙවන්නත් ඒ සිදුවීමට සම්බන්ධ පොලිසි නිලධාරින්ගේ උසස්වීම් නවත්වන්නත් ඒ නඩු තීන්දුවෙන් නියෝග කළා. ඒ විතරක් නෙවෙයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිකම් අදහස් ප්‍රකාශ කිරීමක් නෙවෙයි, සත්‍ය විරෝධතාවක් තුළින් අදහස් ප්‍රකාශ කිරීමක් කියලා නීති පොතට වැටුණා. එය දැන් නව නීති වාර්තාවටත් ඇතුළත් වෙලා තියෙනවා. එයත් මගේ වෘත්තිය සමිති ජීවිතයේ වැදගත් අවස්ථාවක්. එවැනි ක්‍රියාකාකම්වලට අමතරව මගේ ජීවිතේ වැඩි කාලයක් මම ගත කළේ කම්කරු පන්තිය එක්සත් කරන්නයි. සියලු වෘත්තිය සමිතිවල ඒකාබද්ධතාවක් ඇති කරගැනීම සඳහා වෘත්තිය සමිති නායකයෝ එක්ක සහයෝගයෙන් එකට වැඩ කළා¨ 

නීල් විජේතිලක පැවසුවේ සැබෑ කම්කරු නායකයකු සතු මානවහිතවාදී බව ඉස්මතු කරමිනි. නව සම සමාජ පක්ෂයේ දෙමළ අංශය බාරව කටයුතු කළ කාලය සිය ජීවිතයේ වැදගත් කාලපරිච්ඡේදයක් බව ඔහුගේ අදහසයි.

¨යාපනයේ දෙමළ සහෝදරයෝ එක්ක අපි වෘත්තිය සමිති සංවිධානය කළා. ඒ කාලේ එල්.ටී.ටී.ඊ, ඊ.ඊ.පී.ආර්.එස්, ටෙලෝ, ප්ලෝට් වැනි දේශපාලන සංවිධානවල නායකයන් සමඟ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. රටේ ජාතික සමගිය වෙනුවෙන් විශාල කාර්යක් කරන්න හැකිවුණා කියලා මම හිතනවා. නමුත් අභියෝග රාශියකට මුහුණ දුන්නා. බොහෝ සංවිධාන අපිව විශ්වාස කරලා ධනාත්මක හැඟීමෙන් කටයුතු කළත් එල්.ටී.ටී.ඊය අපිව අවිශ්වාස කළා. සාකච්ඡා සඳහා අපට ඔවුන්ගේ කාර්යාලයට එන්න කිවුවත් අපි ගැන කිසිම විශ්වාසයක් නැති බවත් අපට දකුණේ කිසිවක් කළ නොහැකි බවත් ඔවුන් අපට ඍජුවම පැවසුවා.¨

වෘත්තිය සමිති නායකයකු සහ දේශපාලන නායකයකු ලෙස ජාත්‍යන්තර සම්මේලන ගණනාවකටත් ජාත්‍යන්තර කම්කරු විධායක සභා ගණනාවකටත් සහභාගි වෙමින් මෙරට කම්කරු ප්‍රශ්න ගැන ජාත්‍යන්තර අවධානය යොමුකිරීමට ද නීල් විජේතිලකට අවස්ථාව ලැබිණ. වෘත්තිය සමිති නායකයකු ලෙස ජීවිතයේ පරමාදර්ශී චරිත පිළිබඳව ද මම ඔහුගෙන් ඇසුවෙමි.

¨චේගුවේරා, මැන්ඩෙලා කියන්නේ ලොවම පිළිගත් පරමාදර්ශ චරිත. අවාසනාවකට ලංකාවේ නම් මට එවැනි පරමාදර්ශී චරිත නැහැ. මා සමඟ එකට සිටි අයත් අද ඉතා වංචනික චරිත බවට පත්වී තිබීම ගැන කනගාටුයි. 1947න් පත්වූ කිසිම ආණ්ඩුවක් සමාජයේ විප්ලවවාදී වෙනසක් කරන්න උත්සාහ කළේ නැහැ. බණ්ඩාරනායක මැතිනිය ගැන යම් ගරුත්වයක් තියෙනවා වගේම ඇන්.ඇම් පෙරේරා, කොල්වින් ආර් සිල්වා ශ්‍රේෂ්ඨ චරිත ලෙස මම සලකනවා.¨

නීල් විජේතිලකගේ බිරිය ඉන්ද්‍රා ගීතානි ද සිල්වාය. නීල්- ඉන්ද්‍රා යුවළට සමන්ති දර්ශිකා, ප්‍රියන්ත සම්පත්, ඉඳුනිල් ප්‍රසන්න නමින් දූදරුවන් තිදෙනෙකු වන අතර මුනුපුරු මිනිබිරියන් හයදෙනකි.

¨තවමත් මම වැඩ කරනවා. පොතපත් කියවනවා. අධ්‍යයනය කරනවා. මා සතුව හොඳ පුස්තකාලයක් තියෙනවා. මහාචාර්ය සුමනසිරි ලියනගේ සමඟ මාක්ස්වාදී පාසලක් පවත්වාගෙන යන අතර ´වමේ හඬ´නමින් පුවත්පතක් කරගෙන යනවා. විවේක ලැබුණු වෙලාවට හොඳ ගීත රස විඳිනවා. මගේ ජීවිතයේ ලොකුම ශක්තිය මගේ බිරියයි. ඒ වගේම මුනුපුරු මිනිබිරියන් නිසා අපේ ලෝකය හරිම වින්දනීයයි.¨

ඔහු පවසන්නේ සැහැල්ලුවෙනි.

¨ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී භෞතිකව අත්පත් කරගත් දේ සීමිත වුවත් ජීවිතය අලුතින් පටන් ගන්න ලැබුණත් මම පටන් ගන්න කැමති මේ විදිහටමයි.

මේ දේශපාලන සහ වෘත්තිය සමිති කටුයුතුවලින් තොර වෙනත් ගමනක් මට නැහැ කියලා මම විශ්වාස කරනවා. දේශපාලනය සහ වෘත්තිය සමිති මාව පරිපූර්ණත්වයට පත්කළා. මම දුප්පත් සමාජයෙන් ආව කෙනෙක්. අදත් භෞතිකව මම දුප්පත් වුණත් විවිධ සමාජ සම්බන්ධතාවලින් මම පොහොසතෙක්. ඒ ආත්ම තෘප්තිය මට විශාල සැනසීමක්¨

ඒ වදන් තුළින් නිරූපණය වන්නේ ඔහු තුළ ජීවත් වන සරල, අව්‍යාජ මිනිසාය.

ඡායාරූප- සුනිල් ස්ටැන්ලි 
(කළුතර මධ්‍යම සමූහ)

Comments