ඇතැම් ස්පා අස්සේ විකි­ණෙයි ගැහැ­නුන් හොර රහසේ | සිළුමිණ

ඇතැම් ස්පා අස්සේ විකි­ණෙයි ගැහැ­නුන් හොර රහසේ

 

 

 

ශිෂ්ටාචාරයේ වළ පල්ලට වැටෙමින් සිටින සමාජ විසින් පවත්වාගෙන යන්නා වූ ඇතැම් අමානුෂික ජාවාරම් ගැන විටින් විට ඇසේ. සමාජයෙන් ප්‍රතික්ෂේප වුව ද එහි අශිෂ්ටත්වය නඩත්තු කරගැනීම සඳහා ධනය, බලය ආයෝජනය කිරීමට හැකි පරිසරයක් එම සමාජ සන්ධර්භය තුළ තිබේ. ලෝකය අපුලින් ප්‍රතික්ෂේප කරන මිනිස් වෙළෙඳාම සම්බන්ධව අපේ රටේ සිදුවූ එවැනි ජාවාරම් මාලාවක් පිළිබඳ පසුගිය වසර තුළ ජාත්‍යාන්තර අවධානයට ලක් වූයේය.

මේ ජවාරම් හෙළිවන්නේ වැල්ලවත්තේ දෙමළ තරුණයෙක් හා ඔහුගේ උස්බෙකිස්තාන් බිරිය ළමා සුරැකුම් මධ්‍යස්ථානවල සහ හෝටල් ක්ෂේත්‍රයේ ලබා දෙන රැකියා පොරොන්දුව මත ලංකාවට ගෙන්වනු ලැබූ උස්බෙකිස්තාන් තරුණියන් ගණිකා ජාවාරමේ යෙදවීම පිළිබඳ සංක්‍රමණියන් සඳහා වූ ජාත්‍යාන්තර සංවිධානය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අනුවය.

උස්බෙකිස්තානයෙන් කාන්තාවන් රවටා ගෙනැවිත් ලිංගික සේවය සඳහා බලහත්කාරයෙන් යොදවමින් සිදුකළ මෙම මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් වැල්ලවත්තේ තරුණයාගේ උස්බෙකිස්තාන් බිරිය පොලිස් අත්අඩංගුවට පත්වී සිටියාය. ඇය බන්ධනාගාරතගව සිටි වකවානුවේ දී ඇගේ 31 හැවිරිදි ශ්‍රී ලාංකේය සැමියා යළිත් වරක් මෙම ජවාරම සඳහා උස්බෙකිස්තාන කාන්තාවක් ගෙන්වාගෙන සිටිය දී සංක්‍රමණියන් සඳහා වූ ජාත්‍යාන්තර සංවිධානය විසින් මෙම පැමිණිල්ල කර තිබිණි.

සැකකරු වැල්ලවත්තේ දී පසුගිය ජූලි මස 19 වැනිදා පොලිස් අත්අඩංගුවට පත් විය. සිද්ධිය පිළිබඳ විමර්ශන පැවැත්වෙන්නේ අන්තර්ජාතික අවධානය සහිතවය.

මේ අතර තවත් අශිෂ්ට මිනිස් වෙළෙඳාමක් හෙළිදරවු විය. ඒ පසුගිය නොවැම්බර් 19 වැනිදාය. සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් ගල්කිස්සේ අල්විස් මාවතේ සුඛෝපභෝගී මන්දිරයක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් පසුගිය නොවැම්බර් මසයේදී වටලනු ලැබුවේය. සමාජයේ ප්‍රභූ පන්තිය වෙනුවෙන් දොරටු විවෘත වන මෙම ගණිකා නිවාසයේ ලිංගික සේවයෙහි යොදවා සිටියේ ඉන්දුනීසියානු ජාතික තරුණියන් පස් දෙනෙකි.

මේ හෙළිදරව්වත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථාපිත මිනිස් වෙළෙඳාමට එරෙහි කාර්යසාධක බළකාය මගින් එහි වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙඳාම් ජාවාරම් හා සමුද්‍රීය අපරාධ කොට්ඨාසය වෙත බාර දෙනු ලැබීය. ඛේදවාචකයේ ස්වරූපය හෙළි වූයේ ඉන්දුනීසියානු භාෂා පරිවර්තකයකුගේ සහායෙන් කාන්තාවන්ගේ ප්‍රකාශ සටහන් කරගන්නා විටය.

සම්බාහන මධ්‍යස්ථානවල රැකියා දෙන බව පවසමින් ඉන්දුනීසියානු තරුණියන් පස්දෙනකු මෙරටට ගෙන්වා ගණිකා වෘත්තියේ යෙදවූ බව කියන්නේ ජාඇල, උදම්මිට පදිංචි 41 හැවිරිදි පුද්ගලයකි. මෙම ජාවාරම දීර්ඝ කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති මෙම ජාවාරම්කරු රටට පැමිණි වහාම මෙම කාන්තාවන්ගේ ගමන් බලපත්‍ර තමන් භාරයට ගෙන තිබේ.

රට තුළ රැකියා සඳහා වීසා නිකුත්වන්නේ විශේෂ අවස්ථාවල පමණි. මෙම කාන්තාවන් ගෙන්වා තිබුණේ සංචාරක වීසා මතය. සංචාරක වීසා මත පැමිණ රැකියා කිරීම නීතියෙන් තහනම්ය. ඔවුන් පැමිණ සිටියේ නන්නාඳුන ආගන්තුක රටකටය.

ඔවුන් වහරන්නේ ඉන්දුනීසියානු භාෂාව පමණි. ඔවුන්ගේ ජීවිත මෙහෙයවීමේ නිත්‍ය බලය හිමි වී තිබුණේ ජාවාරම්කරුටය.

කාන්තාවන් පවසා තිබුණේ සම්බාහනය සඳහා පැමිණෙන පුද්ගලයකුගෙන් රුපියල් හය දහසක් ලබාගෙන තමන්ට ලබා දුන්නේ රුපියල් දහසක් බවය. ඊට අමතරව බලහත්කාරයෙන් ලිංගිකව අලෙවි වීමට තමන්ට සිදුවූ බව ඔවුහු කියා සිටියහ. මේ අතර තවත් තායි ජාතික තරුණියන් දෙදෙනෙක් සම්බාහන මධ්‍යස්ථානවල තෙරපිවරියන් ලෙස ගෙන්වා ගණිකා සේවයේ යෙදවූ බවට රහස් පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේය.

මූලික පරීක්ෂණ සිදුවෙමින් තිබේ. මෙම තරුණියන් දෙදෙනා ආගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මිරිහාන සංක්‍රමණික රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබේ.

පසුගිය වසරේ හෙළිදරව් කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ පවත්වනු ලබන්නේ සිදුවීම් තුනක් සම්බන්ධයෙනි. එහෙත් රුසියානු සහ තායි ජාතික තරුණියන් රැකියා පොරොන්දුව මත ගෙන්වා ගණිකා සේවයේ යොදවන අවස්ථා පිළිබඳ පසුගිය වකවානුව පුරාම විවිධ අවස්ථාවල දී අනාවරණය විය. මේ කාන්තාවන් රට තුළට පැමිණෙන තුරු ඔවුන් පත්වී ඇති දුර්භාග්‍යයය ගැන දන්නේ නැත.

ජාවාරමට ගොදුරු වන සමහර වින්දිතයන් පරීක්ෂණවලට සහයෝගය දැක්වීමත් ප්‍රතික්ෂේප කර හැකි ඉක්මනින් රටින් පිටවීමට ඉල්ලා සිටින අවස්ථාත් වාර්තා වෙමින් තිබේ. නඩු කියන්නට ගොස් තවත් වසර කීපයක් රටේ ගත කරනවාට වඩා හැකි ඉක්මනින් පිටවී යෑම ඔවුහු අපේක්ෂා කරති. මක්නිසාද යත් මේ ජාවාරමේ ගොදුරු වන්නේ ධරිද්‍රතාවයේ පීඩනය දරාගත නොහැකි මිනිසුන් වීම නිසාය.

උපයා ගැනීමක් නැති තැන ඔවුන්ගේ ජීවිත නවතින්නේය. මෙවැනි අපරාධ වැළැක්වීමේ අභිලාෂය සහිතව මිනිස් ජාවාරම් සහ මිනිස් වෙ‍ෙළදාම වැටලීමේ විශේෂ කාර්ය සාධක බළකායක් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පිහිටුවා තිබේ. ඔවුන් මෙම සිදුවීම් පිළිබඳ වැඩිදුර විමර්ශනයට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළෙදාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රිය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. එම්. සමරකෝන් බණ්ඩා ය. ඔහු අපට කියන්නේ මේ වනවිට මිනිස් වෙළෙඳාම සම්බන්ධ සිදුවීම් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ලැබෙන බවය.

උස්බෙකිස්තාන් කාන්තාවන් ගෙන්වා ඇත්තේ ළමා රක්ෂණ පාලිකාවන් සහ හෝටල් සේවකයන් ලෙස රැකියා ලබා දීමේ පොරොන්දුවෙනි. ජවාරම සඳහා කාන්තාවන් ගෙන්වා වෙළඳාම් කරන සිද්ධි දෙකකි. ඉන් මුල් සිද්ධියට අදාළව නඩු පවරා අපරාධකාරියට දඬුවම් ලබා දී තිබේ. යළිත් ලිංගිකව අලෙවි කිරීම සඳහා උස්බෙකිස්තාන් කාන්තාවන් රටට ගෙන්වන්නේ මේ අපරාධයට වරදකාරිය වී දඬුවම් ලබන කාන්තාවගේ සැමියාය. ඒ සිද්ධිය සම්බන්ධව ද සැකකරුවන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු සූදානම් කර ඇති බව විමර්ශකයෝ කියති.

“ මේ සියලුම අපරාධ සිද්ධ වෙන්නෙ ‘ස්පා‘ ලේබලයට මුවා වෙලා. ඇත්තටම අපට වාර්තාවන සිද්ධි ගණන අඩුයි. අපට හසුවුණු මේ ජාවාරම් කරුවන් සම්බන්ධව විමර්ශන දීර්ඝ වශයෙන් පවත්වාගෙන යනවා. “ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා අපට තවත් වැදගත් පණිවිඩයක් දෙන්නේය. එනම් මිනිස් වෙළඳාම සම්බන්ධ ලිංගික අපරාධවලට රට තුළ දී විදෙස් කාන්තාවන් ලක්වන ප්‍රමාණයට වඩා ඉතා වැඩි ප්‍රමාණවලින් ශ්‍රී ලාංකේය කාන්තාවන් මැදපෙරදිග වැනි රටවල දී ලක්වෙමින් සිටින බවය. ඒ සඳහා පුළුල් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වුවත් ප්‍රතිඵල අල්ප බවත් ඔහු පවසන්නේය.

 

Comments