හුදෙකලාව මතින් නැඟී සිටි සොඳුරු ගේය පද රචකයා ආචාර්ය රත්න ශ්‍රි විජේසිංහ | සිළුමිණ

හුදෙකලාව මතින් නැඟී සිටි සොඳුරු ගේය පද රචකයා ආචාර්ය රත්න ශ්‍රි විජේසිංහ

රත්න ශ්‍රි විජේසිංහ නම් වූ ඔහු ගුරුවරයකු ලෙසින් වෘත්තීය ජීවිතය අරඹා පසු කාලීනව ගාල්ල උණවටුන අමරසූරිය ගුරු විදුහලේ කථිකාචාර්ය වරයකු ලෙසින්ද ගුරු උපදේශකයකු ලෙසින් ද කටයුතු කළේය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථියකු වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකි. එමෙන්ම රුහුණු විශ්ව විද්‍යාලයේන් ආචාර්ය උපාධිය ලැබු රත්න ශ්‍රී පසුකාලීනව අමාත්‍යාංශ කිහිපයකම සේවය කළේය. එනමුදු ජනතාව අතර ජනප්‍රිය වන්නේ සොඳුරු බස් වහරකින් ගීතයෙන් කවියෙන් මිනිසුනට ජීවිතය කියා දෙන්නෙක් ලෙසය. ඔහු ලීයූ ගී සෑම එකක්ම පාහේ රසිකයා වැලඳගැනීම ඔහුගේ ජනප්‍රියත්වයේ සලකුණයි.

ඔයදෑල දොඩමලුය සුවඳ බැරුවා ඉන්ට 
නිල් වතුර තුරුලු කර කෙසේ අතහැර යම්ද 
කෙකටියා පඳුර සුදු මල් පොකුර වඩාගෙන 
සොඳුර නුඹ වාගේම හිනැහේය මා එක්ක...

අදින් වසර තිහකට පෙර අපේ සිංහල පන්තියේදී රසවිදි මේ කවිය එදා මෙන්ම තවමත් මතකයේ ඇත. ඒ කවි පෙළෙහි හිමිකරු ප්‍රවීණ කිවියර රත්න ශ්‍රී විජේසිංහයන්ය. වස්සානේ ඔහු ලියූ එක් කවි පෙළක් පමණි. රත්නශ්‍රී විජේසිංහයන් විසින් එදා මෙදා තුර ලියන ලද ගීත සංඛ්‍යාව හාරදහසකට ආසන්නය. ආදරණිය සිතුවිලි, මතකයන්. හදට කැන්දන, ගී පද ලියන මේ සොඳුරු මිනිසා සොයා පසු ගිය දිනෙක අපි මොරටුවේ වෙසෙන ඔහුගේ වැඩිමහල් දියණියගේ නිවෙසට ගියෙමු.

ගාල්ල නගරයේ සිට කිලෝමීටර විස්සක් පමණ ගිය විට හමුවන තෙලඹුරේ ගම්මානයේ උපන් රත්න ශ්‍රී පවුලේ එකම දරුවා විය. 1953 වසරේ ජූනි 2 වැනිදා උපන් ඔහුට සිය මවගේ උණුසුම ලබන්නට හැකි වුයේ අවුරුද්දකුත් දවස් 22ක් පමණි.

“මගෙ තාත්තා විජේසිංහ ආරච්චිගේ වෝල්ටර් මැන්දිස් විජේසිංහ. අම්මා පොල්පාගොඩ ගමගේ මැණික් හාමිනේ. අම්මා නැති වෙලා තියෙන්නේ 1954 ජූලි 24 වැනිදා. ඒ කියන්නේ මම ඉපදිලා අවුරුද්දකුත් දවස් විසි දෙකකට පස්සේ. අම්මාගේ ඥාති (ඒ කියන්නේ මට අත්තම්මා වෙන කෙනෙක්) මට කිරිදිලා තියෙන්නේ ඔළුව රෙද්දකින් වහගෙන. ටික කලකට පස්සේ තාත්තා ලොකු අම්මා සමඟ විවාහ වෙනවා. ඒ විවාහයෙන් පස්සේ අපේ පවුලට නංගිලා දෙන්නෙක් ලැබෙනවා. අපේ තාත්තා ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි.

මම පාසල් යන්නේ අවුරුදු හතරෙන්. මගේ මුල්ම පාසල ගා/නාවල කනිෂ්ඨ විද්‍යාලය. මගේ දෙවැනි පාසල වන්නේ තෙළඹුරේ විද්‍යාකාන්ති විද්‍යාලය. තුන්වැනියට මම යන්නේ තෙළඹුරේ දුටුගැමුණු විද්‍යාලය. තුනේ පන්තියේ ඉදලා මම ගියේ ඒ පාසලට. 1961 අවුරුද්දේ දී මට මගෙ තාත්තත් නැති වෙනවා. මට මහා දුකක් දැනෙනවා. මම අම්මයි තාත්තයි දෙන්නම අහිමි වුණ දරුවෙක් නේද කියලා. නමුත් මගෙ ආච්චි, ලොකු අම්මා, පුංචි අම්මලා මාව හොඳින් බලා ගන්නවා. මම නිවාඩු කාලයට හේන්, කුඹුරු වල ඇවිදිමින් මගේ ළමා විය ගෙවා දමනවා. ඔය අතර මම හයේ පන්තියේ ඉන්නකොට ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටිනවා. ගුණසේන පොත් සමාගමට මේ බව ලියලා යැව්වාම ඔවුන් මට එවනවා ශිෂ්‍යත්ව භාෂා පොත. ශිෂ්‍යත්වය සමත් වූ මම ඉන් පසුව හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලට ඇතුළත් වෙනවා. ඒ ඇතුළු වෙන්නේ හයේ පන්තියට.“

හික්කඩුව ශ්‍රී සුමංගල මහා විද්‍යාලයට ඇතුළත් වූ ඔහු පාසල් ගිය අලුත පාසල ඇරි නේවාසිකාගාරයට නොගොස් කෙළින්ම එන්නේ සිය නිවසටයි. එහෙත් ඔහුට නිවසේ රැදෙන්නට නොහැකි වන්නේ ඔහු සොයා පැමිණි පාසලේ ගුරුවරු යළිත් ඔහු රැගෙන ගිය නිසාය. ක්‍රමයෙන් අලුත් පාසලටත් නේවාසිකාගාරයටත් හුරුවන ඔහු නේවාසිකාගාරයේදී දැනෙන දැඩි පාළුව මඟ හරවා ගන්නට පොත පත කියවීමට හුරුවන්නේය. ඒ සමඟම ඔහු කවි කතා ආදි දේ ලියන්නට ද හුරුවන්නේය. බාල වියේ සිටම ලියන්නට හුරු වූ ඔහු පුවත් පතකට කවියක් ලියා තෑග්ගත් ලබන්නේය.

මට මතකයි ඒ කාලේ ටිකිරි ළමා පත්තරය තිබුණා. ගීතාංජලි කවි පත්තරය අඟහරුවාදාට තියෙනවා. බදාදාට ඉරණම පත්තරය. බ්‍රහස්පතින්දාට රසකතා පත්තරය වගේම සිකුරාදාට විසිතුර පත්තරය එනවා. අපි මේ පත්තර ඔක්කෝම කියවනවා. ඒ කාලේ ගිතාංජලි පත්තරේ කර්තෘ වෙලා හිටියේ ගාල්ලේ ජෝන් රජදාස කවියා. හික්කඩුවේ තිබුණා තිරාණගම ස්ටෝර්ස් කියලා කඩයක්. මේ කඩේ තිබුණේ අපේ ඉස්කෝලේ ගාව ඉදලා කිලෝමිටර දෙකක් විතර දුරින්. නමුත් අපි මේ කඩේට ගිහිල්ලා පත්තරය අරගෙන එනවා. මට මතකයි එක දවසක් තිබුණා පත්තරේ පින්තූරයක්. ඒ පින්තූරයට අපට කවි ලියලා යවන්න පුළුවන්. එදා පත්තරේ තිබුණේ කොල්ලෑවයි තරුණ කාන්තාවකුයි ඉන්න පින්තූරයක්. මම මේකට කවියක් ලියලා තැපැල් කළා.

“මල් මල් චීත්තය තිත් හැට්ටයකි හැඩ 
බොල් මුතුපට ගෙලෙහි හීල් කූඩයෙහි අත 
කොල්ලෑවට නැගී පෑවත් සිනහා වත 
කෙල්ලේ ඔබට තව ඔරු පැද පුරුදු නැත...“

මම මේ යවපු කවිය පළමු තැනට තේරිලා මට රුපියල් 25ක තැග්ගක් ලැබුණා. ඒ වෙනකොට මම ඉස්කෝලේ හතේ පන්තියේ ඉගෙන ගන්නවා. පසු දා පාසලේ උදේ රැස්වීමේදි මාව අගය කළා. කවියට තෑග්ග හැටියට රුපියල් 25 මුදල ලැබුණේ චෙක්පතකින්. මම එය ගමේ මුදලාලිට දීලා මාරුකර ගත්තා. අපේ පාසලේ හිටිය චිත්‍රා ප්‍රනාන්දු ගුරුතුමිය මගේ දක්ෂතා හඳුනා ගත්තා. අටේ පන්තියේ ඉදලා මම ඉගෙන ගත්තේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ. ඒ පාසලෙත් මම හිටියේ නේවාසිකාගාරයේ. ඒ වෙනකොට මට නේවාසිකාගාර ජීවිතය හොඳට හුරුයි. ඔය කාලේ වන විට මම පොත පත කියවීමට බොහෝ ඇබ්බැහිවෙලා හිටියේ. නම් පොත මඟුල් ලකුණ, ගණදෙවි හැල්ල, බුද්ධගජ්ජය, සකස්කඩය, ශතක පොත් ආදි සියල්ල කියවලා ඒ වගේම ඒ පොත් කටපාඩමිනුත් කියන්න මට හුරුයි. (රත්න ශ්‍රි එසේ කියන අතරේම නම් පොත කටපාඩමින් කියන්නට වුයේය.) මගේ වැඩි උනන්දුව තිබුණේ ඉගෙනීමට. ඒ වගේම රිච්මන්ඩ් විද්‍යාලයේ බිත්ති පුවත්පතටත් ලිව්වා. මම උසස් පෙළ විෂයන් ලෙස හැදෑරුවේ විද්‍යා විෂයන්. උසස් පෙළ පන්තියේ ඉන්න කාලෙදි මම මහගම සේකර

මහත්මයාට, අධිකාරම් මහත්මයාට ලිපි ලියනවා. ඔවුනුත් මට උත්තර ලියනවා. දවසක් මම මහගම සේකර මහත්මයා හමුවන්න රදාවානේ ඔහුගේ නිවෙසට ගියා.

(අතීතය සිහිපත් කරන රත්න ශ්‍රි තම පැරණි ලිපි ගොනුවක් ඇද අපට මහගම සේකරයන් එවන ලද ලිපි ගණනාවක්ම පෙන්වන්ට විය.)

විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළට පෙනී සිටියද රත්නශ්‍රි ට විශ්වවිද්‍යාලයට යාමට ලකුණු මදි විය. ඔහු උසස් පෙළ හදාරන කාලේ ඔහුට විය පැහැදම් කළේ සිය බාප්පා වූ වජිර ප්‍රභා විජේසිංහය. ඔහු දෙමළ භාෂා පඬිවරයෙක් විය.

“බාප්පා මට හැම මාසෙම රුපියල් 100 වියදමට දෙනවා. එය මට විශාල සහායක් වුණා. විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණත් මට 1975 අවුරුද්දෙ විද්‍යා ගණිත ගුරු පත්වීමක් ලැබෙනවා. ඒ අනුව මම ගාල්ල නැවුම්ගල කනිෂ්ඨ විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කරන්න යනවා. ඒ කාලේ මගෙ ගුරු වැටුප රුපියල් 220යි. මම බොහෝම කැපවීමෙන් ඉගැන්විම් කටයුතු කරගෙන ගියා. ඔන්න ඔය කාලෙදිම තමයි මගේ පළමු ගීතය ගුවන් විදුලියේ ප්‍රචාරය වන්නේ මේ ගීතය ගයන්නේ විශාරද ගුණදාස කපුගේ. විශාරද කපුගේ මේ ගීතය ගායනා කරන්නේ සර්පිනාව වාදනය කරමින්.

“තනි වෙලා මා නන්නාඳුනන 
දුරු රටක මඟතොට නොදැන 
එන්න අම්මේ පාළු අහසේ 
අඳුර අතරින් පායලා..“

එදාම විතරයි මේ ගීතය අහන්න ලැබුණේ. එය සජීවි ගායනයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය වු. ඉන් පස්සේ ගුවන් විදුලියෙන් විකාශය වූ නව පදමාලා වැඩසටහනට මා ගීත දෙකක් ලියනවා.“

ගුරු වෘත්තියේ යෙදෙන අතර වාරයේ ඔහු ගී පද රචකයෙක් ලෙස ද කලඑළි බසින්නේය. යෞවන සම්මාන තරග සඳහා ගීපද නිර්මාණ ඉදිරිපත් කරන ඔහු වසරක් පාසාම හොඳම ගීපද රචකයා ලෙසින් ද කවිය සඳහාද සම්මාන හිමි කරගන්නේය. මේ අතරම රත්න ශ්‍රී යළිත් උසස් පෙළ විභාගයට පෙනී සිටින්නේය. ඒ කලා විෂයන්ගෙනි. එවර ඔහු ඒ සාමාර්ථ තුනක් සහ බී සාමාර්ථයක් ලබා ගනිමින් උසස් ලෙස සමත් වන්නේය. විශ්වවිද්‍යාලයට තේරුණ ද සේවය අතහැර යා නොහැකි නිසා ඔහු විශ්වවිද­්‍යාලයට නොගොස් උපාධිය සඳහා ඉගෙන ගන්නේය. ඔහුගේ උත්සාහය නිසාම සිංහල ගෞරව සම්මානයක් සහිත උපාධිය සමත්වන්නේය. විද්‍යා පුහුණු ගුරුවරයකු ලෙස ගුරු ජීවිතයට ඇතුළත් වූ රත්න ශ්‍රී පසු කාලීනව රුහුණු විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමිකර ගන්නේය.

“ගුරුවරයෙක් ලෙස සිටිය කා‍ෙල් මට දඬුවම් මාරුවක් ලැබෙනවා. ඒ හුළංදාව කනිෂ්ඨ විද­්‍යාලයට. දැන් එම පාසල හැඳින්වෙන්නේ මොනරාගල රාජකීය විද්‍යාලය කියලා. ඒ පාසලට එන්න කලින් මාස දෙකක් පමණ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ උගන්වනවා. ඔන්න ඔය කාලේ තමයි ඒ අලුත් පරිසරයේ සිට උදේ ඉස්කෝලේ යද්දි ලබපු අත්දැකීමක් ඔස්සේ “සුදු නෙළුම කෝ සොරබොර වැවේ...“ යන ගීතය ලියැවෙන්නේ. මගේ පළවෙනි කාව්‍ය සංග්‍රහය ඒ කියන්නේ බියනොවන් අයියණ්ඩි පොත පළකරන්නේ 1979 අවුරුද්දේ තමයි. ඇත්තම කිව්වොත් මට ඒ වෙනකොට පොත ගහන්න සල්ලි තිබුණේ නැහැ. මට ඒ වෙලාවේ මහවැව හිටිය කේ. ජී. ජිනසේන මහතා උදව් කරනවා. පොත වෙනුවෙන් රුපියල් 4800 වැය වෙනවා. පොතේ මිල රුපියල් හයයි. මේ පොත පිටවුණාම බොහෝ දෙනාගේ ඇගයීමට ලක්වෙනවා.

ඉන්පසුව ඔහු කාව්‍ය සංග්‍රහ කිහිපයක්ම කරන්නේය. ඔහු තුළ ගීතයට කවියට තිබූ ඇල්ම තව තවත් වැඩි වන්නේය. අද වන වට හාරදහසකට ආසන්න ගීත සංඛ්‍යාවක් ලියා ඇති රත්න ශ්‍රී ගේ ගී අතර විවිධ තේමාවන් ඔස්සේ ලියැවුණ ගීත වේ. ඒ අතර පාසල් ගීත, යම් යම් ආයතන වෙනුවෙන් ලියූ ගීත මෙන්ම ප්‍රේම ගීත, වියෝ ගීත, විරහ ගීත, මෙන්ම ළමා ගී ද, ගීත නාටකද වේ. තමන් ඉගෙන ගත් පාසල් කිහිපයකම පාසල් ගීතය ලියන්නට අවස්ථාව ඔහුට ලැබිණි.

1976 අවුරුද්දේ යෞවන සම්මාන වලදි මට කාව්‍ය සඳහා පළමු තැන ලැබෙනවා. මේ උත්සවය තිබුණේ රාජකීය විද්‍යාලයේ නවරඟහලේ. එදා මට තෑග්ගට ලැබෙන්නේ රුපියල් 150 රිදී බන්දේසියකුයි. තරගය විනිශ්චය කර තිබුණේ පරාක්‍රම කොඩිතුවක්කු, බුද්ධදාස ගලප්පත්ති හා මොනිකා රුවන්පතිරණ යන කවි කිවිඳියන්. එදා තමයි මට පළමු වතාවට පරාක්‍රම කොඩිතුවක්කු සමඟ කතා කරන්නට ලැබුණේ. 1976 සිට අවුරුදු ගණනාවක් යනතුරු මම යෞවන සම්මාන දිනුවා කවිය හා ගීතය වෙනුවෙන්. මුලින්ම මහගම සේකර මහත්තයාට “හොඳට කවි ලියන හාදයෙක් ඉන්නවා“ කියා මා ගැන මුලින්ම කියා තිබුණේ කරුණාරත්න අමරසිංහයන්.

මේ වනවිට මම ගීත හාරදහස් හයසීයයක් පමණ ලියලා ඇති. ප්‍රවීණ ගායන ශිල්පීන්ට මෙන්ම නව පරපුරේ ශිල්පීන්ටත් ගීත ලියා තිබෙනවා. ඒ වගේම නවකයන්ගේ මෙන්ම ප්‍රවීණයන්ගේ කවි පොත් සඳහා පෙරවදන්, පසුවදන් ආදිය ලියා තිබෙනවා. දැනටත් ලියනවා. මම කිසිම දවසක ඒ සඳහා මුදලක් අය කරන්නේ නැහැ. අමරදේව මාස්ටර්ගේ සිට මේ දක්වාම ගායන ශිල්පීන්ට ශිල්පිනියන්ට ගීත ලියා තිබෙනවා. මුල්ම කවි පොත බියනොවන් අයියණ්ඩි. දෙවැන්න වස්සානේ. පේටන්ට් බලපත්‍රය සම්මානය . තුන්වැනි කවි පොත සුබ උදෑසනක්. මේ පොත සඳහා රාජ්‍ය සම්මාන ලැබෙනවා 1989 දී. “

සල්ගහ යට, තරු ලකුණ, මධ්‍යම යාමය, සන්ධ්‍යා තීර්ථය, වස්සානෙන් පසුව, සඳගිරිපාමුල, ගෙත්තම්පාන ආදිය ඔහුු විසින් රචිත අනෙකුත් කාව්‍ය සංග්‍රහයන් වේ. වංකගිරි අරණේ ගීත සංග්‍රහය සඳහා රාජ්‍ය සම්මාන ලැබීය. සුදු‍ නෙළුම, නෙත නිලුපුල්, නිකිණි වැස්ස, සුවඳ මුවරද, ගංගා ගීතය, ඉරබටු තරුව ආදි වශයෙන් ගීත පොත ගණනාවක් ද ළමා පොත් පහළොවක් ඔහු මේ වන විට ලියා ඇත. ඒ ළමාපොත් අතරින් සින්දු කියන උණ පඳුර හා පොල්පිති හරකා සඳහා රාජ්‍ය සම්මාන හිමි විය. ගීතය, කවිය ආදී වු සාහිත්‍ය කටයුතු මෙන්ම සිය රාජකාරියද කරන අතර තුර ඔහු බිරිඳ හා දියණියන් ගැන ද සොයා බැලුවේය.

රත්න ශ්‍රී විවාහ වන්නේ ගාලු කොටුවේ පදිංචිව සිටි ශිරානි හේමමාලී පීරිස් සමඟය. එය වසර කිහිපයක පෙම් සබඳතාවක් ප්‍රතිඵලයකි. හේමමාලිගේ මහගෙදර වූ ගාලු කොටුවේ ලේන්බාන් වීදියේ පැරණි නිවෙස පසු කාලයකදී ඔහු මිලට ගන්නේය. ඒ වනවිටත් හේමමාලිගේ පරපුරේ අය වසර ගණනක් තිස්සේ පදිංචිව සිටියේ ඒ නිවසේය. රත්න ශ්‍රී හේමමාලි යුවළගේ කුලුඳුල් දරුවා වන්නේ ප්‍රාර්ථනා සම්මානිය. ඇය උපන්නේ 1978 අගෝස්තු 16 දිනය. පුර්ණිමා සන්දීපනී දෙවැනි දියණියයි. ඇය උපන්නේ 1982 වසරේ සැප්තැම්බර් 27 දාය. කලක් පදිංචිව සිටි ගාලු කොටුවේ නිවස 1999 වසරේ මිලට ගන්නා විට මිල රුපියල් තුන් ලක්ෂ ගණනකි. එහෙත් ඔහු අතේ මුදල් නොතිබිණි. වසර දෙසිය පණහකට එහා ඉතිහායකට හිමිකම් කියන මෙම නිවස රත්න ශ්‍රී මිලට ගන්නේ කිහිප දෙනෙකුගේ උදව් ඇතිවය. නිවෙස මිලට ගන්නා ඔහු පසුක­‍ෙලක ඒ මුදල් පියවා දමන්නේය. කාලයක් ගිය තැනදී ඔහු 2011 වසරේදී ගාලු කොටුවේ නිවස විකුණා දමන්නේය. ඉන් පසු ඔහු බෝපේ නිවස මිලට ගන්නේය.

ඔහුට සිය ජීවිතය කඩා වැටුණා කියා හැඟෙන්නේ සිය බිරිඳ හේමමාලිගේ මරණයත් සමඟය. “හේමමාලි නැතිවෙනකොට එයාට වයස අවුරුදු 53. ඇගේ මරණය මගේ ජීවිතේ කඩාවැටීමක්. මට අදටත් දැනෙන්නේ එහෙමයි. ඇය බොහෝම හොඳ කෙනෙක්. ඇය අසනීප වෙලා ඒ වනවිට සමුපකාර රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටියේ. නමුත් මට එදා දේශනයකට යන්න තිබුණා. එයට සුචරිත ගම්ලත් මහත්මයත් ආවා. මම එයට ගියා. ඒ අතර තමයි ඇය නැති වුණේ. ඒ 2012 වසරේ අගොස්තු 26 වැනිදා දා. මගේ ජීවිතය නැවතුණා වගෙයි මට දැනුණේ. මම තවමත් කලකිරෙන දෙයක් තමයි මම එක්තරා අමාත්‍යාංශයක සේවය කරන්නට යැම. ඒ කලකිරිමත් සමඟ මම රාජ්‍ය සේවයෙන් ඉවත් වුණා. හේමමාලිගේ අභාවය අදටත් මට දුකක්. එය එහෙම වුණත් මගේ දරු මුනුපුරු මිනිබිරියන් අද මා සමඟ ඉන්නවා. එය මට සතුටක්. සම්මානි දුවට තුතික වීණක පුතා හා ශෛලි කාව්‍යා දුව ඉන්නවා. තුතික වීණක පුතා කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. දුව ශෛලි ගාල්ල සංඝමිත්තා පාසලේ ඉගෙනුම ලබනවා. පුර්ණිමා දුවගෙ දුලා දෙන්නා වන මවුලි ආර්යා හා දෛයිවී දීප්තා ගාල්ල සංඝමිත්තා විද්‍යාලයේ ඉගෙන ගන්නවා.

ජීවිතයේ ගැටුණු වැටුණු තැන් සමඟ බොහෝ දිගු ගමනක් පැමිණි ඔහු මේ වන විට බොහෝ දෙනාගේ සිත් සතන් තුළ ජීවත් වන සොඳුරු ආදරණීය ගී පද රචකයෙකි.

“මම ඉපදිලා අවුරුද්දයි දවස් 22න් මට මගේ මව අහිමි වුණේ. එතැන් පටන් මාව බලා ගත්තේ මට ආදරය කළ මිනිසුන්. අදත් මගේ රසිකයන්ගේ ආදරය තමයි මට ජීවිතය ගේන්නේ. මාව මෙච්චර දුර ඇදන් ආවේ මේ මිනිස්සු.

මේ ලොවට ඔබ ආදරේ නම් 
මුළු ලොවම ඔබටත් ආදරෙයි.... “ 
ඔහු ජීවිතය දකින්නේ එසේය. 

ඡායාරූප - තුෂාර ප්‍රනාන්දු

Comments