
අඳුන් ගිර නාට්‍යයේ ශ්‍රියානි ලෙස රඟන ආලෝකා ධනංජනී
- සමහරු මට කියනවා ඔය කරන්නේ ජීවිතයේම කොටසක් නේද කියලා
- මේ ක්ෂේත්‍රයට එනවා නම් හොඳ අධ්‍යයනයකින් සහ අවබෝධයකින් ඉන්න ඕනෑ
මාවනැල්ල සුන්දර ගම් පියසක හැදී වැඩුණු ඇයගේ සිහිනය වූයේ නිවේදිකාවක වීමයි. බැද්දවල ජාතික පාසලේ දක්ෂ ගායිකාවක් හා නිවේදිකාවක් ලෙස කැපී පෙනුණත් කලා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන්නට ඊට අස්ථාවක් නොවීය. පසුව රංගනය තෝරා ගත් ඇය අද වන විට ජනප්‍රිය නිළියක් වී හමාරය. රුව දුටු සැණින් ඔබට ඈ හැඳිනිය හැකිය. ඈ නමින් ආලෝකා ධනංජනීය. විවිධ නාළිකා ඔස්සේ මේ දිනවල ඇය රංගනයෙන් දායක වූ නිර්මාණ විකාශනය වේ. ඇය පසුගිය දිනෙක සිළුමිණ-රසඳුන සමඟ කතාබහකට එක් වුණේ මේ ආකාරයටයි.
ඔබ රංගනයට පිවිසෙන්නේ කොහොමද ?
මම 2017 වසරේ සිරස ෆිල්ම් ස්ටාර් තරගයට අයැදුම්පත් දානවා. පසුව තරගයේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවනවා. මම එහිදී තේරෙනවා. ඉන් පසු තරගය දිගටම පැවැත්වෙනවා. මම තරගයේ ජයග්‍රාහකයා වෙනවා. ඒ ආ ගමන් මාර්ගය තමා මගේ මේ ගමන් මාර්ගය සනිටුහන් කරන සංධිස්ථානය.
සිරස film star තරගයේ ඔබට ලැබෙන්නෙ කිනම් ස්ථානයක්ද?
හොඳම ප්‍රතිවීර ගැහැනු චරිතයට හිමි සම්මානය මම එහිදී ලබා ගන්නවා. ඒ සම්මානය තමයි මගේ ගමන් මාර්ගය වෙනස් කරන්නේ. ඒ වෙනස අද වෙන විට දුර ගමනක් ගිහිල්ලා. ඒ දුර ගමනට උදව් කරපු සියලු දෙනාට බොහොම පින් කියන්න මම මේක අවස්ථාවක් කර ගන්නවා.
ඔබ මුලින්ම සම්බන්ධ වෙන නිර්මාණය මොකක්ද ?
මම මුලින්ම සම්බන්ධ වුණේ සම්බෝලය වෙෙළඳ දැන්වීමකටයි. ඊළඟ නිර්මාණය වන්නේ සිද්ධාර්ථ ගෞතම ටෙලිනාට්‍යයයි.
මේ දිනවල ඔබ නාළිකා කිහිපයකම කතාබහට ලක්වෙන චරිතයක් නේද?
මේ දිනවල අඳුන් ගිර සහ කොළඹ ඉතාලිය කියන මම රංගනයෙන් දායක වු නාට්‍ය දෙකක් විකාශනය වෙනවා. අඳුන් ගිර නාට්‍යයේ ශ්‍රියානි කියලා චරිතයත් කොළඹ ඉතාලියේ ඊෂා ලෙසත් රඟපානවා.
ක්ෂේත්‍රයට ඇවිත් කෙටි කාලයක් තුළ ටෙලිනාට්‍යවලට වගේම චිත්‍රපටවල රඟපාන්න ඔබ වාසනාවන්ත වුණා?
දැනට මම ටෙලිනාට්‍ය නාට්‍ය කිහිපයකම රඟපාලා තියෙනවා. සකල ගුරු, අඩෝ, ගරුඩ මූර්තය, ජීවිතේ ඇති තුරා, සක්කාරං, ඉරු දේව, කොළඔ ඉතාලිය, අඳුන් ගිර, ඒ වගේම චිත්‍රපට දෙකකටත් දායක වෙනවා. සනත් අබේසේකරගේ ගුත්තිල, සනත් ගුණතිලකගේ ගැහැනු යන චිත්‍රපට දෙකට තමයි මම මුලින්ම දායක වෙන්නේ.
චරිත තෝරා ගැනීමේදී ඔබ පිටපත ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා කියලා කියනවා ?
ඔව්. මම ඒ ගැන සැලකිල්ලක් දක්වනවා. මොකද සමහර චරිත ඕනෑවට එපාවට ලියන චරිතයි තියෙන්නේ. තිර පිටපත් රචකයෝ, සමහර වෙලාවට චරිතය ගලා යන විට වෙනත් චරිත ගෙනල්ලා ඔබ්බවනවා. එතකොට වෙන්නේ ප්‍රධාන චරිතය කරන නිළියට හෝ නළුවාට කරන්නේ අසාධාරණයක්. ඒකට මම නම් කැමැති නැහැ. ඒ නිසා මම තිර පිටපත ගැන විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඒ විතරක් නෙවෙයි. සමහර වෙලාවට අධ්‍යක්ෂකවරයාට හා නිෂ්පාදකවරයාට ඕන වුණොත් තවත් චරිතයක් මැදට ගෙනල්ලා දානවා. ඒකෙන් ගොඩක් නිර්මාණත් අසාර්ථක වෙනවා.
නිර්මාණයක සාර්ථක බව ඔබ දකින්නේ කොහොමද?
හොඳ තිර පිටපතක් රචනා කරලා තියෙනවා නම්, දක්ෂ අධ්‍යක්ෂවරයෙක් ඉන්නවා නම්, එයට දායකත්වය දක්වන නිෂ්පාදකවරයාය ශක්තිමත් නම්, හොඳ නිර්මාණයක් බිහිවෙනවා.
ඔබ කියන්නේ දැන් නිෂ්පාදනය වන නිර්මාණ සාර්ථක ඒවා නොවන බවද ?
නෑ. ගොඩක් ඒවා සාර්ථකයි. ඒ අතර කොපි කරපු නිර්මාණ තමයි ගොඩක් තියෙන්නේ. සමහර නාළිකාවල බලපුවාම ඒවා කොපි නිර්මාණ කියලා හොඳට පේනවා. වෙනත් රටවල්වල නිෂ්පාදනය කරපු චිත්‍රපට හා ටෙලි නාට්‍යවල පිටපත් එහෙම පිටින්ම තියෙන්නෙ. අපේ කියලා අනන්‍යතාවක් ඕන නිසයි මම එහෙම කියන්නේ.
මේ දවස්වල විකාශනය වන අඳුන්ගිර නාට්‍යයේ ශ්‍රියානිගේ චරිතය ඔබේ ජීවිතයට සමීපයි නේද?
සමහරු මට කියනවා ඔය කරන්නේ ජීවිතයේම කොටසක් නේද කියලා. ඒ වෙලාවට මම උත්තර නොදී ඉන්නවා. මොකද තමන්ගේ කොල්ලා වෙනුවෙන් පණ දෙන්න වුණත් කෙල්ලෝ ඉන්නවා නේද කියලා. කොහොම වුණත් මම චරිතයට සාධාරණයක් ඉෂ්ට සිද්ධ කරලා තියෙනවා කියලා ඒකෙන් පේනවා. මට ඒකට සතුටකුයි දැනෙන්නේ. ඒ කියන්නේ තිරපිටපත් රචකයා සහ අධ්‍යක්ෂවරයා සාර්ථකයි කියලා. ඒ දෙන්නා විතරක් නෙවෙයි නිෂ්පාදකවරයා ඇතුළුව ඒ වටා ඉන්න සියලුම කට්ටිය ඊට ඇතුළත්.
ඇතැම් අධ්‍යක්ෂකවරු හා නිෂ්පාදකවරු නිළියන් තෝරා ගැනීමේදී විශේෂ සැලකිල්ලක් දක්වනවා නේද?
සමහර නිළියන්ට නම් එහෙම සැලකිලි දක්වනවා ඇති. මට නම් එහෙම සැලකිල්ලක් දක්වන්න ඇවිල්ලා නෑ. ඒ වගේ දේවල් සිදුවෙනවා වෙන්න පුළුවන්. මේ ක්ෂේත්‍රයට එනවා නම් හොඳ අධ්‍යයනයකින් සහ අවබෝධයකින් ඉන්න ඕනෑ.
ජනප්‍රියත්වය පසුපස හඹායන නිළියන් අතරට ඔබත් එකතු වෙලාද?
කොහෙත්ම නෑ. දැනට රඟපාපු සියලුම චරිත ලැබුණේ මම මීට කලින් රඟපාපු නිර්මාණ දැකලා. අනික මම ක්ෂේත්‍රයට ආධුනිකයි. දැනට මම මේ ක්ෂේත්‍රය තුළ හඳුනාගෙන තියෙන පුද්ගලයන් අතළොස්සයි. මම වඩාත් කැමති, ආරාධනාවක් ලැබිලා නිර්මාණයක් ලැබෙනවාට මිසක් නිර්මාණයක් ඉල්ලගෙන රඟපාන්න නෙවෙයි.
ඹබට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය කොහොමද ?
ඉතාම සතුටු වෙනවා. මොකද අපි වගේ අයට ප්‍රවීණයන්ගෙන් ලැබෙන ගුරුහරුකම් ඉතාම වටිනවා. ඔවුන්ගෙන් ලැබුණ සහයෝගය නැත්නම් මට නම් මෙච්චර ගමනක් යන්න ලැබෙන්නේ නැහැ. අපි ඔවුන්ට ගරු කළොත් පමණයි පෙරළා අපටත් ඒ ගරුත්වය ලැබෙන්නේ. මම දකින විදියට ගොඩක් අයගෙන් ප්‍රවීණයන්ට සහයෝගයක් සහ ගරුත්වයක් ලැබෙන්නේ නැහැ. ඒ ගරුත්වය පිදීම හදවතින් එන්න ඕනි.
ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?
දුම්කොළ මහත්තයා. නිමල් රත්නායකගේ අලුත් නිර්මාණයකුත් එන්න තියෙනවා. ඒ වගේම දෙරණ නාළිකාවේ විකාශනය වූ පොදු නාට්‍යයේ දෙවන කොටසත් ලෑස්ති යි. ඕවා තමා. තව නිර්මාණ කිහිපයකටත් කතා කරලා තියෙනවා. තව සිනමා නිර්මාණ දෙකකුත් එන්න තියෙනවා.
කලා කටයුතුවලට ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද ?
අම්මා දැනට විදේශගත වෙලා ඉන්නේ. හැමදාම මම රංගනයෙන් දායක වුණු නිර්මාණ බලලා මට කමෙන්ට් කරනවා. තාත්තා මගේ පිටිපස්සෙ ඉඳගෙන මට යෝධ ශක්තියක් දෙනවා. ඒ යෝධ ශක්තීන් නිසා මම ඉදිරියට යනවා.
මේ යන ගමන් මඟ වෙනස් කරන්නේ කවදා ද?
මම ඒ ගැන තාම හිතලා නෑ.
නිශ්ශංක විජේරත්න