ලංකා බැංකු‍වෙන් BOC SME Circle | Page 2 | සිළුමිණ

ලංකා බැංකු‍වෙන් BOC SME Circle

රටේ ආර්ථිකයේ කොඳු නාරටිය ලෙස හඳුන්වා දිය හැකි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය නඟාසිටුවීම වෙනුවෙන් වසර 82 ක් විවිධ වූ සේවාවන් ලබා දෙන ලංකා බැංකුව, මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් වේ. ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ශක්තිමත් කිරීම පිළිබඳ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ද උපරිම සහයෝගය ලබා දෙන ආයතනයකි. ලංකා බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත ලබා දෙන සේවා තවදුරටත් ගුණාත්මක හා කාර්යක්ෂම කරමින්, එම සේවාවන් තම ගනුදෙනුකරුවන් වෙත වඩාත් සමීප කිරීම වෙනුවෙන්ම 'BOC SME Circle' නමින් විශේෂ ඒකකයක් ආරම්භ කිරීමට කටයුතු කර ඇති අතර, එය නිළ වශයෙන් විවෘත කිරීම 2022 ජනවාරි 03 වැනි දින ලංකා බැංකු ප්‍රධාන කාර්යාලයේ දී සිදු කෙරිණි.

ඒ වෙනුවෙන් සියලුම සෞඛ්‍ය මාරගෝපදේශයන් ට අනුකූලව පැවැත්වුණු උත්සවයේ දී ලංකා බැංකුවේ සභාපති කාංචන රත්වත්තේ, මහා කළමනාකරු කේ.ඊ.ඩී. සුමනසිරි හා අතිරේක මහා කළමනාකරු රසල් ෆොන්සේකා යන මහත්වරුන් විසින් BOC SME Circle විශේෂ ඒකකය විවෘත කරන ලද්දේ, නියෝජ්‍ය මහා කළමනාකරු (ආයතනික හා අක්වෙරළ බැංකු කටයුතු) ප්‍රියාල් සිල්වා, සහකාර මහා කළමනාකරු (සංවර්ධන බැංකුකරණ) ඩී.ඒ.එස්.එස්. විමලසිරි හා ප්‍රධාන කළමනාකාරිණී ආර්. පී. එල්. අයි. රණසිංහ යන මහත්ම මහත්මීන්ගේ ආරාධනයෙනි.

'BOC SME Circle' පිළිබඳ අදහස් දක්වමින් ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාර (ආයතනික හා අක්වෙරළ බැංකු කටයුතු) ප්‍රියාල් සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙවන් අදහසකි. "විවිධ ව්‍යාපාරික අරමුණු සහ සැලසුම් සහිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අප වෙත පැමිණෙනවා. එසේ පැමිණෙන ගනුදෙනුකරුවන් අපට කාණ්ඩ තුනකට වෙන් කර දක්වන්න පුළුවන්. පළමු කාණ්ඩයට අයත් ගනුදෙනුකරුවන් සතුව තිබෙන්නේ ව්‍යාපාරයක් පිළිබඳව අදහසක් පමණයි. ඒ වගේ ම දෙවන කාණ්ඩය තම ව්‍යාපාරික අදහස යම් තාක් දුරකට ක්‍රියාවට නංවා තිබෙන පිරිසක්. තුන්වන පාර්ශ්වය මේ වෙනකොට තමන්ගේ ව්‍යාපාර සාර්ථකව ගොඩනඟාගෙන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත පිවිසීමේ අරමුණින් සිටින අය යි. අපි අද ආරම්භ කරන 'BOC SME Circle' විශේෂ ඒකකය මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නව ව්‍යාපාරික අදහස් ව්‍යාපාරයක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ මූල්‍ය සහයෝගය වගේම ව්‍යාපාරයන් සාර්ථකව ගොඩනගා ගැනීමට සහ ය ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන යාම දක්වා අවශ්‍ය සියලුම සහයෝගය ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහයෝගය ලබාදීම සඳහා BOC Export Circle විශේෂ අපනයන ඒකකයට අමතරව අපනයන සංවර්ධන මණ්ඩලය, කාර්මික තාක්ෂණික ආයතනය හා කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුව වැනි රාජ්‍ය ආයතන රැසක් 'BOC SME Circle' විශේෂ ඒකකය සමග අත්වැල් බැඳගෙන සිටින බවත්, මතක් කළ යුතුම කරුණක්..."

මෙරට සියලුම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දැනුමින් හා මූල්‍ය අංශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණ පෙරදැරි කරගනිමින් ක්‍රියාත්මක වන 'BOC SME Circle' විශේෂ ඒකකය දිවයිනේ සියලුම ගනුදෙනුකාර භවතුන් සඳහා සේවා සැපයීමට ලංකා බැංකුවේ මූලස්ථාන ගොඩනැගිල්ලෙහි පළමු මහලේ ස්ථාපිත කර ඇත. එමෙන්ම කෑගල්ල, පොළොන්නරුව, මාතලේ සහ මොණරාගල යන ප්‍රදේශවල විවෘත වන SME ඒකක (Units) සමග ඒකාබද්ධව ක්‍රියා කරමින් ගම් මට්ටමේ ගනුදෙනුකාර භවතුන් දක්වා තම සේවාවන් පුළුල් කිරීමට ලංකා බැංකුව කටයුතු කරයි.

 

Comments