දනියෙල් මුදලාලි! | සිළුමිණ

දනියෙල් මුදලාලි!

1980 ගණන් වන තෙක් ද දනියෙල්ගේ සිල්ලර කඩය සාර ව පැවැතිණි. එකල දෙල්ගමුව හන්දියට තිබූ හොඳම වෙළෙඳ මධ්‍යස්ථානය එය විය. සාමාන්‍ය ගම ගෙදරක කුස්සිය තරම් ඉඩ ප්‍රමාණයකින් යුක්ත වූ කඩය තුළ නොමැත්තක් නැත යැයි ගම්මු කීහ. එක පැත්තක ඔට්ටපාලු, කරුංකා, ගම්මිරිස් ආදිය මිලට ගෙන ගොඩ ගසා තිබිණි. තව පැත්තක ලාම්පු තෙල් හා පොල් තෙල් තිබිණි. තවත් පැත්තක සිල්ලර බඩු ය. එහි ම වීදුරු පෙට්ටියක ලිපි ද්‍රව්‍ය තිබිණි. ත්‍රී රෝසස්, ෆෝඒසස් හා නැවිකට් සිගරට් මිලට ගැනීම සඳහා ද බොහෝ දෙනා කඩයට ගොඩ වූහ.

දනියෙල් මුදලාලිගේ විශේෂත්වය වූයේ මනෝමයෙන් ගණන් හැඳීම ය. එකතු කිරීම, අඩු කිරීම, වැඩි කිරීම, බෙදීම පමණක් නොව සියයට ගණන් හැදීමේ ද දනියෙල් මුදලාලිට කිසි දිනෙක වරදින්නේ නැත. කඩයට කී දෙනකු පැමිණිය ද මොන මොන දේවල් මිලට ගනු ලැබූව ද හරි ටක්කෙටම ගණන හදා මුළු ගණන කියන්නට දනියෙල් සමත් විය. දෙකේ පන්තියට පමණක් ගිය දනියෙල් ගණිතයට දක්ෂයෙකු වී ඇත්තේ කඩ කෙරුවාව නිසා ය. ඔහුගේ ගණන් හැදිල්ල ඉදිරියේ ලොකු ඉස්කෝලේ මහත්තයා වුව පුදුම වෙයි.

දනියෙල් මුදලාලි කියූ විට ගම් තුළානේ සියලු දෙනා ඔහු හඳුනති. පන්සලේ පින්කමක්, ගෙදරක මඟුල් ගෙයක්, ඉස්කෝලේ උත්සවයක් තිබුණහොත් නිත්‍ය ලෙස ම ඔහුට ආරාධනාවක් ඇත. දනියෙල් මුදලාලි ගම් තුළානේ ප්‍රභූවරයකු හැටියට කටයුතු කළේ යැයි කීම නිවැරැදි ය. ඔහු කිසි දිනෙක මත්පැන් පානය කළේ නැත. දුම්වැටි පාවිච්චි කළේ නැත.

ප්‍රදේශයේ විශාල පිරිසක් දනියෙල්ගේ කඩයෙන් ණයට බඩු ගත්හ. ඔහු ඒවා පොතක ලියා තැබුවේ නැති වුව ණය මුදල හා ණයට ගත් දිනය හරියටම කියයි. දනියෙල් ණය නොගෙවන අයට හෝ ණය ගෙවීම ප්‍රමාද කරන අයට හෝ බැණ වැදුණේ නැත. ඒ වෙනුවට ඔහු කරන්නේ අපටත් මේ දවස්වල අමාරුයි මහත්තයෝ යන්න කීම පමණි. බැණ වැදීමක් හෝ රණ්ඩු කිරීමක් හෝ නැති නිසා ම කවුරුත් දනියෙල්ගේ ණය ගෙවා දැමූහ. ඩිස්පෙන්සරියේ දොස්තර මහත්තයා පවා දනියෙල් මුදලාලිගෙන් ණයට බඩු ගත් අතර වෙලාවට ඒවා ගෙවා දැමීය.

දිනපතා රැවුල බාන දනියෙල් ඉතා පිරිසුදුවට ඇන්දේ ය. සුදු සරම, සුදු අත්කොට කමිසය හා හම් පටිය ඔහුගේ නිල ඇඳුම මෙන් විය. උදෑසනම අතු - පොතු ගා බුදු පහන දල්වන දනියෙල් එතැන් සිට කඩයේ වැඩ ය. හන්දියට අන්තිම බසය එන රාත්‍රී එකොළහ වන තෙක් ද ඔහු කඩය විවෘත කරගෙන හොඳ අවදියෙන් සිටියේ ය. රාත්‍රී අටෙන් පසු සෙනඟ අඩු බැවින් එම කාලය තුළ ගුවන් විදුලියට සවන් දීම ඔහුගේ සිරිත විය. ප්‍රවෘත්තිවලට වඩා වෙළෙඳ වැඩසටහන් අසන්නට ඔහු කැමැති ය. සිංදුවලට වඩා ශාස්ත්‍රීය සාකච්ඡා අසන්නටත් ඔහු කැමැති ය.

හරියට ම 2002 ඔක්තෝබරයේ දහසය වැනි දා දනියෙල්ගේ සිල්ලර කඩයට අල්ලපු ඉඩම අයිතිකරු විසින් ප්‍රසිද්ධ සමාගමකට විකුණන ලදී. එතැන පාරට මුහුණ ලා පර්චස් හතළිස් හතරක භූමි ප්‍රමාණයක් තිබුණු අතර දනියෙල් කියා සිටියේ මට කීව නම්; මං ඕක තව වැඩි ගණනකට ගන්නවා යනුවෙන් ය. එහෙත් එම ඉඩමේ අයිතිකරුවා වූ ජේමිස් අප්පුහාමි නොහොත් රත්නායක රාලහාමි කුල ප්‍රශ්නයක් මත දනියෙල් සමඟ ඇයි - හොඳයියක් නැත. දනියෙල් කරබාගෙන සිටියේ එතැන තට්ටු දෙකේ ගෙයක් හදා එය ගෙස්ට් හවුස් එකක් බවට පත් කරනු ඇතැ‘යි සිතාගෙන ය. එවිට තමන් ගේ වෙළෙඳාම තවත් සරු වනු ඇතැ‘යි දනියෙල් සිතුවේ ය.

මාස හයක් යන්නට පෙර දනියෙල්ගේ සිල්ලර කඩය සමීපයෙන් සුපර් මාර්කට් එකක් නැඟී සිටියේ ය. එය විවෘත කරන දා ප්‍රසිද්ධ ගායක - ගායිකාවන් සහභාගි වූ සංගීත සන්ධ්‍යාවක් ද පැවැත්විණි. උත්සවය අපූරුවට සිදු විය. සුපර් මාර්කට් එකෙහි සේවයට මනහර ඇඳුම්වලින් සැරසුණු තරුණියෝ උන්හ. කිසිවකු මනෝමයෙන් ගණන් හැදුවේ නැත. පරිගණකයෙන් මුද්‍රිත බිල්පතක් සෑම පාරිභෝගිකයාටම ලැබෙයි. සුපර් මාර්කැට්ටුවෙහි ආකර්ෂණය හා දනියෙල්ගේ සිල්ලර කඩයේ තත්ත්වය දෙස බලන විට රූප සුන්දරියක් අසලින් නාකි මැහැල්ලක් සිටගත්තා මෙන් විය.

මේ පළහිලව්ව අතර ලොකු ඉස්කෝලේ මහත්තයා දනියෙල් සොයා කඩයට ආවේ ය.

“දනියෙල් උන්නැහැ

ඔය අලුත් මෝස්තර‍

ගමේ උන්දැලට හරියන්නෙ නෑ!“

“ඒක තමා මාත් කියන්නෙ,

දැම්ම වගේ ම වහල දාන්ටත් වෙයි!“

“මුදලාලි ගැන නො දන්න මිනිහෙක්

අවට ගම් හතේවත් නෑ!“

“අනේ ද කියන්නෙ අපේ මහත්තයා,

ඔය සමාගම්කාරයො

මිනිහෙකුට ණයට බඩුවක් දෙනවද?“

“වැඩි ම වුණොත් මාස දෙකක්

තියෙයි, ඊට පස්සෙ ඉතින්

අකුලගන්ඩ වෙනවා!“

ලොකු ඉස්කෝලෙ මහත්තයා කියූ ලෙස ම සුපර් මාර්කැට්ටුව තුළ කෝඳුරුවන් ඇතිරෙන්නට විය. මිනිස්සු සුපර් මාර්කැට්ටුව දෙස එබි - එබී බලමින් දනියෙල් ගේ කඩයෙන් බඩු ගත්හ. වෙනදාටත් වැඩියෙන් බඩු ගත්හ.

සමාගම සති දෙකක් යන්නට පෙර ප්‍රචාරක වැඩසටහනක් ආරම්භ කළේ ය. අත් පත්‍රිකාවක් මුද්‍රණය කොට ප්‍රදේශය පුරා බෙදා හැරිණි. සුපර් මාර්කැට්ටුව ඉදිරිපිට කෝලම් නාට්‍යකරුවන් යොදවා විකට රංග වේදිකා ගත කැරිණි. මීට අමතරව රූපවාහිනියේ දැන්වීමක් ද ප්‍රචාරය විය. දින - දෙක - තුන යනවිට තත්ත්වය වෙනස් වන්නට පටන් ගත්තේ ය. පළමුව සුපර් මාර්කැට්ටුව වෙත ඇදී ගියෝ තරුණ තරුණියෝ ය. දෙවනුව ගෘහණියෝ ය. තෙවනුව වැඩිහිටියෝ ය. සිවුවනුව ඈත ගම්වල ඇත්තෝ ය. ඔව්හු දනියෙල්ගේ සිල්ලර කඩය දෙස අවඥාවෙන් බලමින් සුපර් මාර්කැට්ටුව වෙත ගියහ.

දනියෙල්ගේ කාර්ය බහුලතාව තුනීවී ගියේ ය. ඔහු පුරුද්දට මෙන් උදෑසනම කඩය විවෘත කළ ද කිසිවකු බඩු ගන්නට පැමිණියේ නැත. රාත්‍රියේ අවසාන බස ය. එනතෙක් බලා සිටිය ද කිසිවකු බඩුගන්නට පැමිණියේ නැත. අඩු ම ගණනේ ණයට බඩුවක් ගන්නට ද කෙනකු නැත. දනියෙල්ගේ සිත මුළුමනින් ම කඩා වැටුණේ ලොකු ඉස්කෝලේ මහත්තයා ද සුපර් මාර්කැට්ටුව වෙත යනු දැකීමෙන් ය. ඔහු දනියෙල්ගේ කඩේ දෙස නො බලා ම සුපර් මාර්කැට්ටුවට ගොඩ විය.

සිල්ලර කඩය වසා දමා තේ කඩයක් විවෘත කළ යුතු යැයි සමහරු කීහ. හොඳම විසැඳුම බුලත්විට කඩයක් දැමීම යැයි තව සමහරු කීහ. ඔය ඉඩම විකුණා දැමිය යුතු බව ද, සුපර් මාර්කැට්ටුව නිසා ඉඩමට නව වටිනාකමක් ලැබී ඇති බව ද තවත් සමහරු කීහ. දනියෙල් යනු එකිනෙකාගේ කීම් බස් අසන කෙනකු නොවේ. ඔහු උපදේශනවලට කැමැති නැත. දනියෙල් සිල්ලර කඩය දියුණු කළේ ද තමන්ගේ ම ක්‍රමයකට ය. මනෝමයෙන් ගණන් හැදීම එහි එක් උපාය මාර්ගයකි.

දනියෙල් මුදලාලි සුපර් මාර්කට් ගොඩනැගිලි දෙස බලාගෙන ගැඹුරු කල්පනාවක නිමග්නව සිටිය දී එක්තරා තරුණයෙක් ඔහු සමීපයට පැමිණ මඳ සිනාවකින් යුතුව තනි කෙළින් හිටගෙන සිටියේ ය. ඔහු තමන්ගේ කඩයට නිතර පැමිණි පාරිභෝගිකයකු බව දනියෙල් මුදලාලිට සිහිපත් විය.

“මුදලාලි මහත්තය

මොකද නිකං ශෝකයෙන් වාගෙ?“

“හ්ම්හ්... දැන් ඉතින් අලුත් තාල නොවැ මහත්තයා!“

“මුදලාලි කියන්නෙ

අලුත් තාල එපා කියල ද?“

“අපට හරියන්නෙ

නෑ මහත්තයා!“

“ජීවිතේ පවතින්නෙ

කාලයේ තාලයත් එක්ක

මුදලාලි!“

තරුණයා යන්නට ගියේ ය. ඔහු යන දෙස බලා සිටි දනියෙල් මුදලාලි ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා යැයි කල්පනා කරන්නට පටන් ගත්තේ ය.

Comments