ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලිය අද සිට | Page 2 | සිළුමිණ

ශ්‍රී ලංකා සිම්බාබ්වේ එක්දින තරගාවලිය අද සිට

මෙම වසරේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මුල්ම අන්තර්ජාතික තරගාවලිය අද (16) සිම්බාබ්වේ පිලට එරෙහිව පල්ලකැලේ අන්තර්ජාතික පිටියේ දී ආරම්භ වීමට නියමිත ය. මීළඟ ලෝක කුසලාන තරගාවලියේ සුපර් ලීග් වටයට ඇතුළත් වීම වෙනුවෙන් සුදුසුකම් ලබා ගැනීමට පැවැත්වෙන මෙම එක්දින තරගාවලිය තරග තුනකින් සමන්විත වේ.

මෙම තරගාවලියේ දී සත්කාරක දේශය මෙන් ම පළපුරුද්ද අතින් ද ශ්‍රී ලංකාව සිම්බාබ්වේ පිලට වඩා ඉදිරියෙන් සිටින බව පෙනී යයි. ක්‍රෙග් අර්වින්ගේ නායකත්වයෙන් යුත් සංචාරක පිලේ සිටින පළපුරුදු ක්‍රීඩකයන් අතරින් සීන් විලියම්ස්, සිකන්දර් රාසා සිම්බාබ්වේ පිලට ඇතුළත් ය.

මේ අනුව කණ්ඩායමේ පිතිකරණයේ වැඩි වගකීම මෙම ක්‍රීඩකයන් තිදෙනා මත රැඳී ඇත.

නායක අර්වින් හට පෞද්ගලික වශයෙන් ද මෙම තරගාවලිය වැද-ගත් ය. ඒ එක්දින ජගත් තරග 99 ක ට සහභාගී වී ඇති ඔහු අද තමාගේ 100 වන අන්තර්ජාතික එක්දින තරගය වෙනුවෙන් ක්‍රීඩා කරයි.

මේ වන විට එක්දින පිටියේ ලකුණු 2737 ක් රැස්කර ඇති ඔහු ලැබූ ශතක ගණන තුනක් වන අතර, අර්ධ ශතක 17 කි. අවසන් වරට ඔවුන් මෙරට සංචාරය කළ 2017 තරගාවලියේ හම්බන්තොට පැවති තරගයක දී ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව නොදැවී ලකුණු 69 ක් වාර්තා කළේ තම කණ්ඩායමට ජය ගෙන එමිනි. ඔහුට අමතරව දකුණත් පිතිකරු සිකන්දර් රාසා කණ්ඩායමේ සිටින තවත් කැපී පෙනෙන පිතිකරුවෙකි. එක්දින තරග 108 ක දී ඔහු රැස්කර ඇති ලකුණු 3011 ට ශතක 03 ක් හා අර්ධ ශතක 18 ක් ඇතුළත් ය.

අවසන් වරට ශ්‍රී ලංකාවේ සංචාරය කළ 2017 වසරේ තරගාවලියේ දී ගාල්ලේ තරගයක දී සිකන්දර් රාසා ලකුණු 67 ක් ලබාගත් අතර, හම්බන්තොට දී 21/03 ලෙස දක්ෂ පන්දු යැවීනමක ද නිරත විය. මෙම තරග දෙකම ඔවුන් ජය ගැනීම කැපී පෙනෙයි. 

2017-18 බංග්ලාදේශයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 81 ක් ලබා සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් එවරද තම කණ්ඩායමේ ජය සහතික කිරීමට ඔහු සමත් විණි. එක්දින තරග පිටියේ තරග 139 ක දී මුළු ලකුණු 3995 ක් රැස් කරගෙන සිටින සීන් විලියම්ස් මෙරට පන්දු යවන්නන්ගේ අවධානය යොමු විය යුතු තවත් ක්‍රීඩකයෙකි. බොහෝ විට ඔහු මෙවර ශ්‍රී ලංකාවේ දී තම 4000 වැනි එක්දින තරග ලකුණ ලබා ගනු ඇත. ශතක 04ක් සමග අර්ධ ශතක 32ක් ලබා ඇති ඔහු 2017 සංචාරයේ දී ගාල්ලේ දී ලකුණු 65 ක් ලබා ශ්‍රී ලංකාව පැරදවීමට දායක විය. වමත් දඟ පන්දු යවන්නකු ලෙසද දස්කම් දක්වන මොහු මේ වන විට බිඳ හෙළා ඇති කඩුලු ගණන 75 කි.

ඔවුන්ගේ පන්දු යවන්නන් දෙස බලන විට එක්දින තරග 73 ක දී කඩුලු 96 ක් ලබා ඇති දකුණත් මඳ වේග පන්දු යවන්නකු වන ටෙන්ඩයි චතාරා බොහෝ විට මෙම තරගාවලියේ දී තම 100 වැනි එක් දින ජගත් කඩුල්ල දවාලීමට ඉඩ තිබේ. ඔහු 2017-18 බංග්ලාදේශයේ දී ශ්‍රී ලංකාව පැරද

වූ තරගයේ දී සුපිරි පන්දු යැවීමක් සටහන් කළේ 33/04 ලෙස ය.

සිම්බාබ්වේ පිල අවසන් වරට මෙරට සංචාරය කළ 2017 වසරේ 3-2 ලෙස ශ්‍රී ලංකාවට එරෙහිව ලත් තම ප්‍රථම ඓතිහාසික එක්දින තරගාවලි ජයග්‍රහණය සඳහා මෙම ක්‍රීඩකයන් සිව් දෙනා ලබා දුන් දායකත්වය මෙහි දී අමතක නොකළ යුතුය. මොවුනට අමතර ව මෙවර කණ්ඩායමේ සිටින දකුණත් මඳ වේග පන්දු යවන්නකු වන ලුක් ජෝන්වේ තවත් කැපී පෙනෙන පන්දු යවන්නෙකි.

ඔහු. ඇෆ්ගනිස්ථානයට එරෙහිව 06/05 ලෙස කඩුලු දවාලීම ඔහුගේ එක්දින පිටියේ හොඳම පන්දු යැවීම ය. දකුණත් මඳ වේග පන්දු යවන්නකු වන බ්ලෙසින් මුෂරබානි මෙන් ම වමතින් දඟ පන්දු යවන වෙලින්ටන් මසකස්ඩා ද මෙවර සිම්බාබ්වේ කණ්ඩායමේ කැපී පෙනෙන පන්දු යවන්නන් ය.

“අප සුපර් ලීග් වටය හොඳින් ආරම්භ නොකළ නමුත් මට විශ්වාසයි අප ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් දස්කම් දක්වයි කියා. අප අපේ දස්කම්වලට අනුව හොඳින් ක්‍රීඩා කළහොත් අපට කෙළින්ම (ලෝක කුසලානය සඳහා) සුදුසුකම් ලබා ගන්නට පුළුවන්.” සිම්බාබ්වේ පුහුණුකරු හිටපු ඉන්දීය ක්‍රීඩක ලාල් චන්ද් රාජ්පුට් පවසයි.

මේ වන විට ලැබෙන පුවත්වලට

අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු කොරොනා ආසාධිත බවට හෙළිවී ඇති අතර, එය ශ්‍රී ලංකාව පැත්තෙන් අවාසිදායකය. මිට පෙර නායක දසුන් ශානක හට ද රෝගය ආසාධිත බවට වාර්තා වී තිබූ නමුත් බොහෝ විට ඔහුට තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වීමට ඉඩ තිබේ. එමෙන්ම කුසල් මෙන්ඩිස්, දනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් හට පනවා තිබු තහනම කලින් අවසන් කිරීම මත බොහෝවිට ඔවුන් හට ද මෙම තරගාවලිය නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වීමට ඉඩ තිබේ.

ඉතිහාසයේ ලෝක වාර්තා

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ දෙරට අතර මුල් ම එක්දින ජගත් තරගය 1991-92 ලෝක කුසලාන වෙනුවෙන් නවසීලන්තයේ නිව් ප්ලයිමවුත්හි පැවති අතර, මෙම තරගය ලෝක වාර්තාවක් එක්දින ජගත් පිටියට එක් කළ තරගයකි. ඒ කණ්ඩායමක් එක්දින ජගත් තරගයක මුල් වරට ලකුණු තුන්සියයක් හඹා ගොස් ජය අත් කරගත් අවස්ථාව වාර්තා වීමෙනි.

එදා සිට මේ දක්වා දෙරට අතර පැවත්වී ඇති තරග 57 න් තරග 44ක් ශ්‍රී ලංකාව ජය ගෙන ඇති අතර සිම්බාබ්වේ කණ්ඩායම ජය ලබා ඇති තරග සංඛ්‍යාව 11 කි. තරග දෙකක තීරණයකින් තොරව අවසන්ව තිබේ. ප්‍රධාන තරගමාලා සඳහා පැවති තරග හැරුණු විට දෙරට අතර වූ තරගමාලා හයෙන් පහක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. සංචාරකයන් ජයගෙන ඇත්තේ එකම එක තරග මාලාවක් වන අතර එය පැවතුණේ 2017 තරගාවලියේ දී ය. එය ඔවුන් ජය ගත්තේ 3-2 වශයෙනි.

දෙරට අතර වැඩි ම ලකුණු ලාභියා වනුයේ ලකුණු 919 ක් ලබා ඇති සිම්බාබ්වේ හිටපු නායකයෙකු වන ඇන්ඩි ෆ්ලවර් ය. ශ්‍රී ලංකාව වෙනුවෙන් මාවන් අතපත්තු මුළු ලකුණු 906 ක් ලබා මෙහි දෙවන ස්ථානයේ පසුවෙයි.

දෙරට අතර එක්දින තරගයක වැඩිම ලකුණු ලබා ඇත්තේ ටී.එම්. ඩිල්ෂාන් ය. ඒ ලකුණු 144 කි. මෙය 2010-11 පල්ලකැලේ පිටියේ වාර්තා විය. එමෙන් ම වැඩි ම ශතක ලෙස ශතක දෙක බැගින් වාර්තා කර ඇති පිතිකරුවෝ කිහිප දෙනෙකි. නිරෝෂන් දික්වැල්ල, රොෂාන් මහානාම, අරවින්ද ද සිල්වා, උපුල් තරංග, ටි.එම්. ඩිල්ශාන් හා ඇන්ඩි ෆ්ලවර් එලෙස ශතක දෙක බැගින් රැස් කර ඇත.

සිම්බාබ්වේ කණ්ඩායම 2003-04 හරාරේ හි දී ලකුණු 35 ක ට ද 2001 -02 කොළඹ එස්.එස්.සි.පිටියේ දී ලකුණු 38 ක ට ද දැවී ගොස් ඇත්තේ තරගාවලියේ වාර්තා වූ අඩුම ලකුණු ගණන් වාර්තා කරමිනි. මෙයින් කොළඹ එස්.එස්.සී.පිටියේ දී ලකුණු 38 ක ට දැවී ගිය අවස්ථාවේ චමින්ද වාස් 19 /08 ලෙස ජගත් එක්දින පිටියේ මේ දක්වා දැක ගැනීමට ලැබුණු හොඳම පන්දු යැවීම වාර්තා කළේ ය. තවද දෙරට අතර තරගාවලියේ වැඩි ම කඩුලු ලාභියා ලෙස මුත්තයියා මුරලිදරන් කැපී පෙනෙන්නේ කඩුලු 59 ක් දවාලමිනි.

අනිල් වීරසිංහ

Comments