ඇගයිය යුතු විශිෂ්ටත්වය සහ බෙනට්ගේ භීතිය ‘කවුරුවත් දන්නෙ නෑ’ | සිළුමිණ

ඇගයිය යුතු විශිෂ්ටත්වය සහ බෙනට්ගේ භීතිය ‘කවුරුවත් දන්නෙ නෑ’

ප්‍රවීණ චිත්‍රපට අධ්‍ය­ක්ෂ­ බෙනට් රත්නා­යක

දේශපාලන විෂය බහුතරයකට නීරස ය. ඇතැමෙකුට සතුට දනවයි. විශාල පරාසයක් පුරා පැතිරී පවතින මෙම ප්‍රස්තුතය ඉඳහිට අපේ සිංහල සිනමාව තුළ ඍජුව කතාබහට ලක්වේ. බෙනට් රත්නායක විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘කවුරුවත් දන්නෙ නෑ‘ චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා තිරගත වන්නේ දේශපාලනය ඍජුව මතු කරන ලද චිත්‍රපටයක් ලෙස ය.

රටේ සියලුම දෙනා පවතින දේශපාලනයට දැනුම්වත්ව හෝ නොදැනුම්වත්ව හෝ සම්බන්ධවී ඇති මෙකල කැබිනට් ඇමැතිවරයෙකු පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයන් හා බැදුණු කතාවක් බෙනට් රත්නායක විසින් ම සකසා චූලාභය ශාන්ත කුමාර හේරත් සමඟ එක්වී තිර රචනයකට සකසා ඇත.

ප්‍රථමයෙන් ම මෙම චිත්‍රපටයේ ඇගයිය යුතු ම කරුණ වන්නේ චිත්‍රපටයේ චරිත සඳහා නළු නිළියන් තෝරා ගැනීමේ ප්‍රශස්ත එළඹුමයි. 

‘කවුරුත් දන්නෙ නෑ‘ චිත්‍රපටයේ රංගනයේ යෙදෙන සියලුම දෙනා හට තමන්ට රංගනයේ නිරත විය හැකි සුදුසුම චරිත ලැබී තිබේ. එමතුදු නොව බෙනට් රත්නායක අධ්‍යක්ෂවරයා විසින් ඔවුන් විශිෂ්ට ලෙස මෙහෙයවා ඇති අන්දම අප රටේ සිටිනා ඇතැම් ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ට ද ආදර්ශය සපයයි. රූප රාමු තුළ චරිත මෙහෙයවීම හෙවත් ‘කොරියෝග්‍රාෆ්‘ කිරීම තුළින් බෙනට් රත්නායක දක්වා ඇති දස්කම විශිෂ්ටය.

නව පරපුරේ කැමරා අධ්‍යක්ෂවරයෙකු වන ධනුෂ්ක ගුණතිලකගේ මනරම් කැමරාකරණයට ආලෝකකරණය සපයන ලද ආරියරත්න පෙරේරා ප්‍රමුඛ ශිල්පීන් කණ්ඩායම ලබාදී ඇති විශිෂ්ට දායකත්වය ලාංකේය සිනමාවට නැවුම් බලාපොරොත්තු ඇති කරයි. ප්‍රියන්ත දිසානායකගේ අංග රචනයේ දක්ෂතාත් සුජීව ගුණරත්නගේ කලා අධ්‍යක්ෂණයේ නිපුණතාත් චිත්‍රපටයේ තාත්විකත්වය ඉස්මතු කිරීමට නොමසුරුව උරදී ඇත.

මෑතකදී සිංහල චිත්‍රපටයකදී ඇසුණු තියුණු හා නැවුම් පසුබිම් සංගීතය මැවූ මිලින්ද තෙන්නකෝන් සිංහල සිනමාවේ ප්‍රවීණයන්ට පවා අභියෝගාත්මක වන ලකුණු පළ කරයි. ඇඳුම් නිර්මාණකරන ලද කුමාර කරම්දෙණිය මෙන් ම මෙහි ශබ්ද පරිපාලනය කළ අරුණ කළුආරච්චි ද සංස්කරණය කළ අජිත් රාමනායක ද එක මිටට එකතු වී මැව් මේ චමත්කාර ජනක චිත්‍රපටයට දිනිදු ජාගොඩගේ වර්ණ සංයෝජනය ලබාදී ඇති චමත්කාරය උද්යෝගිමත්ව චිත්‍රපටය නැරඹීමේ වරම් ලබාදේ.

එනමුදු මෙම චිත්‍රපටයේ කතාව ගලාගෙන යන අන්දම විමසා බැලීමේදී කෙනෙකුට විවිධ ප්‍රශ්න පැන නැඟීමේ බොහෝ ඉඩ පවතී. බෙනට් රත්නායක මෙම චිත්‍රපටයෙන් අරමුණු කරගත් ප්‍රකාශනය කවරේ ද?

දකුණු ඉන්දීය දෙමළ චිත්‍රපටයක නම් චිත්‍රපටයේ ආරම්භයේ හඳුන්වා දෙන චරිත ගැටුම් මැද අවසානයක් කරා ගෙන යෑම සුලභය.

දකුණු ඉන්දීය චිත්‍රපට කලාව මෙහිදී සඳහන් කළේ කවුරුවත් දන්නෙ නෑ චිත්‍රපටයේ අවසන හිතට නැඟෙන ව්‍යාකූල සිතුවිලි හේතුවෙනි.

පොල් ගෙඩි අටක් සොරකම් කළ දාහත් හැවිරිදි පාසල් දැරියගේ කතාව මතු කළයුතු නම් තිරරචනය ආරම්භයේ සිට ම ඇය ප්‍රමුඛව චරිත ගොඩනැඟිය යුතුය. නමුදු සිදුවන්නේ ඇයට පෙර වෙනත් චරිත ප්‍රේක්ෂකයාට හඳුන්වාදීමයි. චිත්‍රපටයේ මුල් භාගයේදී චිත්‍රපටයේ පරිබාහිර චරිත පළමුව ප්‍රේක්ෂකයා දැකීම තුළ තමා කතාව තුළ එල්ලෙන්නේ කවර චරිතය සමඟ දැයි නොදැන නරඹන්නා අතරමං වන බවක් දැනෙයි.

කුණු කන්ද ප්‍රතිචක්‍රීකරණයට රිසි විදෙස් සමාගමේ ව්‍යාපෘතිය අනුමැතියට සියයට 20 ක් කොමිස් මුදලක් ඉල්ලීම, ජනනායිකාවක (සංගීතා වීරරත්න) හා රෝයි (බුද්ධික ජයරත්න) තුළින් අතීත දේශපාලන චරිතයක් හා ඇය සමීපයේ සිටි උපදේශකයෙකු සිහිපත් කිරීම, පාසලට ළමුන් තිදෙනෙකු ඇතුළත් කිරීමට කරනු ලබන බලපෑමේ සිදුවීම මුඛ්‍ය කතාවට පරිබාහිරව එල්ලන ලද ආටෝපයන් ය. තම අරමුණු පරයා මතුවන ප්‍රකාශන දේශපාලනයේ ගොදුරුවීමකට බෙනට් පත්වී ඇති බව මෙවැනි සිදුවීම් කතාවට එක් කිරීම තුළින් ගම්‍ය වේ.

නිවැරැදිව තිරරචනය සැකසුමේ නම් කතාව රචනය විය යුත්තේ පළමුව සුධීරා (නිමේෂා ඈන්) ගේ පොල් ගෙඩි හොරකමත් ඊට මැදිහත්වන පොලිස් පරීක්ෂක වික්‍රම ලොකු බණ්ඩාරත් (බිමල් ජයකොඩි) අනතුරුව වත්තේ හිමිකරුවා වන කැබිනට් ඇමැති (ගිහාන් ප්‍රනාන්දු) ගේත් ගැටුමක් ලෙස ය. ඒ තුළින් ප්‍රබල කතාවක් ගොඩනැඟීමේ ඉඩ, කදිමට සැකසී තිබුණ ද එක කෘතියකින් බොහෝ දේ පැවසීමට යෑම තුළ රසවත් කතාවක් ගොඩනැඟීමේ අවස්ථාව බෙනට් අහිමි කරගෙන ඇත.

චිත්‍රපටය පුරාම දේශපාලයේ පවතින අඩු ලුහුඬුතා පෙන්වුව ද කවුරුවත් දන්නෙ නෑ චිත්‍රපටයේ අවසානය සකසා ඇති අන්දමින් පෙනී යන්නේ කලාකරුවෙකු ලෙස ඔහු තුළ පවතින නෝන්ජල් කමයි. දේශපාලන තේමාවක් තෝරා ගත්ත ද ‘උණු හින්දා බොන්නත් බැරි කිරි හින්දා අහක දාන්නත් බැරි තැනකට‘ තම කෘතිය නිමවා නතර වීමට බෙනට් රත්නායකට සිදුවීම ඛේදජනකය. එක්කෝ චිත්‍රපටය නැවැත්විය යුතුව තිබුණේ සුධීරා (නිමේෂා ඈන්) පරිවාස භාරයෙන් මිදී කොරිඩෝව දිගේ යන දර්ශනයෙනි. එතැන් සිට සකසන ලද අභව්‍ය දර්ශන පෙළ තුළින් මෙතෙක් අධ්‍යක්ෂවරයා පවත්වාගෙන පැමිණි ප්‍රශස්ත ගුණය දිය කරගත්තේ ඇයි? ඔහුගේ මනස වෙළාගෙන ඇති යම් භීතියක් ඔහුව පසු බෑමකට ලක් කලාවත් ද?

කෙසේ වුවද ‘කවුරුවත් දන්නෙ නෑ‘ සිනමා කෘතිය හොඳ සිනමා කෘතියකි.

මෙහි ප්‍රධාන චරිතයක් ප්‍රශස්තව මවන නිමේෂා ඈන් (සුධීරා) සිනමා බස මැනවින් හඳුනාගෙන විශිෂ්ට රංගනයක යෙදෙන බිමල් ජයකොඩි (පොලිස් පරීක්ෂක වික්‍රම), ඔහුගේ භාර්යාව ලෙස රඟන උදාරි වර්ණකුලසූරිය, වික්‍රමගේ මිතුරු පොලිස් පරීක්ෂක උදාර රත්නායක, ලෝරන්ස් (ඇඩම් ආඩම් අලී) නිලානි (ක්‍රිස්ටල් ඉමේරා) සුධීරාගේ මල්ලී (ශානී ප්‍රනාන්දු) පොලිස් අධිකාරී ගුණවර්ධන (ලකී ඩයස්), බෙනට් රත්නායකගේ අතින් නිමැවූ සොඳුරු මිණිකැට ය.

පරිවාස පාලිකාවගේ චරිතය මවන දුලීකා මාරපනට විකට චරිතයක් රඟපෑමේ දොල දුකක් පවතින බව පෙනේ. ගිහාන් ප්‍රනාන්දුට ඔහු මේ දිනවල වේදිකාවේ රඟන දේශපාලකයෙකුගේ චරිතයක් සමඟ තම ඇමැති චරිතය පටලවා ගෙන ඇති බව ද පෙනේ.

සංගීතා වීරරත්නගේ රංගනයෙන් පැහැදිලි වන්නේ අප රටේ සිටි දේශපාලන නායිකාවකගේ චරිතය නොව සංගීතා රටේ නායිකාව වුවහොත් හැසිරෙන අන්දම දැයි කුකුසක් මතුවේ. චිත්‍රපටයේ ප්‍රකාශිත දේශපාලනය තුළ බෙනට් පමණක් නොව ඔහුගේ පුත් උදාර ද ගොදුරකි. මතු මතු ද කෘති තුළින් දේශපාලනයේ යථාර්ථය බෙනට් රත්නායක වෙතින් අප්‍රකාශිතව පවතිනු ඇත.

Comments