සිත සසල කළ සිහින අකුරු කරන ලේඛකයා මංජුල සේනා­රත්න | සිළුමිණ

සිත සසල කළ සිහින අකුරු කරන ලේඛකයා මංජුල සේනා­රත්න

පාඨකයන් ලේඛකයන්ගෙන් බොහෝවිට අසන ප්‍රශ්නයක් තිබේ. ඒ ඔවුන් සිය ප්‍රබන්ධය සඳහා කරුණු එක්රැස් කර ගන්නේ කෙසේද කියා ය. ප්‍රබන්ධයක් රචනා කිරීමේදී කරුණු එක්රැස් කිරීමක් හෝ ඒවා සටහන් ලෙස තබා ගැනීමේ පුරුද්දක් ඇති ලේඛකයන් ඔබට හමුවී තිබේද? ශාස්ත්‍රීය හෝ විද්‍යාත්මක පර්යේෂණ ගණයට ගැනෙන කෘති සඳහා එසේ අවශ්‍ය ය. යම් යම් අවබෝධ ලබා ගැනීම සඳහා අවශ්‍ය වන කරුණු සොයන ලේඛකයන් හමු වී ඇතත් ප්‍රබන්ධයේදී ඒවා විශ්වසනීයත්වයෙන් ගොඩනැ‍ඟෙන යටි පෙළ කතාවට විනා ප්‍රබන්ධයේ කලාත්මක පක්ෂයට ඒවා බලපෑම් කරන්නේ නැත. මේ ගැන වරක් දොස්තයෙව්ස්කි පවසා ඇත්තේ තමාගේ නිර්මාණවලට බලපෑම් කරන්නේ 'ජීවිතය ගොඩනංවන පුංචි සිරා බිරා' කියා ය.

මේ පුංචි සිරා බිරා අප සැමගේ ජීවිතවල වෙති. ඒවා වරින්වර සිදුවීම්, සිතිවිලි ලෙස අප ජීවිතයට එයි. සමහර ඒවා මුළු මහත් ජීවිතයේ ම විඳීම හෝ විඳවීම වෙනුවෙන් මතකයේ තැන්පත් වෙති. සමහර අතිශය සාමාන්‍ය දෑ සිදු වුවත් සිදු නොවූවා සේ සිතට බලපෑමක් නොකරයි. ඒ ඒවා විශේෂිත සේ සිතට නොදැනෙන නිසා ය. ලියද්දී සමහර විට පාඨකයන්ට මේ දේවල් බලපෑම් කරනු ලබයි. ඒවා චරිත ගොඩනැඟීමේදී ලේඛකයාට සියුම් දෑ විග්‍රහ කරන්නට පාර පෙන්වයි. ජීවන විලාසා හැමට එක සේ බැවින් මේ සියල්ල අපේ ජීවිතවල දෑ ලෙස ම අපට දැනෙන්නට පටන් ගනී.

මංජුල සේනාරත්න ලේඛකයා සියුම් මානව හැඟීම් අකුරුකරණයේ ලා සුවිසෙස් හැකියාවකින් යුතු නිර්මාණකරුවෙකි. ඔහුගේ නවකතා, කෙටිකතා සඳහා පාඨකයන් අතර ඇත්තේ ඉහළ ඉල්ලුමකි. ස්වාධීන චින්තනමය වපසරියකින් යුතු ව හේ නිර්මාණකරණයේ යෙදෙන්නේ තම විඳීම් හා විඳවීම් අකුරු බවට පෙරළමිනි. ඒ අකුරු පාඨක හදවතේ ඇලවෙන්නේ තම ජීවිත විදාරණය කරන; කතා කරන අකුරු බවට පත් වෙමිනි.

මංජුල සේනාරත්න සොඳුරු ගේය පද රචක මර්වින් සේනාරත්නගේ පුතු ය. පියාගේ පරිකල්පන ලෝකයේ විසල් බව මේ පුතු ද දකින්නට ඇත. විඳින්නට ඇත. ලොව ඇති වඩාත් ම විසල් බැඳීම දූ දරු මවුපිය බැඳීමයි. ඒ බැඳීම කිසිවකට දෙවැනි නොවේ. මංජුලගේ බොහෝ නිර්මාණවල පිය පුතු බැඳීම ගැන ගැඹුරෙන් කතා වෙයි. ඒ සංවේදනා කෙරෙහි ඔහු අතිශය සංවේදී ය. සිය නිර්මාණ ලෝකයට නිරන්තර එබිකම් කරන මේ බැඳීම ගැන මංජුල ලේඛකයා පවසන්නේ මෙවැන්නකි.

"පිය සෙනෙහස ගැන, පිය සෙනෙහසේ අරුමය ගැන වූ හැඟීම සිත අද්දර නිතර ගැවසුණු නිසා ම මගේ සෑම නවකතාවකින් ම පියාගේ චරිතය ඉස්මතු කර දැක්වීමට මම උත්සාහ කළා. මගේ මුල්කාලීන නවකතා තුනක් වන සේන් ගඟේ රැලිත් එක්ක, රෝස මාලිගාවේ මනුසත්තු, ජීවිතයෙන් මාස හයක් වැනි පොත්වල පියාගේ චරිතය ප්‍රබල ලෙස නැඟී නොසිටින බව සැබෑ ය. එහෙත් මේ පොත් තුනේ ම පිය චරිත අසීමිත ලෙස දරුවනට ආදරය කරමින් දරුවන්ගේ හා තම පවුලේ අභිවෘද්ධිය වෙනුවෙන් දිවා රෑ නොබලා කැපවුණු පියවරු තිදෙනෙක්. ඒ පියවරු තමන් වටා ඇති පවුල ඔසවාගෙන සිටින්නට වෙර දරනවා. මගේ සිතේ පැලපදියම්ව තිබුණු පියාගේ චරිතයේ ස්වභාව ඒ පොත් තුනේ ජීවත් වන "තාත්තා " ගේ චරිතයෙන් පිළිඹිබු කරන්නට මම උත්සාහ කළා"

පුද්ගල මනෝභාව හැසිරෙන ආකාරය ගැන පෙර තියා අපට අර්ථකතන දිය නොහැකිය. ඒවා හැසිරෙන්නේ ජීවිතයේ ඒවා ඉල්ලා සිටින පරිද්දෙන් ය. ලේඛකයා ද ස්වකීය නිර්මාණ ඔස්සේ විදාරණය කරන්නේ පුද්ගල චරිත ඒ ඒ අවස්ථාවන්හි ඒ අවස්ථාවට අනුකූල ව ජීවත් වෙන ආකාරය ගැන ය. මංජුල ලේඛකයා ද තමා සසල කළ, එමෙන්ම තමාට අත්විඳින්නට ලැබුණු බොහෝ දෑ ගැන සවිඥානික ය. හේ ඒ සියල්ල තමාගේ නිර්මාණ හරහා පාඨක ලෝකයට දෙන්නේ තම හදවත ද ඒ ඔස්සේ ගැහුණු රාවය තවරා ය.

12.12.12 නිර්මාණය‍ෙහි පියා භාතිය වික්‍රමසූරිය තමන්ගේ දරුවාගේ ජීවිතය ගැන පවා සැලකිල්ලක්, ආදරයක් නොදැක්වූ මිනීමරුවෙක් ලෙස ඔහු අතින් ගොඩනැඟෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙස ය.

එහෙත් "බියුරෝ "හි පියා දයාල් මැදගෙදර ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් තම පුතු ගලවා ගන්නට යේමනයට යන වීරයෙකි. එමෙන්ම එහි සිටින කර්නල් ක්ලෝද් පැස්කුවා බලය, තනතුර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන්ගේ එකම දියණිය විනාශ කර දමන්නට සැලසුම් කරන නරුම පියෙකි. දෙවැනි ගැහැනිය හි වික්‍රම නානායක්කාර වසර තිහක විවාහ ජිවිතයකට නැවතීමේ තිත තබා, බිරිය, දරුවන් අතහැර දමා දෙවැනි ගැහැනියක සමඟ අලුත් ජීවිතයක් ආරම්හ කිරීමට නිවෙසින් පිටව යන අයෙකි. මේ සියල්ලෝ ම අප ජීවත්වෙන සමාජයේ අප දකින කියන චරිත ය. මංජුල මේවා ප්‍රතිනිර්මාණය කරන්නේ අප හෙවත් පාඨකයා ද මේවා දන්නා බව දැන ගෙන ය. ලේඛකයාගේ නිර්මාණ ප්‍රතිභාව එළියට එන්නේ ඒ අවස්ථාවට ය. ඔහු පාඨකයා දන්නා දෙයින් නොදන්නා හෝ වික්ෂිප්තභාවයකට හෝ වෙන තැනකට රැගෙන යයි. ඒවා පර­ිකල්පනීය මායාවේ දවටයි. එහෙත් ඒ පරිකල්පනය ඇතුළේ ද එකී සිද්ධි සිදු වීමේ යම් සම්භාවිතාවක් තිබෙන බව දැනටමත් ඔබ ජීවත් වීමෙන් ම අනු දනියි.

තමන්ගේ සිත කෙතරම් ඇදගත් අත්දැකීමක් වුව කෘත්‍රිම ලෙස නිර්මාණයකට ඔබ්බන්නට ගන්නා උත්සාහය අබියස ලේඛනයේ නිර්මාණ ප්‍රභාව වියැකී යයි. සෑම විටම සිදුවන්නේ නිර්මාණකරුවාට අවශ්‍ය විටදී, නියම තැනදී ඒ අත්දැකීම් නිරායාසයෙන් ගලා ඒමයි. ඔබ යම් ආකාරයක හෝ නිර්මාණයක යෙදෙන්නෙක් නම් ඔබට මේ අත්දැකීම ඇති. ලියාගෙන යද්දී මට ඒ හැඟීම් කො‍හෙන් ආවද දන්නේ නැහැ. මම ඒවා ගැන සිතමින් සිටියෙත් නෑ වැනි හැඟීම් ඔබට දැනී තිබෙනවද? ඒ කවදා හෝ ඔබ අත්විඳි දෑ ය; ඒවා එකතු වී අවශ්‍ය වේලාවට ගැළපේ. මංජුල මේ කොදෙව්වෙන් දුර ඈත සිට බොහෝ දෑ කියවයි. අත්දකියි. ඒවා අතරෙන් යම් යම් දේවල් ලියා තබයි. ඔහු ම පවසන පරිද්දෙන් ඔහුගේ ලේඛන සිහිනය මෙවැන්නකි.

"ලේඛකයන්ගේ මනස යනු නොනිදන නගරයකි. නින්ද පැමිණිය ද සිහින අවදි වී තිබේ. මගේ නින්ද නිරතුරුවම සිහින වලින් පිරි තිබෙන නිසා ඇතැම් නපුරු සිහිනයන්ගෙන් බියවී අවදි වන මම, ඒ දුටු සිහිනය යහන අසල මේසය මත ඇති කුඩා සටහන් පොතේ සටහන් කර ගත්තා. එහෙත් දකින සිහින බොහෝ විට මතකයේ රැඳෙන්නේ නැහැ. සිහිනය නිමා වූ පමණින් අවදි වන්නේ ද නැහැ. දකින සිහින සියල්ලක් ම සාහිත්‍යමය නිර්මාණවලට පෙරළන්නට තරම් රසවත් ද නැහැ. වසර කීපයකට පෙර පැරිස් නගරයේ ආපන ශාලාවක රාත්‍රී සේවයේ නිරත වෙද්දී මා නිතර ම සිතුවේ නපුරු මිනිසකු පැමිණ මගේ දරුවන්ට, බිරියට අනතුරක් කරනු ඇතැයි කියා යි. ඒ කාලයේ මම බොහෝ රහස් පරීක්ෂක කතා කි‍ෙයව්වා. මේ ප්‍රභේදයේ පොත්වල වඩා ප්‍රබල ව නිරූපණය වන්නේ වීරයාටත් වඩා දුෂ්ටයා යි. එවැනි දුෂ්ටයන් රැසක් ම මගේ මනස අරක්ගෙන සිටි එක් රාත්‍රියක සේවය නිම වී නි‍ෙවසට පැමිණි මා දුටුවේ මගේ දරුවන් දෙදෙනා සිහිසුන් ව බිම වැටී සිටින ආකාරයයි. මා ඔවුන් වැලඳගෙන කෑගැසුවත් වදන් මුවින් පිට නොවුණේ එය හුදෙක් ම සිහිනයක් වූ නිසා විය යුතුය. දරුවන් අහිමි වීමේ ක්‍රෑර වේදනාව තත්පර ගණනකට ලබා දුන් සිහිනයට බැණ වැදී අවදි වුණු මම පොතකට පදනම දමා ගත්තා. පසු කලෙක 12.12.12 නමින් පොතක් බිහි වන්නට මුල් වූයේ ඒ සිහිනයයි"

ලේඛකයා තම මනසේ ඇතිවන සිහින කාලයක් තිස්සේ වැඩෙන්නට හරියි. ඒවා ලේ මස් දමා වැඩුණු පසු හේ සිය නිර්මාණ කරා ඒවා විවිධ අයුරෙන් යොදා ගනියි. ජීවිතය සේම මේ අත්දැකීම් ද ලේඛක මනසේ වැඩෙන්නේ තමන්ගේ ම ජීවිතයේ කොටසක් පරිද්දෙනි.

"ත්‍රස්තවාදීන් දරුණු ලෙස ප්‍රංසයට පහර දෙන්නට වූ එක වකවානුවක, තමන් අදහන ආගමට දේශපාලනය එකතු කරගෙන එය යුද්ධයකට හරවන්නට සූදානම් ව සිටි එක අන්තවාදීන් පිරිසක් දෙවියන්ගේ නාමයෙන් අවිගත් මොහොතක මම මගේ සිහිනයක සරිසැරුවා. මගේ වැඩිමහලු පුතු ඉමක් කොනක් නොපෙනෙන කාන්තාරයක ඇවිදිමින් සිටියා. කවුරුන් විසින් එල්ල කළා දැ යි නොදන්නා මිසයිල, බෝම්බ ඔහු අසලින් බිම පතිත වුණා. මගේ හඬ ඇසුණු විට සිනහසෙමින් මා අසලට පැමිණි පුතු මා පැමිණ ඇත්තේ තමා ව මේ නරකාදියෙන් බේරා ගන්නදැයි ඇසුවා.

"බියුරෝ " පොතට අත්තිවාරම දැමුවේ ඒ නපුරු සිහිනයයි"

ජීවන යථාර්ථය හා මේ නිමැවෙන නිර්මාණ දෙකක් යැයි කිසිවකුටත් අතහැර දැමිය නොහැකි බව ඔබ දනියි. මේවා අංශුමාත්‍රික වශයෙන් හෝ ඔබේ මගේ ජීවිතයේ විවිධ අවස්ථා ය; සිද්ධි ය. ඔහුගේ "දෙවැනි ගැහැනිය" පොතට පාදක වී ඇත්තේ එදිනෙදා ජීවිතයේ දකින සාමාන්‍ය සිද්ධියකි. හැට වන වියේ පසුවන පියෙක්; දරුවන් සහ බිරිය අතහැර දමා වෙනත් ගැහැනියක් වෙත යයි. එය සමාජයේ දක්නට ලැබෙන හුදු හැඟීම් මත ඇතිවෙන සම්බන්ධතා ය. මේවා ලේඛකයාට මෙන්ම පාඨක අපට ද ආගන්තුක නැත. පාඨක අපට ආගන්තුක වන්නේ ලේඛකයා එය ඉදිරිපත් කරන ආකාරය ය. ගැඹුරු මානුෂික කියැවීම ය.

තමා අත්විඳීමක් නො ලද දෙයක් පිළිබඳ ව වුවත් ලේඛකයා ස්වකීය නිර්මාණ ශක්තියේ ආනුභාවයෙන් නිමැවුම ගොඩනඟයි.

බොහෝ විට අසන්නට ලැබෙන , දකින්නට ලැබෙන කරුණු කාරණා ගැන පොතක් ලිවීම පහසු වුණත් "12.12.12" සහ "බියුරෝ "යනු මා නොදත් විෂයන් ග්‍රහණය කර ගත් අවස්ථා දෙකකි. මිනීමැරුමක් පිටුපස යන රහස් පරීක්ෂකයන් ගේ සත්‍ය දින චරියාව කුමක්ද..? අප සාහිත්‍යයෙන් , සිනමාවෙන්, ටෙලි නාට්‍ය වලින් බොහෝ විට දකින්නේ අවසානයේ ජයගන්නා රහස් පරික්ෂකයෙකි; එහෙත් මගේ 12.12.12 පොතේ කතා නායිකාව නතාලි මුනියේ අවසානයේදී පරාජයට පත් වෙයි. මගේ වුවමනාව වූයේ සත්‍ය වශයෙන් ම ප්‍රංස පොලිස් මෙහෙයුමක දුර්වලතා ගැන පොතක් ලියන්නයි. පොලිසියට වරදින තැන ගැන අන්තර්ජාලයෙන් සොයා ගන්නට නොහැකි වුණු නිසා පැරිස් මහා පොලිසියේ රහස් පරික්ෂකයකුගේ මාර්ගයෙන් එහි මම ඇතුළු වුණා.

මෙහෙයුම් සඳහා දියුණු නවීන තාක්ෂණය උපයෝගී කර ගත්ත ද පොලිසියේ ඇසට වැලි ගසා පැන ගිය අපරාධ කරුවෝ සිටින බවත්, ඒ පැන යෑම්වලට හේතු වී ඇත්තේ නොදැනුවත්වම පොලිස් පරීක්ෂකයන් අතින් සිදු වූ වැරදි බවත් මට පහදා දුන්නේ මේ රහස් පරික්ෂකයායි" 

"බියුරෝ" පොත ලිවීමේදී මා දැන සිටි, මගේ හදවතට සමීප එකම විෂය වූයේ එහි එන පිය පුතු සම්බන්ධය පමණයි. ලෝක ත්‍රස්තවාදය, ප්‍රංසයේ පමණක් නොව අන්තර්ජාතික රහස් ඔත්තු සේවාවන්ගේ ක්‍රියාකාරීත්වය, ආගම් ඇදහීම් පමණක් නොව කතාවේ වැඩි සිද්ධි ප්‍රමාණයක් සිදුවන යේමනය ගැන සියලු ම කරුණු සොයා ගන්නට මට සිදු වුණා. පොතක් ලියන්නට පෙර ඒ ගැන කරුණු සොයා යෑම වෙහෙසකාරී කටයුත්තක්. නිවැරදි දත්ත නොදන්නා විට හිතේ පැලපදියම් වී ඇති වදන් කඩදාසිය මතට ගොනු කිරීමට බාධා ඇති වෙනවා. එමෙන්ම ගවේෂණයක දී හමුවන අති වැදගත් කරුණු සියල්ල ම නවකතාවට ඇතුළත් කරන්නට නොහැකියි. රහස් ඔත්තු සේවය, එහි ආරම්භය, විකාශනය, වත්මන් තත්ත්වය ගැන ලියවුණු හොඳ ම පොත Christopher Andrew ගේ The Secret World යන පොතයි. පිටු 870 කින් යුත් මේ පොත කියවා අවසන් කරන මගේ ගැටලුව වූයේ කියවා දැන උගත් දේ සියල්ල ම පොතට ඇතුළත් කිරීමේ දැඩි වුවමනාව පාලනය කර ගන්නේ කෙසේද යන්නයි. එසේ පාලනය කර ගැනීමට අසමත් වූ හෙයින් පොතේ මුල් අත් පිටපතේ පිටු සංඛ්‍යාව 884 ක් බවට පත් වුණා. අනතුරුව එය පිටු 580 දක්වා අඩුකිරීමෙන් සංස්කරණය ගැන මනා පාඩමක් ඉගෙන ගත්තා"

ලේඛකයා තමාගේ අරමුණ හා සිතේ කාලයක් තිස්සේ ගොඩනැඟුණු දෑ ලිවීමෙන් පසු සිය මනස නිදහස් කර ගනියි.

"12.12.12", "බියුරෝ " , "දෙවැනි ගැහැනිය" යන මේ කෘති තුනම ජනප්‍රිය සාහිත්‍යයට අයත් වන මහා සාහිත්‍යය අගය කරන්නවුන් විසින් ඇතැම් විටක බැහැර කරන්නාවූ පොත් තුනක් යැයි මට සිතෙනවා. මා පොත් ලියන්නේ කතාවක් කියන්නටයි. ඒ කතාව සරලව, කුතුහලය රැකගෙන, පාඨක අවධානය රඳවාගෙන ලියන්නට මම වැඩි කැමැත්තක් දක්වනවා. මගේ පොත් බොහොමයක් සාමාජිය, දේශපාලන හැලහැප්පීම්, පන්ති අරගල, කර්කශ ජීවිත හෝ පුරුෂාධිපත්‍යය වැනි දෛනික ජිවිතයේ අප පෙළන ගැටලු සම්බන්ධයෙන් ලියැවුණු ඒවා නොවෙයි. මගේ පොත බොහෝ විට ගැබ් ව ඇත්තේ ඇති පෞද්ගලික සිද්ධි වටා ගෙතුණු කතාවක් මිසක් සමාජයේ පැති කඩක් හෝ විග්‍රහයක් නොවේ. යථාර්තවාදී සාහිත්‍යකරුවන් අතරට මා අයත් වන්නේ නැද්දැයි මට වරෙක සිතෙනවා.

මංජුලගේ නිර්මාණ කෘති ත්‍රිත්වයේ ම ඇත්තේ තුන් ආකාර පියවරු තිදෙනෙකි. ඒවායේ ඔහුගේ පෞද්ගලික අත්දැකීම් තිබෙන්නට හෝ නොතිබෙන්නට හැකිය. එහෙත් පාඨකයාට අවැසි වන්නේ ඒවා ඔහුගේ අත්දැකීම්ම ද නැද්ද යන්න ගැන කුතූහලයක් නොවේ. ඒ නිර්මාණය ආනන්දය සම්පාදනය කරන මාවතේ ඇත්තේ කොතැනක ද යන්න ය. සමාජය විවිධ වන්නා සේම ආදරයේ ද විවිධ පැතිකඩ තිබේ. මංජුල සේනාරත්න සිය නිර්මාණ සිහින පාඨක හදවතේ නොමැකෙන සේ සටහන් කර ඇති බවට නම් පාඨක ප්‍රතිචාර දකින අපට පැහැදිලි වීම නො වැළැක්විය හැකි කරුණක් නොවේ.

Comments