රුක් දෙවියා | සිළුමිණ

රුක් දෙවියා

ලංකාර කේතුකාකර හැඩයෙන් යුත් ගස් බහුල වූ එය යුරෝපයේ පිහිටි එක්තරා ගන වනාන්තරයක්. ගස්වල හිස් හිම ඔටුනුවලින් ද අතු හිම මල් පොකුරුවලින් ද හැඩ වී එළඹි සීත සමයේ පියකරු සොබාව ගෙනහැර පෑවා. හිරු අහසේ නැඟී කළු වලා අතරින් වනය දෙස බැලුව ද සිය කිරණින් උණුසුම දෙන්නට බැරි ව අසරණ ව ළතැවුණා. මේ මහා වනාන්තරයේ උස් ගස්වල ඇස්වලට දිස් වුණා වංගු සහිත ගුරු පාර දිගේ දැවැන්ත සතකු තරමක වේගවත් ව ඇදී එන වග. ඒ සතාට කැරැකෙන පාද රැසක් ම පෙනුණා. ඒ සතා අසමාන සිරුරකින් යුතු බහුපා කුලයේ සතකු වන්නට ඇතැ යි වන ගස් විසින් අනුමාන කෙරුණා. ඒ සතා ගේ හිස ඇතුළේ මිනිස් රූප කිහිපයක් දැකීමෙන් වන ගස් අනුමාන කළා මොළය මිනිසුන් ගෙන් සැදුණු වග. කොහොමටත් මේ සතා නම් වනයට හිතකර සතකු වන්නට බැරි යැ යි වන ගස් වැඩිහිටියන් තීරණය කළා. මහ වනය වෙනුවෙන් පයිනස් කැළයේ වනස්පතිනිය වූ මුත්තම්මා පයිනසිය කතා කළා. ඇය මේ වනයේ වයස්ගත ම වනවාසිනිය වුණා. කැළයේ බහුතරය තම දරුවන්, මුනුපුරන්, මී මුනුපුරන් වුණා. 

“මගේ රුක් දරුවනේ! පරෙස්සම් වෙයල්ලා. ඔය එන බුහුපාවා යකෙක්, රකුසෙක්, වන පාළුවෙක්, මහා ගෝනි බිල්ලෙක්! අපේ පයිනස් තරුණයන් බිල්ලට ගන්නට යි ඔය එන්නේ. මට සිකුරු යි ඕකා මගේ දරු පයිනසුන් උදුරාගෙන පටවාගෙන යනවා. දරුවනේ! පරෙස්සම් වෙයල්ලා. නුඹලාට වනය පොහොණි කරන හිරු දෙවියන් ගේ පිහිට යි! අප හදා වඩා ගත් අප සුරකින මිහිකත් දේවියගේ පිහිට යි! “

කැළයේ ලොකු-කුඩා සියලු ගස් පයිනස් මුත්තම්මා ගේ අවවාදයට කන් නැමුවා. ඒත් තරුණ මදයෙන් මත්වුණු එක් තරුණ පයිනසයෙක් පමණක් මේ කතාව කනට ගත්තේ නුහුරට යි. තරුණ පයිනසයාණන් ඉතා නිරෝගී ව මනාලෙස වැවී සිටියා. තමන් සතු අලංකාරවත් කේතුකාකාර පෙනුම හිරු විසින් සෙවණැල්ලක් ලෙස පෙන්වන හෙයින් ඔවුනට දැනුණා මහත් අභිමානයක්. අනෙක් තම සොහොයුරු ගස් පරදා රුවින් ද උසින් ද තර වූ තමන් සිය වනයට අබරණක් ම හා සමාන යැයි සිතුණා.

සිය මව ගේ සුවඳ ද හමා එන හමා දිවෙන මඳ සුළඟ ඇසුරින් තරුණ පයිනසුනට දැනුණා. මව ගේ මියුරු කට හඬේ මීයැසිය ද ඇසුණා. ඒ සියල්ල මිහිරක් වුවත් මව විසින් දුන් අවවාද නම් ඉවසන්නට පයිනස් තරුණයා කැමැති වුණේ නැහැ.

“මේ එක තැන ම හිටගෙන ඉඳලා මට දැන් හොඳට ම ඇති වෙලා. හිරු විසින් නොමසුරු ව දෙනු ලබන කිරණ කිරෙන් පොහොණිවෙමින් මිහි මව විසින් පොවනු ලබන පැන් බොමින් පවස දුරලමින් ද සිහිල් පිවිතිරි සුළඟ සුස්මවන අංගාරිකාම්ල වාතය සුස්මමින් ද තර ව සුළං රිද්මයට නැළවෙමින් ගෙවන මේ බොල් ජීවිතය නිකම් ම නිකම් කාලය කා දැමීමක්, කාලකණ්ණිකමක්. ලෝකය කියන්නේ මේ මහා වනාන්තරය පමණක් ම නො වේ. පයිනසුන් තනිව ම කියාගත්තා .

“උඹ තව ම තරුණයි. තව ම පැහිලා මඳි .”මව් ගස විසින් සිය පුතු ගසට ඉතා සෙනෙහෙබර ව කතා කළා . “උඹත් මාත් නිකම් ම නිකම් නිකමුන් නො වේ. හුස්ම ගැනීම කරන සියලු ම ගොඩබිම ජිවීනට වුවමනා ඔක්සිජන් වායුව අප විසින් දානය කරනු ලබනවා. අප නැති නම් පිරිසුදු සුසුම් ඇල්ලක් නැති ව සියලු සතුන් ම පාහේ පෙණහලු රෝගීන් බවට පත්වෙනවා.

“අනේ අම්මේ! මගේ යකා ඇවිස්සෙනවා. මළ විකාර නම් දොඩවන්න එපා! අවට කඳු පෙළත් ගලන ඇළ දොළත්, නැඟ බැස යන හිරුත් සඳුත් රෑ පායන තරුත් සුවිසල් අහස් කුසත් හැර වෙන කිසි දෙයක් මගේ ඇස ගැටී නැහැ. සීත සමයේ ඇතැම් කුරුල්ලන් පවා වෙනත් වෙනත් රටවල සංචාරයේ යෙදෙනවා. ඔවුන් කියන රස කතා මා අසා තිබෙනවා. මේ ළිං මැඬි ජීවිතය මට කල්කදුරු තිත්තයි .”

“පුතුනි! ඔබ එක තැන සිටියාට කරන මෙහෙවර බොහොම පළලයි. ගස විසින් භූ ගත ජලය සුරකිනවා. ජල උල්පත් රැකගන්නවා. නාය යාමෙහි වැටබඳිනවා . පරිසර දූෂණය අවම කරනවා. පයිනස් මව ආදරයෙන් පැහැදිලි කළා.

“ඇති ඇති! ඔය වැදි බණ හොදටෝම ඇති!” දහර පයිනසයා කෝපයෙන් උත්තර බැන්දා .

මේ සංවාදය වෙන අතරේ ම අර එමින් සිටි තඩි සතා දහර පයිනසුන් ළඟට කිට්ටු කළා. එක් මිනිසකු විසින් පයිනසුන් ගේ කඳ සවි මොළොක් කඹයකින් දෙතුන් පොළකින් බඳිනු ලැබුවා. උඩට නැඟුණු ආධාරකයක උදවු ඇතිව ඒ බැමි තද කෙරුණා. පා මුලට වන් විදිලිය කියතෙකින් දහර පයිනසුන් ගේ කය දරා සිටි පා(මුඳුන් මුල සහ මුලිති සැකිල්ල)ඔවුනට අහිමි කළා. එහෙත් තුරුණු පයිනසුන් බිම පතබැවුණේ නැහැ. බැඳී රැහැන් විසින් පයිනසයාණන් වඩාගෙන අමුතු සතා ගේ කය මත සතපවා ගැනුණේ ආදර මවක විසින් සිය දරුවා කරපින්නාගන්නා තරම් සීරුවෙනු යි, සැලකිල්ලෙනු යි. මේ වැටීමෙන් දහර පයිනසුන් ගේ එක අතු සිගිත්තකට හෝ සුළු තැල්මක් වත් ඇති වුණේ නැහැ. දහරයාට සිය මව දුන් අවවාද නම් සිහියට ආවා. සිය මෑණියන් දෙස ඔවුන් අවසන් වරට බැලුවේ වැතිරුණු ඉරියව්වේ සිටම යි.

ඉතින් රෝද පා සහිත දැවැන්තයා විසින් දහරයා ද සිය බඩතුර රුවාගෙන මහ වනය ගෙවා සෙමෙන් සෙමෙන් ගම් මායිමට ආවා. වන මායිම පනිද්දී නම් සිය මව ද සොයුරු තුරු පිරිස ද තනිකර දමා උඩුබැලි ව සයනය කරමින් මේ යන ගමන කොහින් කෙළවර වේ දැ යි මහත් බිය මුසු කුතුහලයක් ද දැනුණා. ගම්මාන පසුකැර නගරයට පිවිසුණු දහරයාට හිතුණා “මේක නම් සද්දන්ත ගහකොළ වැවුණු මනු සතුන් ගෙන් පමණක් සැදුණු මහා කොන්ක්‍රීට් වනාන්තරයක් ය.“ කියා.

ඉතා පැරැණි වූ ද රමණීය වූ ද මාලිගාවෙක වාසලේ දී ගමන නිම වුණා. දහරයා කුරුල්ලන් ගෙන් ඇසූ තොරතුරු අනුව “මේ මහා දෙව් මැඳුරකි” යි නිගමනය කළා. ඒක ඇත්ත. ඒ රෝමයේ මහා පුණ්‍ය භූමියක පිහිටි බැසිලිකා දෙව් මැඳුරක්. මේ දෙව් මැඳුරු වාසල් බිමේ පයිනස් දහරයා සිරස් ව සිටුවනු ලැබුවා. දහරයාට සිතුණා “අනේ මේ තකතීරු මිනිසුන් ගේ ගොන් වැඩ .මට මුල් නැති ව බොන්න බැහැ නේ. ඉතින් මා ටික දිනකින් පිපාසිත ව මියැදේවි. මගේ මුල් කපා මා නොමරා මරා මොකද්ද මේ කරන අලකලංචිය?”

ඉතින් ඊළඟට මිනිසුන් කිහිපදෙනකු තමන් වටකරගෙන සිටිනු දහරයාට පෙනුණා. තම අතු ඉති අග්වල රතු ඇපල් ගෙඩි සදිසි විසිතුරු වූ ද සැහැල්ලු වූ ද කුඩා පන්දු වෙසෙසක් එල්ලුණා. ධාන්‍ය මල්ලක අනුරුව ඇති ව රෙදි මලු පොඩිති ද අතු අග ඇමිණුනා. කුඩා රිදී සීනු අනුරූ අතු අග්ගිසිවල රැඳුණා.රන් පැහැ සේද පීත්ත පටියෙන් උපන් සමනල් පොඩිත්තන් අතු අග්ගිසිවල බැඳුණා. ඇත් දත් පැහැ වූ ද රන් පැහැ වූ ද පබළුවැල් කේතුකාකාර සිරුර වෙළාගත්තා. නා නා පැහැයේ ලස්සන කොච්චි කරල් බඳු විදුලි බුබුළිනි. දහස් ගණනක් පිපුණු සිහිනි වැල් හිස සිට පතුල දක්වා ම ඇතිරුණා.

පාදම වටකැර රතු පැහැ විල්ලූද බුමුතුරුණක් ඇතිරුණා. ඉතින් පයිනස් දහරයාට තේරුණා තමන් අලංකාර ලෙස ආයිත්තම් කැර ප්‍රභූ වරයකු බවට පත් කර ඇති වග.

“ ඇත්තට ම මගේ මේ අලංකාර උදාර පෙනුම අම්මාට දැකගන්නට ලැබුණා නම් ? දහරයා සංවේදී වුණා දහර පයිනසුන් ගේ ඇස් කඳුළින් තෙමුණා. “අම්මා සතුටු කඳුළු ඇස ඇති ව හමන මඳ නල හරහා ආදර හාදුවක් පා කර එවාවි” පයිනසුනට වැටැහුණා තමන් ජේසු බිළිඳුන් ගේ උපත් මඟුල සමරනුව නත්තල් ගසක් බවට පත්කර ඇති බව. රෝමයේ කිතුනු පුරයෙක මහ දෙව් මැඳුරෙක වාසලේ තැනුණු තම රුව රටේ ම පමණක් නො ව ලොවේ ම අලංකාර නත්තල් ගස බවට පත් ව ඇති බව ද දැනැගත්තා. රැයේ තම කේතුකාකාර සිරුර වටා විදුලි බුබුළිති දිදුලද්දී තම රුව දක්නට මහ සෙනගක් ඇදී ආවා. ඒ පමණක් ද වරින්වර පැමිණී පුවත්කලාවේදීන් විසින් ඔවුන් ගේ කැමරා මානන කල සිය රුව සැඩ දීප්ත විදිලි ආලෝක දියරින් නැහැවී ගියා.”කොපමණ අනැඟි ද මා කළ දෙව් පුතුන් සමරු පූජාව “යනුවෙන් සිතමින් දහර පයිනසුන් තරමක් උදම් වුණා.

ඉතින් නත්තල සෙමෙන් සෙමෙන් ඉකුත් ව ගියා. බැතිමතුන් ගේ පැමිණීම අඩු වුණා. මිනිසි අත් කිහිපයකින් සිය අලංකාර ආයිත්තම් ද විදුලි බුබුළිති ද ඉවත් කරනු ලැබුණා. ඇත්තට ම පිපාසයෙන් පීඩිත ව තරමක් වියැළී සිටි දහරයන් සපුරා ම නිරුවත් කරනු ලැබුණා.

ආඩම්බර ව සිටි දහර පයිනසුනට වස විලි ලජ්ජාවක් ඇතිවුණා. තම අම්මා විසින් දුන් අවවාද යළි සිහිපත් වන්නට පටන්ගත්තා. සිය මවගේ මියුරු කටහඬ සැබෑවට ම ඇසෙන්නා ඇසෙන්නා වගේ දැනුණා. තම සිරස මත තැම්පත් ව තිබූ සුරංගනා රුව සැබෑ රුවක් ව පෙනීහිටියා.

දහරයා ඉදිරියට අත් පොරවක් අත ඇති ව පැමිණි මිනිසකු තම අත් කපා දමන්නට ද කඳ කැබැලි කරන්නට ද සූදානම් වනු පෙනුණා.දහරයා වෙව්ලන්නට පටන්ගත්තා.

“ ඉවසන්න! ඉවසන්න! ඉවසන්න!පයිනස් දහර පුතුනි! සුරංගනාවිය පයිනසුන් ගේ මවුන් ගේ කටහඬින් කතා කළා.

“දැන් ඔබට පොරෝ පහර කන්නට සිදුවේවි. වේදනා ලොකුවට ම දැනේවි. මා දන්නවා ඔබ ලොකු අධ්‍යාත්මික මෙහෙවරක් ,සමාජ මෙහෙවරක් කළ කෙනෙක්. ඇත්තට ම ඇත්ත. ඔබ හිතනවා ඇති මෙසේ හොඳක් ම කළ මට ඇයි මේ අකරතැබ්බයක් කියලා. ලොවට සුවිසල් අධ්‍යාත්මික මෙහෙවරක් කළ ජේසූන් වහන්සේට ද වුණේ මෙ වන් ගැහටක් ම යි.එතුමන් මරණ දඬුවමට නියම වුණා. තම මරු වසන කුරුසිය කර තබාගෙන යන එතුමනට ලේ පෙරන තුවාල ඇතිවන සේ කසයෙන් පහර දුන්නා. පිපාසයට පැන් ඉල්ලද්දී අප්‍රසන්න කාඩි වතුර පොවනු ලැබුණා. රුදුරු කටු ඔටුන්නකින් හිසට වේදනාව දුන්නා. ඒ සියල්ල දෙවියන් ගේ පුතුන් විසින් ඉවසනු ලැබුණා. එයින් ජේසූන් විසින් ලෝකවාසීනට ඉවසීම පිළිබඳව දුන්

ආදර්ශය මා හැඟි යි. ඒ නිසා පුතුණි ඉවසීම පිළිබඳව ජේසූන් විසින් දුන් පරමාදර්ශය සිතෙහි දරාගෙන ඉවසීම පුරුදුවෙන්න!

අකාරුණික අත් පොරොවක් විසින් පයිනසුන් ගේ අත් කපමින් පාහින්නට පටන්ගත්තා. දෙව්දුවගේ උවදෙස්ම තරයේ සිතෙහි දරාගත් දහර පයිනසුන් දෙව් පුතුන් අනුයමින් බලවත් වේදනාව ඉවසා දරාගෙන සිටියා. අතු පෑහීම නිම වූ කල කඳ ද කුට්ටි කෙරුණා. අතු ද කඳන් දලොරි රියෙක බඩතුරට පටවනු ලැබුවා.

නගරයේ නත්තල් සිරිය නිමා වී තිබුණා. ඇතැම් සැරැසිලි කැඩී බිඳී අවපැහැයට හැරී තිබුණා. ඇතැම් සැරැසිලි වැස්සට තෙමී දුර්වර්ණ වී තිබුණා. දහරයා ගේ කොටස් පටවා ගත් රිය ආවේ දර මඩුවටයි. දහර පයිනසුන් ගේ අතු ද කඳ කුට්ටි ද සියල්ල එකකු විසින් ලොරි රියේ බඩ බඳුනේ සිට කිසිදු සැලකිල්ලකින් තොර ව බිමට වීසිකරනු ලැබුවා. දෙව් දුව කී ලෙස දේව ගතියෙන් ඉවසා සිටිනවා හැර වෙන මොනවා කරන්න ද ? දෙව් පුතුන් සමරන සමරු රුක ලෙස මහ පින්කමක් කළ තමන්ට උදා වුණු අබග්ගය ගැන අහස පොළොව ගැට ලන තරමට කල්පනා කරමින් දහරයා මහත් සේ ළතවුණා.

ඩහදියෙන් සිරුර තෙත්වුණු දුක්බර පෙනුම සහිත මුහුණකට හිමිකරු වූ එක්තරා මිනිසෙක් තමන් අසලට එනු කැබැලි කැබැලි ව සිටි දහර පයිනසුනට පෙනුණා. තම කඳ කැබැලි දරපලනා දරනුව මත නංවනු දහරයාට දැනුණා.

දුගී කම්කරු දර පලන්නා ගේ දෙ අත දරාගත් තියුණු පොරොව වේගවත් ව ඉහළට නැඟ පහළ පහළට එනු දුටුවා.

“මගේ කඳ පළා ලබන සුළු මුදලින් මේ අසරණ දරපලන්නා ගේ ද ඔවුන් ගේ දරු පවුලේ ද කුසගින්න නිවේ වා! මා ඉවසන මගේ වේදනාව තව කෙනෙකු ගේ කුසගින්නේ වේදනාව නිවන අමා පැනක් වේ වා!” පයිනසුන් බැතිබර සිතින් අදිටන් කළා.

දහර පයිනසුන් පැළිපැළී දර බවට පත් වුණා. දර වූ පයිනසුන් ඊළඟට ගෙනයනු ලැබුණේ හිසට වහලක් නැතිකම නිසා අසරණ ව පොදු නිවසක වසන මහල්ලන් ද මැහැලියන් ද නිවසන තැනකට යි.

සීතලෙන් වෙව්ලන මහල්ලන් ද මැහැලියන් ද ආබාධිතයන් ද වෙනුවෙන් ඔවුන් ගේ සීත දුරැලීම පිණිස උඳුනකට පිවිස ගිනිබත් වීමට ද කුසගින්නේ සිටින ඔවුනට පිසින කැඳ හැළිය තබන ළිපේ ගින්න වී කැඳ පිසීමට ද දහර පයිනසුනට අවස්ථාව ලැබුණා. දේව දූතියන් ගේ රුව යළි ද පෙනී සිටියා.” ඉතා ම හොඳයි. දුප්පතුන් ගේ කුසගින්න නිවන කැඳක් පිළියෙල කරනු පිණිස ද ඔවුන් ගේ කය උණුසුම් කරනු පිණිස ද ඔබ දිවි පිදීමට සූදානම් වීම ඉතා උසස් පින්කමක්. දිව්‍ය පූජාවක්. දෙවරක් නොසිතා දිවි පුදන්න. ජේසුන් වහන්සේ විසින් ද සිය ජීවිතය කුරුසියට පූජා කෙළේ අසරණ පව්කාර මිනිස් සංහතියේ පව්වලට වන්දි ගෙවනු පිණිස යි.

“ආමෙන්”

පයිනසුනට මහත් බැතිබර ව ඉබේ ම කියැවුණා. පයිනසුන් අවසාන වරට මෙසේ සිතුවා.” මේ මාගේ කය දැවී යන්නේ දුගියනට සේවය කරනු පිණිස යි.” දහර පයිනසුන් පින් සිත් උපදවාගෙන සිය ජීවිතය දුගී දුප්පතුන් වෙනුවෙන් පූජා කළා.

දේව දූතියන් ගේ මිහිරි කටහඩ යළි කන් පිනවූවා.”මෙ තැනින් ඉවර නෑ ඔබේ මෙහෙවර පයිනස් පුතේ! ඔබ අළු බවට පත්වනවා. ඔබේ අළු විසින් මිහිතලය යළි සරුසාර කරනවා”

පරිසරය ආලෝකවත් ද සුවඳවත් ද කරමින් දෙව්දුව ගේ හඬ බොඳ ව ගියා.

තිලක නවරත්න

Comments