සම්මාන 13ක් දිනූ The Gambling City | සිළුමිණ

සම්මාන 13ක් දිනූ The Gambling City

මම අවුරුදු 15ක්ම තත්පර 30ක් ඇතුළෙ හිටිය කෙනෙක් The Gambling City කෙටි චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රගීත් මානියංගම

අලෙවිකරණ සහ වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වූ ප්‍රගීත් මානියංගම විසින් අධ්‍යක්ෂණය කරන ලද The Gambling City කෙටි චිත්‍රපටය මේ වනවිට රටවල් 6ක දී සම්මාන 13ක් දිනා තිබෙනවා.

“The Gambling City” කෙටි චිත්‍රපටය ප්‍රගීත් මානියංගමගේ කුලුඳුල් චිත්‍රපට නිර්මාණය වන අතර එයට පාදක කරගගෙන තිබෙන්නේ මෙරට සමාජ අර්බුදයයි. මෙහි කතාව-තිර රචනය සිදු කර තිබෙන්නේත් ප්‍රගීත් මානියංගම විසින්මයි. සිළුමිණ රසඳුන මේ කතාබහ සම්මානිත වූ “The Gambling City” කෙටි චිත්‍රපටය ගැන ප්‍රගීත් මානියංගම සමඟ.

අලෙවිකරණ සහ වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ඉන්න ගමන් කොහොමද සිනමාවට යොමු වෙන්නේ

ඇත්තටම ගත්තොත් අලෙවිකරණ සහ වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයට එන්න පෙර සිටම මට ඕනේ වුණේ කෙටි චිත්‍රපට කරන්න සිනමාව එක්ක මගේ අනාගතය හදා ගන්න. නමුත් අපිටම මුදල් යොදවලා චිත්‍රපට කරන්න සල්ලි නැහැනේ. ඒ නිසා සල්ලි ප්‍රශ්නයෙන් ගොඩ එන්න තමා දැන්වීම් ක්ෂේත්‍රයට එන්නේ. එතකොට රස්සාව විදියට අවුරුදු 15ක් විතර මේ වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ඉන්නවා. මේ අවුරුදු 15 තුළ හැමදාම මට වුවමනාව තිබුණා චිත්‍රපට ක්ෂේත්‍රය පැත්තට එන්න. නමුත් මේ වෘත්තියේ තියෙන කාර්යබහුලකම එක්ක අවුරුදු 15ක්ම ගියා. මම පැන්ඩමික් කාලේ පොඩි බ්‍රේක් එකක් ගත්තා රස්සාවෙන්. ඒ කාලේ තමා ශුට් කරන්න පටන් ගත්තේ. මේ සඳහා දැන්වීම් ක්ෂේත්‍රයෙන් ගත්ත අත්දැකීම් වැදගත් වුණා. මම හැමදාම වැඩ කරපු ටීම් එකත් එක්ක ම තමා වැඩ කළේ.

සිනමාවට ආස කළේ කොයි කාලෙ ඉඳන්ද?

මම දන්නා තරමින් අපේ පරම්පරාවේ කවුරුත්ම මේ සිනමා ක්ෂේත්‍රයේ නැහැ. නමුත් මට සාමාන්‍ය පෙළ කළාට පස්සේ හිතුණා කලාව පැත්තට නැඹුරු වෙන්න. ඒ කාලේ ඉඳන් කවි ලියලා, පත්තර වලට කවි ලියලා; ඊට පස්සේ මාධ්‍යවේදියෙක් විදියට කටයුතු කරලා එතැනින් තමා වෙ‍ෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයට එන්නේ.

“The Gambling City” කෙටි චිත්‍රපටය ගැන කිව්වොත්

මම පෞද්ගලිකව හිතන දෙයක් සිනමාව තමයි මිනිසුන්ගේ ජිවිත ගැන කියන්න තියෙන හොඳම මාධ්‍යය කියලා. මට හිතුණා අපේ රටේ මිනිසුන්ගේ මේ වෙලාවේ ජිවිත සම්බන්ධයෙන් දරන මතය සහ අපේ මිනිසුන්ට බලපාන දේවල් ලංකාවේ සහ ලෝකයේ මිනිසුන්ට කියන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපේ රටේ දේශපාලනික, ආර්ථික සහ නීතිමය තත්ත්වය මිනිසුන්ගේ ජිවිතවලට බලපාන්නේ කොහොමද කියන එක. සැමට එක නීතියක් කිව්වට, ඒක කට වචනයට මිසක් එහෙම වෙන්නේ නැහැ. අපේ රටේ නීති පද්ධතියේ නෙවෙයි නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ ප්‍රශ්න තියෙන්නේ. අපිට තියෙන ප්‍රධාන අර්බුදය මෙතෙක් බිහිවුණු හැම පාලකයෙක්ම අපේ රටේ නීති පද්ධතියට හානි කරලා තියෙන්නේ. ඒ කරලා මිනිසුන්ට ඇඟිල්ල දික් කරනවා මිනිසුන් නීතිගරුක නැහැ කියලා. අනික අපේ රටේ විශාල ගොඩනැගිලි හැදුණට මිනිසුන්ගේ ජිවිත පස්සට යනවා මිසක් උඩට යන්නේ නැහැ. ඉතින් මේ බිල්ඩින් මැද්දේ බොහොම අමාරුවෙන් ගෙවන ජිවිත ගැන මට කියන්න වුවමනාවක් තිබුණා. ඒක තමා මම මගේ පළමු නිර්මාණයෙන් උත්සහ කළේ.

ඔබේ පළමු කෙටි චිත්‍රපටය සම්මාන රැසක් දිනා ගන්නවා, ඒ ගැන මොකද හිතෙන්නේ

ඇත්තටම මේ වෙද්දී මගේ වෘතාන්ත සිනමාපටය ලියලා ඉවරයි. ඒක කරන්න කලින් මට වුවමනාවක් තිබ්බා මට මාවම අත්හදා බලන්න. මොකද කණ්ඩායමක් එක්ක වැඩ කරන්න පුළුවන් ද කියන එක අත්හදා බලන්න. වෙ‍ෙළඳ දැන්වීමක් එක්ක වැඩ කරන විදිය සහ සිනමා නිර්මාණයක් එක්ක වැඩ කරන විදිය සම්පුර්ණයෙන්ම වෙනස්. වෙ‍ෙළඳ දැන්වීමක් තුළ තනිකරම තියෙන්නේ වෙ‍ෙළඳමය ගනුදෙනුවක්. නමුත් සිනමා නිර්මාණයක් කරද්දී වෙ‍ෙළඳ ගනුදෙනුවට එහා ගිය මානසික සහ ශාරීරික බැඳීමක් තියෙනවා. ඒක මට නිර්මාණයක් කරලම අත්හදා බලන්න හිතුණා. වෙ‍ෙළඳ දැන්වීමකට අපි ගන්නේ තත්පර 30යි. ඒ නිසා මම අවුරුදු 15ක්ම තත්පර 30ක් ඇතුළෙ හිටිය කෙනෙක්.

එතකොට සම්මාන උළෙලවල්වලට ඉදිරිපත් කළේ

මට ඕනේ වුණා මම දැක්ක, මම නිර්මාණය කරපු මේ කතාව අනිත් අය කොහොමද දකින්නේ කියන එක දැනගන්න. ඒ සඳහා තමා මම සම්මාන උළෙලවල්වලට ඉදිරිපත් කළේ. මේක ඇත්තටම අත්හදා බැලීමක්.

මේ සම්මාන ලැබීම ඔබේ ඊළඟ නිර්මාණයට අභියෝගයක් කියලා හිතෙන්නේ නැද්ද?

දැනට සම්මාන 13ක් ලැබිලා තියෙනවා. ඒ සම්මාන 13ම හිසරදයක් ඇත්තටම. ඕනෙම දෙයක් උඩට අරන් යන්න ලේසියි. නමුත් පවත්වාගෙන යන්නයි අමාරු. ඊළඟ එක සම්මාන බලාගෙන කරනවා කියන එක නෙවෙයි මම කියන්නේ, නමුත් ඊළඟ එකත් මේ මට්ටමින්ම පවත්වාගෙන යන්න ඕනේ. එක අතකින් මම මේ ටෙන්ෂන් එකට කැමතියි. ඒ අභියෝගය තමයි අපිව ඉදිරියට අරන් යන්නේ.

දැන් පිටපත සකස් කරන වෘතාන්ත සිනමා නිර්මාණයට පාදක වෙන්නේ මොන වගේ කතාවක් ද?

හැමෝටම තියෙනවනේ එක එක විලාස. මම හිතන්නේ මේ මිනිසුන්ගේ ජීවිත තුළ තියෙන දේ එළියට ගෙන්න ඕනේ කියන එක. මේ වෙද්දී පිටපත සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ තුළ මම කතා කරන්නේ ලංකාවේ පහළ පාන්තික මිනිසුන්ගේ ජිවිත ඇතුළේ තියෙන ඛේදවාචකයන් ගැන. පන්සල් පල්ලි කෝවිල් ගොඩක් තිබුණට ඒ යට මිනිසුන්ගේ ජිවිත ගොඩක් වළලා තියෙනවා. මම කියන්නේ කවදා හරි ඒ වළලපු භෂ්මාවශේෂ එළියට එනවා. සමහර විට ඒ දේවල් ගොඩ ගන්න කොට ඒ ගොඩ ගන්න කෙනා ආයෙමත් වැළලෙන්න පුළුවන්.

සාමාන්‍යයයෙන් ඔය වගේ ප්‍රශ්නයක් ඇහුවම උත්තර දෙන්නේ නැහැ. නමුත් මම විශ්වාස කරන්නේ මේ පත්තරේ කියවලා හරි මේ වගේ නිර්මාණයක් කවුරු හෝ හරි කරත් කමක් නැහැ. මම කියන්නේ මේ කතාව ලෝකයට කියන්න ඕනේ කියලා.

දැන් මෙයට නිෂ්පාදකවරයෙක් මුණගැහිලද හිටියේ

පැන්ඩමික් එකට කලින් හිතුවේ මම ම නිෂ්පාදනය කරනවා කියලා. කෙටි චිත්‍රපටයත් මම ම නිෂ්පාදනය කළේ. නමුත් දැන් මට නිෂ්පාදකයෙක් ඕනේ. වෙලා තියෙන්නේ මම හැම නිෂ්පාදකවරයෙක් එක්කම වැඩ කරන්න කැමති නැහැ. මම හැමදාම කියන දෙයක් නිෂ්පාදකවරයෙක් කියන්නේ සල්ලි වියදම් කිරීමම පමණක් නෙවෙයි. නිෂ්පාදක කියන්නේත් වෙන රෝල් එකක්.

මම හොයන නිෂ්පාදකවරයා ආර්ට් ගැන දැනුමක් තියෙන සිනමාවට ලැදියාවක් තියෙන සමාජයට වග කියන්න ඕනේ කියන හිතන කෙනෙක් වුණොත් තමයි මම වඩාත් කැමති. එහෙම අය හොයාගන්න අමාරුයි. බලමු අපි ඉතින් ඉස්සරහට.

 අනුෂා රණසිංහ

Comments