යන්නම ඕනෑ නම් යන්න | සිළුමිණ

යන්නම ඕනෑ නම් යන්න

- ශ්‍රී ලංකාවේ වීරයකු වන්නේ ද අමෙරිකාවේ වීරයෙක් වෙනවා ද? 
- විශ්වාසය පළුදු වූ කණ්ඩායමක විශ්වාසය ගොඩනැංවූ පිතිකරුවෙක් 
- අනාගතයේ කතා කළ හැකි වාර්තා ගොඩනැංවිය හැකි පිතිකරුවෙක්

'න්න සිතන අයට යන්න දිය යුතු ය. එහෙත් ඉන්න හිතන අය සිටිත් නම් නිසැකවම ඔවුන් රැක ගත යුතුය. එලෙසින් ම යන අයට යා හැකි ක්‍රමවේද ඇතුළත් කරමින් අණපනත් නිර්මාණය කිරීමට ද අමතක නොකළ යුතු ය. දැන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් යම් තරමකට නීති රාමුවක් සකසමින් දක්ෂතා සහිත ක්‍රීඩකයන් තම ජාතික සංචිතය තුළ රඳවා තබා ගැනීමට සැලසුම් කරමින් තිබීම සතුටුදායක ය. මේ ඒ සිදුවීම් සියල්ල සමෝධානික කරද්දී ඇති වන තත්ත්වයන් පිළිබඳය.'

පසුගිය දිනවල ක්‍රීඩා පිටියේ ප්‍රධාන පුවත බවට පත්ව තිබුණේ භානුක රාජපක්ෂ හදිසියේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය ය. මේ සටහන තැබූවේ ඔහු එකී තීරණයට එළැඹි බව වාර්තා වූ මුල් කාලයේදී ය. එහෙත් පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව ආසන්න වනවිට ඔහු එකී තීරණය වෙනස් කරගත් බව වාර්තාවිණි. මේ අදාළ සමුගැනීමේ තීරණය අළලා තැබූ සටහනේ අප මතුකළ කාරණාවන් තවදුරටත් ඔහු පමණක් නොව ඕනෑම සමුගන්නා ක්‍රීඩකයකු විෂයේ වැදගත්ය. එහෙයින් මෙම ලිපිය තවදුරටත් කාලීන හෙයින් මෙසේ එලෙසම පළකරමු.

සාමාන්‍යයෙන් යම් ක්ෂේත්‍රයකින් විශ්‍රාම ගැනීමට යමෙක් තීරණය කිරීම අරුමැසි සිදුවීමක් නොවේ. ඒ මානව ජීවිතය තුළ අනවරත සමුගැනීම, අතහැරීම් රාශියකින් පිරී ඇති හෙයිනි. කෙසේ නමුත් යමෙක් සමුගැනීමේ තීරණයකට එළැඹෙන්නේ සාධාරණ හේතු සහිතව ය.

ක්‍රීඩාව පාර්ශ්වයෙන් බලන කල බොහෝ විට දක්ෂතාවයන් සම්බන්ධයෙන් තමා තුළ පවතින තෘප්තිමත් භාවය බිඳවැටීම එසේත් නැතහොත් ශාරීරික යෝග්‍යතාව පහළ යාම සම්බන්ධයෙන් සංඥවක් මතුවීම එවැනි සමුගැනීමට හේතුවන්නට පිළිවන .

එසේ නොවී ක්‍රීඩා පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරන්නේ නම් එය පිටුපස ඇත්තේ කිසියම් අර්බුදයකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටක දක්ෂතා දක්වමින් සිටියදී ක්‍රිකට් වැනි ක්‍රීඩාවකින් ක්‍රීඩකයකු හදිසියේ විශ්‍රාම ගැනීමට තීරණය කිරීම කිසිසේත් අපේක්ෂා කළ හැකි තත්ත්වයක් නොවේ. ඒ සඳහා නිදර්ශනයක් ලෙස රොෂාන් මහානාම වැනි ක්‍රීඩකයකු ගත හැකිය. ක්‍රීඩාශීලිත්වයෙන් පිරිපුන් ක්‍රීඩකයකු ලෙස ප්‍රකට මහානාම ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් අනතුරුව ‘රිටයර්ඩ් හර්ට්’ යනුවෙන් කෘතියක් ලියා පළ කළේ ය.

එසේම සමුගැන්මේ අසීරුතාවය ගැන සඳහන් කිරීමේ දී ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ සමුගැනීම දැක්විය හැකිය. ලොව පහළ වූ විශිෂ්ටත ම පිතිකරු ලෙසින් සැලකෙන බ්‍රැඩ්මන් සිය අවසන් ටෙස්ට් ඉනිමේ ලකුණු නොලබා දැවී ගියේ ය. ඒ තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් ඉනිම ක්‍රීඩා කරද්දී ඔහුගේ දෙනෙත පිරූ කඳුළු පටලය විසින් පන්දුව නිවැරදිව දර්ශනය කරගැනීමට බාධා කළ හෙයිනි. මේ දේශීය හා විදේශීය උදාහරණ දෙකෙන් ප්‍රකාශ වන්නේ තම උපරිම කාලය ක්‍රීඩාකළ ලොව විශිෂ්ටත ම පිතිකරුවන් පවා පිටියෙන් නික්ම යාම සිදුළේ වඩා ආයාසකර ලෙස බව ය.

වර්තමානයේ එය වඩා අසීරු වන්නේ ඇයි?

එලෙස ක්‍රිකට් පිටිය හැරපියා යාම වර්තමානයේ වෙසෙසින් අසීරුය. ඒ මෙම ක්‍රීඩාවේ නියැලීම තුළින් උපයා ගන්නා සමාජ බලය, ධනය ඇතුළු බොහෝ මානසික ප්‍රතිලාභ ය. එය එක වර හිමි වීම කළමනාකරණය කරගැනීමට ඕනෑම පුද්ගලයකු විෂයේ අසීරු කරුණකි. එහෙත් භානුක රාජපක්ෂ පසුගියදා තමන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළේ එවැනි ගැඹුරු සංවේදනාවකින් තොරව ය.

සමුගැනීම එතරම් පහසුවෙන් කළ හැක්කේ කෙසේ ද?

ජාත්‍යන්තර එක්දින තරග පහක් හා පන්දුවාර විස්සයි විස්ස තරග 18 ක් පමණක් ක්‍රීඩා කර ඇති ක්‍රීඩකයකු වශයෙන් භානුකට එවැනි තීරණයකට පහසුවෙන් එළැඹියේ කෙසේ ද? දැනට ඒ සඳහා ලබාදිය හැකි වඩා ප්‍රසිද්ධ හා සාධාරණ පිළිතුර වන්නේ අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදී අනතුරුව ඔහු අමෙරිකාවට සංක්‍රමණය වීමට දක්වන ලද අභිලාෂය ය.

සාමාන්‍යයෙන් එරට ක්‍රීඩා සමාජයකට වසර තුනක් ක්‍රීඩා කළ පසු අමෙරිකානු ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ අවස්ථාව ද පවතින හෙයින් භානුක ගේ අමෙරිකානු සංක්‍රමණය දුර දිග බලා එළැඹි තීරණයකැයි ද සිතිය හැක. එසේම අමෙරිකාවේ දී ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ඔහුට හිමිවනු ඇතැයි අපේක්ෂිත ආදායම මෙන්ම වඩා දියුණු ජීවන තත්ත්වයක් තුළ තම ජීවිතය පවත්වාගෙන යාමට ඔහු දක්වන කැමැත්ත මෙහි දී ප්‍රධාන කාරණාවන්ව ඇතැයි පෙණේ.

ක්‍රීඩා ඇමැතිගේ ඉල්ලීම

කෙසේ නමුත් එම තීරණය නැවත සලකා බලන්නැයි ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා පසුගියදා භානුක ගෙන් ඉල්ලා සිටියේ ය. රටක ක්‍රීඩාව විජයග්‍රහණය කරා රැගෙන යාමට උරදෙන ව්‍යවස්ථාපිත ප්‍රධානියා වශයෙන් ඔහු එවැනි ඉල්ලීමක් සිදුකිරීම සාධාරණ එකක් වනවාක් මෙන්ම අගය කළ යුතු ද වෙයි.

එහි දී අමාත්‍යවරයා අවධාරණය කර තිබුණේ තරුණ ක්‍රීඩකයකු වශයෙන් භානුකට තවත් කාලයක් රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාව ඇති හෙයින් ඉක්මන් තීන්දු නොගත යුතු බවයි. එවැනි තීරණවලට එළැඹීමට වඩා වැදගත් වන්නේ අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියට යෑම යැයි ද අමාත්‍යවරයා පෙන්වා දී තිබිණි.

එයින් අමාත්‍යවරයා කියන්නට උත්සහ ගන්නේ පසුගිය කාලය පුරා භානුක රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් විවිධ අභියෝගයන්ට මුහුණ දුන් බව තමා ද දන්නා බව ය. එය අසත්‍යයක් නොවේ. දීර්ඝ කාලයක් ඔහු ජාතික සංචිතයට කැඳවීමට බොහෝ තේරීම් කමිටු කටයුතු කර නොතිබිණි. භානුකම කියන ආකාරයට වසර නවයක් පමණ කාලයක් ජාතික කණ්ඩායමට එක්වීමට බලා සිටීමට ඔහුට සිදුව තිබිණි.

එවැනි තත්ත්වයක් නිර්මාණය වීමට බලපෑ කාරණා ද නොතිබුණා නොවේ. ඉතා විශිෂ්ට ක්‍රීඩකයකු බවට පත්වීමේ පෙරමඟ ලකුණු හිමි ව තිබූ නමුදු භානුක එකී පැහැසර භාවය අවපැහැ කර ගත් කාල සමයක් විණි. ඒ තමන්ගේ දක්ෂතා නිසි පරිදි අවබෝධ නොවීමත් ඇතැම් දක්ෂතා හීන කුමන්ත්‍රණකාරීන්ගේ ගොදුරක් බවට පත්ව ස්වකීය ක්‍රිකට් ජීවිතය පසුබෑමකට ලක් කරගනු ලැබුණේ ය. 

ඊට ප්‍රබලව හේතුවූයේ පාසල් වියේ පළ වූ දක්ෂතා ක්‍රීඩා සමාජාන්තර පිටියේ දී නිරන්තර නොවීම, යෝග්‍යතාව බිඳ වැටීම යි. එහෙත් ඒ සියලු අප්‍රසන්න මතකයන් අමතක කරමින් නිරන්තරයෙන් සටන් වැදීමට හේ කටයුතු කළේ ය. එහි අවසන් ප්‍රතිඵලය ජාතික කණ්ඩායම තුළ ස්ථාවර බලාපොරොත්තුවක් බවට පත්වන්නට භානුකට අවස්ථාව උදාවීමය. එය ඔහුට හිමිවන්නේ සිය ජීවිතයේ තරුණ වියේ අවසන් වසර පහ ට ළංවෙමින් තිබිය දී ය.

මේ අතර භානුක රාජපක්ෂගේ සමුගැනීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ වෘත්තීයමය ක්‍රීඩකයන් සැම විට ම තම වෘත්තිමය භාවය රැකීම අත්‍යවශ්‍ය බවයි.

භානුක වෘත්තීය නොවන්නේ ද?

ඇමැතිවරයා සිහිපත් කරන වෘත්තීය භාවය හා භානුක තුළ නැද්ද යන්න මෙතැනදී මතුව එන ප්‍රශ්නයකි. එතැනදී ඔහු සිය ක්‍රිකට් ජිවිතයෙන් සමුගැනීමට ගනු ලබන හදිසි තීරණයම වෘත්තීමය භාවය සම්බන්ධයෙන් ගැටලුවකි. ඒ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ඇති වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම හා ඊට සමගාමීව බැඳුණු යම් යම් ගිවිසුම් හේතුවෙනි. එවැනි ගිවිසුම් ගත ක්‍රීඩකයකු එකී ගිවිසුම ඒකපාර්ශ්විකව බිඳදැමීමට තීරණය කිරීමේ දී අවම සදාචාර සීමාවක් පැවතිය යුතුය. යම් හදිසි තීරණයක් ගෙන එකී සදාචාරය බිඳවැටෙන්නේ නම් එතැන ඇත්තේ වෘත්තීය භාවයේ බිඳවැටීමකි.

සිල්ලර කඩයකට ගොස් ලොසින්ජරයක් මිලදී ගෙන පසුව එය එපායැයි කියන කුඩා දරුවකු මෙන් කිසිවකුටත් වෘත්තීය භාවය හෑල්ලු කළ නොහැකිය. එය ශ්‍රී ලංකාවේ නොව ලෝකයේ ඕනෑ ම ස්ථානයක, ඕනෑ ම ක්ෂේත්‍රයක් තුළ පිළිගත හැකි සත්‍යයකි.

මෙහි දී විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටක ඒක පුද්ගල ආදායම සලකන කල්හි ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන ක්‍රීඩකයන් ගේ වේතන ඉහළ අගයක් ගන්නා බැවින් වෘත්තීය භාවය උපරිමව පවත්වා ගැනීම අතිශය වැදගත් කාරණයකි.

ඒ අනුව මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීමෙන් උපයාගත හැකි මුදල් සම්භාරය සාමාන්‍යයෙන් දේශීයව බොහෝ වෘත්තීන්හි නියැළී උපයා ගත නොහැකි තරම් ඉහළ එකකි. එය හිමි වන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩාකිරීම වෙනුවෙන් හා ජාතික සංචිතයට අයත් වන ක්‍රීඩකයන් අරභයා පමණක් වීම වෙනම කතාව කි.

කෙසේ හෝ තරුණ වියේ මැදියමේ දී හෝ එකී ඉහළ ගෙවීම්හි සන්තුෂ්ඨිය අත්විඳින්නට භානුක රාජපක්ෂ ට ද හැකියාව උදාවිණි. එසේ විරල අවස්ථාවක් උදාවී තිබියදී ඔහු හදිසියේ ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබීම හරහා නිර්මාණය වන්නේ උභතෝකෝටිකයකි.

මෙතැන අප අමතක නොකළ යුතු තවත් කාරණයක් ඇත. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්ෂික කොන්ත්‍රාත්තුවට අත්සන් කරන ක්‍රීඩකයකු එම ආයතනය සපයන නිර්නායකයන්ට අනුකූලව ක්‍රියා කළ යුතු බවය. එසේම ක්‍රීඩකයන් විසින් රැකිය යුතු ආචාරධර්ම පද්ධතියක් ද ඇත. අනෙක් වැදගත් කාරණයක් වනුයේ ඔවුහු නිරන්තරයෙන් සිය දක්ෂතා ඉහළ මට්ටමක පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය.ඒ සඳහා ඊට අනුකූල වන ආකාරයට ශාරීරික යෝග්‍යතාව පවත්වා ගැනීම ක්‍රීඩකයා විෂයේ අතිශය වැදගත් කරුණකි.

භානුක ගේ යෝග්‍යතාව

අප පෙර සඳහන් කළාක් මෙන් අමෙරිකානු අත වැනීම වෙත වැඩිපුර ඇදීයාමට භානුකට බලපෑම් කරන තවත් කාරණාවක් ලෙසින් සැලකෙන්නේ යෝග්‍යතා අර්බුදයය. ඒ සඳහා මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ඇගයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත් කර ඇති නව නිර්නායක පූර්ණය කිරීමේ අපහසුව ඔහුගේ හදිසි සමුගැනීමට හේතුවන බව ද කියැවුණේ ය.

ක්‍රිකට් ක්‍රීඩකයකුගේ ශාරීරික යෝග්‍යතාව මැන බැලීමේ දී මෑත කාලයේ ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන යම් කාල පරාසයක් තුළ කිලෝ මීටර් දෙකක දුරක් දිවයාමය. දැන් එම ක්‍රමය ශ්‍රී ලංකාව ද අනුගමනය කරමින් සිටී. පසුගිය කාලයේ ශ්‍රී ලංකාව යොදවාගත් මිනුම් දඬුවලට අනුව ක්‍රීඩකයකුගේ යෝග්‍යතාව පවතින්නේ යැයි තීරණය කිරීම සඳහා මෙම කිලෝ මීටර් 2 ක දුර ප්‍රමාණය මිනිත්තු 8.35 ක කාල සීමාවක් තුළ අවසන් කළ යුතු විණි. එහෙත් දැන් එය විනාඩි 8.10 දක්වා අඩුකර තිබේ.

ඊට සමගාමී ව ක්‍රීඩකයාගේ සිරුරේ තැන්පත් මේදය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේ skinfold ක්‍රමවේදය ද යොදාගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාතික සංචිතයන්ට අයත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට දැනුම් දී ඇත. ඇතැමුන් පෙන්වා දෙන්නේ මෙම පරීක්ෂණ සඳහා පෙනී සිටීමෙන් අනතුරුව ඒවා අසමත් වීමේ අවස්ථාවක් පවතින හෙයින් භානුක අන්තර්ජාතික පිටියට සමුදීමට තීරණය කළ බවයි. එය මීට පෙරද ඔහුට ප්‍රශ්නයක්ව තිබූ අතර විදේශීය තරග සංචාර කීපයක්ද අහිමිවී ගියේ මේද අර්බුදය ඉවහල් කරගනිමින් ය. 

එහෙයින් මේ මොහොතේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන තමන් විසින් උපයාගත් කීර්තියද රැගෙන අමෙරිකාව වෙත සංක්‍රමණය වීමට භානුක රාජපක්ෂ සිතුවා විය හැකිය. තමන් ක්‍රිකට් ජීවිතය තුළ ජනප්‍රියත්වය හා ජාත්‍යන්තර අවධානය තුළ ඉතා ඉහළ ස්ථානයක පසුවන බව අවබෝධ කරගනිමින් තම නම ඉදිරියේ ඇති වෙළෙඳ අගය යටතේ ඔහු මෙම තීරණයට එළැඹුණා වන්නටද පිළිවන. එය පුද්ගලයකුගේ තීරණයක් වශයෙන් නම් අපට පෞද්ගලික විජයග්‍රහණයක් ලෙස සලකා ඒ ගැන කිසිවක් කිවිය හැකිනොවේ. එහෙත් මෙරට පුරවැසියාගේ වින්දනීය අවකාශය පුළුල් කරන ක්‍රීඩාත්මක ව්‍යායාමක් වන ක්‍රිකට් ක්‍රීඩාවට සිදුවිය හැකි පහසුම් අරභයා සලකද්දී භානුකගේ තීරණය හා එකට සිටගැනීමට අපට හැකියාවක් නැත.

භානුක පසුගිය කාලයේ එළැඹි තීරණයට වඩාත් සමීපතම හේතු කීපය අතර අප පෙරකිව්වාක් මෙන් අමෙරිකාව වැනි ඉහළ සංවර්ධිත රටකින් ඔහුට හිමිව ඇති ලංසුව ප්‍රබල කාරණයි. දෙවැන්න තම ක්‍රිකට් අනාගතය පිළිබඳ ඔහු ඇතිකරගත් තක්සේරුව ය. එයට යෝග්‍යතාව පවත්වාගෙන යාම, දක්ෂතා කළමනාකරණය කරගැනීම ආදිය වශයෙන් සැලකිය හැකිය.

යථාර්ථය තේරුම් ගැනීම

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි. එහෙත් එය නියතයකි. අප අකමැති වුවද කවදාක හෝ දිනෙක එකී වෙන් වීමට අප සූදානම් විය යුතු ය. එනයින් බලන කල භානුකගේ සමුගැනීමේ තීරණය වුව ද යම් දිනෙක දී අපේක්ෂා කළ යුත්තකි. එහෙයින් බලහත්කාරයෙන් රඳවාගෙන ඉන්නට උත්සාහ කරනවාට වඩා භානුකට සිය හෘද සාක්ෂියට අනුකූලව තීරණයක් ගැනීමට ඉඩ දිය යුතුව ඇත.

එහෙත් භානුක රාජපක්ෂට අපට කිවයුතු දෙයක් ඇත. එහි පළමුවැන්න ඔහු වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තුළ පිරිපුන් හැඟීම් ඇති කරවන ක්‍රිකට් ක්‍රීඩකයෙක් බවය. පිතිකරුවකුගේ සියලු අංගෝපාංග වලින් සන්නද්ධව ඔහු පිටියට පැමිණි විට නිර්මාණය වන උත්තුංග ක්‍රිකට් ප්‍රතිරූපයයකි. ඔහු පිටියට පැමිණෙද්දී ගොඩනැංවෙන්නේ ජයග්‍රහණය පිළිබඳ අපේක්ෂාය.

එහෙත් හදිසි සමුගැනීමේ තීරණය සාධාරණීකරණය කිරීමට හේතු වශයෙන් ඉදිරිපත් කළහැකි යෝග්‍යතා අර්බුද, කණ්ඩායමේ ගැටලු, නිසි ගෞරවය නොලැබීම්, ප්‍රමාද වී අවස්ථාව ලැබීම් පිළිගැනීමට අසීරුය. මන්ද එවනි සිදුවීම්වලට මුහුණ පෑ ඕනෑ තරම් ක්‍රීඩකයන් මෙරට ක්‍රීඩා ඉතිහාසයෙන් සොයාගත හැකි හෙයිනි. අනුර රණසිංහ, අජිත් ද සිල්වා, හේමන්ත දේවප්‍රිය වැනි සුදක්ෂ ක්‍රීඩකයන් ඊට කදිම උදාහරණය.

යෝග්‍යතා අර්බුද ඉදිරියේ වුවද එහි වෙනසක් නැ. මෙරට මහා ක්‍රිකට් පෞරුෂය සේ සැලකිය හැකි අරවින්ද ද සිල්වා ඊට කදිම නිදර්ශනයකි. කලෙක ඔහුට ද යෝග්‍යතා අර්බුදයන්ට මුහුණ පෑමට සිදුව තිබුණේ ය. එහෙත් ඒ සියල්ල මකා දැමූ අතිවිශිෂ්ට, අනභියෝගී දක්ෂතාවයක් ඔහු සතුවූ හෙයින් යෝග්‍යතා ගැටලුවේදී අවසානයේ අරවින්ද කෙසේ හෝ ජයග්‍රහණය වාර්තා කළේ ය.

අරවින්ද ගේ නිදර්ශනය භානුක රාජපක්ෂ විෂයේ එකහෙළා යොදවා ගැනීමට හැකියාවක් නැති බව සැබෑවකි. ඒ භානුක යනු අරවින්ද ද සිල්වා වැනි යෝධ ක්‍රිකට් ප්‍රතිරූපයක් ලෙසින් සැලකිය නොහැකි හෙයිනි. අරවින්ද වැනි විශිෂ්ටයකු හා සලකද්දී භානුක රාජපක්ෂ තවමත් ක්‍රිකට් පිටියේ ළදරුවෙකි. එහෙත් ඔහුට ද පිටියෙන් සමුගන්නා දිනකට යම් සාර්ථක ක්‍රීඩා ප්‍රතිරූපයක් ගොඩනඟා ගැනීමට හැකියාව පවතින බව සැබෑවකි. එසේම අද ක්‍රිකට් ක්‍රීඩාවේ විවිධාංගීරණය හා එය තුළ පවතින වේගය මගින් අපේක්ෂා කරන ක්‍රීඩක දක්ෂතා වඩා සියුම් බවද අමතක නොකළ යුතු කාරණයකි.

අප කියන්නේ කුමක් ද?

අවසන් වශයෙන් අප කියන්නේ කිසිවෙක් බලහත්කාරයෙන් කූඩුවල දමාගෙන ඇතිකිරීමෙන් ඵලක් නැති බවයි. භානුක රාජපක්ෂ නමැති ජීවිතයේ යොවුන් වියේ මධ්‍ය ලක්ෂය පසුකරමින් සිටින ක්‍රිකට් ක්‍රීඩකයාට සිය ක්‍රිකට් හා පෞද්ගලි ජිවිතය පිළිබඳ නිවැරැදි තීන්දුවකට එළැඹීමේ තීරණාත්මක මොහොතක් දැන් නිර්මාණයවී තිබේ.

කෙසේ නමුත් ඉදිරියේදී ඔහු තම දක්ෂතා වඩාත් මුවහත් කර, නිරන්තර කර නොගතහොත් ඔහුට අවසන් වුණු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් උපයා ගත් කීර්තියෙන් පමණක් යැපෙමින් තවදුරටත් ඉදිරියට යෑමට උත්සහ කිරීම නිශ්ඵල වීමට ඉඩ ඇත. එහෙයින් අවශ්‍ය වන්නේ හැකිතාක් දුරට ජාතික කණ්ඩායම හා ගැටී ජාත්‍යන්තරය තුළ ස්වකීය ක්‍රිකට් ප්‍රතිභාව විදහා පෑමය.

එහෙත් භානුක ගේ විශ්වාසය ඔහුට කියන්නේ ජීවිත සුව සොයා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව අතහැර යාමම නම් ඊටද තහනමක් පැනවිය යුතු නැත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව නීති මාලාවන්ට අනුව මාස තුනකට පෙර දැනුම් දී තම නිදහස්වීමේ සහතිකයත් රැගෙන රටින් එතෙරට පියඹන්නට ඔහුට ද ඉඩදිය යුතු ය. එසේ නොමැතිව ක්‍රීඩකයාගේ නම හෝ අතීතයේ ඔහු දැක්වූ දක්ෂතා සලකා යෝග්‍යතා නිර්නායකයන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් කළ යුතු නැත.

අවසන් වශයෙන් කිවයුතුව ඇත්තේ මේ සියලු තීරණ ලබා ගැනීමේ එක ම හිමිකරුවා අන් කවරකුවත් නොව භානුක රාජපක්ෂ ම බවය. එය ක්‍රීඩා ඇමැතිගේ, ජනමාධ්‍යයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෝ හෝ ඔහුගේ සමීපතමයන්ගේ තීරණයක් නොව එය ඔහු ස්වාධීනව එළැඹිය යුතු තීරණයකි. එම තීරණය ගැනීමේදී භානුක එකදෙයක් තරයේ අවබෝධ කරගත යුතුය. ඒ ඔහු ගන්නා එකී තීන්දුව දෙස ලෝකයක් ම විමසිලමත්ව බලා සිටින බවය.

Comments