සඳකඩ පහණින් ලක්මිණි පහණට | සිළුමිණ

සඳකඩ පහණින් ලක්මිණි පහණට

ගිය වර ‘හරි වහර‘ කියැවූ පින්වත් පාඨකයෙක් පැනයක් නඟයි. සැබැවින්ම දෙ පැනයක් නඟයි. පළමු වැන්න, පහණ යන (මූර්ධජ) ‘ණ‘ යෙදෙන වදනෙහි අරුත ගල යනු නම් එහි බහු වචනය (ගල්) කිමෙක්ද යනු යි. දෙ වැන්න, පැරැණි ම සිංහල පුවත්පත වන ‘ලක්මිණි පහණ‘ යන්නේ ‘ණ‘ යෙදෙන පහණ යනු යෙදීම නිවැරැදි ද යනු යි. ඒ දෙක ම සියලු පාඨකයාට පලවත් පැන බව පෙනී යන හෙයින් ඒ මෙහි ලා විමසා බලමු. මුලින් ම ගනිමු පළමු වැන්න. පහණ යනු ගල් යන අරුත දෙන වදනක් බව ද ඒ, සංස්කෘතයෙහි පාෂාණ, පාලියෙහි පාසාණ යනු හා අනුරූප වැ සිංහලයෙහි යෙදෙන්නක් බව ද ගිය වර හරි වහරෙහි දැක්විණ. සඳකඩ පහණ යන්නෙහි පැහැදිලි වැ ඒ අරුත යෙදේ. තව ද ගුත්තිලයෙහි

යන ඔහු අසරණින් 
දුටු දුටු දනෝ උරණින් 
තමන් බල පමණින් 
දෙමින් බැට කෑම මුගුරු පහණින්

යන පැදියෙහි ද පහණ යනු ඒ අරුතෙහි යෙදී ඇත. මෙ තන්හි සැබැවින් ම ‘පහණින්‘ යනු යෙදෙන්නේ බහු වචන අර්ථයෙන් ම ය. එ නම් ගල්වලින් යන අර්ථයෙනි. මුළු පදයෙහි අර්ථය නම් ‘කැට - මුගුරු - ගල්වලින් බැට දෙමින්‘ යනු යි. බොහෝ ජනයා (මූසිලයාට) පහර දුන් බැවින් එක් ගලක් නො ව බොහෝ ගල් යන අරුත ම මෙහි යෙදෙන බව නිසැක ය.

පැරැණි වහරෙහි ඇතැම් විට බහු අර්ථය හැඟැවීම සඳහා ඒක වචනය යෙදුණු බව ද පෙනේ.

ඒක වචනය ද නාම ප්‍රකෘතිය ද එකක් ම වූ කල්හි බොහෝ විට එසේ යෙදී ඇත. (මූර්ධජ) ණ, ළ අන්ත කොට ඇති වදන් බෙහෙවින් එසේ යෙදුණු වදන් ය. ඇළ, දොළ, පළ, නුවණ, සෙවණ, අණ ආදිය එහිලා නිදසුන් වේ. ‘වල්‘ ප්‍රත්‍යය සිංහලයෙහි යෙදෙන්නට වූ පසු ඒ එක් කොට මෙ බඳු වදන් (ඇළවල, දොළවලින් ආදි ලෙස) බහුවචන කොට යෙදිණ.

යට නියැළුණු අයුරේ වදන් (‘වල්‘ ප්‍රත්‍යය යෙදීමට පෙර) තවද විදියෙකින් බහු වචන කැරගන්නා ලද බව පැරැණි වහර පිරික්සා බැලීමෙන් පෙනේ. එ නම් බහු වචන කළ යුත්ත ද්විත්ව කොට යෙදීම යි. රට රට, පළ පළ, දොළ, දොළ ඈ විසිනි.

පහණ යනු ගල් අරුතින් ඉතා පැහැදිලි වැ යෙදුණු තැනක් තමා සඳකඩ පහණ යි. සිංහලයන් ගේ විශිෂ්ට කලා නිර්මාණයක් වන මෙය අඩ ස‍ඳක හැඩයට නෙළන ලද හෙයින් සඳකඩ පහණ නම් වේ. මෙහි බහු වචනය ලෙස කට වහරෙහි ‘සඳකඩ පහණ්‘ යනු යෙදුණ ලේඛනයෙහි එ සඳහා ද යෙදෙනුයේ සඳකඩ පහණ යනු ම ය. පහණ් යන (මූර්ධජ හල් ණ කාරය සහිත) රූපය ධම්පියා අටුවා ගැට පදයෙහි නම් යෙදී ඇති බව මෙහිලා කිව යුතු ය.

දැන් අනෙක් පැනය වෙත යොමු වෙමු. එ නම් ‘ලක්මිණි පහණ‘ යන්නේ (මූර්ධජ) ණ යෙදීම නිවැරැදි ද යනුයි. මෙයට එක්තරා දුරකට පිළිතුරු කලින් කරන ලද විස්තරයෙනු දු ලැබී ඇතැයි සිතෙන නමුදු තවදුරටත් එය පැහැදිලි කිරීම මැනැවැයි හැ‍‍‍‍ඟේ.‍

1862 දී ඇරැඹි ලක්මිණි පහණ පුවත්පතෙහි නම 1934 වන තෙක් ම පැවැතියේ එලෙසින් ම ය. යට දක්වන ලද පරිදි, පහණ යනු පාෂාණයට (ගලට) යෙදෙන බැවින් ලක්මිණි පහණ යන්නෙන් ලංකා මැණික් ගල යන අරුත ගත හැකි ය.

පහන (ප්‍රදීපය) යන අරුත ගත නොහැකි ය. එ පුවත්පත ඇරැඹි කොග්ගල ජොහැන්නස් ධම්මතිලක පඩිතුමනුදු දිගු කලක් එය සකස් කොට පළ කළ පහන් තතු නමින් ප්‍රකට වූ මාතර ධර්මරත්න පඩිතුමනුදු ඒ අරුතින් ම ‘පහණ‘ යනු යෙදුවා ද එසේ නැත හොත් පහන (ප්‍රදීපය) යන්නෙහි ‘න‘ වරදවා යෙදුවා ද යනු දැනගත හැකි මගක් නොවේ.

‘ලක්මිණි පහන‘ යැයි (දන්තජ) ‘න‘ කාර සහිත වැ පහණ යනු යොදන්නට පටන් ගැනුණේ 1934 දී කුමාරතුංග මුනිදාසයන් විසින් එ පුවත්පත් සකස් කොට පළ කිරීමේදී ය. එ කල සිටි පාඨකයකු මේ වෙනස ගැන කුමාරතුංගයන් විමැසූ විටෙක ඔවුන් ගේ පිළිතුර මෙය වීය.

“පහණ යනු ගලට නමි. දම්රුවනුන් මේ පත්‍රය ඇතැම් උද්ධතයන්ගේ හිසට ගලක් මෙන් යෙදූ හෙයින් දෝ ‘පහණ‘ යනු මැ ගත් හ. අපි එ තරම් සාහසික නො වම්හ. පහන නම් ප්‍රදීපය (ලාම්පුව) යි. ප්‍රසන්න භාවය - පැහැදිලි බව - අඳුර නැති බව - එළිය ඇති බව පහන් යනුයෙන් හැ‍ඟේ.“

දැන් ‘ලක්මිණි පහණ‘ යනු නිවැරැදි ද යන්න බොහෝ දුරට පැහැදිලි වැ ඇතැයි සිතමු.

පහණ, නුවණ, සෙවණ, වැනි (මූර්ධජ) ණ ඇතැම් වදන්වල නාම ප්‍රකෘතිය ද, ඒක වචන රූපය ද බහු වචන රූපය ද එකක් බව මෙහි කලින් දැක්විණි.

නූතන ව්‍යවහාරයේ දී මෙය අර්ථ ව්‍යාකූලත්වයට හේතු වන තැනුදු ඇත. නිශ්චිත වැ ඒකවචන - බහු වචන භේදය දැක්විය යුතු තැන් ඇති හෙයිනි. ඉදිරි ලිපියෙකින් මේ ගැන හොඳින් විමසා බලමු.

Comments