මට දැන් ක්‍රිකට් ඇති | සිළුමිණ

මට දැන් ක්‍රිකට් ඇති

'ලොයිඩ් යැයි කියූ විට පළමුව සිහිපත් වන්නේ ක්ලයිව් ලොයිඩ් නමැති උස මහත, කළු පැහැති ඡවි වර්ණයෙන් දිදුලන කණ්ණාඩිකාරයා ය. එහෙත් සුදු පැහැති සම සහිත තියුණු නාසයකින් හා විනිවිද දැකිය හැකි දෙනෙත් සහිත ලොයිඩ් කෙනෙකු ගැන ද සිහියට නැඟ එන්නේ නිතැතිනි. ඒ ලොයිඩ්, ඩේවිඩ් ලොයිඩ් ය. දසක හයකට ආසන්න කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව හා යාවජීවව සිටි ඔහු පසුගියදා සියලු අංශයන්ගෙන් සමුගැනීම ප්‍රකාශයට පත්කළේ ය. මේ ඒ ලොයිඩ් ගැන ය.'

ක්‍රිකට් ක්‍රීඩාව හා සබැඳි භූමිකා බොහොමයක් ඇත. ඉන් බොහෝ දෙනෙක් සිය ජීවිත කාලය තුළ පණ පොවන්නේ එක් භූම්කාවකට හෝ දෙකකට පමණි. නමුත් ඊට වෙනස් ලෙස තම ක්‍රිකට් හා සබැඳි ජීවිතය ගතකරන්නෝද වෙත්. 

එසේ විරලව හමුවන එවැනි මිනිසුන් අතර ඩේවිඩ් ලොයිඩ් එක් අයෙකි. කලකට පෙර ඔහු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෙස ලොව පුරා ප්‍රකට විය. ඉන් සමුගත් පසු ඔහු පණ දුන්නේ ක්‍රිකට් විනිසුරුවරයාගේ භූමිකාවට ය. ඉන් අනතුරුව ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරුවෙක් ලෙස ද කටයුතු කළේ ය.

එතැනින් නතර නොවූ ඔහු තම ක්‍රිකට් දැනුම යොදවා ගනිමින් ක්‍රිකට් විචාරකයෙක්, විස්තර කථකයෙක් වශයෙන් ද කැපී පෙනුණේ ය. නමුත් පසුගිය දා ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සෑම වෘත්තියකින්ම විශ්‍රාම ගන්නට තීරණය කළේ ය. ඒ අනුව 1965 වසරේ දේශීය ක්‍රිකට් ක්‍රීඩාවෙන් ආරම්භ කළ, වසර 57 ක පමණ ඈතට දිවගිය සිය දීර්ඝතර ක්‍රිකට් ජීවිතය ඔහු විසින් අවසන් කරනු ලැබුවේ ය. ඒ අනුව බලන කල 1947 වසරේ උපන් ඔහු සිය ජීවිත කාලයෙන් තුනෙන් දෙකකටත් වඩා වැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් කැපකළ සුවිශේෂී චරිතයක් ලෙස ගත හැකිය.

1965 වසරේ දී එංගලන්තයේ දේශීය කෙළිබිම

හා එක්වන ලොයිඩ් 1973 වසරේ දී එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් අන්තර්ජාතික එක්දින තරග බෞතිස්මය ලබා ගත්තේ ය. ඔහු ටෙස්ට් වරම් දිනාගන්නේ 1974 වසරේ දී ඉන්දියාවට එරෙහිව ය.

එතැන් සිට වසර හයක් එනම්, 1980 වන තුරුම අනතර්ජාතික ක්‍රිකට් පිටිය තුළ රැඳී සිටියේ ය. එම කාලය තුළ ටෙස්ට් තරග 9 ක දී ද්විත්ව ශතකයක් ද (214) සමඟ ලකුණු 552 ක් ද එක්දින තරග බිමේ ශතකයක් ද සමඟ ලකුණු 285 ක් රැස් කරන්නට ලොයිඩ්ට හැකියාව ලැබිණි. 1965 සිට 1983 වසර දක්වා ඔහු එංගලන්තයේ ලැන්ක්ෂයර් කණ්ඩායම නියෝජනය කරනු ලැබිණි.

ක්‍රීඩකයකු වශයෙන් ක්‍රිකට් පිටියේ සක්‍රිය වීම අතහැර දැමූ පසු ලොයිඩ් ඉන් පසුව එක් වූයේ ක්‍රිකට් විනිසුරු ධුරයට ය. ඒ 1987 වසර දක්වා, දෙවසරක කාලයක් ඔහු ලැන්ක්ෂෙයර් ක්‍රිකට් සමාජයේ තරග විනිසුරුවරයෙක් ලෙස කටයුතු කරමිනි. විනිසුරු භූමිකාවට ද සමු දුන් ලොයිඩ් ඊළඟට අත්පොත් තැබුවේ පුහුණුකාර භූමිකාවටයි.

ඒ 1993 වසරේ දී ය. වසර 18 ක කාලයක් පුරාවට ලොයිඩ් ක්‍රීඩා කළ ලැන්ක්ෂෙයර් කණ්ඩායම පුහුණු කරන්නට ඔහුට එහි දී අවස්ථාව උදා විණි. වසර 3 ක් පුරාවට එම කාර්යය මැනවින් ඉටු කළ ලොයිඩ් පළමු පෙළ ක්‍රිකට් පුහුණුකරු ධුරයෙන් සමුගත්තේ එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි ප්‍රධාන පුහුණුකරු තනතුර භාර ගනිමිනි. 

එහි දී නවසීලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියන් හි දී එංගලන්තය ජයග්‍රහණය කරා මෙහෙයවන්නට ලොයිඩ්ගේ පුහුණුව අත්වැලක් විණි. ලොයිඩ්ගේ පුහුණුව යටතේ ඉන්දියාව, පාකිස්තානය සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම් සමඟ පැවති එක්දින තරගාවලියන් හි දී ද එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළේ ය. 1999 වසර දක්වා ලොයිඩ් එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමෙහි පුහුණුකාරීත්වය උසුලනු ලැබිණි.

ඉන් සමුගැනීමෙන් පසුත් ලොයිඩ්ට ක්‍රිකට් ක්‍රීඩාව අතහැර දැමීමට කැමැත්තක් තිබුණේ නැත. ඒ අනුව ඔහු ඊළඟට තෝරා ගත්තේ ක්‍රිකට් තරග විසතර විචාරක භූමිකාවයි. ආකර්ෂණීය ලෙස වචන හැසිරවීම, හාස්‍ය මුසු පාඨයන් විස්තර විචාරයන් අතරට යොදා ගැනීම ආදි ලොයිඩ්ට ම ආවේණික වූ විචාර විධි ක්‍රම නිසා

ඔහු ක්‍රීඩා ලෝලීන් අතර සිත් ගන්නා සුලු චරිතයක් බවට පත්වූයේ නිතැතිනි. තවත් විටෙක විවිධ ප්‍රසිද්ධ ගීත ඛණ්ඩ ද සිය විස්තර කිරීම් අතරට මුසු කරන්නට ලොයිඩ් අමතක නොකළේ ය.

2000 වසරේ දී ඩේවිඩ් ලොයිඩ් ලේඛකයකු වූයේ ස්වකීය ජීවිත කතාව ඇසුරින් ස්වයං චරිතාපදාන ග්‍රන්ථයක් ලියා ප්‍රසිද්ධ කරමිනි. ඔහු ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වූයේ 'බම්බල්' නම් සුරතල් නාමයෙනි. එංගලන්ත රූපවාහිනි කතා මාලාවක චරිතයක් වන බම්බල්ස්ගේ මුහුණ සහ ලොයිඩ්ගේ මුුහුණ අතර ඇති සමානත්වය නිසා ඔහුට එම සුරතල් නාමය පටබැඳී තිබිණි. 

ලොයිඩ්ගේ පෞද්ගලික ජීවිතය ගැන සලකද්දී ඔහුට පුතුන් දෙදෙනෙක් විණි. ඔවුන් දෙදෙනාත් එංගලන්තය නියෝජනය කරන ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළකි. ඔහුගේ වැඩිමහල් පුත් ග්‍රැහැම් ලොයිඩ් පියාගේ අඩි පාරේ ගමන් කරමින් එංගලන්ත ජාතික පිල නියෝජනය කළේ ය. ඔහු එක්දින තරග හයකදී එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කර තිබේ. ලොයිඩ්ගේ දෙවැනි පුතු වූ බෙන් ලොයිඩ් ලැන්ක්ෂෙයර් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කර ඇත. ඒ සියලු අතින් සලකද්දී ඩේවිඩ් ලොයිඩ් සම්, ඇට, මස්, නහර පමණක් නොව ඇට මිදුළුවලින්ද ක්‍රිකට් ක්‍රීඩාව හා බැඳී සිටි අපූරු මිනිසෙකි.

පසිඳු මිහිරාන් රැටියල

Comments