සිපුම් සීරුම් කෙනිත්තුම් | සිළුමිණ

සිපුම් සීරුම් කෙනිත්තුම්

'සිපුම් සීරුම් කෙනිත්තුම්’ යනු ඉන්දිය ලේඛිකා කමලා දාස් (1934 - 2009) විසින් ඉංගිරිසි බසින් රචිත කවි හතළිහක පරිවර්තන එකතුවකි. මේ කෘතියේ කර්තෘ ලක්ශාන්ත අතුකෝරල කියන්නේ ඇගේ ප්‍රසිද්ධියට පත් වු කවි පංති 300 පමණ අතරින් මේවා තෝරා ගත් බවයි.

පරිවර්තන කෘති කියවන මෙරට පාඨකයෝ කමලා දාස් දනිති. ආචාර්ය ඩබ්. ඒ. අබේසිංහ විසින් ‘අනුරාගයේ මුල් පොත’ නමින් පරිවර්තනය කැරුණු Alphabet of lust සහ කරුණාතිලක හඳුන්පතිරණයන් විසින් පරිවර්තනය කැරුණු My story නම් කෘතිවල කතුවරිය ඇය වේ. ඊට අමතරව ඇගේ කවි හා කෙටිකතා ද වරින්වර සිංහලට පරිවර්තනය වී මාධ්‍යයේ පළ වී තිබේ.

මෙහි පළවන කවිවල විශේෂත්වය වනුයේ ඒවා ගැහැනියක විසින් සිය කටුක අත්දැකීම් හෙළි කරමින් කුරුටු ගාන ලද සටහන් වීම ය. ඒවායින් බහුතරය ආදරය සම්බන්ධ කරුණු වේ. ඇතැම් එ්වා ගේහසිත වාස - විප්‍රවාස, බැඳීම් - ලිහීම් ගැන ය. ‘කුරුටු ගාන ලද’ යන්නෙන් මා අදහස් කළේ ඒවා නිරායාසයෙන් ම පෑනට ගලා ගෙන ආ බව පෙනෙන නිසා ය; ඇස් පනාපිට දැකිය හැකි ඒවා නිසා ය; වචනාර්ථයෙන් ම ඒවා වැටහෙන නිසා ය.

තමා මේ කවි පංති තෝරා ගත්තේ ප්‍රවේසමෙන් බව ලක්ශාන්ත පවසයි. ‘හැඳින්වීමක්’ නම් පළමු පැදි පෙළේ මෙසේ ඇත.

ඔව් පව්කාරිය ද මා ය 
සාන්තුවරිය ද මෙමා ය 
ස්නේහවන්තිය ද එසේ ම 
පාවා දෙන්නිය ද මා ය. 

40වන හෙවත් අවසන් පැදිපෙළේ ඇය මෙසේ කියයි.

ආදරය කරන විට 
ශුද්ධ වූ ආදරය වීමි මම 
පරාජය ලද විටෙක 

ශුද්ධ වූ පැරදුම ද වෙමි එලෙස 
එපමණය 
වේදනා ලෝකයේ 
රූපාංලංකරණ කිසිවක් නොමැත. 
පොත පෙරළන විට ප්‍රවේශ වැකියක් හමුවේ. 
ආදරය විඳින්නට ලැබුණා නම් 
මා ලේඛිකාවක නොවී 
ප්‍රීතිමත් ගැහැනියක වන්නට තිබිණි. 

මට හිතෙන හැටියට ආදරය යනු වාරකං මුහුදකි. එය තරණය කිරීම අසීරු ය. පිහිනා හෝ සාමාන්‍ය යාත්‍රාවකින් කිසිසේත් කළ නොහැකි ය. ඉතින් එහි වැද දිවි ගලවා ගත්තෝ හෝ ගන්නෝ හෝ වෙත් ද?

කමලා නායර් ලෙස උපත ලැබූ ඇය මාධව දාස් නම් තමා මෙන් දෙගුණයක් තරම් වියැති කෙනෙකු සමඟ විවාපත් වනවිට ඇගේ වයස යාන්තම් පහළොවකි. ඇගේ සැමියා ඇයට කුලුණුබර වැ සැලැකූ බව පැවසේ. එහෙත් ආදරය හිඟ විය. මේ කවිවල මෙන් ම ‘අනුරාගයේ මුල් පොත’ හා ‘මගේ කතාව’ යන නවකතාවල ද මේ කාරුණික වැඩිහිටි සැමියා මතුවේ. පසු කලෙක ඔහු අසනීප වූයෙන් ඕ ඔහු උවටැන් කරමින් බලා ගත්තා ය.

ඇය සිය නිර්මාණ ඉදිරිපත් කළේ මාධවකුට්ටි යන ආරූඪ නාමයෙනි. එහි අරුත ‘මාධවගේ ළමා මනාලිය’ වේ.

සිය කුටුම්බය හැර නොයන ස්ත්‍රීහු මෙවැනි කතා කියති. 1. ‘එයා මට කළේ එහෙමයි, ඒත් මගේ අහිතක් නෑ. මං එයාව බලා ගන්නවා, දාල යන්නෙ නෑ’ 2. ‘මං එයාට මොනව කළත් එයා මට කරන්නෙ මෙහෙමයි, ඒත් මගේ අහිතක් නෑ’ 3. ‘මගෙන් ආදරේ බලාපොරොත්තු වුණාට එයා, ඒ විධියට මට ආදරේ දෙන්න හිතන්නෙ නෑ’

කමලා දාස්ගේ කවිවල මේ තුන් ආකාරයේම කතා අසන්නට ලැබේ. 

මේ ඉන් බැහැර ආකාරයකි.

පිටව ගිය පසුව ඔබ 
මම යමි පදවා ගෙන 
මගේ නිල් පැහැ අබලන් රිය 
තද නිල් මුහුදු තීරය දිග 
එබිකම් සිදුරු තුළින් 
බලා සිටිනමුත් අසල් වැසියන් 
ශබ්ද නගා අඩි හතළිහක් දුවන්නෙමි. 
තට්ටු කරන්නට අනෙකෙකුගේ ‍ෙදාරකට 
වැස්සක් සේ මා ඇවිත් යනයුරු 
රහසක් නොවෙයි ඔවුනට

(9. ගල් යුගය)

මෙහි එන කවි කියවන්නට පෙර ‘කමලා දාස්: දිවිය හා කවිය’ යන හිසින් යුත් සටහනක් කියවන්නට ලැබේ. පරිවර්තක විසින් ලියා ඇති එයින් ගත් උධෘතයකි මේ.

‘කමලා දාස් හුදෙක් ම ස්ත්‍රීවාදිනියක් පමණක් වී යැයි සිතීමට අප ඉක්මන් වුවහොත් එය ඇගේ ජිවන දෘෂ්ටිය සහ කාව්‍ය භූමිකාව වරදවා වටහා ගැනීමකි. ඇගේ ප්‍රබල කවි සියල්ල විමසීමේ දී පැහැදිලි වන්නේ ඇය ස්ත්‍රීත්වයේ නිදහස් චින්තනය සහ ලිංගික ආශාවන් වැනි පුද්ගලික හැඟීම් ප්‍රකාශනය මඟින් පුරුෂ සමාගමය ස්ත්‍රිය සතු අනරුම හිමිකමක් බව ද, ස්ත්‍රී ආලය පුරුෂ බල පරාක්‍රමයකින් හෝ සංස්කෘතික කඩතුරාවකින් යටපත් කොට වසා නොදැමිය යුතු ස්වභාවික හැඟීමක් බව ද සිය කවිය තුළින් ප්‍රකාශ කර ඇති බවයි. කාව්‍ය නිර්මාණ පමණක් නොව කමලාගේ සියලුම සාහිත්‍ය නිර්මාණ තුළ ඇත්තේ එබඳු වෙනස් අපූර්ව හැඟීම් තුළින් නිර්මිත නිර්භීත ප්‍රකාශනයන් ය. කාලීන සැසඳීම් තුළ දී අද වනවිට ඇගේ ලේඛනවල සැබෑ බරපතළ ස්වභාවය එලෙසින් ම නොපෙනෙන්නට ඉඩ ඇතත්, ඇය ස්වකීය නිර්මාණ ඔස්සේ සන්නිවේදනය කළ චින්තනමය සිපුම් සීරුම් සහ කෙනිත්තුම් විසින් ඇගේ නම වහාම ජාත්‍යන්තර පාඨක ප්‍රජාව අතරට ගෙන ගිය වගත් ඇගේ කවි රැලි පිට රැලි නගමින් කැනඩාවේ සිට ජපානය දක්වා විහිද ගිය බවත් සමකාලීන සාහිත්‍ය විචාරකයෝ නිරීක්‍ෂණය කළහ.’

මේ කවි හතළිහ තුළ ‘සිපුම්, සීරුම් සහ කොනිත්තුම්’ යන මැයෙන් පැදි පෙළක් නොමැත. ගේහසිත ආලය තුළ ඊට අමතරව තැළුම් සහ සැපුම් ද ඇති බව නොදන්නෝ නොවෙති.

පුරුෂයා සිතන්නේ ස්ත්‍රියට පැවැත්මක් ඇත්තේ තමා නිසා බව ය. ස්ත්‍රීහු බෙහෝ දෙනා තර්කයට නොඑළැඹී ම එය පිළි ගනිති. එහෙත් පුරුෂයා නියම පිරිමිකම් පෙන්වන්නේ තමන් නිසා බව ගෑනු දනිති. තමන්ගේ ගෑනුකමින් පුරුෂයාගේ පිරිමි කම යටපත් කරන ස්ත්‍රීහු සිටිති. එහෙත් සියල්ලන්ට ම එසේ කරන්නට බැරි ය. මගේ වැටහීම වනුයේ කමලා දාස් යනු සිය කාව්‍යමය හැකියාවෙන් පුරුෂයාගේ පිරිමි කම අබිබැවූ ගැහැනියක බව ය.

‘ශක්තිමත් නොවුණි ද 
ඔහු මගේ වරලස් දිස්නයෙන් 
නව යොවුන් තද දෑත් දෙපායෙන් 
දහදියෙන්, මස්ක්‍රාට් සුගන්ධයෙන් 
ඔබගේ ඔය ළදරු තරහවත්, ඔය කවිත් 
මාව බය කරනවා කීවා ඔහු 
කසාදේ නීරස ක්‍රීඩාව තුළ 
මනස තැබුමට වඩා මට වටින 
ප්‍රතික්ෂේපිත බවේ හැඟුමකුත් 
දිරා යන සිරුර ගැන දැනුමකුත් 
විනා කවි නොදුණි මට අන් යමක්.

(23. ගිනි මැලය)

Comments