අද ගැන එදා ලියූ සොඳුරු කවියා පී. බී. අල්විස් පෙරේරා | සිළුමිණ

අද ගැන එදා ලියූ සොඳුරු කවියා පී. බී. අල්විස් පෙරේරා

ලෝකය චක්‍රයකි. අතීතය නැවත නැවත සිදුවෙමින් පවතී. සිද්ධිය එක ම ය. සිදුවන ආකාරයත් යම් පමණකට එක ය. මුහුණ දෙන ආකාරයේත් වෙනසක් නැතිවා නොවේ. කුමක් කෙසේවුව ද ලොව පරම සත්‍යයක් තිබේ. ඒ තැ‍ෙළන්නේ හැමදාමත් එක ම පන්තිය වීමයි. සාම්‍යය එයයි.

කවියා තුන්කල් දකින්නෙකි. ඔහු අතීතය, වර්තමානය සේම අනාගතය ද පිරිසිඳ දුටුවෙකි. එබැවින් මේ ලෝකයේ සිදුවන කිසිවක් ඔහුට ආගන්තුක නොවේ. 1949 දී ලියැවෙන මේ කවිය කියවන ඔබට අද මතක් වීම අරුමයක් නොවනු ඇත. කවියා කියන්නේ එවැන්නෙකි. සර්වකාලීන හා සර්වභෞමික බව කවියේ ආත්මය නම් මේ කවිය ලියූ කවියා ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? 

පාලන පනත් ඇත පොත් පිටු අතර ලැඟී 
කටයුතු දරුණු විය නීතියෙ බුරුල හැඟී 
දවසින් දවස බඩුවල මිල ඉහළ නඟී 
පීඩා විඳින්නන් උදවිය පමණ දුඟී

කාව්‍ය සංග්‍රහය වේදනාව ය. කාව්‍ය පන්තිය ලියන්නේ පී. බී. අල්විස් පෙරේරා ය. වර්ෂය 1949 ය. බඩු මිල හෝ සමාජ විෂමතා ගැන අප කතා කරන සෑම විටෙක ම මගේ පියා උපුටා දක්වන්නේ පී.බී. අල්විස් පෙරේරාගේ කවියකි. ඔහු තාල රස මවමින් උපහාසය ද තවරමින් එ් කවි කිහිපයක් ගායනා කරයි. අද අරුමයක් නොව එදා ද මෙසේ බව ඒ කවි කියමින් ඔහු කියයි.

මෙදා ඡායාමාත්‍රයක් ඔබට මේ කවියෙන් දැනීම වැළැක්විය නොහැක්කකි. අද සිදුවෙමින් පවතින්නේ ද එවැන්නකි. බඩු මිල ඉහළ ගියේ අද පමණක් නොවේ ය; එදා ද එහෙම ය. හැමදාම පීඩා වින්දේ නම් එක ම පන්තියකි. ඒ දුගී පන්තිය ය. එදා කවියෝ ඒවා ගැන ලියූහ.

පී. බී කවි ලියන්නට පටන් ගන්නා විට ලංකාව නිදහස් රාජ්‍යයක් ද වී නැත. නිදහස ලබන්නට පෙර ලියන්නට පටන් ගත් කවි නිදහස ලබා ද දශක දෙකක් පමණ ලියූවේ ය. නිදහසට පෙර නිදහස ද; නිදහසින් පසු නිදහස ද හේ ජීවත් වීමෙන් අත්වින්දේ ය. සමාජීය වෙනස්කම් හා වෙනස්වීම් ඔහු අත්වින්දේ ය. එබැවින් පී. බී.ට කල්පිත ලොවක් ගැන කවි පබඳිනවාට වඩා තමා ජීවත්වෙන සමාජයේ පෙනෙන්නට දකින්නට ඇති සාමාජීය ගැටලු ගැන කවි ලිවීම වැදගත් වෙන්නට ඇත. කලාව ඵලකයක තියා වඩා හිඳුවීමකට වඩා එහා ගිය පුද්ගල මැදිහත්වීමක ඇසින් ඔහු දුටුවේ ය. අත්වින්දේ ය. එමඟින් අසීමිත කම්පාවකට, තැළීමකට හා වේදනාවකට ලක් වූයේ ය.

ඔහු තැවුණේ සිය ජීවිත කාලය ම වැඩට සින්න වී ඇඟට හරිහමන් වස්ත්‍රයක්, කෑමට රස අහරක් නොලැබුණු වැඩකරන පන්තියේ ජනතාව වෙනුවෙන් උපන් ශෝකයෙනි. ගොවියා, රා මදින්නා, කම්මල්කරුවා, ධීවරයා, මිනිරන් පතල් සේවකයා, තේ දලු නෙළන්නිය මෙන්ම බස් රථ රියැදුරා ද ඔහුගේ තැළුණු සිතේ රිදුමට අයිතිකාරයෝ ය. වේදනාව, අසරණකම විසින් පාගා දමන ලද බොහෝ චරිත ගැන සිය පෑන හසුරුවන්නට ඔහු දෙවරක් නොසිතන්නේ මේ නිසා ය.

බලහත්කාරයෙන් ගත් වී කොටස පවා 
ගබඩාවලට ගොවියගෙ කර උඩින් යවා 
රුපියල් හයක් යන්තම් බුසලකට ගෙවා 
සාධාරණය පෙන්වයි මුළු ලොවට මවා

මහා පරිමාණ වී වෙළෙන්දන්ගේ කෙරුවාව ගැන ඔහු ලියූයේ එදා මේ අයුරෙනි. අද බොහෝ කවියන් මේ සියල්ල දැක මනස් වීරයන් ගැන පද ගළපද්දී පී. බී. ගේ සිත එදා වේදනාවෙන් වෙව්ලුම් කෑවේ ගොවියා ගැන ය. කලාකරුවාගේ අරමුණ කුමක් විය යුතු ද යන්න ගැන හේ බෙහෙවින් සවිඥානික විය. දුප්පත්, බෙලහීන හා කුලහීන ජනතාව ගැන ඔහුගේ සිත පෙළු වේදනාවේ ගැඹුර ඒ කවි පදවල දැවටී රසික සිත් ද කම්පාවෙන් පෙළයි. දේශපාලකයන් මෙන් නොව කවියන්ට ස්වාර්ථ සාධන බලාපොරොත්තුවක් නැත.

පී. බී. අල්විස් පෙරේරා හෙවත් පිලදුව බෝගමගේ අල්විස් පෙරේරා උපත ලබන්නේ 1917 මාර්තු 3 දා කොල්ලුපිටියේ දී ය. පිලදුව බෝගමගේ ජේමිස් පෙරේරා හා කන්දගේ පොඩි හාමිනේ යුවළට දාව උපන් පී. බී. ට සහෝදර සහෝදරියන් 4කි. ඒ විල්බට්, ඇසිලින්, මැගිලින්, ඇල්ප්‍රඩ් ලෙසිනි. කොල්ලුපිටිය මෙතෝදිස්ත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන පී. බී. ලේක්හවුස් ආයතනයේ හා හෙළදිව පුවත්පතේ කර්තෘවරයා වශයෙන් සේවය කර තිබේ. 1942 දී විවාහ දිවියට ඇතුළත් වෙන ඔහුගේ බිරිය වන්නේ ඉන්ද්‍රා කුමාරනායක ය. ඔවුන්ට දරුවන් දෙදෙනෙකි. ඒ කමල් විජේසිංහ හා චිත්‍රා අයි. පෙරේරා ය. ඔවුනට මුනුපුරු මිනිබිරියෝ 5ක් වෙති. ඒ ප්‍රවාල, ප්‍රණාම, තරංගා, මාධව, තාරක ලෙසිනි. 

1941 දී උක්දඬුදුන්න නැමැති කාව්‍ය සංග්‍රහය පළ කරන ඔහු පළමු කාව්‍ය ලියන්නේ එකළොස්වැනි වියේදී බව දියණිය චිත්‍රා පවසයි. කාව්‍ය සංග්‍රහ 27ක් හා ළමා කාව්‍ය විශාල ප්‍රමාණයක් රචනා කරන ඔහුගේ කාව්‍ය අස්වැන්න පහළොස් දහසකට අධික බැව් පී. බී. අල්විස් පෙරේරා එකතු කළ කවි ප්‍රථම හා ද්විතීය භාග කෘති ද්විත්වය සංස්කරණය අධ්‍යයනය හා විමර්ශනය කරමින් ආචාර්ය ඩබ්ල්යු. ඒ. අබේසිංහයෝ පවසති.

පී. බී. අල්විස් පෙරේරා කාව්‍ය ග්‍රන්ථ නාමාවලිය දිගු වූවකි. කාව්‍ය කෘති 27 කින් සමන්විත එකී නාමාවලිය මෙසේ ය. උක්දඬුදුන්න, වරක් වැන්දොත් කැලණියේ, සොබාදහම, බුදු මැදුර, ගොවි පෙරමුණ, මිනිපාන, දෙව්ලොව ගිය කම්මැලියා, රන්තලිය, අපේ හටන, වේදනාව, ළමයින්ගේ සුරපුර, සංවාදය, මිය ගිය කිරිල්ලී, ජන්මභූමිය, අන්ධ කවියා, ඉරුණු කොඩිය, ලුමුම්බා, කේයස්, සුවඳ විලවුන්, අනුර සිහිනය, විමලරත්න කුමාරගම, බණ මාලා, නොගයන ගීතය, සුදු මැණිකේ, කරදාසි පහන, නාගස යටදී හා පබළු මිණි ඒ කාව්‍ය අස්වැන්නයි.

ළමා පද්‍ය රචනයේදී පී. බී. සලකුණකි. කුමරතුඟු ඇසුර නිසා ඔහුගේ කාව්‍යත්වය ඔප වැටෙන්නට ඇතැයි විචාරක මතයයි. ළදරුවන්ගේ සිහින, මුතු ඇටයේ ආලය, නැටුම, පුතා නිදි ආදී පද්‍ය බොහෝ දෙනකුට සිය ළමා කාලය සිහිගන්වන සුලු ය. ඒවායෙහි වචන සුසංයෝගය, රිද්මය, තාලය හා අනුප්‍රාසය චමත්කාරජනක ය. ළමා වියේ සුන්දරත්වයත්, විචිත්‍රත්වයත් එහි මනාව සුසංයෝගී ය. හේ සිය කවිත්වය මහ පොළොවේ අතිශය කටුක වෘත්තීන්හි නිරත ජනතාවගේ දුක වෙනුවෙන් කෙතරම් භාවිත කළත් දරුවන්ට ලියන විට ඉන් වෙනස් ම මඟක් ගත්තේ ය. ඒ ලොව කාල්පනික ය. විසිතුරු ය. මනහර ය. දරුවන්ගේ මනසේ සංකල්ප රූප මැවෙන සුළු ය. නැළවි නැළවි යන කාව්‍ය ඊට මනා නිදසුනකි.

ගැඹුරු මුහුද තරඟ ඉරෙන හඬට කන යැවේ 
ඇසට පුරුදු නින්ද එතුදු දෙනෙක පිය නොවේ 
නැළවි නැළවි නැළවි නැළවි සයුර මැද නැවේ 
ගමන තරම අරුම පුදුම සැපක් නැත ලොවේ

ජනතා හිතවාදී කවියකු ලෙස පැවතිය යුතු නිර්භය අභියෝගාත්මක කාව්‍යකරණයත් නිර්මාණශීලී කවියකු ලෙස තිබිය යුතු පරිකල්පනීය චමත්කාරයත්, සමාජ ශෝධකයකු ලෙස තිබිය යුතු උපහාසයත් නො අඩුව ඔහු සතු ව විණි. අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ එන චතුර් කවීන්ගේ කාව්‍ය ලක්ෂණ සියල්ලෙන් ම පාහේ ඔහු සජ්ජිත ය. චින්තා කවි, සුත කවි, අත්ථ කවි, පටිභාන කවි ආදියෙහි කාව්‍ය ලක්ෂණ යමෙක් විග්‍රහ කරන්නේ ද ඒ සියල්ලේ යම් ආකාර සාම්‍යයක් පී. බී. ගේ කවිවල පෙන්නුම් කෙරේ. මේ කවිත්වය නිකම් එන්නක් නොවේ. ඔහුගේ නෛසර්ගික හැකියාව සේම සතතාභ්‍යාසය ද එයට බලපෑම් කරන්නට ඇත. තමා අත්විඳින දුක සැප ආදී සියලු වේදයිත ස්වකීය නිර්මාණකරණය සඳහා ඔහු උපයුක්ත කළ බව නොරහසකි. ඔහුගේ හොඳ ම මිතුරන් වී ඇත්තේ කේයස් හා කුමාරගම ය. සත්ජන ඇසුර හා බහුශ්‍රැත සමාගම ජීවිතවලට කරන එළිය විශ්වවිද්‍යාල අධ්‍යාපනයට වුව හසු නොවනු ඇත. ඒතරම් දැනුමක් හා අත්දැකීම් සම්භාරයක් ඒ ඔස්සේ සංග්‍රහ වේ. අප මේ කතා කරන පරම්පරාවේ බොහොමයකට ඒ වාසනාව ලැබුණේ ය. මේ සුප්‍රකට කවියන් දෙදෙනා දැයෙන් සමුගත් මොහොතේ සිය හෘදය සංවේදී මිතුදම වෙනුවෙන් ඔවුන් වෙනුවෙන් හේ ග්‍රන්ථ ද්විත්වයක් සම්පාදනය කළේ ය. ඒ කේයස් හා විමලරත්න කුමාරගම ලෙසිනි. එක ම ක්ෂේත්‍රයේ සිටිමින් මෙතරම් ගෞරවාන්විත ව තවත් කවියන් දෙදෙනෙක් වෙනුවෙන් පොත් දෙකක් ලියන්නට තරම් ඔහු සංවේදී වීම; මේ පරපුරේ එකිනෙකා නොරුස්සන බොහෝ නිර්මාණකරුවන්ට ආදර්ශයක් යැයි නොකියා බැරි ය.

පී. බී. ගැන කතා කරන විට මතක් වෙන තවත් චරිතයක් තිබේ. ඒ මිල්ටන් කුමාරනායක ය. ඔහු; පී. බී ගේ බිරිය ඉන්ද්‍රාගේ අයියා ය. ශාස්ත්‍රවන්තයෙක්, බුද්ධිමතෙක් හා කවියෙක් වෙන ඔහු ලංකා විශ්වවිද්‍යාලයේ සංස්කෘත පිළිබඳ ගෞරව උපාධියත්, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පාලි පිළිබඳ ගෞරව උපාධියත් ලැබූ භාෂා 7කට වැඩි ප්‍රමාණයක් දැන සිටි ජ්‍යෙතීර්වේදියෙකි. ඔහුගේ ආභාසය හා ඇසුර පී. බී ට ලැබෙන්නට ඇත. ඔවුහු ඉතා සමීපව ඇසුරු කළ ඥාතීත්වය ඉක්මවා ගිය මිතුරුදමකින් යුක්ත වීම පී.බී.ට ආලෝකයක් සපයන්නට ඇත.

පී. බී. ගේ කවියට විෂයය නොවූ විෂය පරාසයක් නැති තරම් ය. එතරම් පුළුල් කාව්‍ය විෂයය පරාසයක සරන්නට තරම් ඔහු ලද විවේක බුද්ධිය පිළිබඳ විස්මයක් ඒ කවි කෙතෙහි සරන ඕනෑ ම අයකුට ඇතිවීම වැළැක්විය නොහැකි ය. වැඩ කරන ඕනෑ ම අයකුට සිදුවිය හැකි ස්වභාවසිද්ධි සඳහා ඔහු ද මුහුණ දුන්නේ ය. විචාරකයන්ගේ නිර්දය විචාරයට මෙන්ම විවේචනයට ලක් වූ ඔහු ඉන් කිසිවිටෙකත් නොසැලුණේ ය. වළං බිඳෙන්නේ වළං සෝදන්නන් අතින් මිස නිකම් ඉන්නා අය අතින් නොවේ. තමා නිරත කාර්යයෙහි අනලස් ව හා ප්‍රීතිමත් ව යෙදුණු හේ විවේචකයන් ට දුන් පිළිතුර වූයේ එකී නිර්මාණ අස්වැන්න ය. විවේචකයන් ඔහු විවේචනය කරමින් සිටියදී හේ පහළොස්දහසකට අධික කවි සංඛ්‍යාවකුත්, කාව්‍ය කෘති 27කුත් නිකුත් කරන්නේ ය.

1955 වසරේදී ජන්මභූමිය කාව්‍ය සංග්‍රහයට ලියන පෙරවදනේ විවේචන ගැන ඔහු මෙසේ පවසයි. 

‘සමහර විචාරකයෝ පොත් පිටු ගණන්, පත්තර තීරු ගණන් මගේ කවි ගැන ප්‍රශංසා කරති. සමහරෙක් පහර දෙති. ඇතැම්හු රබර් පටි අදින්නාක් මෙන් මා ලියූ පද හරහට දිගට අදිති. මෙයින් මා විඳින රසය විනෝදය අපමණ ය‘

සිය සමාජ වගකීම පිළිබඳ සවිඥානික ව සමාජ ශෝධනය උදෙසා සේ ම, නිර්මාණාත්මක සොබාදම් වැයුමේ ද, විචිත්‍රවත් ළමා කාව්‍යකරණයේ ද නිරත වූ හේ; සිය දශක පහකට වසරක් අඩු වූ ජීවන ගමන්මඟ මුළුමනින් ම පාහේ ගෙවූයේ නිර්මාණකරණය වෙනුවෙනි. ඔහු සිංහල ජාතිය පුවත්පතට 1956 දී අපූරු ලිපියක් ලියයි. එහි කොටසක් අප උපුටා දක්වන්නේ කාව්‍යකරණය ගැන ඔහු සිත වූ හැඟීමේ ප්‍රාභල්‍ය ඔබට පවසනු වස් ය.

‘කවිය වූ කලී සෞන්දර්යය හා මිනිසා අතර ඇති ප්‍රණීත සම්බන්ධය එකට ගැට ගසා තබන කිසියම් ශක්තියකි. මිනිස් සිතෙහි ආධ්‍යාත්මික පාරිශුද්ධිය ඇති කිරීමට කවිය පමණ පහසු දෙයක් නැත. කවියා සසර කෙටි කළ පුද්ගලයා ය. කවිය ඔහුගේ හදවත ය.‘

දශක තුනක් වැනි කාලයක් පැවැති ඔහුගේ නිර්මාණ දිවිය මේ වැනි කෙටි සටහනකින් ලිවිය නොහැකි බැව් පාඨක ඔබ දන්නා බැව් මම දනිමි. ඔහු නොකිය වූ කවියකි. කියවා නිම කළ නොහැකි කවියෙකි. ඔහුගේ කවිත්වයත්, නිර්මාණ ප්‍රතිභාවත්, අදීන චින්තනයත්, විචත්‍රවත් පරිකල්පනයත් විසින් අපට දායාද කළ නිර්මාණ අස්වැන්න දශක ගණනක් ඉක්මවා ගියත් බැබළෙන්නේ ය. ඔහු එදා ලියූ කවි අද ට ගැළපෙන අයුරු පිළිබඳ පිරිසිඳින්නට ලිපිය ඇරඹුමේ වේදනාව කාව්‍ය සංග්‍රහයේ අප ඉදිරිපත් කළ කවිය වුව ප්‍රමාණවත් ය. අඩසියවසකට වසරක් නොඅඩු ජීවන ගමනේ දශක තුනක් පමණ හේ මුළුමනින් ම වැය කර ඇත්තේ කාව්‍යකරණය වෙනුවෙනි. ඉදින් ඔහු නොකියවූ කවියක් බැව් කීම අසාධාරණ නොවේ.

චිත්‍රා අයි පෙරේරා එක ම දියණිය සිය පියා කියූ කවි දෙපදයක් වරක් අප හා පැවසුවා ය.

අඳුරේ ඈත දිව ගිය දෙව් එළිය වෙසින් 
කවියා මළත් ඔහු නොමැරේ මතක විසින්...

වහල් ජාතියක නිවහල් වීමත්, අපරාධකරුවන් උපාසකයන් වීමත්, කඳුළ සිනහවක් වීමත් කවියා නිසා ඇතිවිය හැකි සංසිද්ධි ය. මලක් සිය සුගන්ධය එය වින්දනය කරන ඕනෑ ම අයකුට නිර්ලෝභී ව හා එක සමාන ව බෙදා හරින්නා සේ පී. බී. සිය කවිත්වයෙන් ස්පර්ශ නොකළ සමාජ ස්ථරයක් නැත. එවන් කවියකු සැබෑ ලෙසින් ජීවමාන වූයේ වසර 49ක් වුව ද; තව දශක සිය දහස් ගණනක් සිය ප්‍රභාව විහිදන්නට සමත් කාව්‍ය නිධානයක් පාඨක රසික ප්‍රජාවට තිළිණ කර ඇත්තේ ය. එබැවින් සැබෑ කවියාට නික්ම යෑමක් නැත. ඇත්තේ භෞතික ව පෙනෙන රූපකායේ නොපෙනී යෑමක් පමණී. පරිකල්පනීය ඉසව්වේ රසික පාඨක ප්‍රජාවට සිය කැමැත්තේ පරිමාව අනුව ඔහු හමු වීමේ කිසිදු තහනමක් නැත. කවිය ඔස්සේ ඔහු සමඟ සංවාදයක යෙදීමේ තහනමක් ද නැත. ඒ ඇසුර අවැසි අයකුට ලබන්නට පී. බී. අල්විස් පෙරේරා එකතු කළ කවි ප්‍රථම හා ද්වියිතීය කෘති ද්විත්වය ද මඟ පෙන්වනු ඇත.

Comments