ඔබේ පෞරුෂත්වය ඔප් නංවන කොණ්ඩය ගැනත් හිතන්න | සිළුමිණ

ඔබේ පෞරුෂත්වය ඔප් නංවන කොණ්ඩය ගැනත් හිතන්න

  • වර්ණ ගැන්වීමට පෙර ඔබේ රැකියාව ගැන සිතීම අනිවාර්යයි
  • ආවාට ගියාට ෂැම්පු, කන්ඩිෂනර් දාන්න එපා

කොණ්ඩය යනු යුවතියන්ගේ සුන්දරත්වය වැඩි කරනු ලබන ප්‍රධාන අංගයකි. පංච කල්‍යාණියෙන් එක් කොටසක් ලෙසද හිසකෙස් හැඳින්විය හැකිය. ඔබ අනිවාර්යෙන්ම ඔබට ගැළපෙන, ඔබේ රැකියාවට ගැළපෙන, ඔබේ පෞරුෂයට ගැළපෙන ආකාරයට ඔබේ කොණ්ඩා විලාසිතාවක් සිදු කර ගැනීමෙන් ඔබේ සුන්දරත්වය වැඩිදියුණු වෙයි. ඉතින් ඔබට සුදුසු කොණ්ඩා විලාසිතාවක් තෝරා ගන්නේ කෙසේද යන්න ගැන මෙවර ඔබව දැනුම්වත් කරන්නේ සිංගපූරුව, මාලදිවයින, නෙදර්ලන්තය වගේම මාලදිවයිනෙහිද පුහුණුව ලැබූ ප්‍රවීණ රූපලාවණ‍ය ශිල්පිනි ආරෝෂි කෞෂල්‍යා හේරත් ය.

අද අපි කතා කරන්න බලාපොරොත්තු වනේනෙ කොණ්ඩා විලසිතා ගැන. අපේ හිස් කබලෙහි පොලිකස්ල් ලක්ෂ ගණනක් තිබෙනවා වගේම අපි වයසට යෑමත් සමඟම මේ පොලිකල්ස් අඩුවීමක් සිදු වෙනවා. එවිට වයසට යෑමත් සමඟ හිසකෙස් ප්‍රමාණයත් අඩුවෙනවා. කෙස් ගසක් වර්ධනය වන විවිධ අවදි තිබෙනවා. අවුරුදු දෙකත් අවුරුදු අටත් වගේ කාලයක් තමයි අපේ මේ කෙස් ගස් වර්ධනය වෙනු ලබන්නෙ. පසුව කෙස් ගසෙහි වර්ධනය නැති වෙනවා වගේම සති හතරත් හයත් වගේ කාලයක් කෙස් ගස හිස් කබලෙහි රැඳී පසුව එය ගැලවී යනවා. මේ විදියට තමයි කෙස් ගසේ වර්ධන අවධිය පසු වෙන්නෙ.

ඇත්තටම ලස්සන නිරෝගීමත් කෙස් කලඹක් කියන්නෙ හැම කාන්තාවකගේම සිහිනයක්. අපි බලමු ෂැම්පු එකක්, තෙල් එකක්, කන්ඩිෂනර් එකක් අපේ කෙස් කලඹ ලස්සනට පවත්වා ගැනීමට තෝරා ගන්නෙ කොහොමද කියලා. ඒ වගේම කොණ්ඩය කැඩෙන ප්‍රශ්නය නවතා ගන්නේ කෙසේද යනුවෙනුත් අපි මෙම ලිපිය මඟින් විමසා බලමු. අපි කොණ්ඩයට ෂැම්පු එකක් තෝරා ගන්න විට හිතන්නට අවශ්‍ය කරුණු රාශියක් තිබෙනවා. එකක් නම් අපේ කොණ්ඩයහි ස්වභාවය. එනම් අපේ කොණ්ඩය තෙල් සහිතද වියළිද කියන එක. මුලින්ම අපේ හිස් කබලෙහි හිස් හොරි තිබෙනවාද යන්න බලන්න. වියළි කොණ්ඩයක් තිබෙන කෙනෙක් නම් තෙතමනය තිබෙන ෂැම්පු එකක් භාවිත කළ යුතුයි. ඒ වගේම ඔබ නිවසේ රැඳී සිටින කෙනකු නම් හෝ නිවසින් පිටතට යන කෙනකු නම් එවිට ද ඔබේ ෂැම්පු එක වෙනස් විය යුතුය. කන්ඩිෂනර් එකකින් හිසකෙස්වල තෙතමනය ආරක්ෂා කරනවා වගේම හිසකෙස් කැඩීයන එක අවම කරනවා. ඒ වගේම හෙයා ඔයිල් එකක් භාවිත කිරීමේදී නාන්න පැයකට දෙකකට කලින් හෙයා ඔයිල් එකක් භාවිත කරන්න. ඔබ කොපමණ තෙල් ආලේප කරත් හිස් කබලට තෙල් උරා ගන්නා සීමාවක් තිබෙනවා. ඒ නිසා දවසම ඔයිල් භාවිත කළත් කිසිදු ප්‍රයෝජනයක් නැහැ.

හිසකෙස් වර්ධනය පිළිබඳ විමසා බැලීමේදි දවසට අපේ හිසකෙස් වර්ධනය මිලිමීටර් තුනත් පහත් අතර ප්‍රමාණයට වැවෙනවා. මාසයකට අගල් භාගයක් වැවෙනවා වගේම අවුරුද්දකට අගල් පහක් හයක් වගේ ප්‍රමාණයක් වැවෙනවා.එය සාමාන්‍ය ක්‍රියාවලිය වුණත් එක එක්කෙනා අනුව වැවෙන වේගය වෙනස්. සමහර පුද්ගලයන්ගෙ බොහොම හෙමින් වගේම සමහර අයගෙ බොහෝ ඉක්මනින් වැවෙනවා. වයසට යෑමත් සමඟ හිසකෙස් වැවෙන ප්‍රමාණය අඩු වෙනවා වගේම එයට ජානමය බලපෑමකුත් තිබෙනවා. එසේම විවිධ රෝග , පෝෂණය අඩු වීම, මානසික ආතතිය වගේ දේවල් කොණ්ඩය වර්ධනයට බලපානවා. කොණ්ඩය වැවෙන්න නම් අපි අභ්‍යන්තර පෝෂණය වගේම විටමින් ගන්නට අවශ්‍යයි. පෝෂණ ඌණතාවයක් තිබෙනවා නම් වෛද්‍යවරයකු මුණ ගැසි ප්‍රතිකාර ලබා ගන්න. ඒ වගේම ප්‍රෝටීන් සහිත ආහාර, යකඩ, කැල්සියම් ආදිය අපි ගන්නට අවශ්‍යයි. විටමින් ඔබ ලබා ගන්නවා නම් අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

අද බොහෝ කාන්තාවන් කොණ්ඩය වර්ණ ගන්වනවා.වර්ණය වුණත් තමන්ගෙ මුහුණට ගැළපෙනවාද කියන දෙය අපි සිතන්නට අවශ්‍යයි. අනෙක් කරුණ නම් අපේ රැකියාව ගැන අපි බොහොමයක් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි වර්ණ ගැන්වීමේදී. තමන්ගෙ වෘත්තියට ගැළපෙන ලෙස කොණ්ඩය වර්ණ ගන්වා ගත යුතුයි. අපි විලාසිතා කිරීමේදී ඒ පිළිබඳ විදියට සැලකිලිමත් විය යුතුයි. ඊළඟ කාරණාව නම් සමහර කොණ්ඩ වර්ණක මුහුණට ගැළපෙන්නෙ නැහැ.බොහෝ අය රූපලාවණ්‍යාගාරවලට යන්නෙ නැතුව නිවසේ සිට මේ කොණ්ඩ වර්ණක ගල්වන්න පුරුදු වෙලා තිබෙනවා.

එහිදි වර්ණක ගල්වා කොණ්ඩය සෝදන්නෙ මුහුණ දෙසට හරවලා. එතකොට ඒ කෙමිකල් එක මුණ දිගේ ගලාගෙන යනවා. ඇහැට ගියොත් ඇස් පෙනීම පවා දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේම ටික කාලයක් යනවිට ප්‍රිග්මන්ටේෂන් පවා මුහුණේ ඇතිවිය හැකියි. ඒ වගේම ගැහැණු අයගේ හෝමෝන වෙනස් වන නිසා අද හරියන වර්ණකය හෙට වෙනස් විය හැකියි. පසුව එය ඇලජික් එකක් බවට පත්වනවා. ඒ නිසා හැම තිස්සෙම වර්ණයක් පාවිච්චි කරන විට පරීක්ෂණයක් සිදු කර භාවිත කරන්න.

ඒ වගේම රිබොන්ඩින් සහ රිලැක්ස් සහ ස්ට්‍රේට් කිරීමේදී යම්කිසි රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට සිදු වෙනවා. මේ දේවල් කරනවිට නිසි ආකාරයට කොණ්ඩයට සත්කාර කළ යුතුයි. උණු වතුර ආදිය භාවිත කරන විට කොණ්ඩය යෑමට පටන් ගන්නවා. ඒ වගේම තද රස්නය සහිත අයන් එකක් භාවිත කරන විට කොණ්ඩයේ කෙරටින් නැතුව යනවා. එවිට ඔයිල් ට්‍රිට්මන්ට් කන්ඩිෂනර් ට්‍රිට්මන්ට් ආදිය නිතරම සිදු කළ යුතුයි. ඊළඟට කෙරටින් සත්කාරයක් කුමක්ද යන්න විමසා බැලීමේදී කෙරටින් යනු කෙස් ගසෙහි තිබෙන ප්‍රෝටීන් එකකි. එය තද අවුවට යෑමෙන් ක්‍රමයෙන් විනාශ වේ. එවිට කොණ්ඩය දුඹුරු පැහැ ගැන්වී ඇත. කෙරටින් සත්කාරයකදි කෙරටින් කොණ්ඩයට දැමීමක් සිදු වේ. එය මාස තුනකට සැරයක් වත් කිරීම වැදගත් ය.

අපේ පෙනුම කාලයෙන් කාලයට වෙනස් කර ගැනීම ට අපි කැමතියි. බොහෝ දෙනකු කරන්නෙ ලෙයර් එකක් හෝ කොණ්ඩය කැපීමට බොහෝ දෙනෙකු පුරුදු වී සිටිනවා .රවුම් මුහුණක් නම් මහතට පළලට පේනවා නම් එයට සිදු කළ යුත්තේ පළල අඩු කර පෙන්වන හෙයා කට් එකක් කැපීමයි. මෙයට සුදුසුම දේ ලෙයර් කට් එකක් කැපීමයි. මුහුණ ගොඩක් පළල අයට සුදුසුම දේ වන්නෙ බෙන් කට් එකයි. හතරැස් මුහුණකට දිග සහ පළල් මුහුණකට බොහෝවිට ගැළපෙන්නෙ ලූස් හෙයා කට් ය. ඒ වගේම හදවත් හැඩයේ මුහුණ එනම් ඇහි බැම ළඟින් මුහුණෙ පලල් හැඩය සහ නිකට ළඟින් අඩු වුණු මුහුණකට පහළින් ලෙයර් කට් එකක් හෝ කර්ලි කොණ්ඩයක් සුදුසුය. මුහුණට සුදුසු කොණ්ඩ විලාසිතාවක් කිරීමේදී ඔබ ඒ පිළිබඳ පළපුරුදු කෙනකුගෙන් උපදෙස් ලබා ගන්න.

එසේම කොණ්ඩය බොහෝ දිග වීමත් එක අතකට අපහසු කරුණකි. නමුත් බොහෝ යුවතියන් එයට කැමතිය.කොණ්ඩය දිග වීමෙන් තාරුණ්‍යයේ සුන්දරත්වය මනාවට පෙන්නුම් කළත් වයසට යනවිට කොණ්ඩය ගැලවී යයි. එවිට වයසක පෙනුමක් ලැබෙයි. ඒ නිසා ඔබේ මුහුණට ගැළපෙන, රැකියාවට ගැළපෙන, මුහුණට ගැළපෙන, සුදුසු කොණ්ඩා විලාසිතාවක් සිදු කිරීමෙන් ඔබේ සුන්දරත්වය තව තවත් වැඩි දියුණු වෙයි.

 සචිනි බස්නායක

 

Comments