කොත්මලේ කිරි සමාගම වෙතින් තිරසර සංවර්ධනයට පුරෝගාමී නව ප්‍රවේශයක් | සිළුමිණ

කොත්මලේ කිරි සමාගම වෙතින් තිරසර සංවර්ධනයට පුරෝගාමී නව ප්‍රවේශයක්

කාගිල්ස්හි අනුබද්ධ ආයතන දෙකක් වන කොත්මලේ කිරි නිෂ්පාදන සහ Cargills Quality Dairies කාබන් පියසටහන් සනාථ කිරීම සම්පූර්ණ කළ පළමු ශ්‍රී ලාංකීය කිරි නිෂ්පාදන ආයතන බවට පත්විය. මෙම සත්‍යාපනය කිරීම් පරිසර අමාත්‍යාංශයේ අදහසට අනුව ශ්‍රී ලංකා දේශගුණ අරමුදල හරහා පවත්වන ලද්දකි. සමාගම් දෙකම සිය කාබන් පියසටහන් පිළිබඳ ස්වේච්ඡාවෙන්ම ඇගයුමකට සහභාගි වූ අතර 2020 වසර සඳහා හරිතාගාර වායුවිමෝචන ඇගයුම සාර්ථකව සම්පූර්ණ කිරීමට සමාගම් දෙකම සමත් වීම විශේෂත්වයකි.

මෙම කාබන් පියසටහන් සත්‍යාපනය සමාගම් දෙකටම ඔවුන්ගේ වර්තමාන පාරිසරික බලපෑම මැන බැලීමට සහ අනාගතයේදී කාබන් ශුන්‍ය තත්ත්වයට පත්වීමට ක්‍රමානුකූලව හරිතාගාර වායුවිමෝචනය අවම කිරීමේ ඉලක්ක සැකසීමට උපකාරී වනු ඇත. ශ්‍රී ලංකාවේ විශාලතම ඒකාබද්ධ කිරි නිෂ්පාදනාගාරය වන බඳුරාගොඩ පිහිටි Cargills Quality Dairies කර්මාන්තශාලාවේ සූර්ය බලශක්ති උත්පාදන ධාරිතාව මෙගාවොට් 1.4කින් යුක්ත වන අතර එමඟින් සෑම වසරකම කිලෝ ග්‍රෑම් 35,000 ක කාබන්ඩයොක්සයිඩ් විමෝචනයක් වළක්වා ගත හැකිවේ. කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශයේ ජෛව විවිධත්වය වැඩිදියුණු කිරීම සඳහා සමාගම විසින් ගස් 2,000කට අධික ප්‍රමාණයක් සහිත පාරිසරික ස්වාරක්ෂක කලාපයක්ද ස්ථාපිත කර ඇත.

කර්මාන්ත ශාලාවේ මධ්‍යම ශීතකරණ ක්‍රියාවලිය පරිසරයට අවම බලපෑමක් ඇතිකරන අයුරින් ඉහළම ශීතකරණ කාර්යක්ෂමතාව (COP) සහිත වායුවක් භාවිත කර නිමවා ඇත. එසේම එහි ඕසෝන් ක්ෂයවීමේ හැකියාව (ODP) සහගෝලීය උෂ්ණත්වය ඉහළ යාමේ හැකියාව (GWP) ද ශුන්‍ය ලෙස සැලකේ.

සමාගම සිය කර්මාන්තශාලා පරිශ්‍රයේ ශක්තිමත් ජල කළමනාකරණ සහ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක් ද පවත්වාගෙන යන අතර වැසි ජලය රැස්කර ඒවා සිසිල්කරණය සඳහා භාවිත කරන අතර කර්මාන්තශාලාවෙන් පිටවන අපජලය R.O. තාක්ෂණය (Reverse Osmosis) මඟින් පිරිපහදු කර සිසිලන පද්ධති සඳහා යොදා ගනී. එසේම නිෂ්පාදන ක්‍රියාවලියේදී පිටවන අපද්‍රව්‍යවලින් 95% ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කරනු ලැබේ.

නිෂ්පාදන ක්‍රියාවලියෙන් ජනනය වන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්ලාස්ටික් නවීකරණය කරන ලද ඇස්ෆල්ට්කොන්ක්‍රීට් (PMAC)බවට පරිවර්තනය කිරීම සඳහා යවනු ලබන අතර එය කාගිල්ස් ෆුඩ්සිටි විසින් සිදුකරන ලද ප්ලාස්ටික් කාර්පාර්ක් ව්‍යාපෘතිය සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යයක් ලෙස භාවිත කරයි.

ඒ හරහා පුලුස්සා දමන හෝ කුණු ගොඩක ඉතිරිවන ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් සඳහා විසඳුමක් සැපයේ. එසේම සමාගම විසින් මැජික්, හෙවන්ලි අයිස්ක්‍රීම් ටබ්, කොත්මලේ චීස් වෙජස් සහ කොත්මලේ යෝගට් වැනි සිය නිෂ්පාදන සඳහා ද පරිසර හිතකාමී ඇසුරුම් හඳුන්වා දී ඇත්තේ ප්ලාස්ටික් භාවිතය අවම කිරීමටය. ඉක්මණින් දිරායන අමුද්‍රව්‍යවලින් සාදා ඇති කොත්මලේ කඩදාසි හැඳි, නිෂ්පාදන ක්‍රියාවලියේදී ප්ලාස්ටික් භාවිතය අතිවිශාල වශයෙන් අවම කිරීමට උපකාරී වේ.

Comments